10 October, 2016

ඉන්දියාවේ නාගරීකරණය සහ ඒ ආශ්‍රිත නිර්මාණය වන ගැටලු

ඉන්දියාවේ නාගරීකරණයේ පසුබිම

සංවර්ධනය වෙමින් පවතින රටවල ජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වීමක් මෑත දශක කිහිපය තුළ සිදු විය. නමුදු ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සංසන්දනය කරන විට නගරයන්හි සාපල්‍යතා අනුපාතය අවම ප්‍රමාණයකින් පවතින අතර මෙහිදී නාගරික ජන සංඛ්‍යාව වර්ධනය වීමට හේතු වුයේ ස්වභාවික වර්ධනයයි. තරුණ පිරිස මෙම කලාපයේ අධිකවීම මෙයට හේතු වු අතර මෙය ලෝක නාගරීකරණ රටාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. 20 වැනි සියවසයේ මුල් භාගයේ නාගරික ජන සංඛ්‍යාව ග්‍රාමීය ජන සංඛ්‍යාව ඉක්මවු එකම රට ලෙස බ්‍රිතාන්‍ය වූව ද, කාර්මීකරණයෙන් පසු සංවර්ධිත රටවල් මෙම තත්ත්වයට පා තැබු අතර 1980 වනවිට  සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික ජන සංඛ්‍යාව වර්ධනය මෙය හේතු වීය. සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය වේගවත් වූව ද, අප්‍රිකා මහද්වීපයේ රටවල අවම නාගරිකරණයක් දක්නට ලැබේ. නමුදු මෙම රටවල් නගරයන්හි ජන සංඛ්‍යාව නිරපේක්ෂ වශයෙන් ගත්කළ ඉහළ ප්‍රමාණයක් වන බව ඉන්දියාව හා චීනය වැනි රටවල නාගරීකරණය අධ්‍යයනය කිරීමෙන් පෙනීයයි.
ලෝකයේ සිදුවන නාගරීකරණයේ අතුරු ප්‍රතිපලයක් වශයෙන් නගර ආශ්‍රිතව බිහිවන දිළිඳු සමාජ කණ්ඩායම් පෙන්වා දිය හැකිය. සංවර්ධිත යැයි සැලකෙන රටවල බහුලව නොවූව ද, දකුණේ රටවල මෙකී තත්ත්වය වර්තමානයේ දී ඉතා උග්‍ර අතට හැරි ඇත. 21 වන සියවසයෙහි නාගරීකරණය ඉහළ ගොස් ඇති බවක් හඳුනාගනු ලැබුව ද, විවිධ අරමුණු හා අවශ්‍යතා කේන්ද්‍ර කොටගනිමින් නගර වෙත ඇදෙන විශාල ජන සංඛ්‍යාවට නගරය තුළින් අවස්ථාවන් සළසා දිය හැකි තත්ත්වයක් පවතී ද? නැතිනම් එවැනි තත්ත්වයක් නොපවතී ද? යන්න විමර්ශනය කිරීම මෙහිලා වැදගත් වේ. මුල් කාලීන නාගරීකරණය ඉතාමත් මන්දගාමී ලෙස සිදු වු අතර එය 1800 දී ලෝක ජනගහනයෙන් 3% ක පමණ නියොජනයක් පෙන්නුම් කළ ද, 1985 වන විට 40% දක්වා වර්ධනය වී ඇත. මෙලෙස වර්ධනය වු ජන සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික ප්‍රදේශයන්හි වර්ධනය වීම නිසා 21 වන සියවසය තුළ දී නාගරීකරණය ඉහළ යනු ඇතැයි UNCHD 1996 ප්‍රකාශනය තුළින් පෙන්වා දී ඇත.

නගර පිළිබඳව විවිධ අඳහස් දැක්වු පුද්ගලයින් අතර “කාල්මාක්ස්, ඇඩම් ස්මිත්, කොර්නෝර් හා රේස්” ආදි පුද්ගලයින් වැඳගත් වේ. ඔවුන් පවසන අන්දමට නගර වරෙක ජාතික ආර්ථිකයේ ඇන්ජිම ලෙසත්, විශාල පරිභෝජන කේන්ද්‍ර ලෙසත්, හදුනාගනු ලබන අතර තම සීමාව අභිබවා යමින් වටා පිහිටි ප්‍රදේශයන්හි සම්පත් උකහා ගැනීමක් ද සිදුකරනු ලබන බව පෙන්වා දෙයි. මේ තුළ විවිධ සමාජ සම්බන්ධතා හා ආයතන ශක්තිමත් කරනු ලබන, දුප්පත්කම පාලනය කරන මධ්‍යස්ථාන වලින් ද සමන්විත වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. කෙසේ වෙතත් සංවර්ධිත රටවල බොහෝමයක නගරවාසි ජනයා දිළින්දන් නොවන අතර විධිමත් නගර සැළසුම්කරණය හා සංවර්ධනය ඊට හේතු සාධක වී ඇත. නමුත් සංවර්ධිත වෙමින් පවතින රටවල (දකුණේ රටවල) නාගරික සංවර්ධනය හා නාගරික ජීවිතය අධ්‍යයනය කිරිමේ දී මූලීක ප්‍රශ්න දෙකක් මතු වේ. එනම්,
  • ග්‍රාමීය ප්‍රදේශවල ජීවන ක්‍රමය අඩාල වු හෝ සහතික කළ නොහැකි මිලියන සංඛ්‍යාත ජනතාවකට ජීවන ප්‍රස්ථාවනාව සළසන කේන්ද්‍රස්ථානය ලෙස නගර සැළකිය හැකි ද?

  • ආර්ථික හා සමාජ වර්ධනය ආටෝපය හා සංවිධානමය හැකියාවන් දෙසට සිදුවන රේඛීය ගමනක අවසන් නිෂ්පාදනය නගර වර්ධනය ද?
යනුවෙනි. මෙම ප්‍රශ්න දෙකට පිළියම් සොයනු ලබන දකුණේ රටවල් බොහෝවිට එම රටවල නාගරික සංවර්ධන ක්‍රියාවන්ගේ පසුබිම සළකා බැලීම, නාගරික දිළිදුකම වර්ධනය මඟින් ඇති කළ අභියෝගයන් පිළිබද සැළකිලිමත් වීමක් සිදුකරයි. නගරයන් තුළ වාසය කරනු ලබන මිලියන සංඛ්‍යාවක් වාසය කරනු ලබන අතර මේවා තුළ විවිධාකාරයෙන් පාරිසරික සමාජීය ගැටළු අභියෝග මතු වන්නේ මන් ද? යන්න සංවර්ධනයේ පිළිගත් මානනයන් වශයෙන් හඳුනාගනු ලබන නාගරීකරණය ඔස්සේ විමර්ශනය කිරීම කාලීනව වැදගත් වේ. “සස්සෙන් හා පැට්ල්” යන දෙදෙනා 1996 දි නගරය තුළ වාසය කරනු ලබන දරිද්‍රතාවයෙන් යුතු ජනයා, හිඟන්නන්, වීථී දරුවන් ලෙඩ රෝග බෝවීම, ජනාකීර්ණ මුඩුක්කු හා පැල්පත් ආදිය තුළින් නිර්මාණය වන විවිධ අභියෝගවලට පිළියම් කළ යුතු ක්‍රියාමාර්ගයන් සොයාගත යුතුබව පෙන්වා දෙයි. නාගරීකරණය ආශ්‍රිතව ඇතිවන දිළිදුකම මඟින් ලෝකයේ විශාල සමාජ - ආර්ථීක මෙන්ම දේශපාලනික අර්බුදයන් ද, ඉස්මතු කරන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්දියාවේ නාගරීකරණය
ඉන්දියාවේ නාගරීකරණය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී නාගරික මානව ප්‍රජාවගේ ජීවන තත්ත්වය, ජනාධික නිවාස හා පුද්ගල තදබදය, අපිරිසිදු ආහාර හා ජලය, දුර්වල සනීපාරක්ෂක ක්‍රම, සේවා පහසුකම් හිඟය, නිරන්තරයෙන් ඇති වන පාරිසරික ආන්තික තත්ත්වයන්, කාර්මික හා පාරිසරික දූෂණය මෙන්ම අපද්‍රව්‍ය ගැටළුව  ආදීයෙන් යුක්ත වේ. මේ පිළිබඳ අධ්‍යයනය කළ බ්‍රේට්ලි හා ඩග්ලස් 1990 දී Cities Of Hunger නමැති කෘතිය තුළින් නාගරීකරණය ජන ජීවිතයෙහි ඇති ගැටළුකාරි තත්ත්වයන් පිළිබදව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

දකුණු ආසියානු කලාපයේ ප්‍රභලයා වශයෙන් හඳුනාගත හැකි ඉන්දියාවෙහි නාගරීකරණය අධ්‍යයනය කිරීමේදී සුවිශේෂී වු ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිවේ. 1961 එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව නාගරීකරණයෙහි නිශ්චිත පරිපාලන සීමා දැක්වීමක් සිදුකළ අතර 2001 වසර ජන සංගණනයෙන් පසුව නගරයන් ව්‍යවස්ථානූකූල නගර සහ සංගණන නගර ලෙස කොටස් දෙකකට වර්ග කරනු ලැබිණි. මෙම නගර වර්ගයන් ද්විත්වයට අනුකූලව නගර තත්ත්වය තීරණයෙහිලා එකිනෙකට වෙනස් වු මිනුම් දඩු භාවිතා කරනු ලබයි. කෙසේ වෙතත් සමස්ථ නගර තීරණය කිරීමේදී පදනම් කරගනු ලබන නිර්ණායක වශයෙන් ජන සංඛ්‍යා ප්‍රමාණය, ජන ඝනත්වය, කෘෂිකාර්මික නොවන රැකියා නියුක්තිය හඳුනාගත හැකිය. රාජ්‍ය නීතිය අනුව තීරණය වන ඉන්දියාවේ නගරයක අවම ජනගහනය 5000ක් හෝ ජන ඝනත්වය වර්ග කිලේමීටර් 400ක් පමණ සිටීම අනිවාර්යවීම ඉන්දියානු නාගරීකරණයේ සුවිශේෂී වු ලක්ෂණයකි.

ඉන්දියාවේ නාගරීකරණය ගතික ස්වභාවයක් ගනු ලබන අතර එයට හේතුව වුයේ නාගරික මිනුම් දඩුවල පවත්නා වු පරස්පර විරෝධීතාවයයි. ඒ තුළින් නාගරීකරණයේ ගුණාත්මකභාවය විචලනයකට හේතුවන බව “භාගට්” පෙන්වා දී ඇත. උදාහරණයක් වශයෙන් ගත්කළ ඉන්දියාවේ 1961 දී පැවැත් වු ජන සංගණනයේදී නාගරීකරණ ප්‍රදේශ නිර්වචනය කිරීමේ මිනුම් දඩු ඉන් පසුව සිදුකළ සංගණන සඳහා යොදා නොගැනීම පෙන්වාදිය හැකිය. එනම්, 2001 වර්ෂයේ පැවැත් වු සංගණනයේදී නාගරික ප්‍රදේශයක් තීරණය වීමෙහිලා යම් ප්‍රදේශයක් තුළ වාසය කරන පුරුෂයින්ගෙන් 75%ක් පමණ කෘෂිකාර්මික නොවන රැකියාවල නිරතවීමක් අපේක්ෂා කරනු ලැබීය. මෙවැනි තත්ත්වයන් මඟින් නගර මට්ටම් වෙනස්වීම නාගරික සීමා නිරතුරුවම ගතිකත්වයට බඳුන්වීම හා අදාල තොරතුරු වල නිවැරැදි බව දුර්වලවීමට පදනම නිර්මාණය වී ඇත.
වර්තමාන ඉන්දියාවේ ජනගහනය මිලියන 1095ක් පමණ වන අතර රට පුරා ව්‍යාප්ත වු නගර 3700 ඉක්මවා ගොස් ඇත. එම නගර අතර මිලියන නගර රාශියක් ද පවත්නා අතර ඉන් ගෝලීය මට්ටමේ පළමු පෙළෙහි පවත්නා වු මිලියන නගර කිහිපයක් ද අන්තර්ගතවීම මෙහිදී වැදගත් වේ. පහත දක්වා ඇති වගුව තුළින් ඉන්දියාවේ පළමු ගනයේ මිලියන නගරයන් දක්වා ඇති අතර එහි අවකාශීය ව්‍යාප්තිය සිතියම තුළින් පෙන්වා දී ඇත. අධ්‍යයනය කිරීමෙන් උක්ත කරුණු මනාව සත්‍යාවේෂණය වේ.

ඉන්දියාවේ ප්‍රධාන නාගරීක කලාපයන්ගේ ව්‍යාප්තව පවතින ජන සංඛ්‍යාව 2011 සහ 2015
Source: makanaka.wordpress.com

පහත දක්වා ඇති වගුව තුළින් පෙන්නුම් කර ඇති දත්ත අනුව ඉන්දියාවේ ප්‍රධානතම මිලියන නගරයන් ලෙස බොම්බාය, කල්කටා සහ දිල්ල යන නගර මධ්‍යස්ථානයන් වැදගත් වේ. මෙම නගර ත්‍රිත්වයෙහි 1951 පැවැති ජනගහනය 2001 වර්ෂය පමණ වනවිට සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති ආකාරයක් හඳුනාගත හැකිවේ. 1951 දී බොම්බාය නගරය තුළ සමස්ථ ජනගහනය මිලියන 2.79ක් වුවද එය 2001 වර්ෂය වනවිට මිලියන 16 ඉක්මවා ගොස් ඇති බවක් පෙන්නුම් කරයි. ඒ තුළින් පෙනී යන්නේ බොම්බාය නගරයෙහි ජන සංඛ්‍යාව සීඝ්‍ර වර්ධනයට යොමු වී ඇති බවයි. මේ ආකාරයට බොම්බාය ඇතුලු අනෙකුත් නගර කලාපයන් තුළ සිදුවී ඇති සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනය සඳහා සංක්‍රමණ තුළින් ලත් දායකත්වය ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනයට සාපේක්ෂව ඉහළ ම්ටටමක පැවැතීම සුවිශේෂි කරුණකි. එකී සංක්‍රමණ සඳහා හේතු වු කරුණු අතර රැකියා, අධ්‍යාපන, යටිතල පහසුකම්, සෞඛ්‍ය, වෙළඳ, මූල්‍ය අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම ප්‍රමුඛ වී ඇත. ග්‍රාමීය ජනයා බහුල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමක් ඉන්දියාවේ නගර වර්ධනයට හේතු වී ඇති අතර ඉහළ ජීවන තත්ත්වයක් ලබාගැනීම සඳහා කුමන හෝ රැකියාවක් අපේක්ෂාවෙන් නගර තුළට ජනයා ඒකරාශීවීම මෙයට හේතු වේ. එය බොම්බාය, කල්කටා සහ දිල්ලි යන නගරයන්හි ජන සංඛ්‍යාව ඉහළයාමට බෙහෙවින්ම හේතු සාධක වී ඇත. කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් ඉන්දියාවේ නගරයන් තුළ 1951 සිට 2001 වර්ෂය දක්වා කාලය තුළ ජන සංඛ්‍යාව 3 ගුණයකින් වර්ධනය වීමක් සිදුව ඇති බවක් හඳුනාගත හැකිය.

ඉන්දියාවේ මිලියන නගරයන්ගේ ජනගහනය 1951-2001 
ඉන්දියාවේ සීඝ්‍ර නාගරීකරණය පිළිබඳව පහත දක්වා ඇති ප්‍රස්තාර සටහනේ දක්වා ඇති ඉන්දියාවේ ග්‍රාමීය සහ නාගරික ජන සංඛ්‍යා වර්ධනය තුළින් පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිවේ. මෙම ප්‍රස්තාර සටහනට අනුව 1985 වර්ෂයේ සිට ඉන්දියාවේ ග්‍රාමීය සහ නාගරික ජනගහනය අතර පැවැති පරතරය 2015 වන විට අවම මට්ටමකට ළඟාවී ඇති අතර එය 2025 වර්ෂයේදී ඉතා අවම මට්ටමක් දක්වා ළඟාවන බව ප්‍රක්ෂේපණය කොට ඇති බැව් ප්‍රස්තාරය අනුව පෙනීයයි. 1995 වර්ෂයේ සමස්ථ නාගරීකරණය 24.3%ක් වුවද එය 2010 වන විට 33%ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මුළු ජන සංඛ්‍යා වර්ධන වේගය 1990 දී 2.05%සිට ක්‍රමිකව පහත යමින් 2010 වන විට 1.44% දක්වා පහත බැස ඇති අතර නාගරික ජන සංඛ්‍යා වර්ධන වේගය 1990දී 3.02%ක් පැවැතිය ද එය 2010 වන විට 2.83%දක්වා  පහත බැස ඇති බවක් පෙනීයයි. මෙයට සාපේක්ෂව ග්‍රාමීය ජන සංඛ්‍යා වර්ධන වේගය ක්‍රමිකව අඩුවන ආකාරයක් 1990 දී 1.73%ක්ව පැවැති වර්ධන වේගය 2010දී 0.53%ක් දක්වා අඩුවී ඇත. ඒ තුළින් ඉන්දියාවේ නාගරීකරණය වර්ධනය වන බවත් ඊට සාපෙක්ෂව ග්‍රාමීය ජන සංඛ්‍යාව අවම වන බවත් හඳුනාගත හැකිය. කොසේ වෙතත් ප්‍රක්ෂේපිත අඅගයන්ට අනුව ඉන්දියාවේ නාගරික ජනගහන වර්ධන වේගය 2025 පමණ වන විට කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා කරන බව පෙනීයයි.
 
ඉන්දියාවේ නාගරීකරණය කෙරෙහි බලපෑ සාධක

           ඉන්දියාවේ නාගරීකරණය ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑම් කරන ලද සාධක 04 ක් හඳුනාගත හැකිය. එනම්,
  • අභ්‍යන්තර වශයෙන් සිදුවන ග්‍රාමීය නාගරික සංක්‍රමණයන්
  • නාගරික ජන සංඛ්‍යාවේ ස්වභාවික වර්ධනය
  • ජාත්‍යන්තර නාගරික සංක්‍රමණයන්
  •  ග්‍රාමීය ප්‍රදේශ නාගරික ප්‍රදේශ ලෙස නැවත වර්ගීකරණය වීම

යනුවෙනි.
මෙලෙස වර්ධනය වන ඉන්දියාවේ නාගරීකරණය තුළ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් පවතී. ඒවා ඇතැම් විට ලෝකයේ අනෙකුත් නගර වර්ධනයට සාපේක්ෂව සිදුනොවන්නා වු ක්‍රියාවලියන්ගේ ප්‍රතිපලයක් වීමද මෙහිලා සුවිශේෂීත්වයකි. එම ලක්ෂණයන් පහත ආකාරයට හඳුනාගත හැකිවේ. එනම්,

  • අසමතුලිත ආර්ථික පදනමක් සහ කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධනය වී පැවැතීම. නගරයක් වර්ධනය වීමේදී ආර්ථිකමය වශයෙන් හෝ කාර්මික පදනමක් මුලය වශයෙන් පැවැතීමක් හඳුනාගත හැකිය. නමුදු ඉන්දීය ඇතැම් නගර වර්ධන ක්‍රියාවලියේ දී මෙකී පදනමින් බැහැරව ආර්ථිකය වර්ධනය වී ඇති ආකාරයක් හඳුනාගත හැකිවේ.
  • ශක්තිමත් ආර්ථික පදනමක් හෝ කාර්මීකරණයක් නොමැතිව නාගරීකරණය වර්ධනය වීම. නාගරීකරණ ක්‍රියාවලියෙහිලා ශක්තිමත් ආර්ථික පදනමක් හෝ කාර්මීකරණ පදනමක් අවශ්‍ය වේ. එමඟින් නාගරීකරණ ක්‍රියාවලියේ තිරසාර වර්ධනයක් දැකගත හැකිය. නමුදු ඉන්දියාවේ ඇතැම් නගරයන් මෙකී ක්‍රියාවලියට පරිබාහිරව වර්ධනය වන ආකාරයක් පැහැදිලිව හඳුනාගත හැකිවේ.
  • සීඝ්‍ර නාගරීකරණය හේතුවෙන් විශාල වශයෙන් පැල්පත් නිවාස වර්ධනය වීම. ඉන්දියාවේ බොහෝ නගරවල ප්‍රධානතම ගැටලුවක් වශයෙන් පැල්පත් ජනාවාස හඳුනාගත හැකිවේ. නගරයන් වෙත විශාල වශයෙන් ආකර්ෂණය වන අඩු ආදායම්ලාභී ජනයා මෙකී පැල්පත් කලාප නිර්මාණයෙහිලා කටයුතු කරනු ලබයි. ඉන්දීය බොහෝ නගරයන් තුළ මෙම පැල්පත් කලාප සීඝ්‍රයෙන් වර්ධනය වන ආකාරයක් හඳුනාගත හැකි අතර බොම්බාය, කල්කටා සහ දිල්ලි යන නගරයන් තුළ මේවා අධික ඝනත්වයකින් යුක්තව ව්‍යාප්ත වී ඇත.
  • නාගරීකරණය සඳහා නගරයට ඇඳා ගැනීම නොව ගමින් නගරයට තල්ලුවීම. නගරයන් වර්ධනය වීමේදී තවත් නගරයක් එයට එක් කරගනිමින් වර්ධනය වීම අභිමත ක්‍රියාවලිය වුවද ඉන්දියාවේ බොහෝ නගර වර්ධනයේ දී නගරයට ග්‍රාමීය ප්‍රදේශ තුළින් ජනයා විශාල ප්‍රමාණයක් සංක්‍රමණය වීම හේතුවෙන් නාගරීකරණයක් සිදුවී ඇත. මෙය හේතු කොටගෙන ඉන්දියාවේ නාගරීකරණය තුළ විශාල වශයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණයව පවතී.
  • ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරවලට සංක්‍රමණය වීම හේතුවෙන් ගුණාත්මක බවින් තොර නගර රාශියක් බිහිවීම. ඉන්දියාව් නගර කලාපයන්ට ග්‍රාමීය කලාපයන්ගේ සිට සංක්‍රමණය වන අධික ජනගහනය හේතුවෙන් නගරවල පරිපාලන කටයුතු මෙන්ම අනෙකුත් කටයුතු වලට ද බාධාකාරී තත්ත්වයන් නිර්මාණය වේ. එය හේතු කොටගනිමින් නගරයන් ගුණාත්මක බවින් තොරව වර්ධනය වන ආකාරයක් පැහැදිලිව හඳුනාගත හැකිවේ.
ලෝකයේ අවම නාගරීකරණයක් සහිත රටක් වන ඉන්දියාවෙහි සමස්ථ නාගරීකරණය 2010 වන විට 33%ක් පමණ වේ. එසේ වුවද මෙකී නාගරීකරණය රට තුළ විශාල අර්බුදයන් රාශියක් නිර්මාණය කිරීමට හේතු වී ඇත. ඉන්දීයාවේ නාගරීකරණය තුළ සමාජ-ආර්ථික සහ දේශපාලනික අංශයන් සංවර්ධන මෙවලමක් වශයෙන් යොදාගනු ලබන හෙයින් ඒ තුළින් නිර්මාණය වී ඇති බරපතල සමාජ සංස්ථාමය ගැටලු රාශියක් හඳුනාගත හැකිවේ. එසේම නාගරික ජනගහනයේ දැවැන්ත විශාලත්වය, නාගරික ප්‍රදේශයන්ගේ වේගවත් සහ අවිධිමත් වර්ධනය සහ යටිතල පහසුකම් වර්ධනය නොවීම ආදිය තුළින් මෙකී ගැටලුකාරී තත්ත්වයන් වර්ධනය වී ඇති බවක් පෙනේ. නාගරික කලාපයන් තුළ සිදුවන අධි ජනගහන වර්ධනය හේතු කොටගෙන නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු, ප්‍රවාහන, පානීය ජල පහසුකම්, අධ්‍යාපනය වැනි පොදු උපයෝගීතාවයන් කෙරෙහි එල්ල වී ඇති පීඩනය ද මෙහිලා වැදගත් වී ඇත. එමෙන්ම නගරයන් තුළට සංක්‍රමණය වු ග්‍රාමීය ජනයා තුළ පවත්නා වු දිළිදුභාවය සහ විරැකියාව හේතුවෙන් නගර කලාපයන් තුළින් සමාජ අසම්මත ක්‍රියා වර්ධනය වන ආකාරයක් හඳුනාගත හැකි වේ. එහිදී මංකොල්ලාකෑම්, මත් ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය, වංචා, දූෂණ, තරුණ අසහනය ආදි වු තත්ත්වයන් ජනනය වී ඇත. 2001 වර්ෂය වනවිට ඉන්දියාවේ නාගරික කලාපයන් තුළට ජනයා මිලියන 285ක පමණ ඒකරාශී වී ඇති බව එරට සංගණන තුළින් වාර්තා වු අතර එය 2025 වර්ෂය වනවිට සමස්ථ ජනගහනයෙන් හරි අඩක් නියෝජනය කරනු ඇතැයි ප්‍රක්ෂේපණය කොට ඇත.
ඉන්දියාවේ නාගරීකරණය තුළ සංවිධිතව පවත්නා වු නාගරීකරණ ගැටලුන් එකිනෙක අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනය තුළදී වැදගත් වන අතර එය ප්‍රධාන අංශයන් කිහිපයක් යටතේ බෙදා දැක්විය හැකිවේ. එනම් සමාජ-ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, පාරිසරික ආදියයි. එසේ වුවද මෙම අංශයන් යටතේ නාගරීකරණය සම්බන්ධ වන්නා වු ගැටලු සාකච්ඡා කිරීම එහි සංකීර්ණ ස්වභාවයක් ඇති කිරීමට හේතුවන බැවින් ඒ ඔස්සේ ගමන් නොකොට ගැටලුවල පවතින්නා වු අන්තර් සම්බන්ධතාවය තුළින් එම තත්ත්වය විමර්ශනය කිරීමට කටයුතු කරනු ලබයි.

අවිධිමත් නාගරික වර්ධනය
ග්‍රාමීය ප්‍රදේශයන්ගේ සිට නගර කලාපයන් දක්වා ජනයා විශාල වශයෙන් සංක්‍රමණය වූ පළමු අවධිය වශයෙන් 1930 දශකය හඳුනාගත හැකිය. විරැකියාව පදනම් වෙමින් මානසික අවපීඩනයට ලක්වූ ග්‍රාමීය ජනතාව මෙලෙස නාගරීක කලාපයන් තුළට ඇදී ආහ. ඉන්පසුව 1941-1951 දශකය තුළදී මිලියන ගණන් ජනතාව ඉන්දීය නාගරික කලාපයන් තුළට සංක්‍රමණයවීම සිදුවූ අතර එයට හේතු වුයේ 1947 දී පැවති යුද්ධය පදනම්ව සිදු වූ කාර්මීකරණය සහ රට බෙදීයාමයි. 1991-2001 කාලය තුළදී මිලියන විස්සකට වඩා වැඩි ජන සංඛ්‍යාවක් නගර කරා සංක්‍රමණය වූ අතර පෙර පැමිණි සංක්‍රමණිකයන්ගේ ඥාති සම්බන්ධතාවයන් මත බොහෝ පිරිස් නගර කරා ඇදී එන්නට විය. එහිදී නගරවල මධ්‍යම දිස්ත්‍රික්කවල ජන ඝනත්වය වර්ධනය වන්නට වූ අතර එමගින් නගරාශ්‍රිතව අති විශාල ගැටලු රාශියක් ජනනය විය.
විශාල නගර කලාප මධ්‍යයේ පවතින නාගරික ක්‍රියාකාරිත්වය හේතුවෙන් නගර කලාපයන් වේගයෙන් වර්ධනය වීමක් සිදුවිය. නගරවල උත්පාදනය වන රැකියා අවස්ථා පදනම් කරගනිමින් නගර කලාපයන් චුම්භකයක් ලෙස ක්‍රියාත්මක වී ජනයා විශාල වශයෙන් ඊට ආකර්ෂණය කරගැනීමට පසුබිම නිර්මාණය වීය. ඒ තුළින් ඉන්දියාවේ නගර බහුතරයක් අග්‍ර නාගරීකරණයට බඳුන් වී ඇත. දිල්ලි, බොම්බාය සහ කල්කටා ආදී නගර කලාපයන් අවට සිටින සුවිශාල ජන සංඛ්‍යාව මෙලෙස නාගරික නිදහස් කලාපයන් තුළ වර්ධනය වන ආකාරය උදාහරණ වශයෙන් පෙන්වාදිය හැකිය.
එමෙන්ම ඉන්දියාවේ නගර කලාපයන් තුළ සිටින ධනවත් මානව ප්‍රජාව උප නාගරික කලාපයන් තුළට සංක්‍රමණය වීමත් සමඟ නගර කලාපයන් නිරතුරුවම පුලුල් වනු ඇත. මේ තුළින් ඉන්දියාවේ නගර වර්ධනයේ සීමා මායිම් පවා හඳුනාගැනීමට අපහසු තත්වයක් උදා වී ඇති අතර එයට හේතු වන්නේ උප නාගරික කලාපයන් ප්‍රධාන නාගරික කලාපයන් සමඟ අවිධිමත් ලෙස ඒකාබද්ධ වීමයි.
අතිවාසය
ඉන්දියාවේ බොහෝ නගර කලාපයන් තුළ කුඩා අවකාශයක් මත සුවිශාල වූ ජන සංඛ්‍යාවක් ජීවත් වේ. මෙය ඉන්දීය නාගරික තදබදය නිර්මාණයෙහිලා වැදගත් සාධකයකි. මෙම තත්ත්වය නගරයෙහි ඇති පොදු ප්‍රවාහන පද්ධති, වීථි මෙන්ම නිවාස ආදිය තුළද දැකිය හැකි ලක්‍ෂණයකි. මහා මුම්බායි සැලැස්මට අනුව නගරයක ජීවත් වීමට මිනිසුන් දාහකට අක්කට හතරක පමණ අවකාශයක් අවශ්‍යය වූවද, ඉන්දියාවෙහි නගර තුළින් ලැබෙනුයේ මිනිසුන් දාහකට අක්කරයකින් හයෙන් එකක් පමණ වු භූමි භාගයකි. මෙමඟින් ඉන්දියාවේ මෙට්ට්‍රොපොලිටන් නගරයන්හි පරම සහ සාපේක්‍ෂ තත්වයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය.
එසේම දිල්ලි නගරය තුළ 2001 වර්ෂයෙහි දී ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයින් 9340 ක් පමණ විය. එය ඉන්දියාවේ ඉහළම නාගරික ජන ඝනත්වය වශයෙන් සැළකිය හැකි අතර එකී නගර අභ්‍යන්තරයෙහි අධික ජන ඝනත්වයකින් යුක්ත වන ආකාරයක් පැහැදිලිව හඳුනාගත හැකිය. මෙම තත්වය ඉන්දියාවේ නගරයන් තුළ විරැකියාව, තරුණ අසහනය, විසාදිය, සමාජ අක්‍රමිකතා වර්ධනය කිරීමෙහිලා ද සෘජු හා වක්‍ර දායකත්වයක් සපයන බව එරට සමාජ විද්‍යාඥයින් පෙන්වා දේ.
නිවාස ගැටලුව
ඉන්දියාවේ නාගරික ගැටලු අතර නිදන්ගත ප්‍රශ්නයක් වශයෙන් නිවාස ගැටලුව හඳුනාගත හැකිය. රැකියා රහිත අවම වැටුපක් හිමි ජන සංඛ්‍යවක් මෙම උග්‍ර ගැටලුව සඳහා පසුබිම් නිර්මාණය කොට ඇති අතර ඔවුන් බොහෝමයක් දෙනා නගර මධ්‍යයෙහි පවතින්නා වූ රාජ්‍ය සහ පුද්ගලික ඉඩම් තුළ අනවසරයෙන් පදිංචිව සිටීමත් දැකගත හැකිය. බොහෝවිට මෙම ප්‍රදේශයන් වීදී දරුවන්, යාචකයන්, ඇහිදගෙන කන්නන් වැනි පුද්ගලයන්ගෙන් සමන්විත වේ. 1959 දී ඉන්දියාවේ නගර තුළ කරනු ලැබූ නියදි සමීක්‍ෂණයකට අනුව රෝයි ටයිනර් (1962) දී පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 44 ක පමණ ප්‍රමාණයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් එක් කාමරයක් තුළ ජීවත් වන බවයි. එසේම ඇතැම් ඉන්දීය නගරයන්හි එක් කාමරයක් තුළ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යා අනුපාතයක් වශයෙන් ගත්කළ 67% ක් පමණ බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත. වත්මන් ඉන්දියාවේ නාගරික ජන සංඛ්‍යාව සහ නිවාස ඉදිකිරීම් අතර අනුපාතය ඉහළ මට්ටමක පවතින අතර එය ද නාගරික ගැටලුකාරී තත්ත්වය තිව්‍ර කිරීමට හේතු සාධකයක් වේ. ඉන්දියානු නගරවලට වාර්ෂිකව නව නිවාස මිලියන 2.5ක පමණ අවශ්‍යතාවයක් පැවතුණ ද, ඉන් 15%ක පමණ ප්‍රමාණයක්වත් සැපයීමට එරට රජයට නොහැකිවීම තුළින් ද මෙකී ගැටලුවේ සංකීර්ණත්වය පැහැදිලි වේ. පහත දක්වා ඇති වගු සටහන තුළින් ඉන්දියාවේ නාගරික නිවාස අවශ්‍යතාවය කොතෙක් ද යන්න සංඛ්‍යාත්මක වශයෙන් දක්වා ඇති අතර එය අධ්‍යයනය කිරීමෙන් මේ පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවේ.
නිවාස ප්‍රශ්නය හේතු කොටගෙන බොහෝ නාගරික පවුල් එක් කාමරයක් තුළ ජීවත් වීමෙන් සමාජීය ප්‍රශ්න රැසක් ඇතිවී ඇත. උදාහරණයක් වශයෙන් විවාහක පවුල් 86%කටම ස්වාධීන කාමරයක් නොපැවතීම පෙන්වාදිය හැකිය. එසේම මෙම නගරයන් තුළ පවත්නා අඩු ආදායම් ලාභී නිවාසයන් තුළ ස්වාධීන කුස්සියක්, නානකාමරයක්, වැසිකිළියක් පවා නොමැති අතර එම අවශ්‍යතාවයන් සඳහා බොහෝවිට භාවිත කරනුයේ පොදු පදනමක් සහිත ස්ථානයන්ය. ඇතැම් නිවෙස් වල විදුලිය හෝ පානීය ජල පහසුකම් පවා නොපවතින අතර එම අවශ්‍යතාවයන් ද පොදු ස්ථානයන්ගෙන් සපයා ගැනීමට බොහෝ නාගරික පිරිස් කටයුතු කරන ආකාරයක් හඳුනාගත හැකිවේ.


විරැකියාව
ඉන්දීය නාගරික විරැකියා ප්‍රතිශතය ශ්‍රම බලකායෙන් 15-25% අතර ප්‍රමාණයක් වන බවක් තක්සේරු කොට ඇත. උගත් ජනතාව අතර මෙම ප්‍රතිශතය සාපේක්‍ෂව ඉහළ මට්ටමක පැවතීමද මෙහිලා සුවිශේෂිත වු කරුණකි. නාගරික ප්‍රදේශවල ග්‍රාමීය ප්‍රදේශ සාපේක්ෂව වඩා වැඩි දෛනික ඒක පුද්ගල ආදායමක් පැවතුණ ද එම ප්‍රදේශවල ඉහළ ජීවන වියදමක් පැවතීම නිසා විවිධ වු ගැටලුකාරී තත්ත්යන් නිර්මාණය කොට ඇති බැව් පෙනේ. උදාහරණ වශයෙන් නාගරික විරැකියා උපරිම මට්ටමක පවතින දිල්ලි, කල්කටා, චෙන්නායි වැනි නාගරික සංකේන්ද්‍රණ තුළ නිර්මාණයව ඇති අනේකවිධ ගැටලුකාරී තත්ත්වයන් පෙන්වාදිය හැකිය. ඉහත දක්වා ඇති ප්‍රස්තාර සටහන තුළින් ඉන්දියාවේ නාගරික කලාපයන් තුළ පැවැති විරැකියා අනුපාතිකය 2004 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා පෙන්වා දී ඇති අතර ඒ තුළින් ඉන්දියාවේ නගර කලාපයන්ගේ කාලීනව සිදුවී ඇති විරැකියා වර්ධනය පිළිබඳව දළ අවබෝධයක් ලබාගත හැකි වේ. කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් ගත් කල්හි එය කාලීනව උච්චාවචනය වෙමින් වෙනස් වී ඇති ආකාරයක් හඳුනාගත හැකිවේ.


ග්‍රාමීය ප්‍රදේශ වලින් විශාල වශයෙන් ජනතාව නගර කලාප වලට සංක්‍රමණය වීම මත රැකියා සඳහා ඇතිවන තරඟකාරීත්වය මත ද විරැකියාව වර්ධනය වීමක් සිදුවේ. එහිදී එයට සාපේක්‍ෂව නගරවල ආර්ථිකය වර්ධනය නොවීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් ගොඩ නැගෙන අතර එමගින් ශ්‍රම බලකාය අතර ගැටීමක් නිර්මාණය වී විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ගැටලු ඉස්මතු වීමක් ඉන්දියානු නගර තුළ සිදු වේ.
මුඩුක්කු ජනාවාස ඇතිවීම
නාගරික ප්‍රදේශවල අවිධිමත් ලෙස මෙන්ම අපරික්‍ෂාකාරී ලෙස වර්ධනය වන මුඩුක්කු හා පැල්පත් කලාපයන් ඉන්දීය නාගරීකරණය තුළ කැපී පෙනෙන ලක්‍ෂණයන් ඉස්මතු කිරීමට හේතු සාධක වී ඇත. කාර්මීකරණය සමඟ සීඝ්‍රව වර්ධනය වූ නාගරීකරණය මුඩුක්කු හා පැල්පත් වර්ධනයට හේතු වූ අතර රැකියා සොයා සංක්‍රමණය වූ පිරිස් වර්ධනය වීම, ඉඩම් මිල ඉහළ යෑම, දුප්පතුන් වර්ධනය වීම, නිවාස සඳහා සුදුසු ඉඩම් හිඟවීම ආදී කරුණු මත නගර කලාපයන් තුළ පැල්පත් සහ මුඩුක්කු කලාපයන් නිර්මාණය වීමට අවශ්‍ය මූලික පසුබිම සැකසීය.
1965 දී සම්මත කරගත් ඉන්දීය පැල්පත් පනත අනුව පැල්පත් කලාප හඳුනාගෙන ඇත්තේ මනුෂ්‍ය වාසයට නුසුදුසු නිවාස හා වාසස්ථාන සියල්ල මුඩුක්කු කලාපයන් වශයෙනි. එමෙන්ම නියමිත සැලැස්මකට ඉදිකොට නොමැති, දෝෂ සහිත, සනීපාරක්‍ෂක ක්‍රම නොමැති, ආරක්‍ෂණ ක්‍රම නොමැති ඕනෑම සංකලනයක් සහිත නිවාස ද පැල්පත් හෝ මුඩුක්කු වශයෙන් හඳුනාගෙන ඇත. ඒ අනුව පැල්පත් ප්‍රදේශයක දැකිය හැකි ප්‍රධාන ගති ලක්‍ෂණ කිහිපයකි. එනම්,
  • පනතකට අනුව පැල්පත් කලාප ලෙස නම් කොට තිබීම
  • ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම, ජනගහනය අවම වශයෙන් 300ක ප්‍රමාණයක් නිවාස 60-70 තුළ අවම සනීපාරක්‍ෂක සහ සෞඛ්‍ය තත්ත්ව යටතේ ජීවත් වීම
  • ඕනෑම රාජ්‍ය පනතකින් යම් කලාපයක් පැල්පතක් ලෙස හඳුන්වාදීම සහ දැනුම් දීම

යනුවෙනි.
මෙම පැල්පත් කලාපයන් තුළ වෙසෙන ජනයා සතුව අවර ගණයේ හැසිරීම් තත්වයන් පවතින අතර එහිදි සමාජ විරෝධී ක්‍රියා බහුලව සිදුවේ. ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරම, මංකොල්ලා කෑම, අපරාධ, ගණිකා වෘත්තිය සහ විනාශකාරී හැසිරීම් රටාවන් ආදිය මෙහිදී ප්‍රමුඛ වේ. බොහෝවිට මෙම මුඩුක්කු කලාපයන් තුළ ජනයා එකිනෙකට ඒකාබද්ධ වීමක් නොමැති සංස්කෘතිමය වශයෙන් බිඳවැටී පවතින තත්ත්වයන් පිළිබිඹු කරයි. එම නිසා මෙම සමාජ ජාලයන් දියුණු සමාජ-ආර්ථික තත්වයන් තුළින් ලඝු වූ අවකාශීය ව්‍යූහයක් තුළ ස්ථානගත වී ඇති ආකාරයක් පැහැදිලිය හඳුනාගත හැකිය.
ඉන්දියාවේ බොහෝ මුඩුක්කු කලාප රජයේ ඉඩම් තුළ බලහත්කාරයෙන් තනන ඒවා වන අතර ඒවායේ ස්වභාවය, මානව උපයෝගීතාවයට එතරම් සුදුසු නොවේ. කල්කටාවේ බස්ටීස් කලාපයන් මෙයට කදිම නිදර්ශනයක් වන අතර මෙහි පවත්නා වු අවම සනීපාරක්ෂක ක්‍රමයන් හේතුවෙන් සෞඛ්‍ය මට්ටම ද සැළකිය යුතු මට්ටමකින් පහත බැස ඇති ආකාරයක් දක්නට ලැබේ. රෝග, වසංගත ආදිය වේගවත්ව පැතිර යන මෙම පැල්පත් කලාපයන්ගේ භෞතික පිහිටීම ද, එම තත්ත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. මෙවැනි තත්ත්වය යටතේ නගර පාලකයන්ට නගරයන් පාලනය කිරීමට නොහැකි තත්ත්වයන් උද්ගත වී ඇති අතර එය නගරයන්හි විධිමත් වර්ධනයට ද බාධාකාරී වී ඇති බවක් දිල්ලි නගරය අවට පිහිටා ඇති “ජියුග්ගි සහ පොපාරීස්” මුම්බායි අවට පිහිටා ඇති “චාබල් සහ චෙන්නායි” වල පිහිටා ඇති චෙරි ආදි වු පැල්පත් කලාපයන් තුළින් පෙනීයයි.
 
ඉන්දියාවේ නාගරික ජනගහනය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී 2001 වර්ෂයේදී එරට පවත්වන ලද සංගණන වාර්තාවන් වැදගත් වේ. ඉහත දක්වා ඇති සිතියම තුළින් ප්‍රාන්ත 26 හි නාගරික පැල්පත් ජනගහනය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිවේ. සිතියම අනුව ඉන්දීය ප්‍රාන්තයන්හි පවත්නා වු නගර සංඛ්‍යාව සහ එහි ජීවත් වන්නා වු පැල්පත්වාසී ජන සංඛ්‍යාව පිළිබඳව වෙන් වෙන් වශයෙන් පෙන්වා දී ඇත. ඒ අනුව ආන්ද්‍ර ප්‍රාන්තයෙහි ස්ථානගතව ඇති නගර 76 ක පැල්පත්වාසී ජන සංඛ්‍යාව විශාල වශයෙන් ස්ථානගත වී ඇති අතර එය පැල්පත්වාසී අධි ජනසංඛ්‍යාවක් සහිත නගරවලින් සමන්විත වන්නා වු විශාලතම ප්‍රාන්තය වශයෙන් ද වැදගත් වනු ඇත. එමෙන්ම පැල්පත්වාසී අධි ජන සංඛ්‍යාවක් සහිත ප්‍රාන්තය වශයෙන් මහා රාෂ්ට්‍ර ප්‍රාන්තය හඳුනාගත හැකි අතර එහි පැල්පත්වාසී ජනයා මිලියන 10.6ක් පමණ වේ. නගරයක සමස්ත ජනගනයෙන් වැඩිම පැලපත්වාසී ජන සංඛ්‍යාවක් ජීවත් වන නගරයය වශයෙන් මෙග්න්හලයා නගරය වැදගත් වන අතර එහි පැල්පත්වාසී ජනගහනය 41.33% පමණ වන බව 2001 සංගණන වාර්තාවන් අනුව පෙනීයයි. එමෙන්ම ආසියාවේ විශාලතම පැල්පත් යාය වශයෙන් මුම්බායිහි පවතින ධරාව් පැල්පත් යාය පෙන්වාදිය හැකි අතර එහි අභ්‍යන්තර කලාපයන් තුළ අධි ජන ඝනත්වය හේතුවෙන් බයිසිකලයක්වත් පදවාගෙන යානොහැකි මට්ටමක් නිර්මාණයව පවතී. එහි නිවාසයන්හි එක් කාමරයක් තුළ පුද්ගලයින් 12 දෙනෙකුට වඩා ජීවත් වන බව 2001 ජන සංගණන වාර්තා අනුව පෙනීයයි. එමෙන්ම මෙම කලාපයන් තුළ සිරස් සහ තිරස් අතට වර්ධනය වන්නා වු අධි ජන සංඛ්‍යාවක් පවතින බවද එම වාර්තා තුළින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. සමස්ථයක් වශයෙන් ඉන්දියාවේ නගරයන් තුළ වාසය කරනු ලබන ජන සංඛ්‍යාවෙන් 2/3ක් පමණ නගර කලාපීය පැල්පත්වල ජීවත් වන අතර කල්කටා, දිල්ලි, මුම්බායි, කාන්පූර් ආදි වු නගරයන් තුළින් මෙය මනාව පැහැදිලි වේ.

ප්‍රවාහන ගැටලු 


නගර කලාපීය තදබදය සමඟ නිර්මාණය වන්නා වු රථවාහන තදබදය තූළින් ඉන්දීය ගමනාගමනයට විශාල බාධාවක් නිර්මාණයව පවතී. නගරයන්ගේ සීඝ්‍ර වර්ධනට සාපේක්ෂව ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ද විශාල වශයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වන අතර ඒවා කාලීනව සංකීර්ණත්වයකට පත්වී ඇත. විවිධ අවශ්‍යතාවයන් සඳහා දෛනිකව නගර කලාපයන්ට සංකේන්ද්‍රණය වන්නා වු ජන සංඛ්‍යාවේ වේගවත් වර්ධනය මෙකී නාගරික ගැටලුකාරී තත්ත්වයන් උග්‍ර කිරීමට හේතු වී ඇත. එමෙන්ම මෙම නගර කලාපයන්ගේ අභ්‍යන්තර වාණිජ කලාපය හෙවත් ක්‍ඊෘ කලාපය තුළ පවත්නා වු අධික තදබදය හේතුවෙන් එම කලාපයෙහි ප්‍රවාහන කටයුතු වලට ද බාධාවක් එල්ල වී ඇති බව බැව් පෙනේ. නාගරික ප්‍රදේශයන් තුළ ඒක පුද්ගලික වාහන භාවිතයේ වර්ධනය ද මෙයට එක්  හේතුවකි. එසේම නගරයන් තුළ නිර්මාණය වන වාහන තදබදය තුළින් විශාල වශයෙන් ඉන්ධන දහනය වීම, ශබ්ද දූෂණය, වායු දූෂණය සහ නොයෙක් පාරිසරික සංකූලතා නිර්මාණයවීම ආදිය පමණක් නොව වටිනා කාලය ද අපතේ යාමක් සිදුවේ. චෙන්නායි, අහමදාබාද් සහ පුනේ වැනි නගරයන් තුළ මෙම ගැටලුව ප්‍රධාන නාගරික ගැටලුවක් වශයෙන් වර්ධනය වී ඇති බවක් පෙනේ.

2004 වර්ෂයේ දී දිල්ලි නගරයේ වාහන තදබදය කේන්ද්‍ර කරගනිමින් “ගමනාගමන දශකය ලෙස 2004-2014” වර්ෂයන් නම් කරමින් ඒ පිළිබඳව අධ්‍යයනය කරනු ලැබීය. ඒ අනුව දිල්ලි නගරය තුළට දිනකට වාහන ලක්ෂ 44ක් පමණ ඇතුලත් වන බව හඳුනාගනු ලැබිණි. එය 2025 වර්ෂය වනවිට මෙම තත්ත්වය දෙගුණයක් පමණ වනු ඇතැයි දිල්ලි මහා සැලැස්ම තුළින් පෙන්වා දුන්න ද, එය විසඳීමට ගතයුතු ක්‍රියාමාර්ගයන් සක්‍රීය මට්ටමකට ගෙන ඒමට රජය කටයුතු නොකිරීම නිසාවෙන් මෙම ගැටලු සහගත තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බැව් පෙනේ. පහත දක්වා ඇති අංක 07 ප්‍රස්තාර සටහන තුළින් දිල්ලි නගරයෙහි ප්‍රවාහන යටිතල පහසුකම් වර්ධනය පිළිබඳව විවිධ අංශයන් 1971-2021 දක්වා ඇත. එම ප්‍රස්තාර සටහනට අනුව දිල්ලි නගරය තුළ පවත්නා වාහන ඝනත්වය, මාර්ග ජාලය හා වාහනයකට පවතින මාර්ග ඝනත්වය ආදිය පෙන්වා ඇති අතර එම ලක්ෂණයන් ක්‍රමිකව වර්ධනය වන ආකාරයක් වාර්ෂිකව සිදුවන බව ප්‍රස්තාරයන් අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වේ. කෙසේ වෙතත් මෙම තත්ත්වයට සමාන තත්ත්වයක් ඉන්දීය අනෙකුත් නගර කලාපයන් තුළින් ද හඳුනාගැනීමට හැකිවන බව ඉන්දීය නාගරික සංවර්ධන පිළිබඳ අධිකාරිය පෙන්වාදීම මෙහිලා කැපී පෙනෙන සංසිද්ධියකි.



ජල ගැටලුව

ඉන්දීය නගරයන් තුළ දැවෙන ප්‍රශ්නයක් වන ඉල්ලුමට සරිලන ආකාරයේ සැපයුමක් නොමැති ජල අර්බුදය පෙන්වා දියහැකිය. මෙයට විකල්පයක් වශයෙන් ඉන්දීය ප්‍රාන්ත රජයන් විසින් සීමා සහිතව ජල සැපයුමක් ලබාදීමක් සිදු කළද එය වියළි කාලසීමාවන් තුළ දී අත්හිටුවීමට කටයුතු කිරීම තුළින් දෛනික ජල අවශ්‍යතාවය පවා ලබාගැනීමට නාගරික ජල පරිභෝජකයින්ට නොහැකිවී ඇත. එය හේතු කොටගෙන මෙකී අර්බුදකාරී තත්ත්වය වර්ධනය වී ඇති අතර අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ශක්‍යතාවයක් නොපැවැතීම මත පොදු ජල මූලාශ්‍රයන් භාවිතා කිරීමට නාගරික ජනයා පෙළඹී ඇත. මෙවැනි පොදු ජල මූලාශ්‍රයන් තුළින් යැපෙන නාගරික  ජන සංඛ්‍යාව ක්‍රමිකව වර්ධනය වීම හේතුවෙන් ඒ ආශ්‍රිතව සමාජ ගැටලූන් ද රාශියක් නිර්මාණය වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. ඒ අතර පොදු ජල මුලාශයක් තුළින් යැපෙන්නා වු පුද්ගලයින් ප්‍රමාණය සංඛ්‍යාව ඉහළ යෑම මත මෙම ගැටලුකාරී තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වී ඇති ආකාරයක් හඳුනාගත හැකිවේ. එකී ගැටලුකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ජනගහනය 20000කට අඩු නගරයන්හි ජල කටයුතු සැපයුම් වැඩසටහනක් ඇති කිරීමට ්ඹඋීඡ මඟින් කටයුතු කළ ද ඉන් ලද  ප්‍රතිපල අසාර්ථක වු බව එම ආයතනය පෙන්වා දී ඇත.

ඉන්දීය මධ්‍යම මහජන සෞඛ්‍ය හා පාරිසරික ඉංජිනේරු සංවිධානය (CPHEEO) මඟින් මෙම ගැටලුව විසඳීම සඳහා නිවාස මට්ටමින් ජලය ලබාදීමට ජල සැපයුම් වැඩසටහනක් සිදුකළ ද එයින් කිසිසේත් ඉල්ලුමට සරිලන නිසි ජල සැපයුමක් ලබාදීමට හැකියාවක් නොලැබිණි. නගරයක් තුළ ජන සංඛ්‍යාව 5000ට අධික නම් දිනකට පුද්ගලයකුට සාමාන්‍යයෙන් ජලය ලීටර් 100-125ත් පමණ ප්‍රමාණයක් ද, ජන සංඛ්‍යාව 10000ට වඩා අධික නම් දිනකට ජල ලීටර් 125-200ක් පමණ ප්‍රමාණයක් ද අවශ්‍ය වන අතර එය සැපයීමට නොහැකිවීම උදාහරණයක් වශයෙන් පෙන්වාදිය හැකිවේ. මෙකී ජල ලීටර් ප්‍රමාණය තුළින් දෛනික ඒක පුද්ගල සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුවීම ද මෙහි ප්‍රධාන ගැටලුවකි. කෙසේ වෙතත් ඉන්දීය රජය මඟින් මෙම ගැටලුව විසඳමින් නාගරික ජල අවශ්‍යතාවයන් ලබාදීමට කටයුතු කර ඇති බව හයිද්‍රාබාද් ප්‍රදේශයට අවශ්‍ය ජල සැපයුම ලබාදීමට 187Km දුරින් පිහිටි නාගර්ජුන ජලාශයේ සිට ජලය ප්‍රවාහනය කිරීම තුළින් හඳුනාගත හැකිය.

කැළි කසළ සහ පල්දෝරු ගැටලුව/ඝන අපද්‍රව්‍ය ගැටලුව

ඉන්දීය නගරයන් තුළින් හඳුනාගත හැකි ප්‍රමුඛ පෙළේ ගැටලුවක් වශයෙන් කැළි කසල සහ පල්දෝරු ප්‍රශ්නය පෙන්වාදිය හැකිය. අධික ජන ඝනත්වය සමඟ භාවිතා වන අධි සම්පත් ප්‍රමාණය හේතුවෙන් නාගරික අප ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නගරයන් තුළ එකතු වී ඇත. මෙලෙස ඒකරාශි වන්නා වු අප ද්‍රව්‍ය නිසිලෙස බැහැර කිරීම හෝ කළමනාකරණය නොකිරීම හේතුවෙන් සහ බැහැර කිරීමට අවකාශයක් නොවීම හේතුවෙන් නාගරික අලංකාරයණයට බාධා වන ආකාරයෙන් නොයෙක් ස්ථානයන්හි ඒකරාශීව ඇත. කැළි කසල මෙලෙස නගරයන් තුළ ඒකරාශී වීම තුළින් දුර්ගන්ධය සහ විවිධ ලෙඩ රෝග පැතිරවීමට අවශ්‍ය වන්නා වු වටපිටාව නිර්මාණය කොට ඇත. උදාහරණයක් ලෙස මුම්බායි නගරයේ මල පවහන පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම මත නිර්මානය වී ඇති සෞඛ්‍ය සහ සමාජීය ගැටලු සහගත තත්ත්වයන් පෙන්වාදිය හැකිය.

නාගරික ජනයා විසින් නිසි ලෙස බැහැර නොකරන කැළි කසළ මඟින් නාගරික කාණු පද්ධතිය තුළ අප ද්‍රව්‍ය හිරවීම තුළින් අප ජලය නිසි ලෙස බැහැර වීමට බාධාකාරී තත්ත්වයන් නිර්මාණයව පවතී. එමෙන්ම නගරයන් තුළ භූගත සහ භූ තල ජලය ද මෙහි බලපෑම මඟින් දූෂණයට ලක්වනු ඇත. මෙම අප ද්‍රව්‍ය බැහැර කරනු ලබන නගර සීමාවන් හෝ නගර ප්‍රදේශයන් තුළ විශාල වශයෙන් ඇහිදගන කන්නන්, යාචකයින්, වීථි දරුවන් ව්‍යාප්ත  ඇති අතර ඔවුන් තුළින් විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් මෙම ප්‍රදේශයන් තුළ වර්ධනය වී ඇති බවක් ද පෙනේ. එමෙන්ම වසංගත ආකාරයෙන් පැතිර යන්නා වු ලෙඩ රෝගයන් තුළන් බහුල මෙම ප්‍රදේශයන් තුළ නිරන්තරයෙන් ඩෙංගු, මැලේරියා, බරවා, පාචනය සහ කොළරාව වැනි රෝගයන් තුළින් මිය යන ජනගහනය ඉතා විශාලය.
නාගරික අපරාධ වර්ධනය වීම

නගරයන් තුළ පවත්නා වු ආකර්ෂණීය සාධකයන් පදනම් කරගනිමින් නගර තුළට චුම්භනය වන්නා වු ජන සංඛ්‍යාව සහ මුල් පදිංචිකරුවන් සමඟ නිරන්තරයෙන් සමාජ ස්ථාරායනයන් පදනම් කොටගෙන ගැටීම් ඇතිවීම හේතුවෙන් නාගරික සාමය මූලිකවම කඩවන බව ඉන්දීය සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙහි බලපෑම නිශේධනාත්මකව කාන්තා පාර්ශවයන්ට ලැබීම එහි පවත්නා සුවිශේෂිත්වයකි. නාගරික දිළිදුභාවය සමඟ මෙම පිරිස් තුළ නිර්මාණය වන්නා වු ආත්මාර්ථකාමීත්වය, ආවේගසහගතබව, ආර්ථික විෂමතාවය, විරැකියාව ආදි සාධකයන් හේතු කොටගෙන නගරයන් තුළ විවිධ මට්ටමේ අපරාධ වර්ධනය වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කොට ඇත.  

එසේම ඉන්දියාවේ නගරයන් තුළ වාසය කරන්නා වු ජනතාවට තම මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට තරම් හෝ ආර්ථික ම්ටටමක් නොවීම හේතුකොටගෙන අපරාධ සහ සමාජ විරෝධී රැල්ලක් නගර කලාපයන් තුළ වර්ධනය වන බව “දත් සහ ගේබැල්” 1983 දී කරන ලද සිද්ධි අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. ඔවුන්ට අනුව ස්ත්‍රී දූෂණ, මිනීමැරීම්, මංකෝලාකෑම් සහ ප්‍රචණ්ඩ නාගරික අපරාධ ඉන්දියාවේ උතුරු මැද ප්‍රදේශයන්හි අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව වැඩි වී ඇති බවයි. එහි උච්චතම අවස්ථාවන්හි දී ආර්ථිකමය වශයෙන් සිදුවන අපරාධයන් ද සිදුවන බව ඔවුන් දෙදෙනා වැඩිදුරටත් පෙන්වා දී ඇත. දරිද්‍රතාවය පදනම් වෙමින් මෙම අපරාධයන් වර්ධනය වී ඇති නගරයන් වශයෙන් බුද්ධගයාව, මුන්ගර් සහ යෙදුන් ආදිය හඳුනාගත හැකිවේ. එමෙන්ම මෑතකදී ඉන්දියාවේ නගරයන් තුළ සිදුකරනු ලැබු සමීක්ෂණයකට අනුව මුම්බායි, චෙන්නායි, දිල්ලි ඇතුලු නගර 35ක අපරාධ වර්ධන අනුපාතය වර්ධනය වී ඇති බැව් හඳුනාගෙන ඇත.

පාරිසරික දූෂණය
දිනෙන් දින වර්ධනය වන නාගරික ජනගහනය සතු තාක්ෂණය සහ අවශ්‍යතා හමුවේ මානව සමූහයා ජීවත්වන ස්වභාවික පරිසරයේ සමතුලිතතාව බිඳ වැටී ඇති අතර ඒ තුළින් විවිධ පාරිසරික ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. මෙම පාරිසරික ගැටලුකාරී තත්ත්වයන් විශේෂයෙන් මානව සෞඛ්‍යයට සහ හැසිරීමට බලපෑම් සහගත වන බව ද නිදසුන් ඇසුරින් පැහැදිලි කළ හැකිය. ඉන්දියාවේ  ද මෑත කාලීන ව නාගරික ප්‍රදේශ ආශ්‍රිත ව පාරිසරික ගැටලු රැසක් වර්ධනය වී ඇත. මෙම පාරිසරික ගැටලු නාගරික ජන ජීවිතයේ තවත් අතුරු ගැටලු නිර්මාණය කරමින් සමාජය වෙනස් කිරීමට මූලික වන බව ද පැවසිය හැකිය.  

නාගරික පරිසරය යනුවෙන් හඳුනාගනු ලබන්නේ මානවයා විසින් නිර්මාණය කරන ලද කෘතිම පරිසරයක් වන අතර එහි භෞතික පාරිසරික ලක්ෂණ යම්තාක් දුරකට ස්වභාවික තත්ත්වයන්ගෙන් වෙනස් වූ පද්ධතියක් ලෙස සැළකිය යුතු වෙයි. නාගරික ක්‍රියාවලිය වර්තමානය වන විට ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙන මෙම කළාප තුළ විවිධ පාරිසරික ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වීමක් දක්නට ලැබෙන අතර නාගරික භූමි දර්ශනය මානව හැසිරීම් රටාව තීරණයෙහි ලා බලපෑම් සහගත වෙයි. ඉන්දියාාවේ නාගරික පරිසරය තුළ මානවයාගේ අසීමිත අවශ්‍යතා ඉටු කර ගැනීමට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් භෞතික සම්පත් විවිධාකාරයෙන් පරිහරණය කිරීමක් සිදු කරයි. ඒ අනුව පාරිසරික ඉසුලුම් ධාරිතාවය අභිබවා පරිසරයට ද්‍රව්‍ය එක් කිරීමක් හා ඉවත් කිරීමක් සිදුවන අතර ඒ මඟින් සමතුලිත ව ක්‍රියාත්මක වන්නා වූ පරිසරය තුළ ගතික ලක්ෂණ ඉස්මතු කර ඇත. ඉන්දියාවේ දෛනික ව වර්ධනය වන නාගරීකරණයට සාපේක්ෂ ව පාරිසරික ගැටලු වර්ධනයට බලපා ඇති ප්‍රධාන ම හේතු සාධකය වන්නේ නාගරික ජන සංඛ්‍යා වර්ධනය යි. මේ ආකාරයට නිර්මාණය වන පාරිසරික ගැටලු සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ඉන්දියාවට සමාජ, ආර්ථික මෙන් ම දේශපාලනික අභියෝගයක් බව එය විමර්ශනාත්මක ව අධ්‍යයනය කිරීමේ දී පැහැදිලි වෙයි.

ඉන්දියාවේ නාගරීකරණ ක්‍රියාවලිය තුළ නිර්මාණය වන ප්‍රධානත ම ගැටලු විශේෂයක් වශයෙන් පාරිසරික ගැටලු හඳුනාගත හැකිය. ඉන්දියාව ද ගෝලීය වශයෙන් වැදගත් හරිත නාගරීකරණය, තිරසාර නාගරීකරණය යන සංකල්පයන්ට ජාතික වශයෙන් විවිධ මට්ටම්වලින් සම්බන්ධ වෙයි. නමුත් දැනට පවතින පාරිසරික ගැටලු පහත ආකාරයට ප්‍රධාන අංශ කීපයක් යටතේ අධ්‍යයනය කළ හැකිය.
  ජල දූෂණය
  වායු දූෂණය
  ජෛව දූෂණය
  ශබ්ද දූෂණය
  භූමි දූෂණය

මේ ආකාරයට නාගරික පාරිසරික ගැටලු සාරාංශ කළ ද, පාරිසරික අන්තර් සබඳතාවය හේතුවෙන් පාරිසරික සමතුලිතතාවය නාගරික පරිසර පද්ධතිය දක්වා ම ගමන් කරන බැවින් එය ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනියි. ඉහතින් සඳහන් කරනු ලැබු සියලු ගැටලුකාරී තත්ත්වයන් තුළින් නාගරික පරිසරය තුළ අසංතුලිත පාරිසරික තත්ත්වයන් නිර්මාණය කරනු ලබන අතර මේවා එකිනෙකට අන්තර් ක්‍රියාකරමින් පාරිසරික ගැටලුකාරී තත්ත්වයන් ජනනය කරනු ඇත.

ඉන්දියාවේ නාගරික ගැටලු විසඳීමට ගෙන ඇති පියවර

ඉන්දියාවේ නාගරීකරණය ඉහළයාම ඉන්දියානු රජයට දැඩි පීඩාකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර ඒ සඳහා විසඳුම් සෙවීමට රාජ්‍ය හා රජ්‍ය නොවන සංවිධානයන්ගේ මැදිහත්වීම මේ වන විට ක්‍රියාකාරීව පවතී. එහිදී නාගරික ප්‍රදේශවල ජනයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා ව්‍යාපෘති සැකසීම ප්‍රධානතම අරමුණ වශයෙන් හඳුනාගෙන ඇත.

ඉන්දීය රාජ්‍ය මැදිහත්වීම මත නාගරීකරණය පාලනය කිරීමට සහ නගරයන් ධරණීය සංවර්ධනය සඳහා යොදාගැනීමේ දී විවිධ වු ව්‍යාපෘති සම්පාදනය හා ක්‍රියාත්මක කරනු ලබයි. එහිදී මධ්‍යම රජයේ ප්‍රධාන කාර්ය භාර්ය වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ බලගැන්වීම, නිවැරැදි ක්‍රියාමාර්ග පෙන්වාදීම, අරමුදල් බෙදා හැරීම, නිවාස සංකීර්ණ සඳහා අනුග්‍රහ දැක්වීම, ජාත්‍යන්තර සහ දේශීය ආයතනයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම, තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම සහ වැඩිවන නාගරීකරණ සීමා කිරීමට අඳහස් ක්‍රියාත්මක කිරීම ආදිය ප්‍රමුඛ වේ. රාජ්‍ය අංශයේ මැදිහත්වීමට සාපෙක්ෂව රාජ්‍ය නොවන අංශයේ මැදිහත්වීම අවම වුවද එම සංවිධානයන් තුළින් ජනතාව දැනුවත් කිරීම, පාරිසරික සංරක්ෂණ වැඩසටහන්, ප්‍රජා සත්කාරක වැඩසටහන්, සහනාධාර සහ ආධාර ලබාදීම ආදී විවිධාංගීකරණයකින් යුක්ත වන්නා වු වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

වර්තමානයේදී ඉන්දීය මධ්‍යම රාජය නාගරීකරණය විධිමත් ලෙස පවත්වා ගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කරනු ලබයි. එහදී,

    කුඩා සහ මධ්‍යම පරිමාණයේ නගර සංවර්ධනය
    අධි නගරවල අන්‍යොන්‍ය සම්බන්ධතාවය වර්ධනය කිරීම
    නාගරික සැලසුම් හා නිර්මාණ සඳහා දිරිගැන්වීම සඳහා සම්මාන, ත්‍යාග ආදිය ලබාදීමෙන්
සේවාවන් සහ කාර්ය අගය කිරීම
    සෞඛ්‍ය සම්බන්ධ නාගරික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම
    නාගරික පාරිසරික කළමනාකරණය
    නාගරික සංවර්ධනය සඳහා ණය සහ ආධාර සැපයීම
         ආදිය මෙහිදී ප්‍රධාන කොට සැළකිය හැකිය.
මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියාවේ සිදුවන අක්‍රමවත් නාගරීකරණ වර්ධනය පාලනය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර වර්තමානයේ ක්‍රියාත්මක වන එවැනි වැඩසටහන් කිහිපයක් පහත ආකාරයෙන් හඳුනාගත හැකිය. එනම්,

    තමිල්නාඩු ප්‍රාන්ත නාගරික සංවර්ධන වැඩසටහන
    බටහිර බෙංගාලයේ නාගරික සංවර්ධන වැඩසටහන
    කර්ණාටක ප්‍රාන්ත නාගරික සංවර්ධන වැඩසටහන සහ යටිතල පහසුකම් වර්ධනය කිරීමේ
ව්‍යාපෘතිය
    රාජස්ථාන් ප්‍රාන්ත නාගරික යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය
        මෙයට කදිම නිදර්ශනයන් වේ.

ඉහතින් සඳහන් කරන ලද වැඩසටහන් වලට අමතරව ඉන්දීය නාගරීකරණය තුළින් ජනනය වී ඇති අර්බුදය තුළ පවතින විවිධ වු අභියෝගයන්ට සාර්ථකව මුහුණදීම සඳහා මධ්‍යම රජය විසින් නොයෙක් කටයුතු සම්පාදනය කර ඇත.ඒවා පහත ආකාරයෙන් දැක්විය හැකිය. එනම්,

නාගරීකරණයපිළිබඳජාතිකකොමිෂන්සභාව(NCU)1988 සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හඳුන්වාදෙනු ලැබීය. ඒ අනුව,
  • ආර්ථික සංවර්ධනය හා මානව ජනාවාස ධූරාවලියක අවකාශීය රටාවන් සහ පරිමාණනීය අවශ්යතාවය
  •  ග්‍රාමීය නාගරික ජනාවාස අතර සම්පත් සමාන ආකාරයකින් බෙදා හැරීමට අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කිරීම
  • නාගරික කලාපයන් තුළ කේන්ද්‍රගතව පවත්නා වු ආර්ථිකය විසුරුවා හැරීම
  • නාගරික කලාපයන්ට පිටතින් ආර්ථික ප්‍රති-චුම්භක කලාපයන් නිර්මාණය කිරීමට කටයුතු කිරීම
අනෙකුත් ප්‍රවර්ධන වැඩසටහන් 

  • UBSP වැඩසටහන (දුප්පත්කම සඳහා වන නාගරික සේවා වැඩසටහන)
  • EIUS වැඩසටහන (නාගරික මුඩුක්කු වල පාරිසරික සංවර්ධන වැඩසටහන)
  •  IDSMT වැඩසටහන (කුඩා සහ මධ්‍ය නගරවල සමෝධානික සංවර්ධනය)
  • විශාල නගර ව්‍යාපෘති (මෙගා සිටි)
  •   IUPEP වැඩසටහන (සමෝධානික නාගරික දරිද්‍රතාවය මුලෝත්පාටන වැඩසටහන)
  •   HUDCO වැඩසටහන (විවිධ නිවාස සහ යටිතල පහසුකම් සඳහා මුදල් යෙදීමේ ක්‍රමය / නිවාස සහ නාගරික සංවර්ධන සංස්ථාව)
  •  UNCHS වැඩසටහන (මානව සහ ජනාවාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිය) මෙම ව්‍යාපෘතිය මඟින් නල ජලය සැපයීම සහ අප ජල පද්ධති සකස් කිරීම වැනි මූලික සනීපාරක්ෂක කටයුතු ප්‍රවර්ධනයෙහිලා කටයුතු කරනු ලබන අතර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද කටයුතු කරනු ලබයි.
  •  NURM - ජාතික නාගරික අලුත් කිරීමේ දූත මණ්ඩලය (මෙහි මූලික අරමුණ වන්නේ ආර්ථිකය ඵලදායි, කාර්යක්ෂම, සාධාරණ සහ වගකිව යුතු නගර නිර්මාණය කිරීමයි. මෙය උප-දූත මණ්ඩල නාගරික යටිතල පහසුකම් හා යහපාලනයකින් යුක්ත වන අතර නාගරික දිළිඳුකම පිටුදැකීම සඳහා මූලික සේවා සපයනු ලබයි.)
·         ස්මාර්ට් නගර සංකල්පය.
·         ඝන අප ද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් ඇති කිරීම. අප ද්‍රව්‍ය යොදාගනිමින් බල ශක්තිය නිපදවීමට කටයුතුකිරීම.
·         සමාජ ආරක්ෂාව සඳහා ප්‍රජා පොලීසි නිර්මාණය කිරීම.

ආශ්රිත ග්රන්ථ නාමාවලිය

ග්‍රන්ථ
 අමරසේකර, දයා. දසනායක, රෝහිත, ඉඳුවර පර්යේෂණාත්මක ලේඛන සංග්‍රහය (භූගෝල විද්‍යාව), (2004). ආරිය ප්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාලය මාවත, වරකාපොළ.

කරුණාදාස ඩබ්.එම්., තුන්වන ලෝකයේ දේශපාලනය හා ආර්ථිකය, (2003). ඉමේජ් ලංකා ප්‍රකාශන.

ගුණතිලක ඩබ්.එල්.ඩී.පී.ද.ඒ., ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය, ව්‍යාප්තිය සහ සංක්‍රමණ, (2007). ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව.

ප්‍රනාන්දු, ඥානා වැලිකන්න, ජනාවාස භූගෝල විද්‍යාව, (2010). ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, 675, පී. ද. ඇස් . කුලරත්න මාවත, කොළඹ 10.

මානවඩු, නිරෝෂන් ලියනගේ, තෙවන ලොව නාගරීකරණය, (2008). විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ, පුංචි බොරැල්ල.

Panditharatne B.L. On Urbanization and Urban Geography of Ceylon / Sir Lanka, 1970, (Some Selected Papers Reprints)

සඟරා සහ වාර්තා

ආර්ථීක විද්‍යා විමසුම, 2008 ඔක්තෝබර් කලාපය.

මහ බැංකු වාර්තාව, 2009, 2010, 2011, 2012.

වෙබ් අඩවි
http://www.statistics.gov.lk (Acceded on 22/02/2016)

http://www.worldbank.org (Acceded on 22/02/2016)

http://www.mckinsey.com (Acceded on 23/02/2016)

http://www.worldbank.org (Acceded on 23/02/2016)
 






No comments: