14 October, 2016

ශ්‍රී ලංකාවේ ජන සංක්‍රමණ රටා සහ එහි විභවය


සේවා නියුක්ති ඉඩ ප්‍රස්තා සොයමින් ශ්‍රී ලාංකිකයින් විදේශීය රටවල් කරා සංක්‍රමණය වීම දීර්ඝ ඉතිහාසයකට හිමිකම් නොකියන නමුත් වර්තමානය වනවිට විදේශ විනිමය මෙරටට ගලා එන ප්‍රධානතම අංශය  බවට ශ්‍රම සංක්‍රමණය පත්ව ඇත. ශ්‍රම සංක්‍රමණය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට කාන්තාව සුවිශේෂී වු දායකත්වයක් ලබාදේ. මෙම ලිපිය තුළින්  ජන සංක්‍රමණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා සමාජය තුළ එහි ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම, මෙරට සමාජ ආර්ථික ක්‍රියාවලියෙහිලා කාන්තා දායකත්වය පිළිබඳ විමසීමට බඳුන් කරයි.

ජන සංක්‍රමණ රටා

ජන සංක්‍රමණය කාලීනව විකාශනය වන්නා වු වැදගත් සමාජ ප්‍රපංචයකි. ඒ අනුව ජන සංක්‍රමණය යනු කුමක්දැයි හඳුනාගැනීමේදී විවිධ බුද්ධිමතුන්, විද්වතුන්, ශාස්ත්‍රඥයින් සහ සංවිධානයන් ඒ පිළිබඳව දක්වා ඇති අදහස් අධ්‍යයනය කිරීම වැදගත් වේ. ඒ අනුව,
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nation, 1998) ප්‍රකාශකර ඇති පරිදි, “සංක්‍රමණය යනු එක් භූගෝලීය ප්‍රදේශයක සිට තවත් භූගෝලීය ප්‍රදේශයක් දක්වා ස්ථිර පදිංචිය වෙනස්කරමින් සිදුවන්නාවූ සංචලනයයි” (සමරනායක, 2006).
  •  The United Nations (1998), in its Recommendations on Statistics of International Migration, revision 1, defines a migrant as any person who changes his or her country of usual residence” (www.migratioinformation.org).
  • “Migration (human) is the movement of people from one place in the world to another for the purpose of taking up permanent or semipermanent residence, usually across a political boundary” (www.nationalgeographic.com).
මේ අනුව සලකන කල්හි ජන සංඛ්‍යාවක භූගෝලීය හෙවත් අවකාශීය සචලතාව ජන සංක්‍රමණය වශයෙන් හඳුනාගත හැකිය. එය ප්‍රජාවිද්‍යාත්මක බලවේග සමගත් සමාජ.ආර්ථික ප්‍රභේද සහ වෙනස්වීම් සමඟත්, අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතී. සංක්‍රමණ ක්‍රියාවලිය අදහස් හා තොරතුරු ප්‍රචලිත කිරීමේ වැදගත් ජාලයක් වන අතර එය රටක මානව සහ භෞතික සම්පත් අතර තුළනය ඇති කරවන ප්‍රධාන කාරකයක් වශයෙන් ද වැදගත් වේ. එමෙන්ම රටක සමාජ සහ ආර්ථික වෙනස්වීම් පිළිබිඹු කරන ප්‍රධාන සාධකයක්ද වේ (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1998). ජන සංක්‍රමණය සංවර්ධනයේ හා සුබ සාධනයේ වැදගත් කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර අනෙක් අතට එය තිරස් සමාජ සංචලනය (Horizontal Social Mobility) සඳහා හේතුකාරකයක්ද වි ඇත (පින්නවල, 1991). දේශීය මෙන්ම විදේශීය රටවල නිරතුරුවම සිදුවන ආර්ථික සමාජීය සහ පරිසරාත්මක වෙනස්වීම්වලට හැඩගැසීමේ ක්‍රමයක් ලෙස මිනිසා සංක්‍රමණය යන්න භාවිතා කරනු ලබන හෙයින් එහි ක්‍රියාකාරීත්වය විග්‍රහයට ලක්කිරීම වැදගත් වේ. ඒ අනුව අධ්‍යයනය කරන කල්හි ආර්ථික හා සාමාජීය අංශවල වෙනස්කම් ඇතිකරමින් සිදුවන සංක්‍රමණික රටා දෙකක් පැහැදිලිව හඳුනාගත හැකිය. එනම්,

             අභ්‍යන්තරික සංක්‍රමණය (Internal migration)
             බාහිර හෝ ජාත්‍යන්තර සංක්‍රමණය (External/ International migration)

                                                                                                                            වශයෙනි.
අභ්‍යන්තරික සංක්‍රමණය යනු, ස්වාධීන රාජ්‍යයන් තුළ පමණක් සිදුවන පුද්ගල සංචලනයි. ජාත්‍යන්තර හෙවත් බාහිර සංක්‍රමණය යනු, ස්වාධීන රාජ්‍යයන්ගේ සීමා ඉක්මවමින් සිදුවන මිනිස් සංචලනයයි. (සිල්වා, 2004).
සමාජ විද්‍යාඥයෙකු වූ එවරට් ලී Evereat Lee (1966) සංක්‍රමණය පිළිබඳ අදහස් දැක්වීමේ දී ජාත්‍යන්තර සංක්‍රමණය නිර්වචනය කරනු ලබන්නේ, “සංක්‍රමණය යනු ස්ථිර හෝ අර්ධ ස්ථිර වශයෙන්, අභ්‍යන්තර මෙන්ම ජාත්‍යයන්තරව පදිංචිය වෙනස් කිරීමයි” (ප්‍රනාන්දු, 2006).

රටවල දේශසීමා පසුකරමින් සාමාන්‍යය පදිංචියෙහි වෙනසක් සිදුකරවන අවකාශීය චල්‍යතාවය ජාත්‍යන්තර සංක්‍රමණය හෙවත් අන්තර් ජාතික සංක්‍රමණ වශයෙන්  හඳුනාගත හැකිය. ජාතික සංක්‍රමණයේ දී මෙන් නොව ජාත්‍යන්තර සංක්‍රමණයේ දී රටවල මුළු ජන සංඛ්‍යා ප්‍රමාණයේ වෙනසක් සිදුවිය හැකිය. ජාත්‍යන්තර සංක්‍රමණය රටවල් අතර පවත්නා ආර්ථික අසමතුලිතතාවය නිසා ජනිත වන්නක් වශයෙන් න්‍යායන් හා සංකල්පයන් ආදීය ඔස්සේ අර්ථකථනය කරනු ලැබුව ද යුද්ධ, ආගමික බෙදීම්, ගෝත්‍රික ගැටළු, දේශපාලන ආදී වු වෙනත් හේතූන් මතද ජාත්‍යන්තර සංක්‍රමණයේ ක්‍රියාකාරීත්වය සිදුවේ.

සංක්‍රමණය යන්න එක් එක් පුද්ගල අභිලාශයන් අනුව ද තීරණය වන්නක් බව හඳුනාගත හැකිය. ඒ අනුව ගත් කල්හි එහි ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය. එනම්,

             සරණාගත සංක්‍රමණය (Refugee Migration)
             අනියම් සංක්‍රමණය (Irregular Migration)
             වාචික සංක්‍රමණය (Settlement Migration)
             වෘත්තීය  සංක්‍රමණය (Employment Migration)
             නිදහස් සංක්‍රමණය  (Free Migration)
වශයෙනි.  (International Migration Review, 1991).
වෘත්තීමය පදනමින් සිදුවන සංක්‍රමණය හෙවත් ශ්‍රම සංක්‍රමණය ලාංකේය සමාජ, ආර්ථික ව්‍යුහය තුළ විවිධ වු බලපෑම් කරන ලද කාරකයකි. “රැකියාවක් කිරීමේ අරමුණින් එක් රටක සිට තවත් රටකට සංක්‍රමණය වීම ජාත්‍යයන්තර ශ්‍රම සංක්‍රමණයයි” (රුහුණගේ, 1996).   “A person who migrates from one country to another with a view to being employed otherwise than on his own account and includes any person regularly admitted as a migrant for employment” (www.ilo.org). “Migrants are an asset to every country where they bring their labor. Let us give them the dignity they deserve as human beings and the respect they deserve as workers.” (www.jstor.org).

එවරට් ලී, විසින් 1966 දි සංක්‍රමණය පිළිබඳ ඉදිරිපත් කළ පාරිසරික ආකෘතිය ඔස්සේ සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ වැදගත් සාධක හතරක් හඳුනාගත හැකි වේ. එනම්,
  • ආරම්භක ප්‍රදේශය හා සම්බන්ධ සාධක
  • ගමනාන්ත ප්‍රදේශ හා සම්බන්ධ සාධක
  • මැදිහත්වන බාධක
  • සංක්‍රමණිකයාගේ පෞද්ගලික සාධක
     යනුවෙනි. (සිල්වා, 2004).

යම්කිසි ප්‍රදේශයකින් පිටතට ජනයා තල්ලු කිරීමට සහ එම ප්‍රදේශය තුළ ජනයා රඳවා තබාගැනීමට හේතුවන සාධක මෙන්ම එම ප්‍රදේශයට ජනයා ඇදගැනීමට හේතුවන සාධකයන්, එකිනෙක හෝ වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව සංක්‍රමණ ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරනු ලබයි. ඒ අනුව සංක්‍රමණ පිළිබඳව පරීක්ෂා කිරීමේදී පුද්ගලයන් සංක්‍රමණයවීමට සහ සංක්‍රමණය නොවීමට බලපාන යම් යම් විශේෂිත වු කරුණු හඳුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක යෙදුනු මිචෙල් a (Mitchell, 1985) ඒ සඳහා සංකීර්ණ වශයෙන් බලපානු ලබන කරුණු කිහිපයක් සොයාගනු ලැබීය. ඒවා පහත පරිදි වේ.
  • භෞතික සාධක

  • ආර්ථික සාධක

  • සමාජමය කරුණු

  • දේශපාලන සාධක
(සිල්වා, 2004).

මෙකී සාධක එකක් හෝ කිහිපයක් සංක්‍රමණිකයා කෙරෙහි බලපෑම් කළ හැකි අතර ඒවා ජන සංඛ්‍යාව යම් ප්‍රදේශයකින් ඉවත් කිරීමට මෙන්ම යම් ප්‍රදේශයකට ඇද ගැනීමට ද මූලික වී ඇත. මිචෙල් එම ක්‍රියාවලීන් ද්විත්වය හඳුන්වා දෙන ලද්දේ ජන සංඛ්‍යාව ඇදගැනීමේ ^pull& හා තල්ලු කිරීමේ ^push& සාධක ලෙසටයි (පෙරේරා, 2007). සංක්‍රමණ අතරින් ශ්‍රී ලාංකේය සමාජය තුළ වඩා වැදගත් සංක්‍රමණ ප්‍රපංචය වනුයේ  වෘත්ත’මය වශයෙන් සිදුවන  සංක්‍රමණයයි (මැදගෙදර, 2003). ඊට හේතුව වන්නේ ලංකා සමාජ, ආර්ථික ව්‍යුහයෙහි සැලකිය යුතු මට්ටමේ දායකත්වයක් මේ තුළින් ලැබී තිබීමයි. මෙකී සංක්‍රමණ ක්‍රියාවලිය මඟින් කෙරෙනුයේ වටිනා මානව සම්පත් එක් රටක සිට වෙනත් රටකට විතැන් කිරීමයි. යම්කිසි එකඟතා කාලයකට යටහත්ව විවිධ වු සේවයන් සඳහා මෙරටින් විදේශයන්ට පිටත්වන වෘත්ත’ය වශයෙන් පුහුණු, නුපුහුණු සහ අර්ධ පුහුණු ආකාරයේ සංක්‍රමණිකයෝ දක්නට ලැබෙති. එසේ වුවද තම මව් රට හා පවත්නා සම්බන්ධතාවයන් පවත්වාගෙන යනු ලබන මොවුන් නියමිත සේවා කාලයෙන් පසු නැවත මව් රටට පැමිණෙති. එබැවින් මෙය ගිවිසුම්ගත ශ්‍රම සංක්‍රමණය ලෙස හැඳින්විය හැක.

ශ්‍රී ලංකාවේ ජාත්‍යයන්තර ශ්‍රම සංක්‍රමණය

ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව ලෝකයේ නොයෙක් රටවල් සමඟ විවිධ සබඳකම් පවත්වා ඇති රටකි. ශ්‍රී ලංකාව ජාත්‍යයන්තර වශයෙන් ලෝකයේ සෙසු රටවල් සමඟ පවත්වනු ලැබු බොහෝ ආගමනයන් හා විගමනයන් වෙළඳාම ප්‍රමුඛ කරගත් සංක්‍රමණය බව පෙනීියයි. ඒ තුළින් ආසියානු හා මැදපෙරදිග රටවල් සුවිශේෂී වී ඇත. 17, 18 හා 19 වන සියවස්හි දී යුරෝපය කෙන්ද්‍ර කොටගත් යටත් විජිතකරණය ආසියානු සහ අප්‍රිකානු මහද්වීප තුළ ව්‍යාප්ත වෙමින් ස්වදේශීය ආර්ථීකයන් සුරාකෑමකට ලක් කළහ. මෙහිදී යටත් රාජ්‍යයන්ගේ වතුයායවල සහ පතලවල සේවය සඳහා කම්කරුවන් රට රටවලින් ගෙන්වා ගැනීම සිදුකළ අතර ඉන්දියාව හා චීනය ආදී රටවලින් විශාල කම්කරු පිරිස් ගෙන්වා ගැනීම මෙයට නිදර්ශනයකි. යටත්විජිතවාදීන්ගේ බලය මත මෙසේ එවන ලද ඉන්දියානුවන් පීජි දූපත්වල, කැරිබියානු රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ කදුකර ප්‍රදේශවල ද තේ වගාව සඳහා පදිංචි කරනු ලැබීය (වන්නිනායක, 2006).

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ශ්‍රමිකයින් ලෙස මෙරටින් විගමනය වීම පිළිබඳ ඉතිහාසය තරමක් සංක්ෂිප්ත වු එකකි (රුහුණගේ, 1996). ස්වයංපෝෂිත කෘෂි ආර්ථික ක්‍රමයක සිට යටත්විජිත ඉංග්‍රීසි පාලනය දක්වාම ශ්‍රී ලංකාවෙන් ජාත්‍යයන්තරයට ශ්‍රමික පිරිස් විගමනයවීම සම්බන්ධ තොරතුරු අනාවරණයවී නොමැත. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැකියා සඳහා මෙරටින් පිටවීමේ මූලික අවස්ථාවක් ලෙස බ්‍රිතාන්‍යය පාලන සමයේ ද්‍රවිඩ ජනතාව සුළු වශයෙන් මැලේසියාවට සංක්‍රමණය වීම වාර්තා වේ. 1948 දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය යටත්විජිතකරණයෙන් නිදහස ලැබීමත් සමඟ බොහෝ බර්ගර් ජාතිකයින් ඕස්ටේ්‍රලියා හා නවසීලන්තය වැනි රටවලට සංක්‍රමණය වූවද, එබඳු සංක්‍රමණවලට හේතු මොනවාද යන්න පිළිබඳ පැහැදිලි නොවේ (රුහුණගේ, 1996). නමුත් නිදහස ලැබීමෙන් අනතුරුව විවිධ සමාජ, ආර්ථික හේතු නිසාවෙන් 1950, 1960, 1970 දශක තුළදී වෛද්‍යයවරු, ඉංජිනේරුවන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු වැනි උගත් ධනවත් ශ්‍රී ලාංකික පිරිස් සැලකිය යුතු ප්‍රමාණයක් යුරෝපය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව වැනි රටවල ස්ථිර පදිංචිය සඳහා පිටත්ව යන ලදී (රත්නායක, 1999). එසේම 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ ජනවාර්ගික  ගැටුම් හා කෝලාහල ඇතිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ද්‍රවිඩ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාව හැරගිය බවට තොරතුරු වාර්තා  වේ (රුහුණගේ, 1996).

වර්ෂ 1970න් පසු කාලය තුළ මෙරට ශ්‍රම විගමනයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. මේ සඳහා බලපෑ තල්ලු කිරීම් හා ඇදගැනීම් සාධක ^Push and pull Factors& හඳුනාගැනීම වැදගත් වේ. ශ්‍රී ලංකාවේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ඇතිවූ සමාජ, ආර්ථික වෙනස්කම් මෙරටින් ශ්‍රම සංක්‍රමණිකයන් ජාත්‍යයන්තරයට තල්ලු කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙසත්, 1973 වර්ෂයේදි ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමඟ මැදපෙරදිග රටවල ආරම්භ වූ ආර්ථීක උත්පාදනයේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් එම රටවලට අවශ්‍යය වූ අමතර ශ්‍රමය යාබද අප්‍රිකානු හා ආසියානු රටවලින් ඇදගැනීමත් සිදුවිය (සෙනෙවිරත්න, 2007). දකුණු සහ ගිණිකොණදිග ආසියාව තුළ නව කාර්මීකරණ රටවල් බිහිවීම සමඟ ද මෙරටින් ශ්‍රම සංක්‍රමණිකයන් ජාත්‍යයන්තරයට ඇදගනීමට හේතු සාධක නිර්මාණය කරන ලදී. ඊට අමතරව වෙනත් විවිධ සමාජයීය හේතු සාධක මෙරටින් ශ්‍රම සංක්‍රමණය සිදුවීමට බලපාන ලදී (තිලකසිරි සහ සිල්වා, 1981; ගුණතිළක, 1991, 1994; රත්නායක, 1999;  වන්නිනායක, 2000). 1977 වර්ෂයේදී පමණක් විදේශ රැකියා අපේක්ෂාවෙන් රටින් බැහැර වූ මුළු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව පුද්ගලයින් 15,224 කි. පසුකාලීනව මෙම සංඛ්‍යාව ශීඝ්‍ර වර්ධනයකට ලක් වු බව 1997 වර්ෂය තුළදී විදේශගත වු පුද්ගලයින් සංඛ්‍යාව 115, 044 දක්වා වර්ධනය වීමෙන් පෙනී යයි (විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යාලේඛන, 2000). ඒ අනුව රටේ සමස්ත ශ්‍රම බලකායෙන් සාධනීය වු ප්‍රමාණයක් විදේශීය සේවා නියුක්තියෙහි යෙදීසිටින ආකාරයක් මින් සත්‍යාවේෂණය වේ.

1970 දශකයේ ශ්‍රී ලංකාවේ රාජ්‍යය ප්‍රතිපත්තිය හා පසු කාලීන රාජ්‍යය අනුග්‍රහයන් පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් පැහැදිලි වන්නේ ශ්‍රම සංක්‍රමණය දිරිගන්වන, තල්ලු කිරීමේ සාධකයක් ලෙසින් එහි ක්‍රියාත්මකතාවය සිදු වු ආකාරයයි. හැත්තෑව දශකයේ ශ්‍රී ලංකාව අත්විඳි වැදගත් කරුණක් වූයේ ගිවිසුම් ප්‍රකාරව ශ්‍රමික සංක්‍රමණයවීමේ ආරම්භයයි (රුහුණගේ, 2007). මෙතෙක් ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් විදේශීය රටවල් සඳහා සංක්‍රමණය වුවද, 1977දී මැතිවරණ ජයග්‍රහණයෙන් පිහිට වු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව එම වර්ෂයේදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදෙන ලදී. එම ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වූයේ ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඒකාබද්ධ වූ සහ ආණ්ඩුවේ දැඩි පාලනයෙන් නිදහස් වූ විවෘත ආර්ථිකයක් ගොඩනැංවීමයි. මෙහිදී කාර්මීකරණය තුළින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමත්, විදේශ විනිමය අර්බුදය විසඳීමත් මූලික විය (අබේරත්න, 2002). මෙලෙස ස්ථාපිත කරන ලද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති උපායමාර්ගයන් සමඟ සංක්‍රමණික නීති ලිහිල්කරණය, විනිමය බාධක ලිහිල්කරණය ආදී ප්‍රතිපත්තිමය උපක්‍රම ශ්‍රී ලාංකිකයින් විදේශීය රැකියාවන් කෙරෙහි වැඩි වශයෙන් යොමුකරලීමට හේතුවිය. එසේම ආර්ථික ප්‍රතිපත්ති ලිහිල්කරණය සමඟම ක්‍රියාත්මක වූ රාජ්‍ය දිරිගැන්වීම්, දැනුවත් කිරීම් හා විවිධ ආරක්ෂණ වැඩසටහන් සහ විදේශ රැකියා අවස්ථා සම්බන්ධයෙන් පෞද්ගලික හා ඇතැම් රාජ්‍යය ආයතන වඩ වඩාත් යොමුවීම විදේශ සේවා නියුක්තිය කෙරෙහි ශ්‍රී ලාංකිකයින් යොමුවීම වේගවත් කළේය (ජයවික්‍රම, 2000). ඉන්පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම පාහේ ශ්‍රම සංක්‍රමණය දිරිමත් කිරීම සඳහා විවිධ වු ක්‍රමෝපායන් යොදා ගන්නා ලද අතර එහි ප්‍රතිපලය වුයේ ශ්‍රම සංක්‍රමණය වාර්ෂිකව වර්ධනය වීමයි. පහත දක්වා ඇති වගු සටහන තුළින් මෙරටින් සිදුවූ සංක්‍රමණයන්හි වර්ධනය හඳුනාගත හැකිය.


මූලාශ්‍ර: සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය,
විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යාලේඛන අත්පොත, 2005.

ඉහත දක්වා ඇති වගු සටනට අනුව 1970 දශකයේ සිට 1994 වර්ෂය දක්වා සිදුවූ විගමනයන්හි පැහැදිලි වර්ධනයක් හඳුනාගත හැකිය. මීට සාපේක්ෂව මැදපෙරදිග රැකියා සඳහා වු විදේශ සංක්‍රමණය වර්ධනය වු අතර මුදල් අයකරන පෞද්ගලික ඒජන්සි  බිහිවීමක් ද සිදුවු අතර 1976දී කම්කරු දෙපාර්තමේන්තුවේ විදේශ රැකියා අංශය ආරම්භ කරමින් විදේශ රැකියා නියෝජිත ආයතන අධීක්ෂණය හා ව්‍යවස්ථායීකරණය කම්කරු දෙපාර්තමේන්තු අංශයට පවරනු ලැබීය (ආර්ථික විමසුම, 1985). එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය, විදේශ රැකියා කර්මාන්තය ස්ථාපනය කිරීම සහ එහි කළමනාකරණය මෙන්ම විගමනික සේවකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව තහවුරු කිරීම යන අරමුණු මුලික කරගනිමින් 1985 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ව්‍යවස්ථාපිත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පිහිටුවීමට කටයුතු කරන ලදී. මේ සඳහා වර්ෂ 1998 වන තෙක් රජය විසින් ගත් පියවර කිහිපයක් නම්, දේශීය නීත්‍යනුකූල ඒජන්සි ආයතන දිරිමත් කිරීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ගෘහ සේවිකාවන් සඳහා සේවා ගිවිසුම් ආරම්භ කිරීම, අඩු පොළී නිවාස ණය යෝජනා ක්‍රම ඇති කිරීම, විගමනික සේවකයින් හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල් සකස්කිරීම ආදියයි (කම්කරු දෙපාර්තමේන්තුව, 1998). එනම්, 1977 හඳුන්වාදුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හා විවිධ රාජ්‍ය ක්‍රියාකාරකම් හේතු කොටගෙන මෙරටින් ශ්‍රමිකයන් ජාත්‍යන්තරයට සංක්‍රමණය වීමයි.

මැදපෙරදිග ප්‍රමුඛ ආසියාතික රාජ්‍යයන් ආර්ථික වශයෙන් නැගීසිටීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එකී රටවලට ඇදගැනීමේ සාධකයක් ලෙස ක්‍රියාත්මක වීය. වර්ග කිලෝමීටර දස ලක්ෂ 13ක පමණ ප්‍රදේශයක් පුරා විහිදුනු භූමි ප්‍රදේශයකින් යුක්ත මැදපෙරදිග කලාපය, අරාබිකරය සහ බටහිර ආසියාව නමින්ද හැඳින්වේ. ආර්ථික අංශයෙන් එතරම් පොහොසත් නොවු  මෙම කලාපය 1970 දශකයේ මැද භාගයේ ඛනිජ තෙල් මිල ඉහළයාමත් සමඟ ඉතා සමෘද්ධි විය (ආර්ථික විමසුම, 2007).


උක්ත සඳහන් කළ තත්ත්වය මැදපෙරදිග රාජ්‍යයන්ගේ පොදු යටිතල පහසුකම් වර්ධනයට සහ ධනාත්මක ජීවන ශෛලියක් නිර්මාණයට හේතු වු අතර ලෝකයේ ප්‍රධාන විනිමය මාධ්‍යය වූ ඩොලර් සඳහා නව උප නිෂ්පාදනයක් වු “පෙට්‍රෝ ඩොලර්” ^Petrodollars& ලෝක වෙළඳපළට ගලා එන්නට විය. ඛනිජ තෙල් මඟින් උත්පාදනය කරන ලද අමතර ප්‍රාග්ධනය ලෝකයේ ලාභ උපදවන සමාගම්වල ආයෝජනය කරමින් කලාපයේ රටවල ආයෝජන ප්‍රාග්ධනය ඉහළ දැමීම සඳහා මින් වැඩි කොටසක් වියදම් කෙරුණි. පළමු අති විශාල ආයෝජනයන් ලෙස සමාජ පොදු කාර්යන් හෙවත් යටිතල පහසුකම් වන අධිවේගී මාර්ග, මහා මාර්ග, පාලම්, ගුවන් තොටුපළ, වරාය, ගොඩනැගිලි, පාසල්, රෝහල් ආදී මහා පරිමාණ ඉදිකිරීම් ගොඩනැංවුණි.

මෙම කලාපය තුළ පැවති ශ්‍රමිකයන්ගේ සහ වෘත්තිකයන්ගේ හිඟය හේතු කොටගෙන මෙකී සංවර්ධන කාර්යයන් විදේශීය සමාගම් වෙත පැවරීමට මැදපෙරදිග රාජ්‍යයන්ට සිදුවිය. එහිදී මූලික වශයෙන් කළමනාකරණ ශ්‍රේණිවලට අවශ්‍ය පුද්ගලයන් පමණක් විදේශ රටවලින් ගෙන්වා ගනු ලැබීය. එසේ වුවද, හදිසි ධනවත්වීම යටතේ වේගවත් සංවර්ධනය අත්පත්කර ගැනීමේ දැඩි වුවමනාව සපුරාලීම සඳහා එම රටවල ශ්‍රම බලකාය ප්‍රමාණවත් නොවීම කේන්ද්‍රකොටගනිමින් මෙම අභියෝගයට මුහුණදීම සඳහා මුල්කාලීනව සාමාන්‍ය ශ්‍රමිකයින් දේශීයවත්, පලස්තීනයෙනුත් සපයාගනු ලැබීය. එයිනුදු අවශ්‍ය ශ්‍රමිකයින් සපුරාගැනීමට නොහැකිවීමෙන් දකුණු ආසියාවෙන් ශ්‍රමිකයින් දශලක්ෂ ගණනින් ගෙන්වාගනු ලැබීය. මැදපෙරදිග රටවල් තුළ සේවය කරන ශ්‍රමිකයන් අතරින් බහුතරය ස්වදේශීය නොවන්නන්ය. එය අතීතයේ මෙන්ම වර්තමානයේ ද දැකිය හැකි පොදු තත්වයකි (www.mei.edu). මෙලෙස ආසියානු රටවලින් මැදපෙරදිග රටවලට රැකියා නියුක්තිය සඳහා සංක්‍රමණය වු ශ්‍රමිකයින් ප්‍රමාණය පහත දක්වා ඇති වගු සටහන තුළින් හඳුනාගත හැකිය.

විදේශීය ගෘහ සේවකයින් අඩු වැටුපකට ලබාගත හැකිවීම මෙන්ම ශ්‍රම සංක්‍රමණය රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක පැවැතීම හේතුවෙන් මැදපෙරදිග කලාපයේ රටවලට සිදුවු ශ්‍රම සංක්‍රමණ ක්‍රමික වර්ධනයෙහිලා හේතුවීය. ස්වදේශීය කාන්තාවන්ගේ ගෘහීය වගකීම් සේවක සේවිකාවන්ට පැවරීම මඟින් එම කාන්තාවන්ට සමාජ කටයුතු සඳහා වැඩි කාලයක් ගතකිරීමට ඉඩ පහසුකම් සැළසීම සහ විදේශික ගෘහ සේවකයන් නිවෙස්වල සේවා නියුක්තියෙහි යෙදවීම තුළින් සමාජ තත්වයන් හා පිළිගැනීමක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ. පොදුවේ ගත්කළ තාවකාලික ගිවිසුම්වලට යටත් විදේශික ශ්‍රමිකයින් සඳහා මැදපෙරදිග රටවල් වඩා ප්‍රියතාවයක් දක්වයි. එයට හේතු වී ඇත්තේ පුරවැසි අයිතීන් ලබාගැනීමට හෝ ස්ථිරව පදිංචිවීමට අපේක්ෂාවක් ඔවුන්ට නොමැති බැවිනි (ආර්ථික විමසුම, 2001). මෙවනි සාධක පදනම් කරගනිමින් මැදපෙරදිග රටවල්වලට විදේශීය ශ්‍රමිකයන් ඇදගනු ලබයි.


මැදපෙරදිගට සංක්‍රමණය වන ශ්‍රමිකයින් ප්‍රධාන කොටස් දෙකකි. එනම්, පුහුණු ශ්‍රමිකයින් හා නුපුහුණු ශ්‍රමිකයින් වශයෙනි. මැදපෙරදිගට සිදුවන ශ්‍රමික සංක්‍රමණයේ හඳුනාගත හැකි ප්‍රධානතම සුවිශේෂිතාවය වන්නේ රටවල් බහුතරයකම ශ්‍රමිකයන්ගේ ගමනාන්තය සෞදි අරාබිය වීමයි (www.ion.int). මෙම ලක්ෂණය බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය යන රටවල් ඇසුරින් මනාව පිළිබිඹු වන්නකි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණය පිළිබඳ අවධානය යොමුකිරීමේදී 1980 දශකයේ මැදභාගයේ ආසියාව තුළ සිදුවු සංවර්ධනය අධ්‍යයනය කිරීම ද වැදගත් වේ. දකුණු සහ ගිණිකොණ දිග ආසියාවේ පිහිටි දකුණු කොරියාව, තායිවානය, හොංකොං හා සිංගප්පූරුව නව කාර්මීකරණ රටවල් බවට පත්වීමත්, 1980 දශකයේ මැද වනවිට ජපානයේ සහ කොරියාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දැඩි ශ්‍රමික හිඟයකට මුහුණපෑමත් සමඟ විදේශීය ශ්‍රමිකයින් කුලි පදනම මත විවිධ කාර්යාංශ සඳහා එම රටවල් කරා ගෙන්වා ගන්නා ලදී. මැදපෙරදිග රාජ්‍යවල හා දකුණු සහ ගිණිකොණ දිග ආසියාවේ නව කාර්මීකරණ රාජ්‍යයන්ගේ මෙකී ක්‍රියාදාමය වර්ධනයවීම හේතුවෙන් ආසියාවේ ශ්‍රම වෙළඳපළෙහි උත්පාතය තවදුරටත් තීව්‍ර විය. එහිදී ප්‍රධාන ප්‍රධාන ශ්‍රම සැපයුම්කරුවන් ලෙස ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා පිලිපීනය ප්‍රමුඛ වීය. මෙම රටවල් සමස්තය ආර්ථික වශයෙන් දුප්පත් සහ කෘෂිකාර්මික රාජ්‍යයන් වුවද ඉහළ සාක්ෂරතා මට්ටමකින් යුක්ත විය. එමෙන්ම තොරතුරු තාක්ෂණයේ සංවර්ධනය හා ව්‍යාප්තිය පිළිබඳ දැනුම, අත්දැකීම් ශ්‍රම බලකායේ සිටි තරුණ වෘත්තිකයින් අතර හුවමාරුවවීම, තොරතුරු තාක්ෂණයේ දියුණුව සහ ජනමාධ්‍යය තුළින් පෙළඹවීම ආදිය තුළින් මොවුන් විදේශයක රැකියාවලට ඇදගැනීමක් සිදුකරනු ලබයි. එසේම දේශපාලන ලිබරල්කරණය වර්ධනයවීම, රටවල් අතර ගමන් කිරීමේ බාධක ඉවත්වීම සහ ගුවන් මාර්ග ප්‍රවාහන කර්මාන්තයේ වර්ධනය ආදිය තුළින් ද ශ්‍රම සංක්‍රමණ ක්‍රියාදාමය උත්තේජනය කරන ලදී.

ශ්‍රී ලාංකිකයන් රැකියා අරමුණැතිව විදේශගත වන රාජ්‍ය සංඛ්‍යාව විශාලය. 2009 වර්ෂය සඳහා වූ තොරතුරු අනුව එය රාජ්‍යයන් 50කට ආසන්න ප්‍රමාණයක් දක්වා ව්‍යාප්තව පැවතුණි (විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යාලේඛන අත්පොත, 2010). සියලු මහද්වීප ආවරණය කරමින් සිදුවන මෙම ශ්‍රම සංක්‍රණයන්ගේ ප්‍රධාන ගමනාන්ත වශයෙන් ආසියාවේ මැදපෙරදිග රාජ්‍යයන් වන සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දාන්, කටාර්, ඕමාන්, බහරේන්, ලෙබනන්, ඊශ්‍රායල් ආදී රාජ්‍යයන් ද, ඈත පෙරදිග දකුණු කොරියාව, යුරෝපයේ සයිප්‍රස් රාජ්‍යය හා ග්‍රීසියත් ආදිය ප්‍රධාන වේ. ඒ තුළින් ද ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා සපයන ප්‍රධාන මැදපෙරදිග රාජ්‍යයන් වශයෙන් සෞදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කැපී පෙනේ.

ශ්‍රී ලාංකික ශ්‍රම සංක්‍රමණිකයන්ගේ මූලික ලක්ෂණ සහ ප්‍රවණතා

ශ්‍රී ලංකාවෙන් සිදුවන ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණ පිළිබඳව විමර්ශනය කිරීමේදී ඒ තුළින් විවිධ වු සුවිශේෂී ලක්ෂණ හඳුනාගත හැකිය. ස්ත්‍රී පුරුෂ වශයෙන් ශ්‍රම සංක්‍රමණයේ පවත්නා වෙනස්කම් හඳුනා ගැනීම එහිදී ඉතා වැදගත් වේ. 1970 දශකයේදී සිදුවු ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණ එහි නව සංධිස්ථානයක් සනිටුහන් කරන ලද අතර ශ්‍රී ලාංකික රාජ්‍යය ප්‍රතිපත්ති මේ සඳහා බලපාන ලදී. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ ක්‍රියාත්මක වු නොයෙකුත් කර්මාන්ත සාම්ප්‍රදායික කාර්යන්ගේ නිරතව සිටි කාන්තාවන්ගේ සීමාවන් අභියෝගයට ලක් කළහ. බහුජාතික අපනයන සමාගම් සහ ආනයනකරුවන් රට තුළ ගොඩනඟන ලද ක්ෂණික මුදල් උපයන යන්ත්‍රාගාර, මෙකී කාන්තා අපේක්ෂා පුළුල් කිරීමට හේතු විය. සරල දිවි පෙවෙතකට හුරු පුරුදු වී සිටි ග්‍රාමීය කාන්තාව නව ජීවන මාර්ගයකට අවතීර්ණ කරවීම සඳහා විවෘත ආර්ථික ක්‍රියාවලිය පදනම සකස් කරනු ලැබු අතර එහි ප්‍රතිඵලය වුයේ ග්‍රාමීය ප්‍රදේශයන් තුළින් නාගරික කලාපයන්ට කාන්තාවන් සචලනය වීමේ ප්‍රවණතාවය 60%ක් දක්වා වර්ධනය වීමයි. ග්‍රාමීය ආර්ථික සම්පත්වලින් ක්ෂණික ප්‍රතිඵල ලබානොගත හැකිවීම හා මුදල් උපයා ගැනීමට නොහැකිවීම මෙය තවදුරටත් වර්ධනයට හේතුවීය. පසුගිය වසර කිහිපය තුළ විදේශ ශ්‍රම සංක්‍රමණය තුළින් උත්පාදනය කරන ලද විදේශ විනිමයෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් විසින් වාර්තාකර තිබීමෙන් මෙය පැහැදිලි වේ.

 
ඉහත වගුව අනුව 1976 වර්ෂයේ අවම දායකත්වයක් තුළින් ආරම්භ වූ කාන්තා ශ්‍රම සංක්‍රමණය 1990 වනවිට 63% ක් දක්වාද, 2000 වර්ෂය වන විට 67%ක් දක්වා ඉහළ නියෝජනයක් කරා ගමන් කොට ඇත. මෙය 2000 වර්ෂයේ දී සිදුවු පුරුෂ සංක්‍රමණය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. මේ අනුව සලකන කල්හි වර්තමානයේ “කාන්තා ශ්‍රම සංක්‍රමණය” ශ්‍රී ලංකාවේ සංක්‍රමණය තුළ වැදගත් වී ඇති බව පැහැදිලි වේ. කෙසේවෙතත් 2004 වර්ෂයේ සිට 2010 දක්වා කාලය තුළ ශ්‍රම සංක්‍රමණය පිළිබදව අවධානය යොමුකිරීමේ දී පෙනී යන්නේ උච්චාවචනයක් සහිත ශ්‍රම සංක්‍රමණයක ලක්ෂණයක් ඒ තුළ අන්තර්ගත වන බවයි.
 

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට සිදුවන ශ්‍රම සංක්‍රමණයේ ගමනාන්තය අනුව සුවිශේෂතාවයන් හඳුනාගත හැක. ඒ අනුව සංඛ්‍යා දත්ත මඟින් පැහැදිලි වන්නේ සෞදි අරාබිය ශ්‍රම ආනයනික ප්‍රධාන රට වශයෙන් ද, එක්සත් අරාබි එමිරේට්ස් හා කුවේටය දෙවැනි සහ තෙවැනි ශ්‍රම ආනයනික රටවල් වශයෙන් වැදගත් වන බවයි. මෙම රටවල් ත්‍රිත්වයෙහි ශ්‍රම ආනයනික ප්‍රතිශතය සැළකීමේදී 2010 වර්ෂයේ 71.18% වන අතර එය 1995 දි 71.62% කි. මේ අනුව 1995 සිට 2010 දක්වාම ශ්‍රී ලංකා ශ්‍රම විගමනය තුළ ශ්‍රමය අවශෝෂණය කර ගන්නා ප්‍රධාන කලාපය වශයෙන් මැදපෙරදිග රටවල් හඳුනාගත හැකිය. පහත දක්වා ඇති වගුව තුළින් උක්ත සඳහන් කරනු ලැබු කරුණු සංඛ්‍යාත්මක පදනමින් අධ්‍යයනය කළ හැකිවේ.

 
මෙලෙස සංක්‍රමණය වන ශ්‍රමිකයන් ස්ත්‍රී පුරුෂ වශයෙන් හඳුනාගැනීම වැදගත් වන්නේ. ඒ තුළින් රටක ආර්ථිකය කෙරෙහි දක්වන දායකත්වය කෙබඳුද යන්න මූලිකව අනාවරණය කරගත හැකි නිසාවෙනි. ශ්‍රමිකයන්ගේ මෙකී දායකත්වය පහත දක්වා ඇති වගුවේ සංඛ්‍යා දත්ත අනුසාරයෙන් අවබෝධ කරගත හැකිවේ. ස්ත්‍රී හා පුරුෂ වශයෙන් රටේ ආර්ථික සංවර්ධනයට කාලීනව කෙතරම් දුරට විදේශ විනිමයක් ලබාදුන්නේද යන්න මේ තුළින් පැහැදිලි වේ. 

උක්ත වගු සටහන අනුව වර්ෂ 2001දී ස්ත්‍රී ශ්‍රම දායකත්වය පුරුෂයන්ට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමකින් වාර්තාවීමක් හඳුනාගත හැකි අතර මෙම තත්ත්වය වර්ෂ 2007 දක්වා අඛණ්ඩව පිළිබිඹු වේ. නමුදු 2010 වනවිට ස්ත්‍රීන්ට සාපේක්ෂව පුරුෂ ශ්‍රම සංක්‍රමණය ඉහළ යාමක් හඳුනාගත හැකි අතර එකී වෙනස්වීම පහත ප්‍රස්තාර සටහන තුළින් හඳුනාගත හැකිය.
 
2001 වර්ෂයේ සිට 2010 දක්වා විදේශීය ශ්‍රම සංක්‍රමණිකයන්ගේ විසුරුම අනුව පෙනීයන්නේ කාන්තා ශ්‍රම සංක්‍රමණය ප්‍රමාණාත්මකව ඉහළ අගයක් ගෙන ඇති බවයි. ඉන් ගෘහ සේවිකාවන් ලෙස සංක්‍රමණය වන පිරිස ඉහළය. එසේම සමස්ත කාන්තා ශ්‍රමිකයන් ප්‍රමාණය ද වර්ෂයෙන් වර්ෂය වර්ධනය වීමක් පෙන්නුම් කරනු ලබන අතර සමස්ත ශ්‍රම සංක්‍රමණික පිරිසෙන් ගෘහ සේවිකාවන් ලෙස සංක්‍රමණය වන ප්‍රතිශතය 80% ට වඩා ඉහළ අගයකින් යුක්ත වීම තුළින් ශ්‍රම සංක්‍රමණයේ වඩා වැදගත් රැකියා අවස්ථාව ගෘහ සේවය බව පැහැදිලි වේ. මෙම තත්ත්වය උක්ත දක්වා ඇති ප්‍රස්තාර සටහන මඟින් තව දුරටත් පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවෙන් විදේශයන්ට සංක්‍රමණය වන ශ්‍රමිකයන් මිනිස් බල පරිමාණය අනුව ඉහළ වෘත්තිය, මධ්‍යම වෘත්තිය, ලිපිකරු ආශ්‍රිත වෘත්ති, නුපුහුණු ශ්‍රමිකයන් සහ ගෘහ සේවිකා ආදී ලෙස වර්ග කොට හඳුනාගත හැකිය. මින් බහුතරයක් සංක්‍රමණය වන්නේ ගෘහ සේවය සඳහා වුවද ඉහළ වෘත්තිය මට්ටමේ මෙන්ම මධ්‍යම මට්ටමේ රැකියා සඳහා විගමනය වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමාණය ඉතා සුළුය. මෙය පුහුණු හා නුපුහුණු අංශ සඳහා රැකියා ලබන්නාවූ ප්‍රතිශතයන්ට සමානකමක් පවතී (විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යාලේඛන අත්පොත, 2005). සංක්‍රමණික සේවකයන්ගේ ප්‍රදේශ පිළිබඳ සැළකා බැලීම තුළින් ද විදේශීය ශ්‍රම සංක්‍රමණිකයන්ගේ මූලික ලක්ෂණ හඳුනාගත හැකිය. එය පහත වගුව තුළින් අධ්‍යනය කළ හැකිවේ.


මුල් යුගයේදී විගමනය වූ බහුතරය වඩාත් නාගරික ප්‍රදේශවල පදිංචිකරුවන් වුවද එය ක්‍රමිකව පහත යනු ලැබීය. 1975 දී කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලින් 75%ක් විගමනය වුවද, එය 1980 දී 70%ක් දක්වාත්, 1981දී 65%ක් දක්වාත් අවම විය. 1994 ගුවන් තොටුපළ සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික් ප්‍රතිශතය 17.6% දක්වා අඩුවූ අතර කොළඹ, ගම්පහ පමණක් ගත්විට 24.6%ක් දක්වා පහත බැස ඇත. 2000 වර්ෂය වනවිට කොළඹ දිස්ත්‍රික් නියෝජනය 14.4% දක්වා පහත වැටී ඇත. පසුකාලීනව වෙනත් ප්‍රදේශවල සංක්‍රමණය ව්‍යාප්තවීම හා බොහෝදුරට ග්‍රාමීය ජනතාව ශ්‍රම සංක්‍රමණයට යොමුවනු පෙනේ (හෙට්ටිගේ, 1999). 2006 වසර වනවිට දිවයිනෙන් බහුතරයක් විදේශ සංක්‍රමණයට ලක්වන දිස්ත්‍රික්කය වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය පැවතිය ද එය 2010 වර්ෂය වනවිට හතරවන ස්ථානය දක්වා පහත බැස ඇත. කොස්වෙතත් 2009 වර්ෂයේ දත්ත අනුව ශ්‍රී ලංකාවේ කාන්තා මැදපෙරදිග ශ්‍රම සංක්‍රමණයේ ඉහළ අගයක් ගන්නා දිස්ත්‍රික්ක පිළිවෙලින් කුරුණෑගල, කොළඹ සහ නුවර හඳුනාගත හැකිය.

මේ අනුව අන්තර් ජාතික ශ්‍රම සංක්‍රමණය යනු සියවස් කිහිපයක සිට පැවතෙන ඓතිහාසික ප්‍රපංචයක් ලෙස හඳුනාගත හැකි අතරම එය කාලීනව විවිධ උච්චාවචනයන්ට බඳුන්වෙමින් සිදුවන්නා වුද ක්‍රියාදාමයකි. එමෙන්ම රටේ සංවර්ධනයට අවශ්‍ය විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාර්ගයක් වශයෙන් ද කාන්තා ශ්‍රම සංක්‍රමණය හඳුනාගත හැකි අතර වර්ෂ 2010 වනවිට සංක්‍රමණික ශ්‍රමික කාන්තාවගෙන් මෙරටට ලැබුණු විදේශ විනිමය සමස්ත ප්‍රමාණයෙන් 52%ක් පමණ වේ. මින් ගෘහ සේවයෙහි නියුතුව විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් බහුතරය ග්‍රාමීය සමාජය නියෝජනය කරනු ලබන අතර ගෘහ සේවයෙහි නියුතුව විදේශ විනිමය උපයන ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් බහුතරය විවාහක කාන්තාවන්ය. එනම් වයස 25.39 අතර පිරිසකි (විදේශ සේවා නියුක්ති කාර්යංශ සංඛ්‍යාලේඛන අත්පොත, 2009).
 
ශ්‍රම සංක්‍රමණිකයන්ගේ මූලික ලක්ෂණ හඳුනාගැනීම සඳහා ශ්‍රම සංක්‍රමණය පිළිබඳ අධ්‍යයනය වැදගත් වේ. මෙය සමස්තයක් ලෙස ගත්කළ ශ්‍රී ලංකාවේ ශ්‍රම සංක්‍රමණ ක්‍රියාවලියේ මූලික ස්වභාවය එකී ලක්ෂණ තුළින් විවරණය කරගත හැකිවේ. ඒ අනුව කාන්තා ශ්‍රම සංක්‍රමණිකයන් සුවිශේෂී වු සමාජ, ආර්ථික මෙහෙවරක් සිදුකරන බව පිළිඹිබු වන අතර එකී ක්‍රියාවලිය හරහා රටේ සංවර්ධන ක්‍රියාදාමයට කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය පිළිබඳව පැහැදිලිව හඳුනාගත හැකිය.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 

ග්‍රන්ථ
අතුකෝරාළ, කරුණාතිස්ස. (1993). ශ්‍රී ලංකාවේ වෙනස්වන ගම සහ එහි යථාර්ථය පිළිබඳ විවරණයක්, සමාජ විමසුම අංක 08, සමාජවිද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.

අමරසේකර, දයා. (1995). සරල සමාජවිද්‍යාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10.

ජයවික්‍රම, ආනන්ද. (2000). ශ්‍රී ලංකාවේ ශ්‍රම අපනයනය හා අනාගත ඉඩප්‍රස්ථා: සමාජවිද්‍යා විමර්ශන, සමාජවිද්‍යා අධ්‍යයන කේන්ද්‍රය, වෙළුම 01, පිටු:108-127.
පින්නවල, මල්ලිකා. (1990). ජන සංක්‍රමණ රටා: සමාජ විමසුම අංක 07, සමාජවිද්‍යා දෙපාර්තමෙින්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
රුහුණගේ, එල්.කේ. (1979). මැදපෙරදිග රටවල ශ්‍රම ඉල්ලුම කෙරෙහි ශ්‍රී ලාංකික මිනිස් බලයේ නැඹුරුවීම, රැකියා හා මිනිස්බල සැලසුම් කිරීමේ අමාත්‍යාංශය.
රුහුණගේ,එල්.කේ. (2007). ශ්‍රමික සංක්‍රමණය- ශ්‍රී ලංකාවේ වර්තමාන අත්දැකීම, ආර්ථික විමසුම, මහජන බැංකුව, වෙළුම 33, පිටු: 9-13.
වන්නිනායක.එච්.එම්.කේ.එස්. (2000). ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පවුල්වල සමාජ ආර්ථික තත්වය කෙරෙහි කාන්තාවන්ගේ මැදපෙරදිග රැකියා නියුක්තිය තුළින් කරනු ලබන බලපෑම පිළිබඳව සමාජ විද්‍යාත්මක විග්‍රහයක්, සමාජවිද්‍යා දෙපාර්තමෙින්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
වන්නිනායක, එච්.එම්.කේ.එස්. (2006). කාන්තාව පවුල සහ මැදපෙරදිග ශ්‍රම සංක්‍රමණය පිළිබඳ සමාජ මානව විද්‍යාත්මක විමසුමක්: සමාජ විමසුම අංක 12, සමාජවිද්‍යා දෙපාර්තමෙින්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
සිල්වා, පෙරේරා. (2007). ශ්‍රී ලංකාවේ සංක්‍රමණ ප්‍රවණතා සහ නිර්ණායක, ආර්ථික විමසුම, මහජන බැංකුව, වෙළුම 23, පිටු: 2-9.
සිල්වා ද, ඉන්ද්‍රලාල්. (2004).ජනගහන අධ්‍යයනය: ශ්‍රී ලංකාව ඇසුරින්, කතෘ ප්‍රකාශන. 

වෙබ් අඩවි
www.mei.edu

www.jstor.org

www.ilo.org

www.migratioinformation.org

www.nationalgeographic.com

http://www.theguardian.com


No comments: