11 November, 2016

ශ්‍රී ලංකාවේ කර්මාන්තවල අවකාශීය ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යාප්තියෙහි අවකාශීය රටාව කාලීනව විපර්යාසයන්ට බඳුන් වී ඇති බැව් මෙහිදී ප්‍රථමයෙන්ම කිව යුතුය. ඒ සඳහා විවිධ දේශපාලන ප්‍රතිපත්ත හා මතවාද, ආර්ථිකමය අපේක්‍ෂාවන්, ප්‍රාදේශීය සංවර්ධන න්‍යාය පත්‍රය යනාදියෙහි බලපෑම සෘජුව හා වක්‍රව ලැබුණි. කර්මාන්තයක් ස්ථානගතවීමෙහිලා ප්‍රධාන සාධක කිහිපයක් බලපැවැත්වෙන අතර අමුද්‍රව්‍ය, ශ්‍රමය, යටිතල පහසුකම්, වෙළඳපොළ සහ පාරිසරික සාධක ආදියට මෙහිදී ප්‍රමුඛතාවයක් හිමිවේ. වතු වගාවන් ආශ්‍රිතව ව්‍යාප්තව පවතින කෘෂිකාර්මික අපනයන සැකසුම් කලාපයන් ස්ථානගතවීමත් එමෙන්ම දිවයින පුරා ව්‍යාප්තව ඇති කුඩා සහ ගෘහ කර්මාන්තයන්ගේ ව්‍යාප්තිය මෙකී අවකාශීය රටාවට නිදර්ශනයක් ලෙස පෙන්වාදිය හැකිය.
 

 
නමුදු සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්ගේ අවකාශීය ව්‍යාප්තිය ගත් කල්හි “මුල් කාලයේ සිටම ජාතියේ කර්මාන්තවලින් ඉතා වැඩි කොටසක් බස්නාහිර පළාතට හෝ ඒ ආසන්නයට සංකේන්ද්‍රණය වී තිබීම විශේෂ ලක්‍ෂණයක් ය.” (සරත්, 2008-) මෙලෙස නිෂ්පාදන කර්මාන්ත බොහොමයක් බස්නාහිර පළාත තුළ සංකේන්ද්‍රණයවීම තුළින් එම සංකේන්ද්‍රගත කලාපය තුළ ආර්ථික, සමාජයීය, පාරිසරික ආදී ගැටලු ඇතිවන්නට විය. මීට සමාන්තරව ශ්‍රී ලංකාවේ පසුගාමී ප්‍රදේශයන් තව තවත් පසුගාමී තත්ත්වයට ඇද වැටෙන්නට ය. මෙකී ප්‍රාදේශීය විෂමතාවය හා ගැටලුකාරී තත්වයන් අවබොධ කරගත් බලයට පත් සෑම දේශපාලන පක්‍ෂයක්ම එයට   විසඳුම

ලෙස   ප්‍රාදේශීයව   කර්මාන්ත ව්‍යාප්ත කිරීමට උත්සාහගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ කර්මාන්ත විමධ්‍යගතකරණයට ලක්වූව ද සැලකිය යුතු මට්ටමකින් ජාතික ආර්ථිකයට දායකවන කර්මාන්තයන් බොහෝමයක් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම්වලට ඇති ඇදීම පදනම් කොටගෙන බස්නාහිර පළාත තුළටම සංකේන්ද්‍රණයවී පැවතුණි.  ආනයන අපද්‍රව්‍ය මත යැපෙන බොහෝ කර්මාන්ත වරාය පහසුකම් හා අවම පිරිවැයක් යටතේ නිපැයුම් සිදුකිරීමට මෙම කලාපයන් තෝරා ගනු ලැබූ අතර පසුකාලීනව රජය දෙනු ලැබූ දිරිගැන්වීම් මත මුල්කාලීන කර්මාන්ත ව්‍යාප්තියේ අවකාශීය රටාව වෙනස් කරමින් නවතම අවකාශීය රටාවක් බිහි කරනු ලැබුණි. මේ ආකාරයට බස්නාහිර පළාත තුළට කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඒකරාශීවීම නිසාවෙන් විශාල කාර්මික ශ්‍රමික පිරිසක් ඒ වටා එකතු වු ආකාරයක් 3.1 සිතියම තුළින් මනාව අවබෝධ කරගත හැකි වේ.
 
විවිධ වූ දේශපාලන මතවාදයන් ඔස්සේ නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ කාර්මීකරණය අපේක්‍ෂිත පරිණත මට්ටමට ළඟාවීමත් සමඟම එහි අවකාශීය විසරණයක් හෝ ප්‍රාදේශීයගත ක්‍රමයකට ප්‍රවේශවීමට මූලික අඩිතාලම නිර්මාණය කරන්නට විය. මෙකී තත්ත්වය සමස්ත ජාතික ආර්ථිකය තුළ ප්‍රකට ලක්‍ෂණයක් වශයෙන් හැඳින්විය හැකිය. එසේම දුෂ්කර දිස්ත්‍රික්කවල ජනයාගේ ජීවන මට්ට්ම යම්තාක් දුරකට හෝ ඉහළ නැංවීමට හේතු වූ අතර ඒ තුළින් ප්‍රාදේශීය සංවර්ධනයට අවශ්‍ය සැලසුම් ද සම්පාදනය විය. මෙලෙස වර්ධනය වූ ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්හි අවකාශීය ව්‍යාප්තිය කාලීනව ගතික ස්වරූපයක් උසුලන්නට ය. එය කාලය සහ අවකාශය යන මානයන් ඔස්සේ අධ්‍යයනයට යොමුකිරීමෙන් පැහැදිලිවේ. ප්‍රධාන අවධි 3ක් ඔස්සේ මෙකී අවකාශීය ගතිකත්වය අධ්‍යයනයට බඳුන් කර දක්වමු. එනම්,
  •  නිදහස ලැබූ අවධියේ පැවති කර්මාන්ත ව්‍යාප්තිය
  • නිදහසින් පසු මුල් යුගය (පූර්ව පශ්චාත් යටත්ජිත යුගය)
  • 1977න් පසු අවධිය (විවෘත ආර්ථිකයෙන් පසු අවධිය)
                                                                                                 යනුවෙනි.
 
යටත්ජිවිතකරණ යුගයේ නිමාවත් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තවල ව්‍යාප්තිය වතු වගා භූමි කලාපයන් ආශ්‍රිතව දක්නට ලැබුණි. ප්‍රධාන වශයෙන් තේ වගා කරනු ලබන උඩරට ප්‍රදේශවල හා මැදරට ප්‍රදේශවල තේ ආශ්‍රිත කර්මාන්තශාලා ස්ථානගත වී තිබුණි. රබර් සැකසුම් කර්මාන්ත බහුල වශයෙන් රබර් වගා කරනු ලබන මැදරට ප්‍රදේශවල ව්‍යාප්තව තිබූ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත පොල් ත්‍රිකෝණය තුළ ස්ථානගතව පැවතුණි.
 
වතු වගා නිෂ්පාදන කර්මාන්තයන් එම ප්‍රදේශ තුළම ස්ථානගතවීමත් සමඟ ලුහු කර්මාන්ත කිහිපයක් ද ඒ වටා සංකේන්ද්‍රණය වීමක් දක්නට ලැබුණි. එයට හේතුවූයේ යාන්ත්‍රික කොටස් සහ උපාංග නිෂ්පාදනය කරමින් සැපයීම අරමුණු කොටගෙනය. මීට සමකාලීනව ගෘහ කර්මාන්ත හා කුඩා කර්මාන්තයන් විශේෂිත වූ ප්‍රදේශ කිහිපයක පමණ ව්‍යාප්තව පැවති අතර මුහුදුබඩ කලාපයන් ආශ්‍රිතව උළු කර්මාන්තය, (කොච්චිකඬේ සහ හලාවත) දකුණු පළාත තුළ කොහු කර්මාන්තය ද, අම්බලන්ගොඩ වෙස් මුහුණු හා අත්කම් කර්මාන්තයන්ද, ව්‍යාප්ත වීම මීට නිදර්ශන සපයයි. දෙවන ලෝක යුද්ධය පදනම් කොටගෙන එයට දායකත්වය ලබාදුන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ද අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත රාශියක් කොළඹ හා ඒ ආශ්‍රිත තදාසන්න කලාපයන් තුළ ස්ථානගත ය. නමුදු මෙම යුගයේදී මහා පරිමාණ කර්මාන්තයන් රට පුරාම ව්‍යාප්තවීමක් හඳුනාගත හැකි අතර එයට හේතු වන්නේ කර්මාන්ත රාශියක් අමුද්‍රව්‍ය පදනම මත පිහිටා ස්ථානගත වීමයි. ලුණු, සිමෙන්ති, කිරි, කඩදාසි, තුනී ලෑලි ආදී මහා පරිමාණ කර්මාන්ත ඉන් කිහිපයකි.
 
කොළඹ දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ස්ථානගත වීමේ ප්‍රවණතාවය පූර්ව පශ්චාත් නිදහස් සමය තුළින් ද හඳුනාගත හැකිය. කර්මාන්ත සඳහා අවශ්‍ය වන්නාවූ යටිතල පහසුකම් ඉහළ මට්ටමක පැවතීම, නිෂ්පාදනය සඳහා මනා ඉල්ලුමක් ඇති කිරීම, කොළඹ වරායට ආසන්නවීම සහ මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන්නන් සංකේන්ද්‍රණයවී සිටීම මත පුද්ගලික අංශයේ ආයෝජකයින්ගේ කර්මාන්ත මේ අවකාශය තුළම තවදුරටත් ස්ථනගත කොටඇත. මීට සමකාලීනව රාජ්‍ය කර්මාන්තයන් මධ්‍යගතවීමක් දක්නට ලැබුණු අතර නියමාකාරයේ කර්මාන්ත ස්ථානගත වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම මතද කර්මාන්ත කොළඹ වටා අධික ලෙස සංනේක්ද්‍රණයවීමට හේතු සාධක වීය.
 
නමුදු පසු කාලීනව එනම්, 1950න් පසු රජය ගත් කර්මාන්ත විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදය මත සාම්ප්‍රදායිකව පැවති කර්මාන්ත ව්‍යාපෘතියේ අවකාශීය රටාව වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය උදාවිය. 1959දී ඒකල කම්හල් 60කින් සමන්විත කර්මාන්පුරය තුළින් මෙයට පදනම නිර්මාණය විය. අවම පිරිවැයක් යටතේ කර්මාන්ත පිහිටුවීම තුළින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. 80 දශකයේ මුල් කාලීනව රාජ්‍ය අංශය මඟින් විමධ්‍යගත කළ කර්මාන්තයන්; අමුද්‍රව්‍ය මුල්කොටගනිමින් ස්ථානගත වූ අතර කන්තලේ, හිඟුරාන සහ පැල්වත්ත සීනි කර්මාන්තයන්ද, අඹේවෙල සහ පොළොන්නරුවේ කිරි සැකසුම් කර්මාන්තයන් ද, පුල්මුඬේ ඛනිජවැලි කර්මාන්තය ද, ගාල්ල, පුත්තලම හා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තය ද, මේ අතර ප්‍රමුඛ විය. නමුදු රජය මඟින් ස්ථාපිත කර්මාන්තයන් අතර ආනයනික අමුද්‍රව්‍ය පදනම් කරගනමින් පිහිටවූ මහා පරිමාණ කර්මාන්ත බස්නාහිර පළාතතුළට කේන්ද්‍රගතවීම මෙම අවධියෙහි දැකිය හැකිවීම විශේෂ ලක්‍ෂණයකි.
 
1977න් පසුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත සිතියමෙහි නවමු පෙරළියක් ඇති වන්නට වූ අතර කර්මාන්තයන්හි අවකාශීය විවිධත්වය ඉතා සීඝ්‍රව වර්ධනය වන්නට විය. 1977 අපනයනය පෙරදැරි කරගත් කාර්මික ප්‍රතිපත්තිය තුළින් මුල් කාලීනව මෙම වෙනස හඳුනාගත නොහැකි වු අතර කර්මාන්ත සංකේන්ද්‍රණය බස්නාහිරටම යොමුවී තිබීම ඊට හේතු සාධකවී ඇත. මෙම පදනම මත කටුනායක සහ බියගම අපනයන සැකසුම් කලාප බස්නාහිර පළාත තුළම ස්ථාපිත වන්නට විය. රජය ලබාදුන් දිරි දීමනාවන් හා පහසුකම් මෙකී ලක්‍ෂණය වර්ධනය කිරීමට හේතු සාධක විය. 1977 බලයට පත් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද කර්මාන්ත විවිධාංගීකරණ ප්‍රතිපත්තිය යටතේ කර්මාන්ත සාම්ප්‍රදායික කර්මාන්ත ක්‍ෂේත්‍රයට සංකේන්ද්‍රණයවීමේ ප්‍රවණතාවය අඩු කරලීමට කටයුතු කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය නිෂ්පාදන කර්මාන්ත කොළඹින් පිටත ස්ථානගත කරවීමට උත්සාහ දැරූ අතර කොළඹ නගරය තුළ ස්ථානගත කළයුතු ඉන් පිටතට මධ්‍යගත කළයුතු 1987 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද කර්මාන්ත ප්‍රතිස්ථාපනගත කිරීමේ වැඩසටහන නව කර්මාන්ත පිහිටුවීමට සුදුසු ස්ථාන පිළිබඳව අධ්‍යයනය කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස පසු කාලීනව කර්මාන්ත සංකේන්ද්‍රණය ඇති වු අතර ශ්‍රී ලංකා කර්මාන්ත සිතියමෙහි ගතිකත්වය කෙරෙහි මෙය ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබීය. 


1980 දශකය තුළ රජයේ කාර්මික ප්‍රතිපත්තිය වෙනත් දිශාවකට යොමුවීම ආරම්භ විය. මුල් කාලීන කාර්මික සංකේන්ද්‍රණය තුළ පසු කාලීනව හටගනු ලැබූ සමාජ, ආර්ථික, පාරිසරික හා සංස්කෘතික ගැටලුකාරී තත්වයන් මෙයට පාදක වූ අතර රජයේ සාම්ප්‍රදායික කාර්මික ප්‍රතිපත්තියෙහි විශේෂ ඉලක්කය ලෙස, පරිසර දූෂණය අවම වන්නාවු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත යොමු විය. මෙකී කර්මාන්තයන් බොහෝමයක් භෞතික වශයෙන් දුෂ්කර වූ කලාපයන් තුළ (පසුගාමී/පර්යන්ත කලාප) ස්ථානගතව පැවතීම නිසාවෙන් සම්ප්‍රදායික කාර්මික අවකාශයන් ශීඝ්‍රයෙන් ගතික ස්වභාවකට පිවිසෙන්නට විය. ප්‍රාදේශීය සංවර්ධනය වර්ධනය කරමින් පසුගාමී ප්‍රදේශයන් සංවර්ධනය  කිරීම සහ  නගර මධ්‍යස්ථාන සාම්ප්‍රදායික කාර්මික මධ්‍යස්ථාන වෙත සංකේන්ද්‍රණය වන ජනයා පාලනය කිරීම ද මෙහි ප්‍රමුඛතම අරමුණ අතර විය. කාර්මික සංවර්ධනය ප්‍රදේශීයකරණය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය පියවර අතර රටපුරා කාර්මික කලාප පිහිටුවීම, 1922දී ප්‍රාදේශීය බල ප්‍රදේශ තුළ ඇඟලුම් කම්හල් 200ක් පිහිටුවීමට කටයුතු කිරීම ආදී වැඩසටහන් මගින් කර්මාන්තයන් ගතික අවකාශය හරහා වර්ධනය වන්නට වීය. මෙය සමස්ථ කාර්මික ක්ෂේත්‍රයේ අවකාශීය ව්‍යාප්තිය තුළ ගතික ස්වභාවයක් වර්ධනය කිරීමට ප්‍රබල ලෙස බලපෑමක් ඇති කරනු ලැබු අතර එහි ප්‍රතිඵල 1997  වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළින් දක්නට ලැබුණු අතර එය ඉහත දක්වා ඇති සිතියම තුළින් මනාව අවබෝධ වනු ඇත.
 
කර්මාන්තයන්හි අකාශීය ව්‍යාප්තිය කර්මාන්ත ප්‍රාදේශීයකරණය හරහා නැවුම් මගකට යොමුවන කාලයෙහි දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිය හා ප්‍රාදේශීය කාර්මික ජනපදකරණ වඩසටහන තුළින් ඊට ලබාදෙන ලද්දේ නොමඳ සහායකි. එසේම කර්මාන්තපුර හා කාර්මික ජනපද පිහිටුවීමත් සමග අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිසා අඩු දියුණු ප්‍රදේශවල කාර්මික කටයුතු ප්‍රවර්ධනයට හේතුවිය. කාර්මික අංගන වැඩසටහන ඔස්සේ කාර්මික අංගනයන් 25ක්  පමණ ශ්‍රී ලංකාවේ විවිධ කලාපවල ස්ථාපිත කළ අතර ඒවායින් 23ක් පමණ ප්‍රාදේශීය කාර්මික ජනපද ලෙස පිහිටුවීම කාර්මික අවකාශය පුළුල් කිරීමටත්, එහි ව්‍යාප්තියටත්, සංකීර්ණත්වයටත් හේතු විය. සීතාවක හා කළුතර පිහිටුවනු ලැබූ කාර්මික අංගනයන් සම්ප්‍රදායික කාර්මික සංකේන්ද්‍රණය තුළ ස්ථාපිත වුවද අවකාශීය දැක්ම ඔස්සේ අධ්‍යයනය කරන කල්හි ප්‍රමුඛ කලාපයෙන් බාහිර කලාපයන් තුළ පිහිටුවා ඇති බව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව අවබෝධ කරගත හැකිය.

පසුුගිය රජය මඟින් එළිදක්වනු ලැබු ‘මහින්ද චින්තන කාර්මික ප්‍රතිපත්ති ප්‍රකාශනය’ තුළින් ද ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරමින් ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කරගැනීම සඳහා සැලසුම් සම්පාදනය කර ඇති බැව් පෙනේ. ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමන් සැලසුම් කරන ලද කර්මාන්ත 300ක් පිහිටුවීමේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයෙහි නව පුනුරුදයක් නුදුරු අනාගතයේදී ඇති වන අතරම ඒ තුළින් ප්‍රාදේශීය වශයෙන් සිදුවන්නා වු සංවර්ධන ක්‍රියාවලිය ද සැලකිය යුතු මට්ටමක් කරා ළඟා වෙතැයි අපේක්ෂා කළ හැකිවේ. එමෙන්ම වත්මන් රජය කර්මාන්ත සංවර්ධනයෙහිලා යොදනු ලබන උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය දායකත්වය පිළිබදව ද මෙහිදී අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:
 
ඊරියගම, තිස්ස. (2002). ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂණය, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11. 

ගමගේ, එස්.අයි. (1998). ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය 1948, සීමාසහිත ඇම්. ඩී.
ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11.

ගුණවර්ධන, බන්දුල. (1978). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප යෝජනා ක්‍රමය, ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ, 217, කැස්බෑව පාර, බොරලැස්ගමුව.

ජයකොඩි, සරත් කේ. (2008). ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, අභියෝග හා ප්‍රතිචාර, කර්තෘ ප්‍රකාශනයකි.
 
සඟරා හා ලේඛන:
 
කර්මාන්ත, වෙළුම  17, (1989). ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ගාලු පාර, කටුබැද්ද - මොරටුව.

කර්මාන්ත පුවත්, වෙළුම 01, (1993). කාර්මික සංවර්ධන මණ්ඩලය, ගාලු පාර, කටුබැද්ද - මොරටුව.

ප්‍රාදේශීය සංවර්ධනයේදී ජනාවාස රටා මැනීම සදහා භාවිතා කරනු ලබන සිද්ධිය හා සංඛ්‍යානමය පරීක්ෂාවන්

ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය තුළදී ජනාවාස රටාවට හිමි වන්නේ වැදගත් ස්ථානයක් වන අතර මානව හැසිරීම් හා ව්‍යාප්තිය ප්‍රාදේශීය සංවර්ධනය කාර්ය සමඟ සෘජුව හා වක්‍රව අන්තර් ක්‍රියාකාරකම් සිදු කිරීම එයට හේතු වේ. ජනාවාස එකිනෙක හා සන්සන්දනාත්මකව අධ්‍යයනය සඳහා සිද්ධිය හා සංඛ්‍යානමය පරීක්ෂාවන් දියුණුවී ඇති අතර එහි දායකත්වය ක්‍රම සම්පාදන කාර්යට දායක කරගනු ලබයි. ඒවා එකින් එක මෙතැන් සිට අධ්‍යයනයට බඳුන් කරන්නෙමු.

ආසන්න අසල්වැසි විශ්ලේෂණය
 
සිතියමක ජනාවාසයක් බොහෝවිට දක්වනුයේ තිතක් හෙවත් ලක්ෂ්‍යයක් ආකාරයෙන් වන අතර එකී තිත් රටාවන් හෝ ව්‍යාප්තීන් භූගෝල විද්‍යාව මඟින් අධ්‍යයනයට බඳුන් කරයි. මෙම තිත් රටාවන්ගේ ව්‍යාප්ති ස්වරූපය අනුව ජනාවාසයේ රටාව විසිරි, පොකුරු හෝ ඒකාකාරී එකක් ද යන්න තීරණය කළ හැකිවන අතර එය පහත රූප සටහන් තුළින් හඳුනාගත හැකිවේ. එසේම එම ජනාවාස ව්‍යාප්ති රටාවන් ආසන්න අසල්වැසි විශ්ලේෂණයට අනුව කිනම් ජනාවාස රටාවට අයත් වන්නේදැ යි මැනිය හැකි අතර ඒ සඳහා යම් ක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. එය පහත ආකාරයෙන් සූත්‍රගත කළ හැකිවේ. 


මෙම ක්‍රමවේදය ප්‍රයෝජනවත් සංඛ්‍යානමය ප්‍රවිධියක් වුවද එය ඉතා ප්‍රවේශම්කාරී ලෙස ව්‍යවහාර කිරීම කළ යුතුවේ. ඒ සඳහා බලපාන කරුණු කිහිපයක් පවතී. එනම්,
  • අධ්‍යයන ප්‍රදේශය තෝරා ගැනීම තීරණාත්මකය. එකිනෙක ප්‍රමාණයෙන් වෙනස් ප්‍රදේශ තෝරාගත් විට සන්සන්දනය අපහසුය.
  • තෝරාගත් ප්‍රදේශය විශාල නොවිය යුතුය. එවිට ඍබ වටිනාකම පහළ බසී. බොහෝ කුඩාවීමද සුදුසු නොවේ.
  • ජනාවාස මාර්ග නිම්න හෝ දිය පහරක් වැනි රේඛීය ලක්ෂණයයක් ඔස්සේ වැටී තිබුණහොත් වැරදි නිගමනවලට එළැඹීමට අවස්ථාව පවතී.
  • විශාලත්වයකින් යුතු ජනාවාස යොදාගන්නේද, ගමක් ලෙස දැක්විය හැකි ප්‍රමාණයක ජනාවාස තෝරාගත යුතුය.
  • මැනුම් කටයුතු සඳහා ජනාවාසයේ කේන්ද්‍රයේ තීරණය කිරීම ගැටලු සහගතය.
  • ප්‍රදේශය මායිම තෝරාගැනීම ප්‍රවේශමින් කළ යුතුය.
                                                                                         යනුවෙනි.
 
ඉහත දැක්වු කරුණු ගැටලුකාරී වුවද, ආසන්න අසල්වැසි විශ්ලේෂණය මඟින් කිසියම් ප්‍රදේශයක ජනාවාස ඒකරාශීවීමට හෝ ඒකාකාරීවීමට කරුණු අධ්‍යයනය සඳහා මනා පදනමක් සපයනු ලබයි. එමනිසා ප්‍රාදේශිය සංවර්ධන ක්‍රියාදාමයේදී සැලසුම් සකස් කිරීමේදී මෙම ක්‍රමය බොහෝවිට යොදාගනු ලබයි. ඒ තුළින් ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන අවශ්‍යතාවයන් හා එහි ප්‍රමාණය පිළිබඳව අඳහසක් ලබාගැනීමට මෙන්ම අවශ්‍ය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද ඒ තුළින් මනා පිටුවහලක් ලැබේ.  

තරා-තරම නීතිය
 
කිසියම් පරිපාලනමය ඒකකයක ජීවත්වන ජන සංඛ්‍යාවේ ප්‍රමාණය අතර පවත්නා සංඛ්‍යාත්මක සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම තරා-තරම නීතිය මඟින් සිදුකරනු ලබන අතර එය බිම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වන්නා වු පරිපාලන මායිම් ඔස්සේ සිදුකරයි. මෙම නීතියෙන් සරලවම ප්‍රකාශ කරනුයේ ජනාවාසයන්හි තරම හෙවත් ප්‍රමාණය ප්‍රතිලෝම වශයෙන් ඒවායේ තරාවට සමානුපාත වන බවකි. මෙහිදි ජනාවාස ඒවායේ ජන සංඛ්‍යාව ප්‍රමාණයට අනුව අවරෝහණාකාරයෙන් සකස් කරනු ලබන අතර ජන සංඛ්‍යාව අධිකතම ජනාවාසයට ඉන් ප්‍රතමස්ථානය හිමිවේ. තරා-තරම නීතිය එක් ප්‍රධාන සිතාගැනීමක් මත පදනම් වෙමින් නිර්මාණය වී ඇති අතර එනම්, පළමු තරාව සහිත ජනාවාසයේ සිටින ජන සංඛ්‍යාවෙන් 50%ක් දෙවැනි තරාව සහිත ජනාවාසය තුළ සිටින බවයි. එසේම තෙවැනි තරා කළ ජනාවාසයේ සිටිනුයේ පළමුවැනි තරා කළ ජනාවාසයේ ජනසංඛ්‍යාවෙන් 1/3ක් පමණ වන අතරම සිව්වැනි තරා කළ ජනාවාසයේ සිටිනුයේ පළමුවැනි ජනාවාසයේ ජන සංඛ්‍යාවෙන් 1/4ක් පමණි.
තරා නීතිය සුත්‍රගත කොට ඇති අතර එය ඉහත දක්වා ඇත. මෙම සූත්‍රය භාවිතා කරමින් ජන සංඛ්‍යාව විශ්ලේෂණය කළවිට නිශ්චිත සෘණාත්මක සම්බන්ධයක් නිර්මාණය වන අතර එය අංක ගණිතමය ප්‍රස්ථාර කඩදාසියක වක්‍රයක් ලෙසින්ද, ලඝු ප්‍රස්තාර කඩදාසියක සෘජු රේඛාවක් වශයෙන්ද නිරූපණය වේ. ඉහත දක්වා ඇති රූප සටහනින් එය පැහැදිලිව හදුනාගත හැකි වේ. මෙලෙස තරා-තිරම නීතිය මඟින් ප්‍රදේශයක වාසය කරනු ලබන ජන සංඛ්‍යාව හඳුනාගැනිම තුළින් ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සම්පාදනයේදී ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පහසුවෙන් නිර්ණය කිරීමෙන් හැකියාවක් ලැබේ. එසේම මිනිසුන් සංඛ්‍යාව ඔවුන්ගේ හැසිරීම්  පිළිබඳව  යම්  අවබෝධයක් මේ තුළින් ලබාගත හැකිවීම නිසා නිසියාකාර ක්‍රම සම්පාදන සැලසුම් සකස් කිරීමටද ශක්‍යතාවයක් මේ තුළින් නිර්මාණය වනු ඇත.
 
කේන්ද්‍රස්ථාන කල්පිතය
 
භාණ්ඩ හා සේවා සපයන ජනාවාසයක් කේන්ද්‍රස්ථානයක් වන අතර එය කුඩාගමක සිට විශාල නගරයායක් දක්වා විචලනය විය හැකිය. එසේම කේන්ද්‍රස්ථානයක් එහි ධුරාවලිය සමඟ සම්බන්ධයක් පවත්වනු ලබන අතර සෑම ජනාවාසයක් වටාම ඇති ප්‍රදේශය එහි ආර්ථික, සමාජීය හා දේශපාලනික බලපෑම්වලට ගොදුරුවන හෙයින් එය “නාගරික ක්ෂේත්‍රයන් හෙවත් පසුබිම් ප්‍රදේශය” ලෙස අර්ථ ගන්වයි. කේන්ද්‍රස්ථානයන්හි අවකාශය, ප්‍රමාණය හා කාර්යන් මත එම පසුබිම් ප්‍රදේශයේ ප්‍රමාණය තීරණයවීමක් සිදුවන බව හඳුනාගත හැකිවේ. එසේම මේ හා සම්බන්ධ සාමාන්‍යකරණයන් 4ක් පවතින අතර ඒවානම්,

  • ප්‍රමාණයෙන් විශාල ජනාවාස සංඛ්‍යාව අවම වන අතර කුඩා ගම්මාන අධික සංඛ්‍යාවක් පවතී. නමුත් විශාල නගර ඇත්තේ ස්වල්පයකි.
  • ජනාවාස ප්‍රමාණයෙන් විශාලවන විට ඒවා අතර දුර ප්‍රමාණය වැඩිවේ.
  • ජනාවාසයක් ප්‍රමාණයෙන් විශාල වනවිට එහි කාර්යන්ගේ සංඛ්‍යාව හා පරාසය වැඩිවේ.
  • ජනාවාසයක් ප්‍රමාණයෙන් විශාල වනවිට උසස් මට්ටමේ සේවාවන් සංඛ්‍යාවද අධික වේ. (සේවා විශේෂතාවය වැඩිවේ.)
                                                යනුවෙනි.
 
ජර්මන් ජාතික වෝල්ටර් ක්‍රිස්ටාලර් 1933 දී තම ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරමින් ජනාවාසයක අවකාශය හා කාර්යන් අතර පිළිවෙළක් පවත්නා බව පෙන්වාදීමට යත්න දැරීය. එහිදී ඔහු පෙන්වා දෙනු ලැබුයේ විවිධ ප්‍රමාණයේ ජනාවාසයන්හි පිහිටීම හා ව්‍යාප්තිය අතර කිසියම් රටාවක් පවතින බවත්, ජනාවාසය සපයන සේවාවන්හි මට්ටම නොසළකමින් සෑම ජනාවාසයක්ම කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියාකරන බවත්ය. පහත දක්වා ඇති රූප සටහනින්  එය  පැහැදිලිව  හඳුනාගත  හැකිවේ.  ක්‍රිස්ටාලර්  තම  කල්පිතයට පදනම්  වු මූලධර්මයන් දෙක ලෙස භාණ්ඩ හා සේවාවන්හි පරාසය සහ පර්යන්තය යොදාගනු ලැබු අතර ඔහු ඉන් අනතුරුව උපකල්පන කිහිපයක් මත පදනම් වෙමින් පර්යන්ත කලාප මට්ටම් 3ක් K=3: K=4; K=7 ලෙස හඳුන්වාදුණි. මෙහිදී K යනුවෙන් හඳුන්වනු ලැබුයේ ඊළඟට වැඩිම කේන්ද්‍රස්ථානයේ යැපෙන ජනාවාස සංඛ්‍යාව දැක්වීමටය. උදාහරණයක් ලෙස K=3 යන පර්යන්ත කලාපය ගතහොත් එය තෙවැනි ගනයේ වෙළඳ ප්‍රදේශය සහිත කේන්ද්‍රස්ථානය  පළමු ගනයේ හෙවත් අඩුම ගනයේ කේන්ද්‍රස්ථානය වඩා 3 ගුණයක් විශාල බවයි. ප්‍රාදේශිය සංවර්ධන කාර්යේදී මෙම සංකල්පය තුළින් සේවා සැපයුම් කලාප හා එහි  පර්යන්තය හඳුනාගනිමින් අවශ්‍ය සංවර්ධනසැලසුම් සම්පාදනය කිරීම යන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මහඟු පිටුවහලක් ලැබෙනු ඇත.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ජයකොඩි, සරත් කේ. (2008). ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, අභියෝග හා ප්‍රතිචාර, කර්තෘ ප්‍රකාශනයකි. 

දික්වැල්ල, රංජිත්. (2003). ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන පරිපාලනය, ආරිය ප්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාලය මාවත, වරකාපොල.

ධනපාල.ඒ.එච්., (2007). භූගෝල විද්‍යාව මානුෂ හා ආර්ථික කටයුතු, සරසවි ප්‍රකාශකයෝ, 30, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

මනෝදර, නෙල්සන් ඩි. (2013). නිෂ්පාදන කර්මාන්ත ස්ථානගතවීමේ නව ප්‍රවණතා (ආර්ථික භූගෝල විද්‍යා විශ්ලේෂණයකි.), පළමු වෙ`ථම. කතෘ ප්‍රකාශනයකි, 947, පේරාදෙණිය පාර, මහනුවර.

වික්‍රමසිංහ, වයි.එම්. (2009). සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම හා සැළසුම් කිරීම, කතෘ ප්‍රකාශනයකි. සිරපුර ප්‍රින්ටර්ස්, 174 , රජමහා විහාරය පාර, කෝට්ටේ.

කාර්මීකරණය හා ප්‍රාදේශීය සංවර්ධන සංකල්පය

16 වන සියවසයේ අග භාගය වනවිට මහා බි්‍රතාන්‍යය තුළ නිර්මාණය වු කාර්මික විප්ලවයේ ප්‍රතිපලයක් ලෙස කාර්මීකරණ ක්‍රියාවලිය පෙන්වා දිය හැකිය. අමු ද්‍රව්‍ය හා බල ශක්ති මූලයන්හි ඇදීම මත  නිර්මාණය වු නිෂ්පාදන ක්‍රියාවලින් ඔස්සේ මහා බි්‍රතාන්‍යය තුළ කාර්මික නගර විශාල වශයෙන් ව්‍යාප්ත වන්නට වීය. මෙලෙස ධනවාදී ආර්ථික ප්‍රවේශය ඔස්සේ ස්ථාපිත වු කාර්මික නගරවල ප්‍රමුඛතම කාර්යාංශය ලෙස නිෂ්පාදන කර්මාන්ත වටා හඳුනාගනු ලැබිණි. මුල් කාලීනව අමුද්‍රව්‍ය හා බල ශක්තිය මුලයන් වටා කේන්ද්‍රගත වෙමින් ස්ථානගත වු නිෂ්පාදන කර්මාන්තයන් කෙරෙහි පසු කාලීනව වෙනත් සාධකයන්ගේ බලපෑම ද හිමි විය.
කාර්මික නගර සංකල්පයෙහි ප්‍රායෝගිකත්වය 18 වන සියවසයේ අවසන් භාගය වනවිට මහා බ්‍රිතාන්‍ය ඇතුලු සමස්ථ බටහිර යුරෝපයම තුළම ව්‍යාප්තව ගිය අතර 19 වන ශත වර්ෂයේ දී එය ඇමරිකා එකසත් ජනපදය, කැනඩාව, සෝවියට් දේශය හා ඕස්ත්‍රේලියාව යන රටවල් දක්වා ද ගමන් කරනු ලැබීය.20 වන සියවසයේ දී මෙම ප්‍රවණතාවය යටත්විජිතකරණ ක්‍රියාවලිය හරහා ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් කරා යොමු වු අතර එහිදී චීනය, බ්‍රසීලය, මෙක්සිකෝව හා ඉන්දියාව වැනි රටවල් ප්‍රමුඛයන් වුහ. මෙහි ප්‍රතිපලයක් ලෙස මහා පරිමාණ කාර්මික ආයතනයන් ගෝලීය ආර්ථිකයේ ප්‍රභලයන් ලෙස ක්‍රියාත්මක වන්නට වු අතර ඒවායේ ක්‍රියාකාරීත්වය නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය, සංයුතිය, ප්‍රවණතා මෙන්ම ස්ථානගතවීම යනාදී අංශ වෙත ප්‍රභල බලපෑමක් එල්ල කරනු ලැබීය. එසේම අන්තර්ජාතික හා ජාතික සංවර්ධන ක්‍රියාදාමයෙහි විෂමතාවයන් තීරණය කිරීමෙහිලාද මෙහි බලපෑම සෘජුව ලැබී ඇති අතර ලෝක භූ දේශපාලන ඒකාධීකාරිය පවත්වා ගැනීමට ද වර්තමානය වනවිට මෙය උපාය මාර්ගයක් හා උපකරණයක් ලෙස යොදාගෙන ඇති බැව් පෙනේ. 

“මුලීක යෙදවුම් වශයෙන් ඛණිජමය හෝ ජීවිය මුලාශ්‍රයන්ගෙන් සකසාගත් ද්‍රව්‍ය හෝ වෙනත් කර්මාන්තයක නිෂ්පාදනය කරන ලද අර්ධ නිමි භාණ්ඩ (Semi - Finished Products) යොදා, යම් පරිශ්‍රයක ශ්‍රමය, බල ශක්තිය හා ජලය වැනි වෙනත් යෙදවුම් ද උපයෝගී කර ගනිමින් යන්ත්‍රෝපකරණ අනුසාරයෙන් විවිධ අවශ්‍යතාවන් සඳහා භාන්ඩ නිපදවීම ‘නිෂ්පාදන කර්මාන්ත’ (Manufacturing Industry) යනුවෙන් සරලව නිර්වචනය කළ හැකිය.” (එම්.ඩි.නෙල්සන්, 2013) නිෂ්පාදන කාර්මික ක්ෂේත්‍රය හෙවත් කර්මාන්ත  වර්තමාන ආර්ථික ක්‍රියාවලිය තුළ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියකින් සමන්විත වු ස්වභාවයක් හඳුනාගත හැකිවේ. එහිදි නිපයුම් පිළිබඳව දරනු ලබන පිරිවැය (Cost of Production)" , අකාලික වටිනාකම (Value Added in Manufacturing)" , එක්ලස් කිරීම (Assemble) මෙන්ම ඒවායේ ක්‍රියාත්මකතාවය බහු ජාතික සමාගම් ඔස්සේ (Multi - National Corporation - MNC ) සිදුවීම ආදිය මෙහි සංකීර්ණ ස්වභාවයට හේතු වු පදනම නිර්මාණය කරඇත.

නමුත් වර්තමාන කාර්මික ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති උපාංග නිෂ්පාදන ක්‍රියාවලිය නිමි භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාදාමයට වඩා වැඩි ප්‍රවණතාවයක් හිමි කරගෙන ඇති බැව් පෙනේ. (Component) මහා කර්මාන්තයන් වර්ධනය වීම තුළින් සිදුවන සංවර්ධනයකට ප්‍රාදේශීය පරිමාණයෙන් හා ස්ථානීය පරිමාණයෙන් ක්‍රියාත්මක වන කුඩා කර්මාන්තයන් තුළින්ද සිදුවු සංවර්ධනය සැකිය යුතු මට්ටමක් නියෝජනය කරනු ලබයි. මේවා බොහෝමයක් සාම්ප්‍රධායික ජන සමාජ තුළට ආවේණික වු නිර්මාණය වු තාක්ෂණික දැනුම මත පදනම් වී ඇති අතර කාලීන විකාශනය වු කර්මාන්ත (Handicrafts) ආදියෙන් අර්ථකථනය කරනු ලබන්නේ මෙම කර්මාන්තයන්ය. මෙම කර්මාන්තයන් බොහෝ විට වෙළඳ පොළ අරමුණු කරගෙන නිෂ්පාදනයන් සිදුනොකරනු ලබන අතර ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පමණක් මූලික අවධානයක් යොමු කරනු ලබයි. නමුදු අතිරික්ත නිමයුම් පවතී නම් ඒවා දේශීය වශයෙන් මුල් කාලීනව වෙළඳ පොළට එක් කළ අතර ඒ සඳහා යොදාගත් ප්‍රාග්ධනය ශ්‍රමය ඒ ඒ පවුල් තුලින් ද සරල ශිල්පීය හා තාක්ෂණික ක්‍රමවේදයන්ද යොදා ගැනීමක් තුලින් භාණ්ඩ නිමවුම සිදුකරනු ලැබීය. පසු කාලීනව මෙම නිෂ්පාදනයන් සඳහා නැවත වෙළඳපොළ ඉල්ලුම ඉහළ යාමත් සමඟ ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්තය  (ගෘහ) ග්‍රාමීය ආර්ථිකයෙහි මෙන්ම ප්‍රාදේශීය ආර්ථිකයටද වටිනාකමක් එකතු කරනු ලැබීය. ඒ සඳහා වෙළඳපොළ ස්ථානීය පරිමාණයේ සිට ගෝලීය පරිමාණය දක්වා පු`ථල් කරගැනීමට අවකාශය හිමි වු අතර ඒ සඳහා රජය මෙන්න පුද්ගලික ආයතන මඟින් සැපයු අනේක විධ වු දායකත්වය වැදගත් සාධකයක් විය.

අතීතයේ සිට වර්තමානය දක්වා නිෂ්පාදන කාර්මික පද්ධතිය අධ්‍යයනය කිරීම තුලින් කර්මාන්ත තුල පැවැති කාලීන විචල්‍යතාවයන් පැහැදිලිවම හඳුනාගත හැකි වේ. එසේම සංකීර්ණ කාර්මික පද්ධතිය තුල පවත්නා අනුලෝම සහ ප්‍රතිලෝම සබැදියාව අතර දෝලනය වන්නා වු අන්තර් සම්බන්ධතාවය අධ්‍යයනය කිරීම ද මෙහිලා වැදගත් වේ. කර්මාන්ත තුල පවත්නා වු සංකීර්ණතාවය අවබෝධ කරගැනීමේ නිර්ණායකයන් ලෙසින් ද මෙය භාවිතා කිරීමට හැකිවීම විශේෂත්වයකි. කර්මාන්තයන්හි ස්වරූපය, ස්වභාවය, ප්‍රමාණය, පිහිටීම ආදි සාධකයන්හි තොරතුරු සහ දත්ත ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංශ ඔස්සේ රැස් කරමින් යම් සම්මත ක්‍රමවේදයකට අනුව බෙදිමකට ලක් කරයි. කර්මාන්ත වර්ගීකරණයට පසුබිම මෙම ක්‍රියාවලිය තුලින් නිර්මාණය වන අතර ඒ තුළින් ස්ථානීය මට්ටමේ සිට ගෝලීය පරිමාණය දක්වා ව්‍යාප්ත  ඇති කර්මාන්තයන්ගේ ව්‍යුහයේ හරස්කඩ හඳුනාගනිමින් සිදුකළ හැකිය. මෙය කාලීනව මෙන්ම අවකාශිය මට්ටමෙන් ද විචලතාවයකට බඳුන් වන අතර ඒ තුලින් විවිධ වු කර්මාන්ත වර්ගීකරණයන් බිහිවීමක් සිදු වුවද එම තත්ත්වය වළක්වාගැනීම සඳහා ජාත්‍යන්තර පොදු වර්ගීකරණයක් ජාත්‍යන්තර ප්‍රමිති කර්මාන්ත වර්ගීකරණය (International standard industries classification : ISIC) ලෙසින් හඳුන්වා දෙනු ලැබීය. මෙම වර්ගීකරණය ඇති වීමට පෙර වි විධ විෂය ක්ෂේත්‍රයන් තුළින් ශාස්ත්‍රීය මට්ටමින් නිර්මාණය කරන ලද හා බෙදා වෙන් කරන ලද කර්මාන්ත රාශියක්ද හඳුනාගත හැකිය. ඒ සඳහා නිර්ණායක ලෙස යෙදවුම්, නිෂ්පාදන ක්‍රියාවලි, නිමයුම්හි විශාලත්වය හා ස්වරූපය ආදිය ස්ථානගතවීමේ සාධක ආදිය යොදාගෙන ඇත. බැර කර්මාන්ත, ලුහු කර්මාන්ත (Heavy Industry, Light Industry) මෙන්ම වර්තමාන ගෝලීය ආර්ථිකය තුල නිරන්තරයෙන් කතා බහට ලක්වන (foot-loose Industry) ආදිය මෙයට නිදර්ශන වශයෙන් පෙන්වාදිය හැකිය.

ශ්‍රී ලංකාවේ කර්මාන්තයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ද මෙය පැහැදිලිවම හඳුනාගත හැකි කරුණකි. කර්මාන්තයන් වටා ඒකරාශී වී ඇති ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය හා ඉන් නිපදවනු ලබන නිමයුම් ප්‍රමාණය ආදිය පදනම් කරගැනීමෙන් සිදුකරනු ලබන්නා වු කර්මාන්ත වර්ග කිරීම අනුව
  • මහා පරිමාණ, 
  • මධ්‍ය පරිමාණ හා 
  • කුඩා පරිමාණ කර්මාන්ත 
                                                    ලෙස ප්‍රධාන කොටස් 3කින් සමන්විතවීම තුලින් එය සනාථවේ.
ලෝකයේ කර්මාන්ත ස්ථානගතමේ ක්‍රියාවලිය මුල් කාලීනව ඒ ඒ රටවල්හි ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට හා කර්මාන්ත වර්ධනය පමණක් අරමුණු කොටගෙන සිදුකරනු ලැබුවකි. කෘෂිකාර්මික ආර්ථික රටාවක් ඔස්සේ පමණක් අපේක්ෂිත සංවර්ධනයක් සඳහා ගමන් කළ නොහැකිය, යන මතවාදය මෙන්ම තර්කනයන් මත පදනම් නොවී කර්මාන්ත ස්ථානගත කිරීමක් පිළිබඳවද මින් අඳහස් කරයි. කර්මාන්ත රාශියක් ඒකරාශී වීම තුලින් කාර්මික ප්‍රදේශයක් නිර්මාණය වන අතර එය ප්‍රාදේශීය මානනයෙන් (Regional Perspective) අධ්‍යයනය කරණු ලබයි. ලෝකය තුල පවතින කාර්මික කලාප ප්‍රාදේශීය මානනයෙන් අධ්‍යයනය කිරිමේදී ප්‍රධාන කලාප 4 ක් හඳුනාගත හැකි අතර

■    ඊසාන දිග උතුරු ඇමරිකාව
■    වයඹදිග යුරෝපය
■    බටහිර රුසියාව හා යුක්රේනය
■    නැගෙනහිර ජපන් වෙරළබඩ
                                                    මෙහිදි වැදගත් වේ. 

පසුකාලීනව ලෝකය තුල ස්ථාපිත වු කාර්මික ප්‍රදේශයන්, කර්මාන්ත දිස්ත්‍රික්ක හා කාර්මික නගර ලෙස බෙදි යාමකට ලක් වී ඇත. ඇන්ග්ලෝ ඇමරිකන් නිෂ්පාදන කාර්මික ප්‍රදේශයෙහි දිස්ත්‍රික්ක 12 හා චීනයේ ප්‍රදේශ 21කට බෙදා ඇති කාර්මික හර හා පර්යන්ත කලාප මෙයට නිදර්ශන ලෙස පෙන්වා දිය හැකිය. මේ ආකාරයට ප්‍රාදේශිය මානනයෙන් ලෝකය තුල වන්නා වු කාර්මික ප්‍රදේශ විශාල සංඛ්‍යාවක් හඳුනාගත හැකිය.
තරඟකාරි ගෝලීය ආර්ථික ක්‍රියාදාමය තුල නිෂ්පාදන කර්මාන්ත තුළින් ලැබෙන දායකත්වය සැළකිය යුතු මට්ටමකින් පවතී. එය පදනම් කරගනිමින් ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදන කර්මාන්ත ඒකරාශී කරමින් කාර්මික ජනපද, අපනයන සැකසුම් කලාප, නිදහස් වෙළඳ කලාප, ආයෝජන ප්‍රවර්ධන කලාප හා විශේෂිත ආර්ථික කලාප ආදිය පිහිටුවමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන මට්ටමින් නිෂ්පාදන කර්මාන්ත දිරි ගැන්වීම සිදුකොට ඇත. දේශීය හා විදේශිය ආයෝජනයන් සඳහා අවශ්‍ය බඳු සහන, ඉඩම්, රාජ්‍ය අනුග්‍රහය, යටිතල පහසුකම් ආදිය ලබාදීමක් සිදුකළ අතර ඒ තුලින් ආයෝජකයින් දිරිගැන්වීමක් සිදුකරනු ලැබීය. මේ ආකාරයට ඒකරාශී කරන ලද පහසුකම් සහිත ප්‍රථම නිර්යාත සැලසුම් කලාපය 1958 දී අයර්ලන්තයේ Shannon ගුවන් තොටුපල කේන්ද්‍රගත කොටගෙන බිහිවිය. 60  දශකයෙන් පසුව මෙම කාර්මික කලාප ව්‍යාප්තියෙහි අවකාශිය ව්‍යාප්ති රටාවෙහි පැහැදිලි වෙනසක් ඇති විය. එනම්, යුරෝපයට සීමා වු කාර්මික කලාප ව්‍යාප්තිය නැගෙනහිර ආසියානු කලාපයන් දක්වා වර්ධනය වීමක් මෙහිදී සිදුවිය. එහි පළමු පියවර ලෙස 1965 දී තායිවානයේ Kaohsiung Export Processing Zone බිහිවිය. මුල් කාලීනව සංවර්ධිත රටවල් තුල වර්ධනය වු කාර්මික ජනපදයන් 1980 දශකය වනවිට සංවර්ධනය වෙමින් පවතින රටවල් කාණ්ඩ දක්වා වර්ධනය වන්නට වීය. ඒවා මධ්‍යම ඇමරිකාව, නැගෙනහිර ආසියානු රටවල් හා කැරිබියන් දූපත් ප්‍රදේශයන්හි බහුලව ව්‍යාප්ත වී පැවැතුණු අතර මෙකී සමස්ථ කාර්මික ජනපද ප්‍රමාණය රටවල් 40ක් තුල ස්ථාන 68ක ස්ථානගත වීය.

කාර්මික ජනපදකරණයෙන් පසුව නව සංකල්පයන් කාර්මීකරණය තුල නිර්මාණය වන්නට වීය. එය “කර්මාන්ත තීරු” (Industrial Corridors) වශයෙන් හඳුනාගත හැකිවේ. මේවායේ වර්තමාන ක්‍රියාකාරීත්වය බොහෝ විට සංවර්ධිත යැයි සැලකෙන රටවල්වලට පමණක් සිමා වූවද, මෑතකදී සිට එය සංවර්ධනය වෙමින් පවතින රටවල කාර්මීකරණ ක්‍රමවේදය තුල ද යොදාගැනීමක් දක්නට ලැබේ. ඉන්දියාවේ කිලෝ මීටර් 1800 ක දුරකින් සම්බන්ධ වන නගරයන් දෙකක් වන මුම්බායි හා නවදිල්ලි යාකරමින් පවතින්නා වු භූමි තීරුව මෙයට කදිම නිදර්ශනයක් ලෙස පෙන්වා දිය හැකිය. ඇමරිකාවේ සිලිකෙන් නිම්නය ආශ්‍රිතව මෙයට මූලික පදනම සැකසෙන අතර එහි නිර්යාත සැකසුම් වලට අමතරව උසස් අධි තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරනු ලබන නිෂ්පාදන ශක්‍යතාවයක් ද දක්නට ලැබේ. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ප්‍රැන්සිස්කෝවල දකුණු කෙළවරට සීමා වු ශාන්ටා බාබරා ප්‍රදේශයේ අංක 101 මාර්ගය දිගේ පිහිටා ඇත.
ගෝලීය කාර්මීකරණය සීඝ්‍රව මෙන්ම කාලිනව වෙනස් වෙමින් පැවැති යුගයක එහි බලපෑම ශ්‍රී ලංකාවට ලැබෙනුයේ යටත් විජිතකරණය හරහා යැයි කිව යුතුය. ශ්‍රී ලංකාවේ කාර්මීකරණය ප්‍රධාන යුගයන් කිහිපයක් ඔස්සේ අධ්‍යයනය කිරීම වැදගත් වුවද, සැලකිය යුතු මට්ටමකින් එහි කාර්මික හෝ ආර්ථික වර්ධනයකට අවස්ථාවන් හිමිවන්නේ යටත් විජිතකරණය හරහා ලැබු අත්දැකීම් සමඟය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කාර්මීකරණ ක්‍රියාවලිය ප්‍රධාන අවධීන් 3ක් යටතේ අධ්‍යයනයට බඳුන් කළ හැකිවේ. එනම්,
  • පුර්ව යටත්විජිතකරණ සමයේ කාර්මීකරණය.
  • යටත්විජිතකරණ සමය තුල කාර්මීකරණය.
  • පශ්චාත් යටත්විජිතකරණ සමය තුල කාර්මීකරණය.
යනුවෙනි.

යටත් විජිතකරණයට පෙර කාර්මික වශයෙන් සැලකිය යුතු මට්ටමක දියුණුවක් ශ්‍රී ලංකාව සතුව නොපැවතුණ බව පැවසීම සාවද්‍ය කරුණකි. රටෙහි ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ල කරනු ලබන අංගයක් වශයෙන් කාර්මික අංශය මුල් කාලීනව දක්වන ලද දායකත්වය එතරම් වැදගත් නොවුණ අංශයක් වශයෙන් එය නිවැරැදි විය යුතුය. ජාතික අවශ්‍යතාවය හෝ ඉන් ඔබ්බට ගියා වු නිෂ්පාදනයක් මෙකල කාර්මික අංශය තුලින් නිෂ්පාදනය නොකළ අතර බොහෝ විට එය ප්‍රාදේශීය අවශ්‍යතාවය පමණක් සපුරාලන මාධ්‍යයක් ලෙස වැදගත් විය. එහිදි ආර්ථික ක්‍රියාවලිය සංවර්ධනයට වඩා පුද්ගල අවශ්‍යතාවය හා කාර්යාංශයන්ට ප්‍රමුඛත්වය ලබාදීමක් සිදු කරනු ලැබු බවක් පෙනීයයි.

මෙහිදී කාර්මික නිෂ්පාදනයන්ට වඩා කෘෂි ආර්ථිකයට ප්‍රමුඛතාවයක් ලැබුණු අතර කාර්මීකරණ ක්‍රියාවලිය සීමා සහිතවූත් එක්තැන් වූත් ක්‍රියාවලියක් බව පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු පාලන සමයන්හි පැවැති ස්වයංපෝෂි ආර්ථික රටාව මෙන්ම කාර්යාංශ මත පදනම් වු ආර්ථික රටාව මඟින් මෙය පැහැදිලි කොටගත හැකිය. “කම්මකාර, පෙහෙකාර, ” ආදි වචන භාවිතය තුලින් එකල සමාජය තුළ පැවැති වෘත්තිමය තත්ත්වයන් හඳුනාගත හැකිවේ. එසේම ඒ ඒ අවධීන්හිදී පිහිට වු නමුදු වර්තමානය වනවිට නටඹූන් හා ශේෂයන් බවට පත් වී ඇති ගොඩනැඟිලි, ස්මාරක, ආදිය තුලින් මෙන්ම ජනපවාදයන් තුලින් සංස්කෘතිකගත වු තත්ත්වයන්ගෙන් ද අතීතයෙහි පැවැති කාර්මීකරණ ක්‍රියාලිය පුනරාවර්තනයක් ඇති කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුළ පැවැති රාජධානි ක්‍රමය ක්‍රමිකව බිඳ වැටෙමින් පැවැති යුගයක යුරෝපීය ජාතීන් මෙරට බල අධිකාරිය තමා සන්තකයට ගැනීමට කටයුතු කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1505 දී පෘතුගීසී ජාතීන් ශ්‍රී ලංකාව තම යටත් විජිතයක් බවට පත් කරගනු ලැබීය. ඉන් අනතුරුව පිළිවෙළින් 1657-1787 දී හා 1796-1948 දී ලන්දේසීන් හා ඉංග්‍රීසීන් මෙරට දේශපාලන බලය තහවුරු කරගැනිමට කටයුතු කළහ. බි්‍රතාන්‍ය ජාතිකයින්ගේ පාලන අධිකාරිය සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වුණු අතර එය අනෙකුත් යුරෝපීය ජාතීන්ගේ යටත්විජිත ප්‍රතිපත්තිවලට වඩා අභිබවා ගියා වු දේශපාලනික, සමාජීය සහ ආර්ථික තත්ත්වයකින් සමන්විත බව පැහැදිලි විය. මුල් කාලීනව බ්‍රිතාන්‍ය බලපෑම එතරම් දක්නට නොලැබුණ ද, නීතිමය පසුබිමක් ඔස්සේ “1815 දී කන්ද උඩරට ගිවිසුම” අත්සන් කිරීම සමඟම ශ්‍රී ලංකාව තම අණසක යටතට පත් කරගැනීමට බි්‍රතාන්‍යයින්ට හැකිවිය. එහි ප්‍රතිඵලය ලෙස  පසු කාලිනව ස්වාධීනත්වයකින් තොර වු ආංශිකමය පාලනාධිකාරියක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන්නට වු අතර එතෙක් පැවැති සාම්ප්‍රධායික දේශපාලනික, සමාජ-ආර්ථික හා සංස්කෘතික කටයුතු විපර්යාසකරණයකට ලක් වන්නට වීය. ඇතැම් තන්හි එහි මිශ්‍ර ලක්ෂණ ඉස්මතු වෙමින් නවතම සංස්කෘතියක් බිහිවන්නට හේතු වු අතර මෙහි බලපෑම ශ්‍රී ලංකාවේ කාර්මික අංශයෙහි සංවර්ධනයට සෘජුවම හේතු සාධක සපයනු ලැබීය.

කෘෂිකාර්මික ආර්ථික ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වු ස්වයංපෝෂිත ආර්ථිකය යැපුම් මානසිකත්වය හා භාණ්ඩ හුවමාරු ආර්ථික රටාව නවමු ආර්ථික රටාවකට යොමු කළ අතර ඒ වෙනුවට ධනවාදි ආර්ථික ක්‍රමය යටතේ ක්‍රියාත්මක වු වතුබෝග ආර්ථිකය මුදල් හුවමාරු ක්‍රමය වැනි ක්‍රමවේදයන් හඳුන්වාදුනි. “මෙරට ආර්ථික සංවර්ධනය සඳහා හිතකර ලිබරල්වාදි ආණ්ඩුක්‍රමයක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කළ කෝල්බෲක් විදේශීය ධනවත් ව්‍යවසායකයින් ලංකාවට ඇද ගැනීමට උපයෝගීවන යෝජනා කිහිපයක් පෙන්වා දුන්නේය.” (විමලරත්න, 1993) මේ ආකාරයට කාර්මික අංශයේ සංවර්ධනය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හා ඒවා සංශෝධනය මඟින් වරින් වර අවස්ථාවන් සලස්වාදුණි. එය හේතු කොටගෙන කාර්මික ක්ෂේත්‍රයේ විවිධ අංශයන් වර්ධනය වීමක් සිදුවු අතර එහිදී ඇඟලුම් කර්මාන්තය, මුද්‍රණ කර්මාන්තය, වතු බෝග කර්මාන්තය ආදියට මෙහිදී විශේෂ ස්ථානයක් හිමි වේ.

යටත් විජිත ආණ්ඩුව මඟින් 1922 වර්ෂයේ දී ප්‍රථම වරට පත් කරනු ලැබු කාර්මික කොමිෂම මඟින් කාර්මික සහ වෙළඳ මධ්‍යම කාර්යාංශයක් පිහිටුවීමත්, කාර්මික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ බහුලව පවතින ජල විදුලි බල උත්පාදන හැකියාව ප්‍රයෝජනයට ගැනීමටත් නිර්දේශයක් සකස් කරන ලදී. ඩොනමොර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදීම, බැංකු කොමිෂමක් ඉදිරිපත් කිරීමට මඟ පෑදු අතර එම කොමිෂම මඟින් රාජ්‍ය බැංකු පිහිටුවීම, ප්‍රධාන වශයෙන් දේශිය වෙළඳ පොළට භාණ්ඩ සැපයීම අරමුණු කොටගෙන නව කර්මාන්ත රජය විසින් ඇති කිරීමත් ඇතු`ථ ඵලදායි යෝජනා ඉදිරිපත් කිරීමද මෙකල කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව ලැබු වර්ධනයක් බව පෙන්වා දිය හැකිය. මෙහිදී රටට අවශ්‍ය නිමි භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන අරමුණු වුවද දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟම මෙම කාර්මික ප්‍රතිපත්තිය වෙනස් වීය.

“1930 ගණන් වලදී මෙරටට සුදුසු කාර්මික ප්‍රතිපත්තියක් ඇති කිරීමේ අභිලාෂයෙන් පියවර කිහිපයක් ගනු ලැබු අතර, හිඟ භාණ්ඩ කිහිපයක් නිෂ්පාදනය කිරීම සඳහා රජය විසින් කර්මාන්ත කිහිපයක් පිහිටුවන ලදී. බි්‍රතාන්‍ය පාලකයින් විසින් මූලික අපනයන සැකසුම් කර්මාන්ත ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් අතර, කාර්මික සංවර්ධනය අරභයා දෙවන ලෝක යුද්ධය පැවැති කාල පරිච්ජේදයේ දී හැර නිදහස් වෙළඳපොළ ක්‍රමය මත පදනම් වු ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය කරන ලදී.” (නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, 1998) දෙවන ලෝක යුද්ධයට පෙර සිටම ලංකාණ්ඩුව ගෘහ හා කුඩා කර්මාන්තශාලා පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ අතර එයට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ව්‍යවසායක දායකත්වය රාජ්‍ය අනුග්‍රහය යටතේ පාලනය වු බැංකු මඟින් හා පුද්ගලික අංශ විසින් පවත්වාගෙන ගියහ. මෙහිදී ලංකා බැංකුව ප්‍රමුඛතම බැංකුව වු අතර හැටන් නැෂනල් බැංකුවද එහිලා වැදගත් මෙහෙවරක් ඉටු කරනු ලදී. දෙවන ලෝක යුධ සමය වනවිට නව කර්මාන්තශාලා කිහිපයක් පැවැති යුධ වාතාවරණයට ගැලපෙන ප්‍රතිපත්ති, ක්‍රමෝපායන් පදනම් කරගනිමින් රාජ්‍ය අංශය හා පුද්ගලික අංශ මැදිහත් වීමෙන් පිහිටුවනු ලැබීය. මෙම කර්මාන්තයන්ගේ සීඝ්‍ර වර්ධනයට රජය විසින් සැපයු සක්‍රීය දායකත්වය හේතු සාධක වීය. මෙකී නිෂ්පාදන කර්මාන්තයන්හි ආරම්භය, සංවර්ධනය හා ක්‍රියාකාරීත්වය මීට සමකාලීන අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒ වනවිට පැවැති ස්වභාවයෙන් වෙනස් නොවීය.

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟම ශ්‍රී ලංකාව තුල නිපදවු කාර්මික නිමයුම්වලට ලෝක වෙළඳපොළ තුල විශාල ඉල්ලුමක් නිර්මාණය වන්නට වීය. මෙය පදනම් කරගනිමින් සැලකිය යුතු මට්ටමේ නිමයුම් ප්‍රමාණයක් සැපයීමට ශ්‍රී ලංකේය කර්මාන්ත අංශය කටයුතු කළ ද, එය ඉල්ලුමට සරිලන සැපයුමකින් යුත් එකක් නොවීය. මෙලෙස ශ්‍රී ලාංකේය නිමයුම් සඳහා ලෝක වෙළඳපොළ තුල පැවැති ඉල්ලුම් ධාරිතාවය ක්‍රමිකව ඉහළ ගිය ද, දෙවන ලෝක යුද්ධයේ අවසන් අවධිය වනවිට එකී ඉල්ලුම සීඝ්‍රයෙන් පහල බැසගිය අතර එය කාර්මික ක්ෂේත්‍රයේ දැඩි මතභේදාත්මක හා අර්ථිකමය අවපාතයකට හේතු සාධකයක් වීය. එනම්, දෙවන ලෝක සංග්‍රමය තුලින් යටත් විජිත රාජ්‍යයන් සියල්ලක්ම පොදු වු ජාත්‍යයන්තර අර්බුදයකට අනුකූල වු පසුබිම් තත්ත්වයකට මුහුණ දුන් ආකාරය පිළිබඳව මින් අඳහස් කරයි.

දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී මහා බ්‍රිතාන්‍ය ඇතුලු මිත්‍ර පක්ෂයට ලංකාවෙන් ලැබුණු සහාය හේතු කොටගෙන ලංකාව ඩොමිනියන් තත්ත්වයේ ආණ්ඩු ක්‍රමයක් ලබාදිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිම සඳහා සෝල්බරි සාමිවරයා ලංකාවට එවීය. සෝල්බරි සාමි ඇතුලු කොමිෂන් සභාව ලංකාව තුල පවතින බහු ජනවාර්ගිකත්වය නියෝජනය වන පරිදි රටේ දේශපාලන තත්ත්වය අවබෝධ කරගෙන ඒ ඔස්සේ යමින් ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආදි අංශයන් පිළිබඳවද අවබෝධය ලබා ගනිමින් ඩොමීනියන් තත්ත්වයෙන් යුක්ත පාලන ක්‍රමයක් ලබාදුන් අතර එය ශ්‍රී ලංකාවේ කාර්මීකරණය තුළ නව ප්‍රවේශයක් ඇති කළහ.

නිදහසින් පසු ශ්‍රි ලංකාවේ කාර්මික සංවර්ධනය රාජ්‍ය මෙන්ම පුද්ගලික මට්ටමින්ද සිදුවු එකක් ලෙස පෙන්වා දිය හැකිය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ගේ බලපෑම සෘජුව හා වක්‍රව ලැබුණු අතර 1972 හා 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මඟින් කාර්මීකරණය සම්බන්ධව ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති අධ්‍යයනය කිරීම තුලින් මෙය මනාව හඳුනාගත හැකිය. එහිදී ආවෘත ආර්ථිකය හා විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හෙවත් නිර්බාධකාරී ආර්ථික ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීම සමඟ ලංකාව තුළ සිදුවන කාර්මීකරණ ක්‍රියාවලිය හා සංවර්ධනය පිළිබඳව පැහැදිලි වෙනසක් හඳුනාගැනිමටද හැකියාවක් ලැබෙනු ඇත. 1948 නිදහස ලැබීමත් සමඟම රජයේ කාර්මික ප්‍රතිපත්තිය සම්බන්ධ වාර්තා කිරීම සඳහා රාජ්‍ය සභා කමිටුවක් පත් කිරීමත් එම වාර්තාව 1947 අගෝස්තු 21 වැනි සැසි වාර්තාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමඟ නිදහසට පෙර කඩා වැටුණු කාර්මික ක්ෂේත්‍රය යළි නඟා සිටුවීමට අවශ්‍ය පදනම නිර්මාණය වීය. නමුත් මෙහිදි සඳහන් කළ යුතු විශේෂ ලක්ෂණය වනුයේ ලැබු දේශපාලන නිදහස කාර්මික ප්‍රතිපත්තියේ මූලීක වෙනසකට හේතු නොවු බවත්, එහි පැවැති තත්ත්වයන් ඒ අන්දමින් ඉදිරියට ගෙනයාමක් මූලීකවම දක්නට ලැබුණු බවත්ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුකාලීනව විශාල පරිමාණයෙන් යුක්ත කර්මාන්ත ස්ථානගත කිරීම කෙරෙහි රජය වැඩි  අවධානයක් යොමු කරනු ලැබීය. විශාල පරිමාණයේ කර්මාන්ත රාජ්‍ය අංශය මඟින් ද, කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තයන් පුද්ගලික අංශයෙන් ද ක්‍රියාත්මක වු අතර සමුපාකාර ක්‍රමය යටතේ ඇතැම් කර්මාන්ත ස්ථානගත වීමක් ද සිදුවීය. මෙකල කුඩා හා මධ්‍යය පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය කරන ලෙස යෝජනා කරමින් ලෝක බැංකු නියෝජිත කණ්ඩායමගේ වාර්තාව 1952 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරනු ලැබිය. ඒ තුලින් ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය කිරීමට අවශ්‍ය යෝජනාවක් හා ප්‍රතිපත්තීන් පෙන්වා දී තිබුණි.

1955 වනවිට රාජ්‍ය කර්මාන්ත සංවර්ධනය අරමුණු කොටගෙන පුද්ගලික අංශයට මූල්‍ය පහසුකම් සැපයීම සිදුකළ අතර  එය 1995 දී වි විධ වු සංවර්ධන මූල්‍ය සමායතන මඟින් සිදුකරනු ලැබීය. මෙම වර්ෂයේ දී රජය විසින් 1955 අංක 17 දරණ රාජ්‍ය සංස්ථා පනත මඟින් මනා කාර්මික සංවර්ධනයකට අවශ්‍ය වන්නා වු විධිමත් වැඩපිළිවෙළක් සකස් කරනු ලැබීය. එය රාජ්‍ය කාර්මික ව්‍යාපාර කොමිෂම් වාර්තාව ලෙස හැඳින්වු අතර ඒ තුලින් ශ්‍රී ලංකාවේ කාර්මික ව්‍යාපාරවලට සං විධානය, කළමනාකරණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතර රජයේ දෙපාර්තමේන්තු යටතේ එකල පැවැති විශාල කර්මාන්තශාලා රාජ්‍ය සංස්ථා බවට පත්කරන ලෙස ඉන් නිර්දේශයක් කරනු ලැබිය. කර්මාන්ත සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීම සඳහා ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනයත්, කර්මාන්තකරුවන්ගේ දිගු කාලීන ණය පහසුකම් ලබාදීමට සංවර්ධන මූල්‍ය සමායතනය ද එම වර්ෂයේදීම පිහිටුවීමට කටයුතු කළහ.

1955 වර්ෂය තුලදීම එවකට අගමැතිතුමාගේ සහභාගීත්වය යටතේ විදේශීය හා පුද්ගලික අංශයේ ආයෝජන පිළිබඳව රජයේ ප්‍රතිපත්ති වඩාත් පැහැදිලිව නිර්වචනය කරමින් ධවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එය යටතේ ජාතික සැලසුම් සභාවක් ද පිහිටුවන ලදී.
(නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, 1998) මේ ආකාරයට සංවර්ධනය වෙමින් පැවැති ශ්‍රි ලංකාවේ කාර්මික ක්ෂේත්‍රය 1957 දී අංක 48 දරණ රාජ්‍ය කාර්මික සංස්ථා පනත සම්මත වීමත් සමඟම විශාල පුනරුදයකට ලක් විය. ඒ තුලින් ඕනෑම කාර්මික ආයතනයක් පවත්වාගෙන යාමට රජය විසින් බලය ලබාදීම ඊට හේතු විය. මෙය පදනම් කරගනිමින් 1956 දී බලයට පත් මහජන එක්සත් පෙරමුණ රජය 1959-1968 දස අවුරුදු සැලසුම යටතේ කාර්මික සංවර්ධනයට සමස්ථ ආයෝජනයෙන් 20%ක් පමණ කොටසක් වෙන් කරමින් කාර්මික ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනු ලැබීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1959 දී කර්මාන්ත ජනපද සංස්ථා පනත යටතේ හෙක්ටයාර් 32ක පමණ භූමියකින් යුක්තව ලංකාවේ ප්‍රථම කාර්මික ජනපදය ඒකල දී පිහිටුවනු ලැබුණි. මෙය ශ්‍රි ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ පසු කාලීනව හැරවුම් ලක්ෂ්‍ය ලෙස පෙන්වා දිය හැකිය.

1960-1965 කාල පරිච්ජේදයේ ශ්‍රි ලංකා කාර්මීකරණ ක්ෂේත්‍රය වැදගත් වනුයේ ආනයන කර්මාන්ත බිහි වීම හේතු කොටගෙනය. ආදේශන කාර්මීකරණය ඇති කිරීම සඳහා රජය වි විධාකාරයේ පිඹුරුපත් සකස් කළ අතර විදේශීය සංචිත ප්‍රමාණය කඩා වැටෙමින් පැවැති හෙයින් විදේශීය කර්මාන්ත සඳහා ඉහළ රක්ෂණ ආවරණයක් හා දිරිගැන්වීම් ලබාදීම මෙහි මුඛ්‍ය පරමාර්ථය විය. මෙහිදි දේශීය හා විදේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම සඳහා රජය විසින් 1961 වර්ෂයේදී දිරිගැන්වීම් රැසක් ප්‍රකාශ කළහ. ඒවානම්,
  • වසර 5ක කාලසීමාවක් ශුද්ධ ලාභවලින් කොටසක්  හෝ සම්පුරුණයෙන්ම ආදයම් බදුවලින් නිදහස් කිරීම. 
  • පිරියත සහ යන්ත්‍ර මිලදී ගැනීම සඳහා 20% ක බඳු ප්‍රතිපාදනය ලබාදීම සහ අනුමත ව්‍යාපෘති වෙනුවෙන් මෙම ප්‍රතිපාදනය දෙගුණ කර ලබාදීම.
  • ක්ෂණික දීමනාවන් ලබාදිම.
  • උපකරණ සහ අමුද්‍රව්‍ය සඳහා සහනදායි බඳු අනුපාතිකයක් ලබාදීම.
  • කුඩා පරිමාණයේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ රාජ්‍ය අංශයේ සහභාගීත්වය.
  • කාර්මික ආනයන සඳහා ණය පහසුකම් ලබාදීම.
  • ශ්‍රී ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය සහ සු`ථ පරිමාණ සහ කර්මාන්ත දෙපාර්තමේන්තුව මඟින් සහයෝගය ලබා ගැනීම.
  • ආනයන පාලන, බදු ගැසීම සහ කාර්මික නිෂ්පාදන (රෙගුලාසි) පනත මඟින් දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරිම.
  •  රජය විසින් නිපයුම් මිලදී ගැනීම.

යනුවෙනි. මෙම දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය විසින් කාර්මික සංවර්ධනය සඳහා දේශීය සම්පත්වලට අමතරව පෞද්ගලික විදේශීය ප්‍රාග්ධනය සහ තාක්ෂණික ඥානය ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් 1960-61 අයවැය යෝජනාව මඟින් ශ්‍රී ලංකාව තුල විදේශිය පුද්ගලික ආයයෝජනය කළ හැකි කොන්දේසි අදාල රාජ්‍ය ප්‍රතිපත්ති මාලාව ප්‍රකාශයට පත් කරන ලදී. මේ තුල දේශිය ආයෝජකයින්ට ලබාදුන් බදු තීරුබදු සහ වෙනත් ප්‍රතිලාභ විදේශීය ආයෝජකයින්ට ලබාදීමට රජය කටයුතු කරනු ලැබීය. එම ප්‍රකාශනය යටතේ වත්කම් බැඳිම්, ඉපැයීම් ප්‍රේෂණය, ද්වන්ද බදුකරණය ආදියට පැවැති සිමාවන් ලිහිල් කරනු ලැබු අතර අවශ්‍ය තාක්ෂණය සහ කළමනාකරුවන්  මෙරටට ගෙන්වා ගැනිමට ද අනුමැතිය ලබාදීම කාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයෙහිලා වැදගත් වීය.

කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණැතිව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය 1961 වර්ෂයේදී සංවර්ධන අංශයක් පිහිටුවා ඒ තුලින් කාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කළහ. මීට සමකාලීනව කුඩා කර්මාන්තකරුවන දිරි ගැන්වීම සඳහා වාණිජ බැංකු මඟින් ණය ලබාදීමෙන් දුෂ්කරතාවයට පත් කුඩා කර්මාන්තකරුවන් පත්ව ඇති අවධානමට පිළියම් සැපයු අතර එහිදී 1961 දී පිහිට වූ මහජන බැංකුව මූලිකස්ථානය ගෙන කටයුතු කළහ.  එසේම 1960-65 කාලය තුලදී කාර්මික රක්ෂණය සහ දිරිගැන්වීම්, රාජ්‍ය හා පුද්ගලික අංශවලට අයත් ආනයන ආදේශන කර්මාන්තවල වර්ධනයට දායකත්වය සැපයු අතර එම ආයතන ඒකාධීකාරී ස්ථානයකට පත්ව තිබුණි. 1965 න් පසු කාලය තුලදී පුද්ගලික අංශයේ කර්මාන්ත සඳහා අනුබල දීමට එවකට බලයට පත් එක්සත් ජාතික පක්ෂය මඟින්  ආනයන ආදේශන කාර්මීකරණ ප්‍රතිපත්ති රාමුව තුලින් අපනයන ප්‍රවර්ධන කර්මාන්ත පිළිබඳව අවධානයක් යොමු කරනු ලැබීය. එහිදි දේශීය කාර්මික නිෂ්පාදනයන් තුල පැවැතිය යුතු අවම ගුණාත්මකතාවය පිළිබඳව යම් ප්‍රමිතියක් ලබාදිමට කටයුතු කළ රජය  කර්මාන්ත අමාත්‍යාංශය ඔස්සේ ප්‍රමිති කාර්යාංශයක් පිහිටුවනු ලැබීය. එසේම දේශීය අපනයන කර්මාන්තකරුවන් සඳහා ප්‍රසාද සහතිකපත් යෝජනා ක්‍රමයක් 1966 දී ලබාදී ඒ තුලින් ඔවුන් දිරිමත් කිරීමට රජය කටයුතු කළද, එය 1968 වනවිට අහෝසි කරනු ලැබුයේ විදේශීය විනිමය හිමිකම් සහතිකපත් යෝජනා ක්‍රමය හඳුන්වාදීත් සමඟය.

1960 දශකය වනවිට පැවැති කාර්මීකරණ තත්ත්වය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා රජය ගත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් 1967 දී නිකුත් කරන ලද ධවල පත්‍රිකාව පෙන්වා දිය හැකිය. මෙමඟින් විදේශීය දිරිගැන්වීම් රැසක් ලබාදුන් අතර ඒ තුලින් උපරිම වශයෙන් විදේශීය ආයෝජකයින් ආරක්ෂා කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. මෙකී විදේශීය ආයෝජකයින් සඳහා අවශ්‍යය පහසුකම් හා තොරතුරු, උපදෙස් ලබාදීම සඳහා 1969 දී මෙයට අනුබද්ධිතව කාර්මික සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබීය.

1970 දි බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව මඟින් ශ්‍රී ලංකාවේ කාර්මීකරණය සඳහා අනුගමනය කළ උපායමාර්ගය රාජ්‍ය අංශය ප්‍රමුඛ කරගත් සංවිධානයක් මත රඳා පැවැතුණි එකකි. එසේම පුදුගලික අංශයේ කර්මාන්තකරුවන් දිරි ගැන්වීම කළද  එහි යම් සීමාවකට පමණක් සිදුවිය. එනම්, ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කාර්මික අපනයන ප්‍රවර්ධනය කිරීමට ප්‍රයත්න දැරීමයි. මෙමඟින් ආර්ථික සීමාවන් යටතේ නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කිරිමට කටයුතු කළ අතර 1970 ප්‍රකාශයට “පත් ව්‍යාපාර අත්පත් කරගැනීමේ පනත” යටතේ පුද්ගලික ආයතන ජනසතු කිරීම හා රජයේ සෘජු ආයෝජන මත 1970-1977 කාලය තුළ කර්මාන්ත අංශයට රාජ්‍ය මැදිහත්වීම සහ රාජ්‍ය ප්‍රාග්ධන සහභාගීත්වය ඉහල මට්ටමක් දක්වා ගමන් කළේය. අපනයනකරුවන් ලබාදෙන පාරිතෝෂිතය කාලීනව වැඩිකරමින් (විවිනිස) ක්‍රමවේදය යටතේ කර්මාන්ත පවත්වාගන ගියද 1971 පමණ වන තෙක් අක්‍රීයව පැවති ආනයන බදු ප්‍රතිපාදන යෝජනා ක්‍රමය  අපනයන පෙරදැරි කරගත් කර්මාන්තවලට වැඩි දිරිගැන්වීම ආදිය මෙහිදි සිදුකරනු ලැබීය. නව කර්මාන්ත අනුමත කිරීමේදි දේශීය කර්මාන්තවල එකතු කළ අගය වැඩිවන පරිදි සම්පූර්ණයෙන් හෝ සාපේක්‍ෂ වශයෙන් ඉහල ප්‍රමාණයකින් දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරන කර්මාන්තවලට ප්‍රමුඛස්ථානය ලබාදෙන ලදි. කෙසේවෙතත් ආවෘත ආර්ථික ක්‍රමය යටතේ ස්ථාපිත කර්මාන්ත පිළිබඳව අධ්‍යයනය කළවිට පෙනීයන ප්‍රධාන කරුණ වන්නේ කර්මාන්ත අංශයේ ඌනධාරිතා උපයෝජනයයි. ඒ සඳහා බදු සහන ක්‍රම හා ඉහළ ආරක්‍ෂණය දේශීය වෙළඳපොළ ඉලක්ක කොටගෙන නව ගුණාත්මක භාණ්ඩ නිපැයුම මෙන්ම අමුද්‍රව්‍ය ආනයනය සඳහා පනවා තිබූ සීමාවන් පැහැදිලිවම බලපෑමක් එල්ලකොට ඇතිබව මෙම ක්‍රියාවලිය තුළින් පෙනීයයි.

ශ්‍රී ලකාවේ කාර්මීකරණය සමස්ථයක් වශයෙන් විපරිණාමය වූයේ කාලීනව බලයට පත් රජයන් පිහිට වු දේශපාලන පක්ෂවල ආර්ථික මතවාදය සහ සමකාලීනව පැවැති ජාත්‍යන්තර පරිසරයෙහි වෙනස්වීම බව පැහැදිලි කරමින් 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂය එතෙක් පැවති ආවෘත ආර්ථික ක්‍රියාවලිය ප්‍රතික්‍ෂේප කරමින් ඒ සඳහා විවෘත ආර්ථික සංකල්පය හඳුන්වා දෙනු ලැබීය. මෙය ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ හැරවුම් ලක්‍ෂ්‍ය ලෙස හඳුනාගත හැකිය. 

1960 දශකයේ අග භාගය වනවිට ශ්‍රී ලංකාවේ කාර්මීකරණය ජාතික වශයෙන් හුදෙකලාව පැවති අතර 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග ජාත්‍යන්තර ප්‍රවණතාවන් සමග එක්ව ගමන් කිරීමක් සිදුවිය. 1977 කාර්මික ප්‍රතිපත්තිය එලිදැක්වීමත් සමග ඒ තුලින් වැඩි අවධානය අපනයන වෙළඳපොළට හා පුද්ගලික අංශයට යොමුකෙරුණි. ආකර්ෂණීය දිරිගැන්වීම් හා පරිපාලනයේ ගැටලු හා ප්‍රමාදවීම් අවම කරමින් විදේශීය ආයෝජන දිරි ගැන්වීමක් මේ තුලින් සිදුකරනු ලැබිණි. කාර්මීකරණය තුළින් අපනයනය දිරිගන්වමින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබාගැනීම පෙරදැරි කොාටගෙන පෞද්ගලික අංශය සමග ඉහළ තරඟකාරීත්වයකින් කටයුතු කළහැකි වන පරිදි රාජ්‍ය අංශයේ ඒකාධිකාරීත්වය අවම තත්ත්වයකට පත්කිරීම මෙහිලා සුවිශේෂී ක්‍රියාදාමයකි. මෙහිදි දේශීය කර්මාන්තයන්හි තරඟකාරීත්වය උපරිම මට්ටමින් ජාතික ආර්ථිකයට ලබාගැනීම අරමුණු කොටගෙන එක් එක් කර්මාන්තවලට ලබාදුන් බදු ආරක්‍ෂා අනුක්‍රමයෙන් අඩු කිරීමත්, අමුද්‍රව්‍ය ආනයනය බලපත්‍ර රහිතව සිදුකිරීමටත් සහ සීමා සහිතව යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට රජය  විසින් ආනයන ලිහිල් කරන ලදි. මේ ආකාරයට රජය විසින් සිදුකළ බදු ක්‍රමය සරල කිරීම, විදේශ විනිමය අයවැය ක්‍රමය අහෝසි කිරීම ආදිය ශ්‍රී ලංකාවේ කාර්මික අංශයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි සැලකිය යුතු  මට්ටමින් බලපෑමක් එල්ල කළහ. 

1980 දශකය වනවිට රාජ්‍ය අංශය හා පැවති කර්මාන්ත කිහිපයක් හෝ පෞද්ගලීකරණය කිරීමට පියවර ගත් අතර, කාර්මික ව්‍යාපාරවලින් අයවැයට ඇති අයහපත් බලපෑම අවම කිරීම එම ආයතනවල කාර්යක්‍ෂමතාවය සහ කළමනාකරණය වර්ධනය කිරීම සහ තරඟකාරිත්වය ප්‍රවර්ධනය මගින් විදේශීය ආයෝජන ආකර්ශනය ක ගැනීමට රජයේ මුඛ්‍ය අරමුණ විය. නමුදු 1990 වනවිට රජය කර්මාන්ත පිහිටුවීම පිළිබඳ පිළිබද අවධානය නවමු මගකට යොමුකළා වූ අතර එහිදී කර්මාන්ත ස්ථානගත කිරීම විමධ්‍යගත කළයුතු බවත්, දුෂ්කර ප්‍රදේශවල ප්‍රාදේශීය සංවර්ධනය එහි සෘජු හා වක්‍ර අරමුණු කරගතයුතු බවත් හඳුනාගනු ලැබීය. මේ යටතේ ඇඟලුම් කම්හල් 200 වැඩපිලිවෙල හා කර්මාන්තපුර වැඩපිළිවෙල රජය ගත් ප්‍රදාන ප්‍රතිපත්තීන් අතර කැපී පෙනේ. 

1947 සිට 1994 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා කර්මාන්තකරණය දෙස අවධානය යොමුකළ කල්හි ස්ථාවරවූත්, තනි දිශාවකට යොමුවූත්, ආර්ථික හෝ කාර්මික ප්‍රතිපත්තියක් නොතිබුණද 1977න් පසුව එය යම් එක් දිශානතියකට යොමුවූ බවක් පෙනේ. 1994 දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය 1977 බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආර්ථික ප්‍රතිපත්තියම ඉදිරියට ගෙනයාම තුළින් මෙය තහවුරු වේ. මෙම පාලන සමය තුළදී කර්මාන්තවල නිපයුම් ධාරිතාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා අවශ්‍ය තාක්‍ෂණය හා පලදායීත්වය වර්ධනය කිරිමට විශේෂ පරිශ්‍රමයක් රජය  විසින් දරන ලදි. 

1995 දී ප්‍රකාශයට පත් කාර්මික ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙය මනාව සන්දර්භගත වී පවතී. පුද්ගලික අංශයේ මැදිහත්වීම සහිත අපනයන රටාව පෙරමුණු කොටගත් කර්මාන්ත සඳහා මේ තුලින් ප්‍රමුඛස්ථානයක් හිමිවූ අතර ආයෝජකයන් දිරි ගැන්වීම සඳහා විවිධ උපක්‍රම රජය විසින් භාවිතා කරන ලදි. 1996 වර්ෂයේ අයවැය ප්‍රකාශනය තුළින් මේ බව දක්නට ලැබෙන අතර එම දිරි ගැන්වීම් පළමුව විශාල පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලබා දෙනු ලැබුවද 1997 බදු යොජනා මගින් එක් එකී සහන ක්‍රම හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ටද ලබාදීමට එවක රජය කටයුතු කරනු ලැබීය. කාර්මික අංශයේ ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කළ නිදහස් පක්‍ෂ රජය 1997-2006 වර්ෂය ඵලදායි දශකය ලෙස නම් කරනු ලැබීය.

බලයට පත් සෑම ආණ්ඩුවක් තුළම ශ්‍රී ලංකා කාර්මික ක්‍ෂේත්‍රය ඉහල නැංවීම සඳහා වු විශේෂවූ වැඩපිලිවෙලවල් සංවිධානය කිරිමක් දක්නට ලැබුණි. ඒ තුළින් අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය,  රැකියා උත්පාදනය හැකියාව, පුළුල් ලෙස ආදායම් බෙදීයාම ආදී ක්‍රියාවලීන්ට අවධානය යොමු කරනු ලැබීය. එහිදි රාජ්‍ය කාර්මික ආයතන පෞද්ගලිකරණය කිරිමද, විශාල වශයෙන් සිදුවූ බව ශ්‍රී ලංකාවේ කාර්මික ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පැහැදිලි වේ. කාර්මීකරණය සමග අබේදනීය සම්බන්ධයක් පවතින ජාතික ආර්ථික වර්ධනය සඳහා ප්‍රාදේශීය සංවර්ධනය යන්න උපාය මාර්ගයක් ලෙස යොදාගැනීමක් ශ්‍රී ලංකාවේ ලැබූ කාර්මික අත්දැකීම් මඟින් පෙනීයයි. එනම්, “ප්‍රාදේශීය සංවර්ධන සංකල්පය තුලින් ශ්‍රී ලංකාවේ දක්නට  ඇති අවකාශීය රටාව කේන්ද්‍රීය ප්‍රදේශය පිළිබඳ ධර්මතාව පවත්නා දැඩි අසමානතාවයන් අවම කිරීමේ උපාය මාර්ගයක් ලෙස භාවිතා කිරීමක්ය” යනුවෙනි. 

ප්‍රාදේශීය අසමානතාවය පිළිබඳ ගැටලුව ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජීය, ආර්ථික මෙන්ම සංස්කෘතිකමය අංශයන් තුලින්  දැඩි සංවේදීත්වයට පත්වූ සංවර්ධන අභියෝගයක් වන අතර එයට පිළියමක් ලෙස කාර්මීකරණය ස්ථාපිත කරන ලද අවස්ථාවන් ශ්‍රී ලංකාව තුළින් ලැබූ අත්දැකීම් තුළින් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය කලාපය ලෙස බස්නාහිර පළාත ප්‍රමුඛ කරගත් කොළඹ දිස්ත්‍රික්කය හඳුනාගත හැකි අතර මෙහි සියලු සංවර්ධන කටයුතු සිදුකිරීමට සාපේක්‍ෂව ග්‍රාමීය සහ පර්යන්ත ප්‍රදේශයන් තුළ දැඩි සංවර්ධන ගැටලු රැසක් හේතුවෙන් එම ප්‍රදේශ පසෙකට තල්ලු වීමකට ලක්වී ඇත. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ ප්‍රාදේශීය අසමානතාවය හරහා පර්යන්ත ප්‍රදේශ අතර සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින්නා වූ පරතරය  ඉහළ නැංවීමට හේතුවීය. 

ප්‍රමුඛ ප්‍රදේශය වන කොළඹ නාගරික ප්‍රදේශයේ වර්ධනය දිගින් දිගටම සිදුවිය යුතු අතර පසුගාමි ප්‍රදේශද බොහෝ පසුගාමී තත්වයට පත්නොවී ඒ හා සමාන්තරව වර්ධනය වීම අවශ්‍ය වන්නේය.
(IPS, 2012) පහළට සිදුවන ආර්ථික කාන්දුව හරහා පසුගාමි ප්‍රදේශ  හෙවත් පර්යන්ත කලාපයන්හි සිදුවන සංවර්ධනය සුභ සිද්ධිය ඇතිවීමට බොහෝ කාලයක් ගතවන අතර එම ක්‍රියාවලිය නිශ්චිතවම සිදුවන්නේදැයි පූර්ව නිගමනයකට එළඹිය නොහැකිය. පසුගාමි ප්‍රදේශවල පවතින අසමාන සංවර්ධන මැඩපැවැත්වීම සඳහා විටින් විට බලයට පත් රජයන් සුවිශාලවූ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. “එහිදි වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතා ඉටුකිරිමේ උචිතම ක්‍රමය ලෙස ප්‍රත්‍යන්ත  ප්‍රදේශවල විභවයන් ප්‍රයෝජනයට යොදා ගැනීම සහ  ඒවායේ ආර්ථික ගතිකභාවය වැඩි දියුණු කිරිම මගින් ප්‍රාදේශීය වශයෙන් පවතින අසමානතාවය කෙරෙහි අවධානය යොමුකිරිම වැදගත් බව පෙන්වා දෙයි.” (විල්බට්, 2014)
ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාදාමයන්හි ඉතිහාසය යටත්විජිතකරණ යුගය දක්වා දිවයන අතර ඩොමීනියන් පාලනයක් යටතේ ලැබු තාවකාලික නිදහස යටතේ මෙයට නිශ්චිත අඩිතාලම නිර්මාණය විය. 1948 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙහි අගමැති වූ ඩී.එස්.සේනානායක මහතා 1931දී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ කෘෂිකාර්මික ඇමති ලෙස ක්‍රියාකළ අතර එහිදී ප්‍රාදේශීය අසමානතාවය විසඳ ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කරගැනීම සඳහා උපාය මාර්ගයක් ලෙස ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය ඉදිරිපත් කරනු ලැබීය. මෙයට මූලික පදනම 1930 දශකය තුළ ඇමරිකන් එක්සත් ජනපදයේ ආරම්භ කළ ටෙනෙන්සි ගංගා නිම්න සංවර්ධන වැඩසටහන තුළින් ලබාගත් අත්දැකීම් පදනම් කරගනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස 1949දී ගල්ඔය ගංගා නිම්න සංවර්ධන ක්‍රමය ආරම්භ කරන ලද අතර ඉන් ලැබූ සාර්ථකත්වය හමුවේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ගංගා නිම්න සංවර්ධන ක්‍රියාවලීන් කිහිපයක් ඇති කරන ලදි. මුල් කාලීනව කලාපීය මට්ටමින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘති පසුකාලීන ප්‍රාදේශීය හා ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වී ගියේය. 

50 දශකයේදී ශ්‍රී ලාංකේය ප්‍රාදේශීය ක්‍රමසම්පාදන ක්‍රියාවලියෙහි එක් උපක්‍රමයක් ලෙස ගංගා නිම්න සංවර්ධනය යොදාගනු ලැබූ අතර මීට පෙර හා පසුකාලීනව ප්‍රාදේශීය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් නිර්මාණය  පැවතුණි. ඒ අතර 

■    දිස්ත්‍රික් සංවර්ධන හා ග්‍රාමීය සංවර්ධන කටයුතු
■    නාගරික සංවර්ධනය
■    ඉඩම් ප්‍රතිසංස්කරණ
■    සංචාරක කර්මාන්ත
■    වියළි කලාපීය ඉඩම් ජනපදකරණ හා ගොජනපදකරණය
■    බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය
■    කාර්මික සංවර්ධනය හා කර්මාන්ත විමධ්‍යගත කිරීම
■    ආයෝජන ප්‍රවර්ධන කළාප ඇති කිරීම

ආදී වැඩසටහන් මෙහිදී ප්‍රමුඛ වේ. මෙම වැඩසටහන් ආරම්භ කරන ලද ප්‍රදේශයන් ප්‍රාදේශීය ක්‍රම සම්පාදන ක්‍රියාවලියේදී විවිධ ගැටලු සහිත ප්‍රදේශයන් ලෙස හඳුනාගනු ලැබූ අතර එම ප්‍රාදේශීය ගැටලුකාරී තත්වයන් පොදුවූ මාන 3ක් යටතේ ගොනුකර දක්වා ඇත. එනම්, 

■    ඌණ සංවර්ධන ප්‍රදේශ 
■    පරිහානියට ආපදාවට ලක්වූ ප්‍රදේශ 
■    තදබද ප්‍රදේශ 

මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළින් හඳුනාගත් ප්‍රාදේශීය විෂමතාවන් සහිත කලාපයන් උචිතම ක්‍රම සම්පාදනයක් යටතේ සැලසුම්සහගත ලෙස සංවර්ධනයට දායක කරගනු ලැබූ අතර එහිදී

■    භෞතික හා අර්ථික ක්‍රම සම්පාදන
■    වෙන්කරන ලද හා නව නිපයුම් සඳහා කරනු ලබන ක්‍රම සම්පාදන
■    බහුවිධ හා තනි අරමුණු ක්‍රම සම්පාදන
■    බලපෑම් හා බලපෑම් නොකරන ක්‍රම සම්පාදන

ආදී වූ ක්‍රම සම්පාදනයක් හෝ කිහිපයක් භාවිතා කිරීම මෙහිලා විශේෂත්වයකි. ප්‍රදේශයක ස්ථාපිත කරනු ලබන යම් ක්‍රම සම්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී වක්‍රානුකූලව යම් පදනමක් ඔස්සේ සැලසුම්සහගත ලෙස සිදුකරනු ලැබේ. එහි ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ක්‍රම සම්පාදන වක්‍රය ලෙස හඳුන්වන අතර ප්‍රාදේශීය සංවර්ධන සංකල්පයේදී මෙය ප්‍රමුඛතම සංකල්පයක් මෙන්ම උපකරණයක් ලෙසද භාවිතා කරනු ලැබේ. මේ තුළින් සංවර්ධන වැඩසටහනක් තුළ සිදුවන වැරැදි සහගත තත්ත්වයන් අවම කරගැනීමටත්, හැකි උපරිම මට්ටමින් ප්‍රතිඵල ලබාගැනීමටක් සිදුකළ හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය පෙරදැරි කරගෙන කාර්මික අංශය උපකාරක හා උපාය මාර්ගයක් ලෙස භාවිතා කිරීමට බලයට පත්ව සිටි රජයන් විටින් විට කටයුතු කරනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස කාර්මික ප්‍රතිපත්ති සංශෝධනය, කර්මාන්ත විමධ්‍යගත කිරීම, නව  කාර්මික කලාප පිහිටුවීම, ආයෝජකයින් දිරි ගැන්වීම, ආයෝජන ප්‍රවර්ධන කලාප නිර්මාණය කිරීම ආදිය සිදුවිය.

“වර්තමානයේ සමූහගතවීම් මත පදනම්වූ ආර්ථික සංවර්ධනය ප්‍රදේශීය තරඟකාරීත්වයට මංපෙත් විවර කිරීමක් ලෙස කැපී පෙනේ.” (විල්බට්, 2013) සමූහගත කරන ලද මුල්ම කාර්මික කලාපයක් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනයෙහිලා සැළකිය යුතු අන්දමින් දායකත්වයක් සැපයූ අතර එම කාර්මික සමූහගතවීම් ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය තුළ ප්‍රභල උපාය මාර්ගයක් ලෙස වර්ධනය වන්නට පටන් ගැණුනි. භූගෝලීය වශයෙන් රාශිගත වූ සමාගම් සහ ආයතන අතර වෙළඳපොළට අයත්වන සහ නොවන සම්බන්ධතා පිළිබඳ ක්‍රමයක් ලෙස සමූහගතවීම යන්න අර්ථ දැක්විය හැකිය. කර්මාන්ත රාශියක් එකම ස්ථානයක ස්ථානගතවීම පිළිබඳ තීරණාත්මක කරුණු මත මෙකී තත්ත්වය පැහිදිලි වේ. සමූහයක් තුළින් සකසා ඇති භූගෝලීය සම්බන්ධතාව අධ්‍යයනය කිරිමේදී හා ගණුදෙනු සම්බන්ධයෙන් වැය කරනු ලබන පිරිවැය පහත හෙලීමක් මෙහිදී හඳුනාගත හැකිය. ඒ තුළින් කර්මාන්තවල නිපදවනු ලබන නිෂ්පාදනයන් හරහා අලෙවිකරණය පිළිබඳ බාහිර අවස්ථා උදාකරනු ලබයි. එසේම බාහිර ක්‍රියාකාරකම් උදෙසා දරනු ලබන පිරිවැය එනම්, ප්‍රතිපාදන පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධ පිරිවැය කර්මාන්තකරුවන් අතර හවුලේ බෙදීයනු ලබයි. මෙලෙස ස්ථානගත වූ කර්මාන්ත තුළ මහා රාශීය (Mass) වර්ධනය වන අතර ඒ තුළට අනෙකුත් කර්මාන්ත ආකර්ෂණය කිරීමේ හැකියාවක් නිර්මාණය වේ.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය හා පර්යන්ත ප්‍රදේශවල කාර්මික සහ ව්‍යාපාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ එළඹුම තුළින් ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ විභව සම්න්න භූමිකාව කර්මාන්ත ස්ථාානගත කරන ලද මුල් කාලයේදිම හඳුනාගනු ලැබිණි. පසුව සංවර්ධන ක්‍රියාදාමයෙහි ක්‍රමෝපායයක් ලෙස සමූහවල සංවර්ධනය යොදාගැනීම සිදුකිරීම මත ප්‍රාදේශීය සංවර්ධනය ඉහළ මට්ටමකට පැමිණුනි. රට පුරා විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින ගෘහස්ථ කාර්මික හා සංචාරක ව්‍යාපාර සමූහ මුල් කාලීනව ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක නොවුණ අතර මනා සම්බන්ධීකරණයක් නොමැතිවීම එයට හේතුවිය. නමුදු පසු කාලීනව ඇති කරන ලද කර්මාන්ත සම්බන්ධීකරණ වැඩසටහන් මඟින් එය යථාර්ථයක් බවට පත්කිරීමට හැකියාවක් ලැබුණි.
පර්යන්ත කාර්මික සංවර්ධනය සහ කාර්මික ප්‍රතිස්ථානගත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සතුව පැවති මුල් කාලීන අත්දැකීම් එතරම් සතුටුදායක මට්ටමක නොපැවතුණු අතර කුඩා මෙන්ම මධ්‍ය පරිමණ ව්‍යවසායකත්වයක් ග්‍රාමීය මට්ටම්වල පැවතීම මෙයට ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබිණි. එකී කර්මාන්ත සදහා අවශ්‍ය තාක්‍ෂණය, පුහුණුව හා නිපුණතාවයන් සහ වෙළඳපොළ අවස්ථාවන් ලබා ගැනීම, මඟහැරීම මීට හේතු සාධක විය. නමුදු මෑත කාලීන වනවිට රාජ්‍ය කාර්මික අංශයේ ප්‍රවණතාවයක් ලෙස කාර්මික අනුග්‍රහය ලබන කාර්මික ජනපද හා කර්මාන්ත සමූහගතවීම පසෙකලා ඒ වෙනුවට ආදේශනයක් ලෙසින් කුඩා කර්මාන්ත සමූහයන් වර්ධනයට කටයුතු කිරීම තුළින් ප්‍රාදේශීය සංවර්ධනයක් අපේක්‍ෂා කිරීමක් දක්නය ලැබේ. මේවා අතර ගෘහ භාණ්ඩ (මොරටුව), කජු (මන්නාරම) සහ වේවැල් නිෂ්පාදනයන් (වේවැල්දෙණිය) ආදිය ප්‍රමුඛ පෙළ කර්මාන්ත කිහිපයකි. (NEDA Annual Report, 2010)
  
පසුගාමී ප්‍රදේශයන්හි ආර්ථික විවිධාංගීකරණය කිරීම, සම්ප්‍රදායික කර්මාන්තයන් නඟා සිටුවීම සහ එබඳු ප්‍රදේශවල ජීවත්වන උගත් තරුණ ශ්‍රමිකයන් සහ නිපුණ පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා ලබාදීම තුළින් එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කිරීමට වර්තමාන රජය කටයුතු කරඇත. භූගෝලීය වශයෙන් ස්ථානගතව පවතින කාර්මික සමූහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ‘මහින්ද චින්තන’ ඉදිරි දැක්ම මගින් නිවැරදිව පෙන්වාදී පැවතියද එහි ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමුකිරීමේදී අන්තර්ගත යථාර්ථය පිළිබඳ තිතකින් නිමාකළ නොහැකි ප්‍රශ්නාර්ථයක්ද වනු ඇතැයි සිතමි. කෙසේවෙතත් ප්‍රාදේශීය ආර්ථික විෂමතා ඉලක්ක කොටගත ප්‍රතිපත්ති වැඩසටහන් හා ව්‍යාපෘති සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දිගු කාලීනව මෙන්ම ඓතිහාසික අත්දැකීම් මත ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි පැවති වර්ධන විෂමතාව අවම මට්ටමකට ගෙන ඒමට කර්මාන්තවලට හැකියාවක් ලැබුණු බව කිව හැකිය. 2009 වර්ෂය තුළ අවසන් වූ වසර 30ක නොනිමි ත්‍රස්තවාදය තුළින් හටගත් උතුරුකරයේ ප්‍රාදේශීය විෂමතාවයට අවධානය යොමුකිරීමේ දැඩි අවශ්‍යතාවයේ ප්‍රබල උපක්‍රමයක් ලෙස කර්මාන්ත ජනපද සංකල්පය සහ ඉන් ලැබූ අත්දැකීම් යොදාගනු ලබන බවක් වර්තමානය තුලින් පෙනේ.

 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:
 
ඊරියගම, තිස්ස. (2007). රාජ්‍ය ආර්ථිකය ගැටළු අවබෝධය, නෙත් ප්‍රකාශනයකි. ඉඳුරු ඕප්සෙට් ප්‍රින්ටර්ස්, හයිලෙවල් පාර, කොට්ටාව, පන්නිපිටිය.

ඊරියගම, තිස්ස. (2004). ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය - ප්‍රකාශනගත සුචිකරණ දත්ත. සී.ස දෙව්මි ප්‍රින්ටින් සිස්ටම්, 3/25, සමගිපුර, ගෝනමඩිත්ත පාර, පිළියන්දල.

ඊරියගම, තිස්ස. (2002). ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂණය, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11.

ගමගේ, එස්.අයි. (1998). ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය 1948, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11.

මනෝදර, නෙල්සන් ඩි. (2013). නිෂ්පාදන කර්මාන්ත ස්ථානගතවීමේ නව ප්‍රවණතා (ආර්ථික භූගෝල විද්‍යා විශ්ලේෂණයකි.), පළමු වෙථම. කතෘ ප්‍රකාශනයකි, 947, පේරාදෙණිය පාර, මහනුවර.
 

සඟරා හා ලේඛන:

ආර්ථික විමසුම,
(2013 මාර්තු/පෙබරවාරි), වෙළුම 38, මහජන බැංකුවේ ප්‍රකාශනයකි, පර්යේෂණ දෙපාර්තමේන්තුව, මහජන බැංකුව, 75, විත්තම්පලි ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02.

ශ්‍රී ලංකා ආර්ථිකය නිර්බාධීකරණය හා සංවර්ධනය, ඕ.ජී. දයාරත්න-බණ්ඩා, ජේ.එම්. ආනන්ද ජයවික්‍රම, අනෝමා අභයරත්න. එම්.බී. රණතිලක (සංස්.), (2008). පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයකි.


ඉංග්‍රීසි සඟරා හා ලේඛන: 


Industrial estates development project, (2003). (http://www.jica.go.jp/english/our_work/evaluation/oda_loan)