11 November, 2016

ශ්‍රී ලංකාවේ කර්මාන්තවල අවකාශීය ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යාප්තියෙහි අවකාශීය රටාව කාලීනව විපර්යාසයන්ට බඳුන් වී ඇති බැව් මෙහිදී ප්‍රථමයෙන්ම කිව යුතුය. ඒ සඳහා විවිධ දේශපාලන ප්‍රතිපත්ත හා මතවාද, ආර්ථිකමය අපේක්‍ෂාවන්, ප්‍රාදේශීය සංවර්ධන න්‍යාය පත්‍රය යනාදියෙහි බලපෑම සෘජුව හා වක්‍රව ලැබුණි. කර්මාන්තයක් ස්ථානගතවීමෙහිලා ප්‍රධාන සාධක කිහිපයක් බලපැවැත්වෙන අතර අමුද්‍රව්‍ය, ශ්‍රමය, යටිතල පහසුකම්, වෙළඳපොළ සහ පාරිසරික සාධක ආදියට මෙහිදී ප්‍රමුඛතාවයක් හිමිවේ. වතු වගාවන් ආශ්‍රිතව ව්‍යාප්තව පවතින කෘෂිකාර්මික අපනයන සැකසුම් කලාපයන් ස්ථානගතවීමත් එමෙන්ම දිවයින පුරා ව්‍යාප්තව ඇති කුඩා සහ ගෘහ කර්මාන්තයන්ගේ ව්‍යාප්තිය මෙකී අවකාශීය රටාවට නිදර්ශනයක් ලෙස පෙන්වාදිය හැකිය.
 

 
නමුදු සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්ගේ අවකාශීය ව්‍යාප්තිය ගත් කල්හි “මුල් කාලයේ සිටම ජාතියේ කර්මාන්තවලින් ඉතා වැඩි කොටසක් බස්නාහිර පළාතට හෝ ඒ ආසන්නයට සංකේන්ද්‍රණය වී තිබීම විශේෂ ලක්‍ෂණයක් ය.” (සරත්, 2008-) මෙලෙස නිෂ්පාදන කර්මාන්ත බොහොමයක් බස්නාහිර පළාත තුළ සංකේන්ද්‍රණයවීම තුළින් එම සංකේන්ද්‍රගත කලාපය තුළ ආර්ථික, සමාජයීය, පාරිසරික ආදී ගැටලු ඇතිවන්නට විය. මීට සමාන්තරව ශ්‍රී ලංකාවේ පසුගාමී ප්‍රදේශයන් තව තවත් පසුගාමී තත්ත්වයට ඇද වැටෙන්නට ය. මෙකී ප්‍රාදේශීය විෂමතාවය හා ගැටලුකාරී තත්වයන් අවබොධ කරගත් බලයට පත් සෑම දේශපාලන පක්‍ෂයක්ම එයට   විසඳුම

ලෙස   ප්‍රාදේශීයව   කර්මාන්ත ව්‍යාප්ත කිරීමට උත්සාහගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ කර්මාන්ත විමධ්‍යගතකරණයට ලක්වූව ද සැලකිය යුතු මට්ටමකින් ජාතික ආර්ථිකයට දායකවන කර්මාන්තයන් බොහෝමයක් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම්වලට ඇති ඇදීම පදනම් කොටගෙන බස්නාහිර පළාත තුළටම සංකේන්ද්‍රණයවී පැවතුණි.  ආනයන අපද්‍රව්‍ය මත යැපෙන බොහෝ කර්මාන්ත වරාය පහසුකම් හා අවම පිරිවැයක් යටතේ නිපැයුම් සිදුකිරීමට මෙම කලාපයන් තෝරා ගනු ලැබූ අතර පසුකාලීනව රජය දෙනු ලැබූ දිරිගැන්වීම් මත මුල්කාලීන කර්මාන්ත ව්‍යාප්තියේ අවකාශීය රටාව වෙනස් කරමින් නවතම අවකාශීය රටාවක් බිහි කරනු ලැබුණි. මේ ආකාරයට බස්නාහිර පළාත තුළට කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඒකරාශීවීම නිසාවෙන් විශාල කාර්මික ශ්‍රමික පිරිසක් ඒ වටා එකතු වු ආකාරයක් 3.1 සිතියම තුළින් මනාව අවබෝධ කරගත හැකි වේ.
 
විවිධ වූ දේශපාලන මතවාදයන් ඔස්සේ නිර්මාණය වූ ශ්‍රී ලංකාවේ කාර්මීකරණය අපේක්‍ෂිත පරිණත මට්ටමට ළඟාවීමත් සමඟම එහි අවකාශීය විසරණයක් හෝ ප්‍රාදේශීයගත ක්‍රමයකට ප්‍රවේශවීමට මූලික අඩිතාලම නිර්මාණය කරන්නට විය. මෙකී තත්ත්වය සමස්ත ජාතික ආර්ථිකය තුළ ප්‍රකට ලක්‍ෂණයක් වශයෙන් හැඳින්විය හැකිය. එසේම දුෂ්කර දිස්ත්‍රික්කවල ජනයාගේ ජීවන මට්ට්ම යම්තාක් දුරකට හෝ ඉහළ නැංවීමට හේතු වූ අතර ඒ තුළින් ප්‍රාදේශීය සංවර්ධනයට අවශ්‍ය සැලසුම් ද සම්පාදනය විය. මෙලෙස වර්ධනය වූ ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්හි අවකාශීය ව්‍යාප්තිය කාලීනව ගතික ස්වරූපයක් උසුලන්නට ය. එය කාලය සහ අවකාශය යන මානයන් ඔස්සේ අධ්‍යයනයට යොමුකිරීමෙන් පැහැදිලිවේ. ප්‍රධාන අවධි 3ක් ඔස්සේ මෙකී අවකාශීය ගතිකත්වය අධ්‍යයනයට බඳුන් කර දක්වමු. එනම්,
  •  නිදහස ලැබූ අවධියේ පැවති කර්මාන්ත ව්‍යාප්තිය
  • නිදහසින් පසු මුල් යුගය (පූර්ව පශ්චාත් යටත්ජිත යුගය)
  • 1977න් පසු අවධිය (විවෘත ආර්ථිකයෙන් පසු අවධිය)
                                                                                                 යනුවෙනි.
 
යටත්ජිවිතකරණ යුගයේ නිමාවත් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තවල ව්‍යාප්තිය වතු වගා භූමි කලාපයන් ආශ්‍රිතව දක්නට ලැබුණි. ප්‍රධාන වශයෙන් තේ වගා කරනු ලබන උඩරට ප්‍රදේශවල හා මැදරට ප්‍රදේශවල තේ ආශ්‍රිත කර්මාන්තශාලා ස්ථානගත වී තිබුණි. රබර් සැකසුම් කර්මාන්ත බහුල වශයෙන් රබර් වගා කරනු ලබන මැදරට ප්‍රදේශවල ව්‍යාප්තව තිබූ අතර පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත පොල් ත්‍රිකෝණය තුළ ස්ථානගතව පැවතුණි.
 
වතු වගා නිෂ්පාදන කර්මාන්තයන් එම ප්‍රදේශ තුළම ස්ථානගතවීමත් සමඟ ලුහු කර්මාන්ත කිහිපයක් ද ඒ වටා සංකේන්ද්‍රණය වීමක් දක්නට ලැබුණි. එයට හේතුවූයේ යාන්ත්‍රික කොටස් සහ උපාංග නිෂ්පාදනය කරමින් සැපයීම අරමුණු කොටගෙනය. මීට සමකාලීනව ගෘහ කර්මාන්ත හා කුඩා කර්මාන්තයන් විශේෂිත වූ ප්‍රදේශ කිහිපයක පමණ ව්‍යාප්තව පැවති අතර මුහුදුබඩ කලාපයන් ආශ්‍රිතව උළු කර්මාන්තය, (කොච්චිකඬේ සහ හලාවත) දකුණු පළාත තුළ කොහු කර්මාන්තය ද, අම්බලන්ගොඩ වෙස් මුහුණු හා අත්කම් කර්මාන්තයන්ද, ව්‍යාප්ත වීම මීට නිදර්ශන සපයයි. දෙවන ලෝක යුද්ධය පදනම් කොටගෙන එයට දායකත්වය ලබාදුන් රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ද අනෙකුත් නිෂ්පාදන කර්මාන්ත රාශියක් කොළඹ හා ඒ ආශ්‍රිත තදාසන්න කලාපයන් තුළ ස්ථානගත ය. නමුදු මෙම යුගයේදී මහා පරිමාණ කර්මාන්තයන් රට පුරාම ව්‍යාප්තවීමක් හඳුනාගත හැකි අතර එයට හේතු වන්නේ කර්මාන්ත රාශියක් අමුද්‍රව්‍ය පදනම මත පිහිටා ස්ථානගත වීමයි. ලුණු, සිමෙන්ති, කිරි, කඩදාසි, තුනී ලෑලි ආදී මහා පරිමාණ කර්මාන්ත ඉන් කිහිපයකි.
 
කොළඹ දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ස්ථානගත වීමේ ප්‍රවණතාවය පූර්ව පශ්චාත් නිදහස් සමය තුළින් ද හඳුනාගත හැකිය. කර්මාන්ත සඳහා අවශ්‍ය වන්නාවූ යටිතල පහසුකම් ඉහළ මට්ටමක පැවතීම, නිෂ්පාදනය සඳහා මනා ඉල්ලුමක් ඇති කිරීම, කොළඹ වරායට ආසන්නවීම සහ මධ්‍යම සහ ඉහළ ආදායම් ලබන්නන් සංකේන්ද්‍රණයවී සිටීම මත පුද්ගලික අංශයේ ආයෝජකයින්ගේ කර්මාන්ත මේ අවකාශය තුළම තවදුරටත් ස්ථනගත කොටඇත. මීට සමකාලීනව රාජ්‍ය කර්මාන්තයන් මධ්‍යගතවීමක් දක්නට ලැබුණු අතර නියමාකාරයේ කර්මාන්ත ස්ථානගත වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම මතද කර්මාන්ත කොළඹ වටා අධික ලෙස සංනේක්ද්‍රණයවීමට හේතු සාධක වීය.
 
නමුදු පසු කාලීනව එනම්, 1950න් පසු රජය ගත් කර්මාන්ත විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදය මත සාම්ප්‍රදායිකව පැවති කර්මාන්ත ව්‍යාපෘතියේ අවකාශීය රටාව වෙනස් කිරීමේ හැරවුම් ලක්‍ෂය උදාවිය. 1959දී ඒකල කම්හල් 60කින් සමන්විත කර්මාන්පුරය තුළින් මෙයට පදනම නිර්මාණය විය. අවම පිරිවැයක් යටතේ කර්මාන්ත පිහිටුවීම තුළින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය. 80 දශකයේ මුල් කාලීනව රාජ්‍ය අංශය මඟින් විමධ්‍යගත කළ කර්මාන්තයන්; අමුද්‍රව්‍ය මුල්කොටගනිමින් ස්ථානගත වූ අතර කන්තලේ, හිඟුරාන සහ පැල්වත්ත සීනි කර්මාන්තයන්ද, අඹේවෙල සහ පොළොන්නරුවේ කිරි සැකසුම් කර්මාන්තයන් ද, පුල්මුඬේ ඛනිජවැලි කර්මාන්තය ද, ගාල්ල, පුත්තලම හා කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්තය ද, මේ අතර ප්‍රමුඛ විය. නමුදු රජය මඟින් ස්ථාපිත කර්මාන්තයන් අතර ආනයනික අමුද්‍රව්‍ය පදනම් කරගනමින් පිහිටවූ මහා පරිමාණ කර්මාන්ත බස්නාහිර පළාතතුළට කේන්ද්‍රගතවීම මෙම අවධියෙහි දැකිය හැකිවීම විශේෂ ලක්‍ෂණයකි.
 
1977න් පසුව ශ්‍රී ලංකාවේ කර්මාන්ත සිතියමෙහි නවමු පෙරළියක් ඇති වන්නට වූ අතර කර්මාන්තයන්හි අවකාශීය විවිධත්වය ඉතා සීඝ්‍රව වර්ධනය වන්නට විය. 1977 අපනයනය පෙරදැරි කරගත් කාර්මික ප්‍රතිපත්තිය තුළින් මුල් කාලීනව මෙම වෙනස හඳුනාගත නොහැකි වු අතර කර්මාන්ත සංකේන්ද්‍රණය බස්නාහිරටම යොමුවී තිබීම ඊට හේතු සාධකවී ඇත. මෙම පදනම මත කටුනායක සහ බියගම අපනයන සැකසුම් කලාප බස්නාහිර පළාත තුළම ස්ථාපිත වන්නට විය. රජය ලබාදුන් දිරි දීමනාවන් හා පහසුකම් මෙකී ලක්‍ෂණය වර්ධනය කිරීමට හේතු සාධක විය. 1977 බලයට පත් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද කර්මාන්ත විවිධාංගීකරණ ප්‍රතිපත්තිය යටතේ කර්මාන්ත සාම්ප්‍රදායික කර්මාන්ත ක්‍ෂේත්‍රයට සංකේන්ද්‍රණයවීමේ ප්‍රවණතාවය අඩු කරලීමට කටයුතු කළේය. එහිදී නාගරික සංවර්ධන අධිකාරිය නිෂ්පාදන කර්මාන්ත කොළඹින් පිටත ස්ථානගත කරවීමට උත්සාහ දැරූ අතර කොළඹ නගරය තුළ ස්ථානගත කළයුතු ඉන් පිටතට මධ්‍යගත කළයුතු 1987 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද කර්මාන්ත ප්‍රතිස්ථාපනගත කිරීමේ වැඩසටහන නව කර්මාන්ත පිහිටුවීමට සුදුසු ස්ථාන පිළිබඳව අධ්‍යයනය කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස පසු කාලීනව කර්මාන්ත සංකේන්ද්‍රණය ඇති වු අතර ශ්‍රී ලංකා කර්මාන්ත සිතියමෙහි ගතිකත්වය කෙරෙහි මෙය ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබීය. 


1980 දශකය තුළ රජයේ කාර්මික ප්‍රතිපත්තිය වෙනත් දිශාවකට යොමුවීම ආරම්භ විය. මුල් කාලීන කාර්මික සංකේන්ද්‍රණය තුළ පසු කාලීනව හටගනු ලැබූ සමාජ, ආර්ථික, පාරිසරික හා සංස්කෘතික ගැටලුකාරී තත්වයන් මෙයට පාදක වූ අතර රජයේ සාම්ප්‍රදායික කාර්මික ප්‍රතිපත්තියෙහි විශේෂ ඉලක්කය ලෙස, පරිසර දූෂණය අවම වන්නාවු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත යොමු විය. මෙකී කර්මාන්තයන් බොහෝමයක් භෞතික වශයෙන් දුෂ්කර වූ කලාපයන් තුළ (පසුගාමී/පර්යන්ත කලාප) ස්ථානගතව පැවතීම නිසාවෙන් සම්ප්‍රදායික කාර්මික අවකාශයන් ශීඝ්‍රයෙන් ගතික ස්වභාවකට පිවිසෙන්නට විය. ප්‍රාදේශීය සංවර්ධනය වර්ධනය කරමින් පසුගාමී ප්‍රදේශයන් සංවර්ධනය  කිරීම සහ  නගර මධ්‍යස්ථාන සාම්ප්‍රදායික කාර්මික මධ්‍යස්ථාන වෙත සංකේන්ද්‍රණය වන ජනයා පාලනය කිරීම ද මෙහි ප්‍රමුඛතම අරමුණ අතර විය. කාර්මික සංවර්ධනය ප්‍රදේශීයකරණය සඳහා ගනු ලැබූ ප්‍රතිපත්තිමය පියවර අතර රටපුරා කාර්මික කලාප පිහිටුවීම, 1922දී ප්‍රාදේශීය බල ප්‍රදේශ තුළ ඇඟලුම් කම්හල් 200ක් පිහිටුවීමට කටයුතු කිරීම ආදී වැඩසටහන් මගින් කර්මාන්තයන් ගතික අවකාශය හරහා වර්ධනය වන්නට වීය. මෙය සමස්ථ කාර්මික ක්ෂේත්‍රයේ අවකාශීය ව්‍යාප්තිය තුළ ගතික ස්වභාවයක් වර්ධනය කිරීමට ප්‍රබල ලෙස බලපෑමක් ඇති කරනු ලැබු අතර එහි ප්‍රතිඵල 1997  වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළින් දක්නට ලැබුණු අතර එය ඉහත දක්වා ඇති සිතියම තුළින් මනාව අවබෝධ වනු ඇත.
 
කර්මාන්තයන්හි අකාශීය ව්‍යාප්තිය කර්මාන්ත ප්‍රාදේශීයකරණය හරහා නැවුම් මගකට යොමුවන කාලයෙහි දක්ෂිණ සංවර්ධන ව්‍යාපෘතිය හා ප්‍රාදේශීය කාර්මික ජනපදකරණ වඩසටහන තුළින් ඊට ලබාදෙන ලද්දේ නොමඳ සහායකි. එසේම කර්මාන්තපුර හා කාර්මික ජනපද පිහිටුවීමත් සමග අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නිසා අඩු දියුණු ප්‍රදේශවල කාර්මික කටයුතු ප්‍රවර්ධනයට හේතුවිය. කාර්මික අංගන වැඩසටහන ඔස්සේ කාර්මික අංගනයන් 25ක්  පමණ ශ්‍රී ලංකාවේ විවිධ කලාපවල ස්ථාපිත කළ අතර ඒවායින් 23ක් පමණ ප්‍රාදේශීය කාර්මික ජනපද ලෙස පිහිටුවීම කාර්මික අවකාශය පුළුල් කිරීමටත්, එහි ව්‍යාප්තියටත්, සංකීර්ණත්වයටත් හේතු විය. සීතාවක හා කළුතර පිහිටුවනු ලැබූ කාර්මික අංගනයන් සම්ප්‍රදායික කාර්මික සංකේන්ද්‍රණය තුළ ස්ථාපිත වුවද අවකාශීය දැක්ම ඔස්සේ අධ්‍යයනය කරන කල්හි ප්‍රමුඛ කලාපයෙන් බාහිර කලාපයන් තුළ පිහිටුවා ඇති බව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව අවබෝධ කරගත හැකිය.

පසුුගිය රජය මඟින් එළිදක්වනු ලැබු ‘මහින්ද චින්තන කාර්මික ප්‍රතිපත්ති ප්‍රකාශනය’ තුළින් ද ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරමින් ප්‍රාදේශීය සංවර්ධනය ළඟා කරගැනීම සඳහා සැලසුම් සම්පාදනය කර ඇති බැව් පෙනේ. ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමන් සැලසුම් කරන ලද කර්මාන්ත 300ක් පිහිටුවීමේ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයෙහි නව පුනුරුදයක් නුදුරු අනාගතයේදී ඇති වන අතරම ඒ තුළින් ප්‍රාදේශීය වශයෙන් සිදුවන්නා වු සංවර්ධන ක්‍රියාවලිය ද සැලකිය යුතු මට්ටමක් කරා ළඟා වෙතැයි අපේක්ෂා කළ හැකිවේ. එමෙන්ම වත්මන් රජය කර්මාන්ත සංවර්ධනයෙහිලා යොදනු ලබන උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය දායකත්වය පිළිබදව ද මෙහිදී අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:
 
ඊරියගම, තිස්ස. (2002). ප්‍රායෝගික ආර්ථික විශ්ලේෂණය, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11. 

ගමගේ, එස්.අයි. (1998). ශ්‍රී ලංකාවේ ආර්ථීක සංවර්ධනය 1948, සීමාසහිත ඇම්. ඩී.
ගුණසේන සහ සමාගම, 217, ඕල්කොට් මාවත, කොළඹ 11.

ගුණවර්ධන, බන්දුල. (1978). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප යෝජනා ක්‍රමය, ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ, 217, කැස්බෑව පාර, බොරලැස්ගමුව.

ජයකොඩි, සරත් කේ. (2008). ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, අභියෝග හා ප්‍රතිචාර, කර්තෘ ප්‍රකාශනයකි.
 
සඟරා හා ලේඛන:
 
කර්මාන්ත, වෙළුම  17, (1989). ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ගාලු පාර, කටුබැද්ද - මොරටුව.

කර්මාන්ත පුවත්, වෙළුම 01, (1993). කාර්මික සංවර්ධන මණ්ඩලය, ගාලු පාර, කටුබැද්ද - මොරටුව.

No comments: