ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගැනීම හා තිරසාර සංවර්ධනය උදෙසා කර්මාන්ත අංශය මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන අංශය ද සිදු කරනු ලබන මෙහෙය ඉතා වැදගත් වේ. වර්තමාන ලෝකය තුළ වඩා ඵලදායී මෙන්ම තිරසාර අනාගතයක් උදෙසා සංවර්ධනය යන්න අත්‍යවශ්‍ය අංගයක් සේ සලකනුයේ ද මෙකී සංකල්පය පදනම්කොට ගෙනය. ශ්‍රී ලංකාව තුළ පවත්නා ආර්ථික කේන්ද්‍රස්ථානය හා ප්‍රාදේශීය මට්ටම් අතර ඇති විෂමතා දුරලීම පිණිස විවිධ පරිමාණයෙන් යුතුව ප්‍රාදේශීය කර්මාන්ත වැඩසටහන් දියත් කරනු ලබන අතරම ඒ තුළින් පසුගාමී ප්‍රදේශවල ජනයාගේ ජීවන තත්වය නංවාලීම ප්‍රධාන අරමුණ විය. සංවර්ධනයේ මූලික අපේක්‍ෂාව වන පවතින තත්වයට වඩා යහපත් තත්වයක් උදා කර ගැනිමට මෙය ප්‍රබල උපාය මාර්ගයක් වනු ඇත.
ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් මෙන්ම සංවර්ධන ක්‍රියාවලියට ද අභියෝගයක් වන ප්‍රාදේශීය අසමානතා ගැටලුව, සංවර්ධන ක්‍රියාවලිය තුළදී දැඩි සංවේදීත්වයකට බඳුන් වූ බවක් හඳුනාගත හැකිය. බලයට පත් විවිධ රජයන් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ප්‍රදේශය වන බස්නාහිර පළාත හා අනෙකුත් පර්යන්ත ප්‍රදේශ අතර ඉතා වේගයෙන් සංවර්ධනය වන්නා වූ පරතරය පිරවීම උදෙසා පසුගාමී ප්‍රදේශ ඉලක්ක කොට ගත් සංවර්ධන ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් සිදු කළ ද, එය සාර්ථකත්වයක් ලැබුයේ නැත. නමුදු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය විෂමතාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාවට සුවිශේෂීත්වයක් හිමි වේ. එනම් ශ්‍රී ලංකාවේ පසුගාමී ප්‍රදේශයන් තුළට සපයන සේවාවන් හා පහසුකම් පවතිනුයේ පහළ මට්ටමක වුව ද අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි තීරණාත්මක සේවාවන් මෙන්ම ජලය, විදුලිය, සනීපාරක්‍ෂාව ආදී පහසුකම් කේන්ද්‍රීය හා පසුගාමී කලාප ද්විත්වය තුළම සම මට්ටමක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ආර්ථික වර්ධනය ධනය හා වත්කම් පිළිබඳව මනිනු ලබන නිර්ණායකයන් හෝ දර්ශකයන්ට අනුව පෙනී යන අතර ඒ සඳහා යොදාගනු ලබන දර්ශකයන් වන දළ දේශීය නිෂ්පාදිතය, දළ ජාතික ආදායම අනුව ශ්‍රී ලංකාව පිළිවෙලින් යන ස්ථානයන්ට පත්වීමෙන් මෙය වඩාත් පැහැදිලි කරගත හැකිය. කෙසේ වෙතත් දිවයිනේ ජනතාවගේ සමාජ සුභසාධන මට්ටම සහ ජීවන තත්වය මනිනු ලබන නිර්ණායකයන් වන භෞතික ජීවන තත්ව දර්ශකය අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් ඉහළ මට්ටමකට ළඟාවී සිටින ශ්‍රී ලංකාව සංවර්ධිත රටවලට සාපේක්‍ෂව ද ඉහළ මට්ටමක පැවතීම මෙකී සුවිශේෂීත්වය ළඟා කර ගැනීමට හේතු සාධක වී ඇත.
ශ්‍රී ලංකාව අතීතයේදී “වර්ධනය” පිළිබඳ ස්ථාවර මාර්ගයක ගමන් නොකළ අතර “යටත්ජිත මානසිකත්වය, දේශපාලනික අස්ථායීතාවන්, ත්‍රස්තවාදය” ආදී සාධකයන්ගේ අනිසි බලපෑම් එයට හේතු විය. නමුදු නිදහස ලැබීමෙන් පසු බලයට පත් රජයන් විසින් පැවති ආර්ථික සංවර්ධනය හා ප්‍රාදේශීය විෂම බව ආදී ගැටලුවලට පිළියම් වශයෙන් විවිධ වූ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබූහ. එම සංවර්ධන ක්‍රියාදාමයන් අතුරින් වඩා වැදගත් සංවර්ධන ක්‍රියාදාමයක් ලෙස,
- වියළි කලාපීය ඉඩම් ජනාවාසකරණය හා ගොවි ජනපදකරණය,
- ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු,
- සුලු ගොවි කෘෂිකර්මය නඟා සිටුවීම හා වී ගොවිතැන දියුණු කිරීම,
- බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය,
- නාගරික සංවර්ධනය,
- සංචාරක කර්මාන්තය,
- බෝග විවිධාංගීකරණය,
- ප්‍රවාහනය දියුණු කිරීම,
- කාර්මික සංවර්ධනය,
- ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදි කිරීම,
ආදිය වැදගත් වේ.
මෙකී සෑම සංවර්ධන ක්‍රියාවලියකම මූලික අරමුණ වූයේ ජනතාවගේ දරිද්‍රතාව, අසමානතාවන් සහ නොතකාහැරීම් පිළිබඳ ගැටලු ගැන අවධානය යොමු කිරීමකි. ඒ ඔස්සේ සැලකිය යුතු අන්දමින් සමාජ සුභසාධනය හා ජනයාගේ ජීවන තත්වය උසස් කිරීම මූලික අපේක්‍ෂාවන් වූ අතර, එහිදී ප්‍රතිපත්තිමය උපාය මාර්ගයන්ට භෞතික සහ සමාජ යටිතල පහසුකම් ආයෝජනය කිරීමක් සිදු කෙරුණි. ඒ සඳහා රජය ජාතික මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග තේරීමක් සිදු කළ අතර, අනෙක් ක්‍රියාමාර්ගය ලෙස රජයේ කාර්යභාරය ඊට පහළ පරිපාලන ඒකකය වූ දිස්ත්‍රික්කයට විමධ්‍යගත කිරීමක් සහ සංවර්ධන කටයුතු පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් වඩා යහපත් සම්බන්ධීකරණයක් අත්කර ගැනීමට කටයුතු කරනු ලැබීය. 1953දී ඇති කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, 1973 ඇති කළ දේශපාලන අධිකාරිය, 1974දී ඇතිකළ මධ්‍යගත ප්‍රාග්ධන අයවැය හා 1980දී ඇතිකළ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල තුළින් අරමුණුගත වඩා යහපත් වූ සම්බන්ධීකරණ පසුබිම මෙයට නිදර්ශන වේ.
සංවර්ධිත යැයි සලකනු ලබන රටක ආර්ථිකය මෙන්ම සමාජ සුභසාධනය ද ඉහළ මට්ටමක පවතී. එසේ නොවන රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස අර්ථකථනය කරනු ලබන අතර, එවැනි රටවල් සංවර්ධන ක්‍රියාදාමය තුළ දී සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙනුයේ ප්‍රමුඛස්ථානයකි. ශ්‍රී ලංකාවේ ද කේන්ද්‍රීය කලාපය හැරුණුකොට පසුගාමී ප්‍රදේශ සංවර්ධනයෙහි ලා විවිධ සංවර්ධන ව්‍යාපෘති යොජනා වූ අතර, එය ඉහතින් පෙන්වා දුන්නෙමු. නමුදු මෙහි ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මඟින් ආවරණය නොවූ පසුගාමී ප්‍රදේශ සංවර්ධනයෙහි ලා 1977දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය විසින් 1978දී ලිහිල් කරන ලද ආර්ථික ක්‍රමය යටතේ ප්‍රාදේශීය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. එහිදී “මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපෘතිය හා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ප්‍රධාන ව්‍යාපෘති ද” ඊට ඇතුළත් ය. මේ යටතේ කර්මාන්ත විමධ්‍යගත කිරිමට උත්සාහ කළ අතර, එමඟින් ග්‍රාමීය ප්‍රදේශවල කාර්මික ජනපද සහ ඇඟලුම් කම්හල් පිහිටුවීම ආරම්භ කරන ලදි. මූලික වශයෙන් කාර්මික ප්‍රතිපත්තිය සකස් කිරිමේ ක්‍රියාවලිය තුළ දී එහි අන්තර්ගත කළ පරමාර්ථ සහ ක්‍රමෝපායන් වන,
- රැකියා සහ ආදායම් ජනනය කරන ඉඩ ප්‍රස්ථා ඇති කිරිම.
- කර්මාන්ත ව්‍යාපෘතිය තුළින් වඩා තුලනය වු ප්‍රාදේශිය සංවර්ධනයක් ඇති කිරිම.
- අපනයනයට නැඹුරු වු සහ තරඟකාරි ආනයන ආදේශක කර්මාන්ත පිහිටුවීම.
- විශේෂයෙන් සුලු හා මධ්‍ය පරිමාණ අංශයේ වැඩි ශ්‍රම පිරිසකට රැකියා සපයා දියහැකි ආර්ථික වශයෙන් ලාබදායී කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරිම.
- බලශක්ති සංරක්‍ෂණය කෙරෙන ඇසුරුම් ක්‍රම සහ තාක්‍ෂණ ශිල්ප දිරිගැන්වීම.
- තාක්‍ෂණය වැඩිදියුණු කිරීම හා නවීකරන වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය වේගවත් කිරීම.
- කර්මාන්ත අංශ ආදියේ රාජ්‍ය ව්‍යාපාරායතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම.
ආදිය මේ යටතේ සංශෝධනය කරමින් ක්‍රියාත්මක කිරීමක් සිදු කරනු ලැබීය. එසේම 1987 ඇතිවූ පළාත් සභා පාලන ක්‍රමය සමඟ උප ජාතික මට්ටමේ පළාත්වලට සැලකියයුතු අධිකාරී බලයක් හා වගකීම් පැවරුණි. එය හේතු කොටගෙන ද පසුගාමී ප්‍රදේශ සංවර්ධනයට විවිධාකාර වු ක්‍රමවේද භාවිත කරනු ලැබීය. මෙහිදී කොළඹ කේන්ද්‍ර කොටගත් වර්ධන කේන්ද්‍රයට වඩා, පර්යන්ත ප්‍රදේශ පසුගාමී මට්ටමින් පැවතිය ද ඒවා පරිහානිය කරා ගමන් නොකරයි. ඒවායේ පවතින ගැටලුව වන්නේ ඌන උපයෝගීිතාවෙන් යුත් සම්පත්වලට සහ විභවයන්ට වටිනාකමක් නොලැබීමයි.
ඉහතින් දක්වන ලද සමාජ, ආර්ථික, දේශපාලනික සන්දර්භය තුළින් ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කොටගෙන ගොඩනැගුණු ව්‍යාපෘතියක් වශයෙන් සීතාවක කාර්මික උද්‍යානය හඳුන්වා දිය හැකිය. 1979 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ “ආර්ථික ප්‍රතිපත්ති සංස්කරණය මඟින් බහුවිධ විනිමය අනුපාතික ක්‍රමය ඒකාබද්ධ කිරීම හා අන්තර් භාණ්ඩ ආනයනය කිරීමේදී පැවති ආනයන සිමාවන් ඉවත් කිරිම, 1978 මහ කොළඹ ආර්ථික කමිටුව පිහිටුවීම, 1986 දි අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවීම, 1989 දී ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ කාර්මීකරණ උපාය මාර්ග:ීරස ඛ්බන් ෂබාමිඑරස්කස‘්එසදබ ීඑර්එැටහ* යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා විමධ්‍යගත කරනු ලැබු කාර්මික උද්‍යානයක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. බාහිරාභිමුඛ කාර්මීකරණ ප්‍රතිපත්තිය යටතේ ඇතිකරන ලද සීතාවක කර්මාන්තපුරය පිළිබදව මුලික පදනම සැකසුණේ 1994දී බලයට පත් රජය “ශ්‍රී ලංකාවේ නව කාර්මීකරණ උපාය මාර්ගය” නමැති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟිනි. මෙම ප්‍රකාශනයට අනුව,
- කර්මාන්ත පදනම පුලුල් කිරීම, විවිධාංගීකරණය සහ උසස් මට්ටමකට නඟා සිටුවීම.
- භෞතික මිනිස් බල සම්පත් කාර්යක්‍ෂමව කළමනාකරණය කිරීම.
- ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ජනනය කිරීම.
- අපනයන නැඹුරුව.
- ප්‍රාදේශීය කාර්මීකරණය.
ආදිය පොදු අරමුණු ලෙස වැදගත් වේ. ඉන්පසුව කාර්මික අංගන වැඩ සටහන යටතේ 1996දී කාර්මික ජනපදයකට අවශ්‍ය විස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සම්පාදනය සිදු කරන ලද මෙකී කාර්මික උද්‍යානය අවිස්සාවේල්ල ප්‍රදේශය තුළම ස්ථානගත කිරීමෙහි ලා මූලික වශයෙන්ම බලපෑම් කර ඇත්තේ “නිෂ්පාදන කර්මාන්තයක් ස්ථානගත කිරීමට අවශ්‍ය සාධක” යන මූලධර්මයෙහි ඇති ප්‍රායෝගිකත්වයයි. භූමිය, ශ්‍රමය, පරිවහනය හා යටිතල පහසුකම් ආදී වූ නිෂ්පාදන සාධකයන් මත ඇති වූ ඇඳීම පදනම් වෙමින් අවිස්සාවේල්ල කාර්මික ජනපදය ස්ථානගත වීම සිදු වූ අතර, එහි ප්‍රධාන අරමුණු අතර ප්‍රාදේශීය සංවර්ධනය, රැකී රක්‍ෂා උත්පාදනය, විදේශ විනිමය ඉපයීම ආදිය ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. නමුදු න්‍යායාත්මක කාර්මික සංවර්ධනය පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් මෙම කලාපය අධ්‍යයනය කළවිට මෙම භූමි ප්‍රදේශය වඩාත් අර්ථාන්විත එකක් නොවනු ඇත. කෙසේ වෙතත් කොළඹ - රත්නපුර හා කෑගල්ල - රත්නපුර මාර්ගයේ මංසන්ධිගත වීම මෙකී කාර්මික ජනපදය ස්ථානගත වීමට හේතු වූ සාධකයකි. ඊට අමතරව මාර්ග, වරාය, ගුවන් තොටුපල, විදුලිය, ජල මාර්ග ආදී ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාප්තව පැවැති ප්‍රදේශයක් ලෙස මෙම කලාපය හඳුනාගත හැකි අතර කොළඹ වරාය, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ, කැලණි ගංඟාව මෙන්ම අවට කලාපයේ පිහිටා ඇති බියගම හා කටුනායක ආදී අපනයන සැලසුම් කලාපයන් ද මෙම කර්මාන්තපුරයේ ස්ථානගතවීමට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත.
කෙසේ වෙතත් අවිස්සාවේල්ල කාර්මික උද්‍යානය 1996දී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කළ ද වර්ෂ 2001 වනවිට එහි පාලනය ආයෝජන මණ්ඩලයට පැවරුණු හෙයින් වර්තමානයේ එහි පාලන කටයුතු ආයෝජන මණ්ඩලය හරහා සිදු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන ඉතිහාසය විෂමතා සහිතව ක්‍රියාත්මක වී ඇති බවක් හඳුනාගත හැකි අතර, ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලියෙහි ප්‍රතිඵලය ලෙස සීතාවක කර්මාන්තපුරය ස්ථාපිත විය. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සීමාවට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සීමාවට වන්නට කේන්ද්‍රගත වී පවතින සීතාවක කර්මාන්ත උද්‍යානයේ වාසි සහගත තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයට වඩා හිමි වනුයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්ට වීම මෙහි දී හඳුනාගත හැකි වූ සුවිශේෂී තත්ත්වයකි. එමනිසා මෙම කාර්මික උද්‍යානය දිස්ත්‍රික්ක තුනක සංවර්ධන ක්‍රියාදාමයෙහි ලා සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි. ආරම්භක අවධියේ දී කර්මාන්ත 10කින් සමන්විත වු මෙම කාර්මික ජනපදය තුළ වර්තමානය වනවිට කර්මාන්ත 31ක් පමණ කාර්මික විවිධාංගීකරණය යටතේ ස්ථානගතව පවතියි. මේ තුළින් ඍජු රැකියා අවස්ථා 20000ක් පමණද, වක්‍ර රැකියා 20000කට වැඩි ප්‍රමාණයක් ද නිර්මාණය වී ඇති අතර, කර්මාන්තපුරයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ද, අවට කලාපයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම තුළින් ද අවට කලාපයන් සංවර්ධිත කලාපයන් බවට පත්ව ඇති බව පෙනේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධන ක්‍රියාදාමයක් නියෝජනය කරනු ලබන සීතාවක කාර්මික උද්‍යානය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධනයට දායක වී පවතීද? යන්න අධ්‍යයනය කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘකාවකි. එසේම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරනු ලබන ක්‍රියාදාමයේ දී පසුගාමී ප්‍රදේශ සංවර්ධනය සඳහා යොදාගත් උපාය මාර්ගයක් ලෙස සීතාවක කාර්මික උද්‍යානයෙහි ඇති වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කිරීම කාලෝචිත වේ. ඒ තුළින් 21වන සියවසෙහි කොළඹ දිස්ත්‍රික්ක අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ද ලබාගත හැකි වන අතර, එය උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස අනාගතයේදි ද ආයෝජනය කිරිමට මේ තුළින් ශක්‍යතාවක් නිර්මාණය වන බව කිව හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
ග්‍රන්ථ:
ඊරියගම, තිස්ස. (2007). රාජ්‍ය ආර්ථිකය ගැටලු අවබෝධය, නෙත් ප්‍රකාශනයකි. ඉඳුරු ඕප්සෙට් ප්‍රින්ටර්ස්, හයිලෙවල් පාර, කොට්ටාව, පන්නිපිටිය.
ඊරියගම, තිස්ස. (2004). ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය - ප්‍රකාශනගත සුචිකරණ දත්ත. සී.ස දෙව්මි ප්‍රින්ටින් සිස්ටම්, 3/25, සමගිපුර, ගෝනමඩිත්ත පාර, පිළියන්දල.
ගුණවර්ධන, බන්දුල. (1978). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප යෝජනා ක්‍රමය, ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ, 217, කැස්බෑව පාර, බොරලැස්ගමුව.
ජයතිලක, නිමල්. (2001). ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා කර්මාන්ත, කතෘ ප්‍රකාශනයකි, සහන පොත් ප්‍රකාශන, කෝපි වත්ත, කඩවත.
ජයකොඩි, සරත් කේ. (2008). ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, අභියෝග හා ප්‍රතිචාර, කර්තෘ ප්‍රකාශනයකි.
දේවනාරායන, චන්ද්‍රා සහ වීරසිංහ, තිලිණා (සංස්.) (1997). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප පිළිබඳ විමසුමක්, ඩාබිඳු ප්‍රකාශන, සී.ආර්.සී මුද්‍රණාලය, 119, රත්නාපිටිය, බොරලැස්ගමුව.
No comments:
Post a Comment