15 October, 2016

ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස්වීම කෘෂිකර්මාන්තයට හා සෞඛ්‍යට බලපෑම් කළ ආකාරය

පසුගිය දශකය තුල දේශගුණික විපර්යාසකරණය යන්න තරම් අධ්‍යනයට බඳුන් වු වෙනයම් අංශයක් දේශගුණ විද්‍යාව තුල දක්නට නොමැති වුයේ අන්තර් ජාතික මට්ටමින් දේශගුණික විපර්යාස කෙරෙහි දැක්වු අවධානය ඉතාමත් ඉහළ මට්ටමක පැවැතීමයි. ගෝලීය උණුසුම ඉහළයාමත් සමඟ නිර්මාණය වු විවිධ දේශගුණික විපර්යාසයන් තුළින් මානව ප්‍රජාවට අනතුරු ඇඟවීම මෙයට හේතුවීය.

රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාවට මෑතක් වනතුරුම දේශගුණික විපර්යාසයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු නොකළ බවක් හඳුනාගත හැකිය. මන්ද, ශ්‍රී ලංකාව සැළකිය යුතු මට්ටමේ දේශගුණික විපර්යාසයකට නතු නොවු නිසාවෙනි. නමුත් වර්තමානය වනවිට ජාත්‍යන්තරය තුල ප්‍රභල සාකච්ඡාවකට බදුන් වී ඇති මාතෘකාවක් ලෙස දේශගුණික විපර්යාසකරණය යන්න හඳුනාගෙන ඇති නිසාවෙන් ශ්‍රී ලංකාව ද රාජ්‍යයක් වශයෙන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර ඇති බැව් පෙනේ. ඒ අනුව අතීත යුගයන්ගේ සිට වත්මන දක්වා වු දේශගුණික දත්ත රැස්කිරීම, විද්වතුන්ගේ සහ විද්‍යාඥයන්ගේ සහාය ලබාගැනීම, මේ හා සම්බන්ධ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය අනුග්‍රහය ලබාදීම, ආයතන පිහිටුවා විධිමත් කාර්ය පටිපාටියක් අනුව කටයුතු කිරීම, උපායමාර්ගික හා තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම ආදිය කැපී පෙනේ. දේශගුණික වෙනස්වීම් සම්බන්ධයෙන් ලංකාව තුළ සිදුකරනු ලැබු පර්යේෂණ තුළින් රාජ්‍යයක් ලෙස මෙම අභියෝගයට මුහුණුදීමට කටයුතු කරනු ලබන බව පහත දක්වා ඇති කරුණු තුළින් පෙනී යයි.
  • 19 වන සියවසයේ දී දේශගුණය විග්‍රහ කිරීම සඳහා විස්තරාත්මක ප්‍රවේශයක් යොදාගෙන ඇත. ඒ අතර Tennet (1859),  Ferguson (1857) yd Eliot (1887)  ආදී පුද්ගලයන් වැදගත් වේ.
  • Marshal 1840දී ඊසාන දිග හා නිරිත දිග මෝසම් වර්ෂාවල ක්‍රියාකාරීත්වයෙහි යම් සම්බන්ධතාවයක් දේශගුණික සාධක හා ගංඟාවල ප්‍රමාණාත්මක බව තීරණය කිරීමට හේතු සාධක වන බව පෙන්වාදීම.
  • එල්සි කුක් 1931දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ අවකාශිය ව්‍යාප්ති රටාව, සෘතුමය ව්‍යාප්තිය හා ඒවායේ පාලන සාධක ද හඳුනාගෙන ඇත. 
  • වාර්ෂික වර්ෂාපතන දත්ත උපයෝගී කරගනිමින් කොළඹ සිට පොතුවිල් දක්වා ඇති උන්නතාංශයන් සමඟ වර්ෂාපතනය වෙනස් වන ආකාරයේ සම්බන්ධතාවයක් තම්බයියා පිල්ලේ විසින් 1952 දී හඳුන්වා දෙනු ලැබීය. එසේම මධ්‍යම කදුකරයේ බටහිර හා නැගෙනහිර ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබෙන බව ද, එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
  • 1997දී Miyashita විසින් දිගු කාලීන ජල විද්‍යාත්මක දත්ත හා දේශගුණික දත්ත උපයෝගී කරගෙන ලංකාවේ මධ්‍ය කඳුකරය ආශ්‍රිත ප්‍රදේශවල වාර්ෂික වර්ෂාපතනය අඩුවන ආකාරයත් ඊට නැඹුරුතාවයක් දක්වන බවත් ඇති බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසකරණය තුළින් නිර්මාණය වන බලපෑම කිනම් ආකාරයේ එකක්ද යන්න හඳුනාගැනීම මෙහිදී වැදගත් වේ. ඒ අනුව දේශගුණික වෙනස්වීමේ සෘජු බලපෑම ලැබෙනුයේ පරිසරයට හා එහි ජිවත් වන මිනිසාට බව යථාර්ථවත්ය. මිනිසා ද පරිසරය තුල ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් එකී දේශගුණ විපර්යාසයන්ගේ බලපෑම් අත්විදින්නට සිදුවේ. මානවයා හා දේශගුණය අතර පවතින්නා වු අබේදනීය සම්බන්ධතාවය එයට හේතුවන අතර දේශගුණය යන්න මිනිසාගේ එදිනෙදා ජීවිතය හා සම්බන්ධ කටයුතුවලට සම්බන්ධ වන වායුගෝලීය සන්සිද්ධීන් වල එකතුවකි. දේශගුණය තීරණය කරනු ලබන වර්ෂාපතනය හා උෂ්ණත්වය යන සාධක මානව ජීවන චක්‍රය හා විවිධාකාරයෙන් බැදී පවතී. මෙය සෘජු හා වක්‍ර ආකාරයෙන් දේශගුණයේ සෑම සාධකයක්ම මිනිස් ක්‍රිියාවලියට බලපෑම් කරන අතර ඒවා කිහිපයක් ආංශික වශයෙන් හඳුනාගැනීම මෙහිලා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස් වීම කෘෂිකර්මයට බලපෑ ආකාරය.

කෘෂිකාර්මික කටයුතුවලට දේශගුණික වෙනස්වීම්වල අහිතකර ප්‍රතිඵල බලපැවැත්වෙනවා සේම කෘෂිකාර්මික කටයුතුවලින් සිදුවන බලපෑම්ද දේශගුණික තත්ත්වයන් වෙනස් කිරීමට හේතුවන බව හඳුනාගෙන ඇත. මෙයින් පෙනී යන්නේ දේශගුණය හා කෘෂිකර්මය යන සාධකයන් දෙක අන්තර් සම්බන්ධතාවයක සහිතව චක්‍රීයව ක්‍රීයාත්මක වන බවකි. “කෘෂි කර්මාන්තය වනාහි ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයෙහිම ප්‍රධාන ආර්ථීක ක්‍රියාවලියක් වන අතර ලෝක ජනගහනයෙන් 50% ක් පමණ සෘජුව හා වක්‍රව කෘෂිකර්මය මත යැපේ. ” ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 70% කට වඩා ප්‍රමාණයක් කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවල නියුතුවීමක් දක්නට ලැබෙන අතර මෙවැනි කෘෂිකර්මය ප්‍රධාන කොටගත් පසුබිමක් ලංකාව තුල නිර්මාණය වුයේ දේශගුණය යන සාධකය මූලික කොටගනිමින් බව පැහැදිලි වේ.

ශ්‍රි ලංකාවේ කෘෂිකර්මයෙහි අවකාශීය ව්‍යාප්තිය ගත්කල්හි එහි ආංශික බෙදීයාම සිදුවී ඇත්තේ දේශගුණය පදනම් කරගනිමින්ය. උදාහරණයක් වශයෙන් තෙත් දේශගුණකට ආවේණික බෝග වර්ග වන රබර්, තේ හා ඇතැම් එළවළු වගාව ද, වියළි දේශගුණය පදනම්න් නිර්මාණය කරගත් වී වගාව හා ඇතැම් එළවළු වගාවන්ද මෙයට කදිම නිදර්ශනයකි. මෙකි ආංශික බෙදීයාම සමාජය තුල ප්‍රාදේශීය කෘෂි සංස්කෘතියක් ඇතිකිරීමෙහිලා වැදගත්වූවා සේම විවිධ කෘෂි සංස්කෘතික ක්‍රමවේදයන්, කල්යල් බලා වගා කිරීම්, කෙම් ක්‍රමය, බුද්ධ බෝග පාරමිතාව, සාම්ප්‍රදායික කෘෂි පසු අස්වනු තාක්ෂණික ක්‍රමවේදයන් ආදිය ඇතිවීමට දේශගුණය අවකාශීය ව්‍යාප්තිය හේතු සාධක වී ඇති බැව් එය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් පෙනීයයි. එසේම කෘෂිකර්මය හා සම්බන්ධ වන දියුණු වාරි තාක්ෂණික ක්‍රම ශිල්ප ඇති වීමෙහිලාද (දියුණූ වාරි ශිෂ්ටාචාරකරණය) දේශගුණය හේතු සාධක වි ඇත. වියළි කලාපය තුල පිහිටා ඇති දියුණු වාරි සභ්‍යත්වය මෙයට කදිම නිදර්ශන සපයන් ලබයි. මෙම කරුණූ සියල්ලම තුල ගැබ් වී ඇති සන්දර්භය වනුයේ කෘෂිකර්මය ආශ්‍රිතව මානව ක්‍රියාවලීන් ඒකරාශීවීම හා සංවිධානගතවීම සඳහා දේශගුණය පදනම් වී ඇති බවයි. නමුත් වර්තමානයේ දේශගුණික විපර්යාසයන් මත මෙකී කෘෂිකර්මය විපර්යාසකරණයට ලක්වී ඇති අතර එය මානව ප්‍රජාවට සෘජුවම හා වක්‍රව බලපෑමක් ඇති කරනු ලබයි.

වර්තමාන ශ්‍රී ලංකාව ද, ගෝලීය උණුසුම ඉහළයාම සමඟ නිර්මාණය වී ඇති දේශගුණික විපර්යාසවල බලපෑම් භුක්ති විදිමින් සිටියි. මෙය ලංකාවේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයටද ප්‍රභල ලෙස බලපැමක් එල්ල කොට ඇති බැව් උෂ්ණත්වය පිළිබඳව අවධානය යොමුකළ කල්හි එහි ක්‍රමික ඉහළයාමක් හඳුනාගත හැකිය. එය පහත දක්වා ඇති සිතියම තුලින් මනාව අවබෝධ කරගත හැකි වන අතර ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහළයාම කෙරෙහි වායුගෝලීය Co2 ප්‍රමාණය ඉහළයාම හේතුවී ඇති බවද දැනගත යුතුය. බෝග වර්ධනය සදහා Co2 වායුව අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර Co2යොදාගෙන ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය මගින් ආහාර නිෂ්පාදනය කරනු ලබයි. නමුත් අවශ්‍ය සීමාව ඉක්මවා වායුගෝලය තුල Co2 සංචිතවීම තුලින් එය ප්‍රභාසංස්ලේෂණය හැකියාව කෙරෙහි බලපෑමක් ඇති කරමින් බෝග වර්ධනයේ විවිධ අවස්ථාවන්ට බලපෑමක් එල්ල කරනු ලබයි. එය වගාවන්ගේ අස්වැන්න සෘජුවම අඩුකිරීමට සෘජුවම බලපෑමක් එල්ල කරනු ලබන අතර වායුගෝලය තුල Co2 සංචිත ප්‍රමාණය වැඩිවීම මගින් බෝගවල අස්වැන්න වැඩිවීමට හේතුවක් නොවනබව මින් මනාව පැහැදිලි වේ. මෙසේ ශ්‍රී ලංකාව තුල උෂ්ණත්වය ඉහළයෑම බෝග අස්වැනන් අඩුවීමට හේතු සාධක වේ. ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය 0.50C ක්‍ ඉහළ ගියහොත් ඊට සාපේක්ෂව වී අස්වැන්න 5.9%කින් පහත බසින බවත් රාත්‍රි උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහළ බැසීම නිසා අල හා තක්කාලි වගාවන් විනාශවීමට හේතුවන බවත් බස්නායක විසින් කරන ලද පර්යේෂණ හා අධ්‍යයනයන් තුලින් පෙන්වාදීම මෙයට කදිම නිදර්ශනයකි. එසේම උෂ්ණත්වය නමැති දේශගුණික සාධකය බෝග වර්ධනයේ විවිධ අවස්ථාවන්ට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කරනු ලබයි. ඉහළ උෂ්ණත්වයක් තුලින් බෝගවල වර්ධන කාල සීමාව අඩුවීමක් සිදුවන අතර එමගින් ඒකකයකට ලැබෙන අස්වනු ප්‍රමාණයේ අඩුවීමක් ද සිදුවේ. මෙලෙස අස්වනු ප්‍රමාණය සීඝ්‍රයෙන් පහල වැටීම රටෙහි ආහාර නිෂ්පාදනය අඩුකිරීමට හේතුවන අතර එය මිනිසාගේ පෝෂණ අවශ්‍යතාවය සමග සම්බන්ධ වෙමින් සෘජුව හා වක්‍රව බලපෑමක් ඇති කරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල පවතින වායුගෝලීයේ උෂ්ණත්වය ඉහළයාම මෙරට කෘෂිකර්මය හා සම්බන්ධ වාරිමාර්ග පද්ධතිය අසාර්ථක වීමටද, හේතු සාධකයක් වේ. මෙමඟින් මිනිසුන්ගේ ජල අවශ්‍යතාවයන්ද යම් යම් සීමාකාරි තත්ත්වයන්ට බදුන්වේ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාරි මාර්ගයන්ගෙන් සිදුවන වාෂ්පීකරණය ඉහළයෑමේ ක්‍රියාවලිය පෙන්වා දිය හැකිය. මෙය එකී කලාපයෙහි බෝග වගාවට මෙන්ම මිනිසුන්ට අවශ්‍ය ජල අවශ්‍යතාවයටද යම් සීමා කිරීමකට යටත් කිරීමකට හේතු සාධක වන අතර බෝග වගාව තුලින් සිදුවන වාෂ්පීකරණ උත්ස්වේදනය ක්‍රියාවලියද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.          

ශ්‍රී ලංකාව තුල විවිධ දේශගුණික ආන්තික තත්ත්වයන් නිර්මාණයවීමෙහිලා වායුගෝලීය උෂ්ණත්වය ඉහලයාම හේතු සාධකවේ. එමඟින් වර්ෂාපතන රටාවන් වෙනස්වීම, නියඟ ඇතිවීම, ගංවතුර තත්ත්වයන් ඇතිවීම, සුළි සුළං ඇතිවීම වැනි ආන්තික දේශගුණික තත්ත්වයන් ඇතිවීමක් සිදුවේ. මෙවැනි තත්ත්වයන්ගේ බලපෑමද සෘජුව හා වක්‍රව දේශීය කෘෂිකර්මයෙහි විපර්යාස ඇතිකිරීම සඳහා හේතුසාධක වේ. ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන් තුල ඇති වන්නා වු නියං තත්ත්වයන්ට හේතුසාධක වී ඇත්තේද මෙකී උෂ්ණත්වයේ ආන්තික වර්ධනය වීමයි. මෙසේ දේශගුණික විපර්යාසයන් නිසා බිහි වු මෑත කාලීන නියඟයක් ලෙසින් 2001 වර්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් මිනිසුන් 370,000 ක් පමණ ආපාදා තත්ත්වයකට පත් කළ නියං තත්ත්වය පෙන්වා දියහැකිය. මෙහිදී එම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සහමුලින්ම විනාශ වී ගිය අතර ඔවුන්ට අවශ්‍ය ආහාර අවශ්‍යතාවය පවා සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීය.

මීට අමතරව දේශගුණික විපර්යාසයන් යටතේ නිර්මාණය යන ගං වතුර, නායයෑම්, සුළි සුළං හා කුණුටු තත්ත්වයන් මඟින් ද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට විශාල බලපෑමක් ඇති කරනු ලබයි. 2003 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වු ගංවතුර තත්ත්වය මඟින් එම ප්‍රදේශය මුළු මුනින්ම ජලයෙන් යටවු අතර අතර එහිදී වගාබිම් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගොස් එම ප්‍රදේශයේ කෘෂිකර්මය සම්පුර්ණයෙන්ම විනාශ වීය. මෙය හේතු කොටගෙන එම ප්‍රදේශයේ ජනයාගේ ආර්ථීක, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික අංශයන් සියල්ලක්ම අස්ථාවර තත්ත්වයකට යොමුවීමකට බදුන් වීය. 1957 වර්ෂයේදී වියළි කලාපයේ ඇති වු ගංවතුර තත්ත්වය නිසාවෙන් එම කලාපයේ විශාල වගා බිම් ප්‍රමාණයක් යටවී ඇති අතර එය දේශීය කෘෂි ආර්ථීක ක්‍රියාවලියට විශාල බලපෑමක් ඇතිකරනු ලැබීය. එසේම සුළි සුළං අවස්ථා මඟින්ද කෘෂි වගාබිම් වලට හානිකර තත්ත්වයක් ඇති කර ඇත. 1981 සිට 2001 දක්වා කාල පරාසය තුල දී මෙවැනි සුළං අවස්ථා 11 ක් හා සුළං කුණාටු 05 ක් බලපැවැත්වී ඇති අතර එමගින් කෘෂිකර්මය කෙරෙහි ඇති බලපෑම ඉතාමත් විනාශදායකය. මෙවැනි තත්ත්වයන් නිර්මාණයවීමෙහිලා ගෝලීය උණුසුම ඉහළයෑම බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යාඥායෝ අදහස් දක්වා ඇත. මෙම කරුණු සියල්ලම අධ්‍යයනය කිරීම තුලින් අපට සාරාංශගත කොට හැකි කරුණු වන්නේ ශ්‍රී ලංකාවේ දේශගුණිය වෙනස්වීම මඟින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු බවයි.

දේශගුණික වෙනස් වීම සෞඛ්‍යයට බලපාන අකාරය.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසකරණය සදහා බෙහෙවින්ම බලපානු ලබන්නේ වායුගෝලයේ උණුසුම ඉහළයාමයි. මෙකී වායුගෝලීය උණුසුම ඉහළයාමත් සමගම මිනිසුන් එහි බලපෑමට සෘජුව ලක්වේ. අධික උෂ්ණත්වය මිනිසුන්ට දරාගත නොහැකි තත්ත්වයක් වන අතර එමගින් මරණයට පවා පත්විය හැකිය. ශ්‍රී ලංකාවේ වායුගෝලීය උෂ්ණත්වය අතීතයේ සිට වර්තමානය දක්වා ක්‍රමිකව වැඩි වී ඇති බවත් එමගින් මානව ප්‍රජාවගේ සෞඛ්‍යයට යම් යම් බලපෑම් හා අහිතකර තත්ත්වයන් ඇති වී ඇති බවත් පර්යේෂකයෝ සදහන් කරති. ශ්‍රී ලංකාවේ දේශගුණය සෘතුගතව ව්‍යාප්ත වි ඇති අතර එහි බලපෑම ද කාලීනව මිනිසාගේ සෞඛ්‍යයට විවිධාකාරයෙන් අඩු වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනු ලබයි. එනම්, සෘතුගතව ලැබෙන උෂ්ණත්වය දේශගුණික වෙනස් වීමෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් ලැබෙන උෂ්ණත්ව ප්‍රාණය අභිබවා ඉහළ යාමකට ලක්වේ. සුර්යාගේ උතුරු දකුණු දෝලනය පදනම් කරගෙන මෙකී බලපෑම තීරණය වන අතර අප්‍රියෙල්-අගෝස්තු මාසයන්හි සීඝ්‍රයෙන් ශ්‍රී ලංකාවේ වායුගෝලීය උෂ්ණත්වය ඉහළයාමකට බදුන් වේ. එය පහත දක්වා ඇති ප්‍රස්තාරය අධ්‍යයනය කිරීම තුලින් අවබෝධ කරගත හැකිය. මෙකී උෂ්ණත්වය ඉහළයාම කුඩා දරුවන්ට හා මහළු පුද්ගලයන්ට ඇතැම් විට දරාගත නොහැති මට්ටම දක්වා වර්ධනය වන අතර එමගින් විවිධාකාර රෝගබාධයන් රාශියක් ද නිර්මාණය වේ. ඒ අතර මානසික විසාදිය, හිසේ කැක්කුම, සම අවපැහැවීම, චර්ම රෝග හා විවිධ ආසාදන ආදිය පෙන්වා දිය හැකිය. ඇතැම් විට මෙකී උෂ්ණත්වට ඉහළයාම හේතුකොටගෙන මිනිසුන් මරණයට පවා පත්වන්නට ඇත. නමුදු එය පිළිගත හැකි අයුරින් වාර්තා නොවීම එය ප්‍රසිද්ධ නොවීමට හේතු වේ.

දේශගුණික විපර්යාස නිසාවෙන් ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා වියළි තත්ත්වයකටත්, වියළි කලාපය රළු වියළි තත්ත්වයකටත් බදුන් වේ.අප්‍රියෙල් සිට අගෝස්තු මාසය දක්වා මෙම වියළි කලාපයන් තුල වායුගෝලය තුල උෂ්ණත්වය ඉහළ මට්ටමකට ගමන් කරනු ලබන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම කලාපයේ භූමියේ වාෂ්පීකරණය ඉහළමට්ටමකට ගමන් කරයි. මෙලෙස වාෂ්පීඋත්ස්වේදනය ඉහළ මට්ටමකට ගමන් කිරීම නිසා මෙම කලාපයෙහි භූගත ජල මට්ටම පහල බැසීමකට ලක්වන අතර එය මිනිසුන්ගේ ජල අවශ්‍යතාවය සීමා සහිත කිරීමට හේතුවේ. එමගින් මිනිසුන්ට දෛනිකව අවශ්‍ය පානීය ජල අවශ්‍යතාවය ද සපුරා ගැනිමට නොහැකි වන අතර එමගින් මිනිසා සෞඛ්‍යමය  වශයෙන් අඩපණ කිරීමට හේතු සාධක වේ. එසේම මෙම කලාපයේ අභ්‍යන්තරයේ පවතින ජලධරයන් තුල මැසි, මදුරුවන්  බිහි කරනු ලබන විවිධ බැක්ටීරීයා, දීලීර වර්ග සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින අතර එම ජලය පානය කිරීමෙන් හා මැසි මදුරුවන් මගින් මිනිසාට විවිධ ලෙඩරෝග ඇති කරනු ලබයි. මෙම තත්ත්වය බොහෝවිට දක්නට ලැබෙන්නේ වියළි කලාපය තුල එනම්, අනුරාධපුරය, පොලොන්නරුව, අම්පාර වැනි දිස්ත්‍රික්කයන්  තුලයි.

ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසයන් නිසා ඇතිවන ස්වභාවික ආපදා රාශියක් පවතී. මෙම ආපදා මගින් ශ්‍රී ලංකාවේ මානව ප්‍රජායේ සෞඛ්‍යයට විවිධ වු බලපෑම් ඇති කරනු ලබයි. එම බලපෑම්වල බලපෑම කායික හා මානසික වශයෙන් ප්‍රධාන දෙකොටසකට බෙදා දැක්විය හැකි වන අතර උදාහරණ වශයෙන් ගංවතුර ව්‍යසනය ගත් කල්හි එමගින් මිනිසාගේ දේපොල, ජීවිත ආදියට බලපෑමක් ඇකි කරයි. එහිදී මිනිස් ජීවිත වලට සිදුවන හානිය කායික හානි ලෙසත්, දේපොල ආදී භෞතික දැ අහිමි වීම නිසා ඇතිවන මානසික වේදනාවන් මානසික හානිය ලෙසත් දැක්විය හැකියි. එය සෘජුව හා වක්‍රාකාරයෙන් මිනිසාගේ සෞඛ්‍යය වෙනස් කිරීමට හේතු සාධක වේ.

ශ්‍රී ලංකාවේ තෙත් හා වියළි කලාපීය ප්‍රදේශවල පවතින්නා වු තෙත් හා උණුසුම් දේශගුණික තත්ත්වයන් යටතේ වායු දූෂක ද්‍රව්‍ය වල අහිතකර බලපෑම් ඉතාමත් හානිකර ලෙස මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති කරනු ලබයි. තෙත් කලාපයේ ජනයාගේන් 1/5 ක් පමණ ඇදුම රෝගයෙන් පෙලෙන බව හඳුනාගෙත ඇත.එසේම තෙත් කලාපය ආශ්‍රිතව පවත්නා අධික වර්ෂාව හේතු කොටගෙන මෙම කලාපයේ වායුගෝලීය ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පැවැතීමට හේතු සාධක මෙමඟින් වසංගතයන් පැතිර යාමේ අවධානම මෙම කලාපය තුල ඉහළ මට්ටමක පවතී.එසේම ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගයන් මෙම කලාපය තුල බහුලව ඇති වීමට ද මෙකී දේශගුණික  සාධක හේතු වී ඇත. මානව ක්‍රියාවලීන් හා ස්වභාවික හේතූන්ගේ ක්‍රියාකාරීත්වය මත වායුගෝලයට දූෂක ද්‍රව්‍ය එකතු වීමක් සිදුවන අතර ශ්‍රී ලංකාවේ දේශගුණීක විපර්යාසකරණය ආශ්‍රිතව ලෙස රෝග වර්ධනය විමට ද මෙය සෘජු හා වක්‍ර හේතු සාධක සපයයි. මෙලෙස වායුගෝලය තුල විවිධ විෂ ද්‍රව්‍ය එකතුවීම තුලින් මිනිස් ශ්වසනය ආශ්‍රිත ලෙඩරෝග, හෘදයාබාධ, පිලිකා, චර්ම රෝග වැනි දෑ ඇති වේ. බස්නාහිර පලාත කේන්ද්‍ර කොටගෙන මෙම තත්ත්වය බහුලව දැකිය හැකිවන අතර එම කලාපයේ මිනිසුන්ගෙන් 90% කට වඩා පිරිසක් ශ්වසනාබාධ රෝග වලින් පෙළෙන බව අනාවරණය වී ඇත. මෙම කලාපය තුල ප්‍රාදේශීය වශයෙන් ඇති වන අව පීඩන තත්ත්වය නිසාවෙන් විෂ සහිත සුළං මිනිසාගේ ශ්වසනයට නිරන්තරයෙන් ලක්වීම එයට හේතුව ලෙස හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව සිඝ්‍රව වර්ධනය වීමත් සමගම ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් හමුවේ CO2 විමෝචනය සීඝ්‍රයෙන් ඉහළ යනු ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාගේ ශ්වසන රෝග, හෘදයාබාධ, විවිධ ආකාරයේ පැතිර යන්නා ලෙඩ රෝග (සුළං මාධ්‍යයක් කරගනිමින්) වලට මිනිසා ගොදුරුවිමත් සිදුවේ.

දේශගුණය වෙනස්වීම හා ජල චක්‍රය අතර ඇත්තේ ඉතා සමීප අන්තර් සම්බන්ධතාවයකි. දේශගුණික වෙනස්වීම් වලට ඉතාමත් සංවේදී ලෙස ප්‍රතිචාර දැක්වීමක් සිදු කරනු ලබයි. භූගත හා භූ තල ජල ධරයන්හි ගුණාත්මකබව, විවිධ දේශගුණය ආන්තික තත්ත්වයන් හා අසංවිධිත තත්ත්වයන් ආදිය හේතු කොටගෙන විවිධ ලෙඩරෝගයන් හා රෝග කාරකයන් නිර්මාණය වේ. උදාහරණ වශයෙන් ගත්කළ දේශගුණික විපර්යාසයන් නිසා ඇති වෙන්නා වු ගංවතුර තත්ත්වයේ පසු කාලීනව එම ගොඩබිම් කලාපයක පිහිටි ප්‍රදේශය තුල බිහි වන්නා වු ඩෙංගු මදුරු වසංගතය පෙන්වා දිය හැකිය. වර්ෂාපතනයේ විචල්‍යතාවය හා උෂණත්වයේ ඉහළයාම නිසා සීඝ්‍රයෙන් ඩෙංගු වසංගතය ව්‍යාප්ත වු අතර එය අතීතයේ සිට ගෝලීය උෂ්ණත්වය වර්ධනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. එය පහත ප්‍රස්තාර සටහන අධ්‍යනය කිරීමෙන් මනාව පැහැදිලි වේ. එසේම තෙත් කලාපය ආශ්‍රිතව ඩෙංගු උවදුර විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර එයට හේතුව වන්නේ වර්ෂාව යන සාධකය හා එහි ආන්තිකත්වයයි. මෙමගින් මිනිසාට විශාල වශයෙන් සෞඛමය ගැටළු ඇති කරනු ලබන අතර එය සෘජුව හා වක්‍රව ආර්ථීකමය හා දේශපාලනික අංශයන්ට ද බලපෑමක් එල්ල කරණු ලබයි. මෙකී ඩෙංගු වසංගතයෙහි අවකාශීයමය ව්‍යාප්තිය තුලින් දක්වා ඇති සිතියම තුලින් පෙන්වනු ලබයි.




ජලය අපිරිසිදු වීම මගින් පාචනය වැනි රෝග වසංගතයන් සීඝ්‍රයෙන් වර්ධනය වේ.වර්ෂණයේ චිවලනය මත නිර්මාණය වන්නා වු වසංගතයක් ලෙස පාචනය හඳුනාගත හැකි අතර ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාත, පොලොන්නරුව, අම්පාර, මහියංගනය මාතලේ වැනි ප්‍රදේශවල විශාල ව්‍යාප්ත වීමක් දක්නට ලැබේ.මෙමඟින් මෙම කලාපීය වැසියා සෞඛ්‍යමය අතින් පිරිහීමට ලක්වන අතර එමගින් මෙම කලාපයෙහි ආර්ථීකය ක්‍රියාවලියට විශාල බලපෑමක් සිදු කරනු ඇත. එසේම ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ ආන්තික රටාවක් නිර්මාණය කිරීමෙහිලා දේශගුණික විපර්යාස සෘජුව හා වක්‍රව බලපෑම් ඇති කළ අතර එය රෝග ව්‍යාප්ත කරන මාධ්‍යයක් වශයෙන් ද හඳුනාගත හැකිය.එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට බැක්ටීරීයා, දිලීර, වෛරස් හා ප්‍රොටසෝවා ආදි ක්ෂද්‍ර ජීවීන් ආදී රෝග කාරකයන් ව්‍යාප්ත කිරීමෙහිලා වර්ෂා ජලය වැදගත් සාධකයක් ලෙස සලකනු ලබයි.

 මෙහි ව්‍යාප්තිය ගංවතුර වැනි ආන්තික දේශගුණික තත්ත්වයන් හමුවේ විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත වීමක් සිදුවේ. මෙයට කදිම නිදර්ශනය ලෙස 2003 වර්ෂයේ රත්නපුරය ප්‍රදේශයේ ඇති වු ගංවතුර තත්ත්වය පෙන්වා දිය හැකිය. මෙහි බලපෑම විශාල පවුල් සංඛ්‍යාවක් අවතැන් කිරීමට හේතු වු අතරම ගංවතුරින් පශ්චාත් සමයෙහි මෙම ප්‍රදේශයෙහි ආශ්‍රිතව ඩෙංගු රෝගය ඇති වීම පෙන්වා දියහැකිය. මේ ආකාරයට ගං වතුර ගැලීම හේතු කොටගෙන පානීය ජල ළිං ආදිය මෙම අපිරිසිදු ජලයෙන් යටවීමක් සිදු වන අතර පසු කාලීනව මෙම ළිං තුලින් ලබා ගන්නා ජලය පානය කිරීමෙන් විවිධ ලෙඩරෝග වැළදීමක් සිදුවන අතර ඒ අතර වකුගඩු රෝගය වැළදීම ප්‍රධාන වේ. එයද මානවයාගේ සෞඛ්‍යට විශාල බලපෑමක් ඇති කරනු ලබන බව මින් ගම්‍යමාන වේ.
                       
දේශගුණය වෙනස්වීම නිසා වායුගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යාමක් හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිතව වායුගෝලයේ උෂ්ණත්වය වාර්ෂිකව ඉතාමත් සීඝ්‍රයෙන් ඉහළ යන බවක් පෙන්නුම් කරන අතර එයට හේතු සාධක වුයේ මෙකී නගර කලාපයන් තුල ක්‍රීයාත්මක වන හරිතාගාර ආචරණ ක්‍රියාවලියයි. මෙම තත්ත්වය නාගරික මිනිසුන්ගේ සෞඛ්‍ය කෙරෙහි සෘජුව හා වක්‍රව බලපෑම් ඇති කරනු ලබයි. දෛනික උෂ්ණත්වය ඉහළ යාම සමග මිනිසුන්ගේ මානසික ආවේගශීලී බව ඉහළ යන බව සමාජ විද්‍යාඥායින් හා මානසික වෛද්‍යවරු පෙන්වා දී ඇත. එසේම ඔවුන්ගේ මානසික ආතතිය ඉහළ යාම,සම අවපැහැ ගැන්වීම, විවිධ චර්ම රෝග ඇතිවීම, ශ්වසන රෝග, පිලිකා, හෘද රෝග ආදි රෝගයන් ද සීඝ්‍රයෙන් පැතිර යාමේ ප්‍රවණතාවයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ නාගරික කලාපය මෙයට කදිම නිදර්ශනයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙලෙස උෂ්ණත්වය ඉහළ යාම ජලයෙහි උෂ්ණත්වය ද ඉහළ යාමටහේතුවන අතර එය විවිධ රෝග කාරක වර්ධනය වීමට ද හේතු සාධකයක් ලෙස හඳුනාගත හැකිය. මෙමඟින් කොලරාව, පාචනය, ඩෙංගු, බරවා වැනි රෝග ව්‍යාප්තවීමක් සිදුවන අතර ඒ ආශ්‍රිතව විවිධ අතුරු ආබාධ ගෙන දෙන රෝගයන් ද වැළදීමට මෙය හේතු සාධකයක් වේ.

පානීය ජලයේ ලවණ සහිත අංශූන් ඉහළයාම සදහා ද වායුගෝලිය උෂ්ණත්වය හේතු සාධක වේ. එනම්, උෂ්ණත්වය ඉහළයාම හේතු සාධක කොටගෙන වර්ෂාපතනය අඩුවිමක් සිදුවන අතර එයට සාපේක්ෂව මෙම කලාපයේ වාෂ්පීකරණ උත්ස්වේදනය ද බහුලව සිදුවන නිසාවෙන් ජලයෙහි ලවණ සාන්ද්‍රණය ඉහළ යනු ලැබේ. ඇතැම්විට ගංමෝය කලාපවල ගංගා මගින් අපදාවය වන ජල ධාරිතාවය උෂ්ණත්වයේ බලපෑම මත අඩුවු විට සාගර ජලය ගංගා ඔස්සේ ගොඩබිම කරා ගලා ඒමද මෙකී ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් සපයයි. මෙය ගෝලීය මට්ටමෙන් විමර්ශනය කල කල්හි ගෝලීය උණුසුම නිසා සාගරික ජල මට්ටම ඉහළ යෑමට හේතු පාදක කොටගෙන සාගරික ජලය ගංගා දිගේ ඉහළ කලාපයන්ට ඇදි ඒමට සමාන ක්‍රියාවලියකි. මෙමඟින් භූතල හා භූගත ජල ධරයන්ට මෙම ලවණීකරණය සහිත ජලය එකතුවීමක් සිදුවන අතර එකි ජල ප්‍රභවයන් මිනිසුන් පානීය ජල සම්පත් වශයෙන් යොදා ගැනීම හේතුකොට ගෙන විවිධ සෞඛ්‍ය ගැටළු නිර්මාණය වී ඇත. ගිං ගඟ, මල්වතු ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ මෙයට කදිම නිදර්ශන වශයෙන් හඳුනාගත හැකිය.

එයට හේතුව වන්නේ දේශගුණික සාධකවල පරපෝෂී ක්ෂද්‍ර ජිවීන් දක්වන සංවේදීතාවය බව ෂඡක්‍ක්‍ සංවිධානය පෙන්වා දෙයි. 1995 දී IPCC දක්වනාකාරයට වෙනස්වන දේශගුණික තත්ත්වයන් යටතේ වාහකයින් මගින් බෝවන රෝග වර්ධනය වීමට ඉඩ අවස්ථා ලැබේ.ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස්වීම යටතේ ද මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත. එය මිනිසාගේ සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු නිර්මාණය කර ඇති අතර මෙහිදී වැඩි අවධානයක් කොළඹ හා ගම්පහ ආදී දිස්ත්‍රික්කයන්ට යොමු වී ඇත. මානව ක්‍රියාවලීන් දේශගුණික විපර්යාසකරණයට ලබාදෙන සහයෝගය මෙම කලාපය තුල ඉහළ මට්ටමකින් පවතින අතර එහි අතුරු බලපෑමද නැවත එම කලාපීය වැසියාට අත් විදීමට සිදුව ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුනගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලවීම හේතු සාධක වේ. එසේම ශ්‍රී ලංකාවේ වාර්ෂිකව දේශගුණය විපර්යාසය පදනම් කරගන්නේ වැඩිවන උෂ්ණත්වය හමුවේ හා විචල්‍යවන වර්ෂාපතන රටාව හමුවේ වාර්ෂිකව ජනගහනයෙන් 300,000 ක් පමණ මැලේරියා රෝගයට ගොදුරු වේ. ශ්‍රී ලංකාවේ භෞතික පිහිටීම මත මැලේරියා රෝගය වියළි කලාපයේ සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. වර්ෂාපතනය සමග මැලේරියාව පැතිරයාම වෙනස්වන ආකාරයක් පැහැදිලිවම හදුනාගත හැකි අතර ඉන් අනාවරණය කරගත හැකි වී ඇත්තේ වර්ෂාපතන රටාවේ වෙනස් වීම මෙකී රෝග කාරකය වෙනස් කිරිමට සාපේක්ෂව බලපෑමක් ඇති කරන බවයි.එය පහත දක්වා ඇති  ප්‍රස්තාර සටහන අධ්‍යයනය කිරීමෙන් මනාව පැහැදිලි වේ. 

                
දේශගුණික වෙනස්වීම යටතේ එය තව තවත් වර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම ශ්‍රී ලංකාවේ වියළි කලාපය තුල නිර්මාණය වු නිසා 1906, 1911, 1914, 1923, 1928, 1928, 1934-35, 1939-40, 1943, 1945-46 යන කාල වකවානු තුලදි සීඝ්‍රයෙන් වර්ධනය වීය. වියළි කලාපීය පරිසරය තුල ස්ථානගතව ඇති වැව්, අමුණු ආදී ජලය ගලා නොබසින  ජල පරිසර පද්ධතීන් මෙම වසංගත රෝග වර්ධනයට සුදුසු පරිසර පද්ධතීන් නිර්මාණය කර තිබීමට හේතු සාධක වීය.‘ IPCC 1935’ දි කරනු ලැබු අධ්‍යයනයක් මගින් මෙකී මැලේරියා වසංගතය හා දේශගුණය අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ අඳහස් දක්වා ඇත. උක්ත දැක්වු පරිසර පද්ධති යටතේ බරවා පරපෝෂීන්ගේ ව්‍යාප්තිය වැඩි වීමක් හඳුනාගත හැකි වන අතර එයට හේතුව වන්නේ උණුසුම් දේශගුණික තත්ත්වය හා විචල්‍යවන වර්ෂාපතනය රටාව මදුරුවන් බෝවීමට සුදුසු පරිසර තත්ත්වයක් මෙම කලාප තුල වර්ධනය කිරීමයි.

එසේම ශ්‍රී ලංකාවේ සමාජ පරිසරය ආදී අංශයන් ද ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ සෞඛ්‍යය තීරණ කිරීමට හේතු සාධක වු කරුණු ලෙස හඳුනාගත හැකි හැකිය. එනම්, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථීක කටයුතු දියුණු තත්ත්වයක පත්වීම සදහා දේශගුණය යන සාධකය සෘජුවම බලපෑමක් ඇති කළ අතර ආර්ථිකමය සමාජීය වශයෙන් අස්ථීර වු සමාජයක් තුල මෙවැනි සෞඛ්‍ය හා සනීපාරක්ෂක කටයුතු දුර්වල මට්ටමක පවතී. එයහේතු කොටගෙන එම කලාප වල ජනතාවගේ සෞඛ්‍ය ඉතාම පහළ මට්ටමකට පත්වන අතර එමගින් එම කලාපයේ ලෙඩරෝග ව්‍යාප්තිය, උවදුරු ආදිය සීඝ්‍රයෙන් පැතිර යාමක් සිදුවේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසකරණය මගින් මිනිසුන්ගේ සෞඛ්‍යට සෘජු හා වක්‍ර බලපෑමක් එල්ල වෙමින් ක්‍රියාත්මක වන බවත් ඉහත කරුණු තුලින් අනාවරණය වේ. එහිදි ප්‍රධාන වශයෙන් වායුගෝලීය උෂ්ණත්වට ඉහළ හා වර්ෂාපතනය විච්‍යතාවයන් ගැන අවධානය යොමු කිරීමක් සිදුකරනු ලැබු අතර එයට බලපෑම් කළ සාධකයන් පිළිබදව ද මෙහිලා අවධානය යොමු කරනු ලැබීය.

කෘෂිකර්මය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ හැඳින්වීමක්


කෘෂිකර්මය යනු කුමක්ද?

ලෝක ආර්ථිකය තුල කෘෂි කර්මයට හිමිවන්නේ අද්වීතීය ස්ථානයකි. විවිධ ස්වරූපයන් ගනිමින් ක්‍රියාත්මක වන මෙය සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල විවිධ අරමුණු පදනම් කරගෙන ක්‍රියාත්මක වෙයි. මෙකී විවිධ අරමුණූ ඔස්සේ ක්‍රියාත්මක වන කෘෂිකර්මයෙහි ව්‍යාප්තිය, එයට දායක වන්නන් ප්‍රමාණය, භාවිතා කරනු ලබන විවිධ ක්‍රම, ප්‍රදේශයයෙන් ප්‍රදේශයට, හෝ රටින් රටට ආදි ලෙස වෙනස් ස්වභාවයක් ගත හැකිය. ලෝක ආර්ථිකය හා විවිධාකාරයෙන් සහ සම්බන්ධව අන්තර් ක්‍රියාකරනු ලබන අතර කෘෂිකර්මය විශාල ජන සංඛ්‍යාවකගේ උපාය මාර්ගය ද වේ. එසේම කර්මාන්ත, වෙළදාම, පරිවහනය, සේවා ආදි අංශයන් සමග කෘෂිකර්මාන්තය සෘජුව හා වක්‍රව සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබන අතර කෘෂිකාර්මික නිපයුම්, කෘෂිකාර්මික ඉල්ලුම්, කෘෂිකාර්මික ස්වරූපය, කෘෂිකාර්මික වර්ගවල ව්‍යාප්තිය, අනෙකුත් ක්‍රියාවලින් සමග දක්වන සහ  සම්බන්ධතාවය පිළිබඳ දැන සිටීම ද මෙහිලා වැදගත් කොට සැලකිය හැකිය.

කෘෂි කර්මය පිළිබඳ නිර්වචන

කෘෂිකර්මාන්තය ගෝලීය මට්ටමෙන් ගෙන සැලකූ කල්හි ඉතාමත් සංකීර්ණ වු ක්‍රියාදාමයක් ලෙස හඳුනාගත හැකිය. මෙකී සංකීර්ණත්වයට හේතු වුයේ, එම ක්‍රියාවලියෙහි ක්‍රියාකාරීත්වය අවකාශීමය වශයෙන් දක්වන දැඩි විෂමතාවය හේතුකොට ගෙනය. එක් බෝග වර්ගයක් භු විෂමතාවය, දේශගුණය යන භෞතික සාධක පදනම් කරගනිමින් ද, සමාජ, සංස්කෘතික අංග වන සිරිත් විරිත්, සම්ප්‍රදාය, ආගම ආදී අංග ලක්ෂණ පදනම් කොටගනිමින් ද, අවකාශය තුල විවිධත්වයක් ඇතිකරමින් ව්‍යාප්තව ඇත. එමනිසා කෘෂිකර්මය වනාහි ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස අපට හඳුනාගත හැකිය. මෙකී සංකීර්ණත්වය පදනම් කොටගෙන කෘෂිකර්මය යන්න නිශ්චිත අර්ථකථනයක් හෙවත් විශ්වීය නිර්වචනයක් මේ වනවිට ලැබී නොමැත. නමුත් කෘෂිකර්මය පිළිබඳව විවිධ වු නිර්වචන රාශියක් කෘෂික්රමයේ ස්වභාවය, ව්‍යාප්තිය, අරමුණු ආදී සාධක මත පදනම් වෙමින් ඉදිරිපත් කොට ඇත. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.එනම්,

Agriculture, or farming, is the simplification of nature's food webs and the rechanneling of energy for human planting and animal consumption. (http://kids.mongabay.com)  

Agriculture, also called farming or husbandry, is the cultivation of animals, plants, fungi, and other life forms for food, fiber, biofuel, drugs and other products used to sustain and enhance human life.Safety and health in agriculture. (International Labor Organization)  

The science, art, or practice of cultivating the soil, producing crops, and raising livestock and in varying degrees the preparation and marketing of the resulting products(http://www.merriam-webster.com)

The active production of useful plants or animals in ecosystems that have been created by people. Agriculture may include cultivating the soil, growing and harvesting crops, and raising livestock. (http://www.answers.com)

Agriculture is the science or practice of farming, including cultivation of the soil for the growing of crops and the rearing of animals to provide food, wool, and other products. Origin: late Middle English: from Latin agricultura, from ager, agr- 'field' + cultura 'growing, cultivation'. (http://www.oxforddictionaries.com) 

Agriculture is the production of food and goods through. (http://en.wikipedia.org)



                                                                                                                                  යනුවෙනි. 

මෙම නිර්වචනයන් අධ්‍යයනය කිරීමෙන් අපට පැහැදිලි වන්නේ කෘෂිකර්මය වනාහි සංකීර්ණවූත්, විවිධත්වයකින් යුක්තවූත්, ක්‍රියාවලියක් බවයි. එමනිසා මෙයට පොදුවු විශ්වීය නිර්වචනයක් සැපයීම දුෂ්කර කාර්යකි. නමුත් එක්සත් ජාතීන්ගේ කෘෂිකාර්මික සංවිධානය මගින් ඉදිරිපත් කර ඇති නිර්වචනය, වර්තමාන ලෝකයේ කෘෂිකර්මය පිළිබඳව අර්ථගැන්වු හොඳම හා උසස්ම නිර්වචනය ලෙස පිළිගනු ලබයි.

ලෝක මට්ටමේ කාෂිකර්මය (ගෝලීය කෘෂිකර්මය)

කෘෂිකර්මාන්තයට දිගු ඉතිහාසයක් පවතිනාතර එය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවයන අතර මෙකී මූලික අවධීන්හි ද කෘෂිකර්මාන්තය අවිධිමත් ලෙස සිදුවී ඇති අතර පසු කාලීනව විවිධ අවශ්‍යතාවයන් මත එකී ක්‍රියාවලියට ක්‍රමාණූකූල පදනමක් ආරෝපණය වී ඇත. මෙම ක්‍රමාණූකූල පදනම දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනයවීමෙන් වර්තමානයේ දක්නට ලැබෙන කෘෂිකර්මාන්තයේ අවකාශීය රටාව නිර්මාණය වී ඇත. එනම්, මානව ඉතිහාසයේ ආරම්භයේ අතීත මානවයින් පැලැටී හා ශාක කොටස් තම එදිනෙදා පැවැත්ම සඳහා ප්‍රයෝජනයට ගත් අතර පසුව වන ද්‍රව්‍ය රැස්කරමින්, සතුන් දඩයම් කරමින් වනචාරීව ස්වභාව ධර්මය මත යැපෙමින් තම පැවැත්ම තහවුරු කොටගත්හ. 

‘ලෙස්සි සිමන්ස්’ විසින් කෘෂිකර්මයේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳවත් එහි ක්‍රමික විකාශනයත් පිළිබඳව පර්යේෂණයක් සිදුකල අතර ඔහුට අනුව ශාක ශාක ගෘහස්ථකරණයවීම කෘෂිකර්මාන්තයේ වැදගත්ම සංදිස්ථානයක් සේ සැලකේ. අතීත මානවයා විසින් ගින්දර සොයාගැනීමත් සමග ශාක ගෘහස්ථකරණය සිදුවු බව සඳහන් කරන ලෙස්ලි තවදුරටත් ප්‍රකාශ කරනුයේ ක්‍රි.පූ 8000 පමණ කෘෂිකර්මයේ මූලාරම්භය සිදුවන්නට ඇති බවයි. කෙසේ වෙතත් බෝගවගාව හා සත්ත්ව පාලනය ඇතිවීම සම්බන්ධයෙන් ප්‍රාථමික තම ස්ථානය හෝ ස්ථානයන් සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වන අතර එය පිළිබඳව විවිධ මතවාදයන් වර්තමානය වනවිට විවේචනයට බදුන්වෙමින් පවතී. 

කෙසේ වෙතත් ගෝලීය කෘෂිකර්මය අධ්‍යනය කිරීමේදී එය ප්‍රධාන කොටස් දෙකක් යටතේ අධ්‍යනය කරනු ලබයි. එනම්,

  • සංවර්ධිත රටවල කෘෂිකර්මය
  • සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකර්මය

                                                                                යනුවෙනි. මේ යටතේ කෘෂිකර්මය අධ්‍යයනය කිරීමේදී හඳුනාගත හැකි ලක්ෂණ රාශියක් පවතී. සංවර්ධිත බොහෝ රටවල් ප්‍රමාණයක් කෘෂිකර්මාන්තය සිදුකරනුයේ වාණිජමය පරමාර්ථයන් මුදුන්පත් කොටගැනීමටයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම සඳහා කෘෂිකර්මය සිදුකරනු ලබයි. එසේම සංවර්ධිත රටවල් විශාල ප්‍රමාණයෙන් එනම්, මහා පරිමාණික බිම් යටතේ අඩු ශ්‍රමයකින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට ක්‍රියා කරන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් කැබැලි වි ගිය කුඩා බිම් කොටස්වල, සම්ප්‍රදායික ක්‍රියාවලියක් ඔස්සේ විශාල ශ්‍රමයක් යොදවමින් කෘෂිකාර්මික කටයුතුවල නිරත වී ඉන් ආහාර පරිභෝජන අවශ්‍යතා සම්පුර්ණ කරගැනීමට කටයුතු කරනු ලබයි. මේ ආකරයට එකම ක්‍රියාවලියක් විවිධ අරමුණු ඔස්සේ ක්‍රියාත්මක වන අතර මෙකි කෘෂිකාර්මික අරමුණූ ලෙසට,

  • ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම
  • කර්මාන්ත සඳහා කෘෂි අමු ද්‍රව්‍ය නිපදවීම.
  • විශේෂීයකරණ අතිරික්ත නිෂ්පාදනය බෙදා හැරිම.

                                                                                 ආදිය හඳුනාගත හැකිය. මෙම කෘෂිකාර්මික අරමුණු අවකාශය තුල විෂමව පැහැතීම නිසා එකී මානව ක්‍රියාකාරකම තුල අවකාශීය ප්‍රභේදනයක් පිළිඹිබු කරයි. මෙකි අවකාශීමය ප්‍රභේදනය (අවකාශීය රටාවන්) තේරුම් ගැනීමට විවිධ පුද්ගලයන් උත්සාහ දරා ඇති අතර මෙකි උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස කෘෂි වර්ගිකරණ බිහිවී ඇත. මෙහිදී විවිධ අවකාශයන් තුල ව්‍යාප්ත වී ඇති එකම වර්ගයේ ලක්ෂණ සහිත ප්‍රදේශ හදුනාගැනීමට මෙම පුද්ගලයින් කටයුතු කර ඇත. ගෝලීය පරිමාණයෙන් කෘෂිකර්මය දෙස බැලීමේදී භෞතික හා මානව සාධකවලට සම්බන්ධ කරුණු මත පදනම් වි මෙවැනි කෘෂි වර්ගීකරණ ඉදිරිපත් කළවුන් අතර ‘බේකර්, ග්‍රීපිත් ටේලර්, ඩාවෙන්ට් විට්ලිසි, වැන් රෝයන්, ආර්.තෝමන්, ග්‍රෙගර්’ ආදිහු මෙහිදි වැදගත් වේ.

මෙම කෘෂිකාර්මික වර්ගීකරණයන් ඉදිරිපත්වීම මඟින් ලෝකය තුල පවතින කෘෂි රටාවන් පිළිබඳවත්, එහි ලක්ෂණ පිළිබඳවත් අධ්‍යනය කළ හැකි අතර ඒවා ගෝලීය ආර්ථිකයට දායක වී ඇත්තේ කෙසේ ද? සහ ප්‍රාදේශීය සංවර්ධනය ආහාර අවශ්‍යතාවය සපුරාගැනීමට ක්‍රියා කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳව ද අධ්‍යනය කොට ඇත.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියනු ලබයි. එය ප්‍රාග් ඉතිහාසය දක්වා දිවෙන අතර ලිඛිත ඉතිහාසයට අනුව එය විජයාගමනයත් සමඟ සහ සම්බන්ධ වේ. විජය කුමරු මෙරටට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටියා යැයි පැවසෙන මූලාශ්‍රය මත පිහිටි කල්හි විජය පැමීණීමටත් පෙර සිටම ලංකාව තුල කෘෂිකර්මය පැවැති බව මින් සනාථ වේ. කෙසේ වෙතත් විජයගේ පැමිණීම ශ්‍රී ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භය සේ සලකනු ලබන අතර එතැන් පටන් ශ්‍රී ලංකාව තුල විශාල කෘෂිකාර්මික සශ්‍රීක බවක් පැවතුණි. ඒ බව එකල ඉදිවුණු මහා කෙත්වතු, විශාල වැව්වලින් සමන්විත වු වාරි ශිෂ්ටාචාරය තුලින් මනාව පිළිබිඹු වනවා සේම ජවප්‍රවාද හා ජනශ්‍රැති ද මෙයට සාක්ෂි සපයයි. එකල පැවැති තෙවැදැරුම් භූමි පරිභෝග ක්‍රමය අනුපූරක පදනමකින් ක්‍රියාත්මක වු කෘෂිකර්මයක් වන අතර ගෙවත්ත, හේන, කුඹුර මෙහිදී ප්‍රධාන වේ. ස්වයංපෝෂී ආර්ථික රටාවක් ක්‍රියාත්මක වු මෙහි විටින් විට එකී ස්වයං පෝෂීතාවය බිඳ වැටීමටද හේතු මානව හා ස්වභාවික සාධකයන් බලපෑම් එල්ල කළ ඇත. 

යුරෝපීය ජාතිකයන්ගේ පැමිණීමත් සමඟම ශ්‍රී ලංකාවේ කෘෂි කේෂ්ත්‍රයේ දැවැන්ත විපර්යාසයකට බදුන් වීය. එනම්, පැවැති ස්වයංපෝෂී කෘෂි ආර්ථීක රටාව විදේශ ප්‍රතිපත්ති පදනම් කොටගෙන බිඳවැටුණු අතර ඒ වෙනුවට ආදේශන කෘෂි ප්‍රතිපත්තිය වුයේ ව්‍යාපාරික වගාවන් හෙවත් වාණිජවාදි කෘෂිකර්මයයි. බි්‍රතාන්‍ය රජය තුළ වාණීජ වගාවන්ට ප්‍රමුඛතාවයක් ලබාදුන් අතර මුල් කාලයේ දි කෝපි, සින්කෝනා වැනි බෝගයන් ද, පසුව තේ, පොල්, රබර්, කුරුදු වැනි බෝගයන් ද වගාකරන ලදී. බි්‍රතාන්‍ය රජය ක්‍රියා කළ ආකාරය නිසා මුල් වගාබිම් රජයට පවරාගත් අතර එමඟින් එතෙක් පැවැති ස්වයංපෝෂී ගැමි කෘෂිකර්මය පරිහානියට පත්වීය. ඇතැම් බි්‍රතාන්‍ය පාලකයෝ දේශීය කෘෂිකර්මය නඟා සිටුවීමට ක්‍රියා කළද එය එතරම් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවීය.

යටත්විජිතකරණයෙන් පසු ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයට දේශපාලනික බලපෑම සෘජුව ලැබේ. මෙකී දේශපාලනීකරණය වු කෘෂිකර්මය ආශ්‍රයෙන් ද්විත්ව කෘෂි රටාවක් නිර්මාණය වීය. එනම්, සම්ප්‍රදානූකූල සුළු ගොවි අංශය හා විදේශියන්ගේ අනුග්‍රහයලත් ව්‍යාපාරික අංශය යනුවෙනි. මෙම අංශ දෙක එකට මිශ්‍ර වු කෘෂිකර්මයක් ද පසු කාලීනව ලංකාව තුල බිහි වු අතර මෙම අංශ දෙක අතර ආර්ථික හා සමාජීය සම්බන්ධතාවයද පහළ මට්ටමක පැවැතුණී. එසේම සම්පත් පර්භෝජනය, තාක්ෂණ මට්ටම, නිෂ්පාදන පරමාර්ථය, කෘෂි සංවිධානය යනු කරුණූ ඔස්සේ මෙකී දෙඅංශය තුල එකිනෙකට වෙනස් වු තත්ත්වයක් නිර්මාණය වීය. කොසේ වෙතත් වර්තමානය වනවිට මෙම දෙඅංශයෙහිම සම්මිශ්‍රණය වු කෘෂිකර්මයක් ලංකාව තුල ස්ථාපිත වී ඇති බැව් පෙනියයි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ග්‍රන්ථ
බැප්සෙට් ඩී. ඩග්ලස්. (1998). ලංකා භූගෝල විද්‍යාව (පාසල් සඳහා), ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
කෘෂිකර්මයට නව ජීවයක්, (1998). කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශය.

වෙබ් අඩවි
http://si.wikipedia.org
 
http://www.agridept.gov.lk