11 November, 2016

නාගරීකරණය පිළිබඳ අදහස් දක්වන ප්‍රධාන ප්‍රවේශ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය ආශ්‍රිත මූලික ලක්ෂණ

නාගරීකරණය පිළිබඳ ව අදහස් විමසා බැලීමේ දී ප්‍රධාන විෂයධාරා තුනක අවධානය යොමු වී ඇති බව දැකගත හැකිය. එම ප්‍රවේශ ඔවුන්ගේ විෂය ධාරාවට අනුව නාගරීකරණය නිර්වචනය කිරීමට උත්සාහ කර තිබේ. ඒ අනුව නාගරීකරණය නිර්වචනය කරන ප්‍රධාන ප්‍රවේශ තුන පහත ආකාරයට පෙන්වාදිය හැකිය.
  • ප්‍රජාවිද්‍යාත්මක ප්‍රවේශය
  • චර්යාවාදී ප්‍රවේශය
  • ආර්ථික විද්‍යාත්මක ප්‍රවේශය (මානවඩු, ලියනගේ, 2008, පි. 28)
                                                                                                            යනුවෙනි.
ප්‍රජාවිද්‍යාත්මක ප්‍රවේශය

ප්‍රජාවිද්‍යාවේ මූලික සංරචක වන සාඵල්‍යතාවය සහ සංක්‍රමණය ඍජුව ම නාගරීකරණය කෙරෙහි බලපෑම් කරයි. මෙම ප්‍රජාවිද්‍යාත්මක සාධකවලට අමතර ව රටක නාගරික පද්ධතිය ආශ්‍රිත වෙනස්කම් ද නාගරීකරණය ඇති වීම සඳහා බලපාන බව පෙන්වාදිය හැකිය. ඒ අනුව ප්‍රජාවිද්‍යාත්මක ප්‍රවේශය තුළින් නාගරීකරණය සාධක 4 ක අවසාන ප්‍රතිඵලය වශයෙන් දක්වයි.
  •  ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනය
  • සංක්‍රමණ වර්ධනය
  • නාගරික ප්‍රදේශවල තිරස් පැතිරීම
  • නාගරික නිර්වචනවල වෙනස්වීම හෝ නව නාගරික කළාප හඳුනා ගැනීම
                                                                                                                  නමින් එම මූලික සංරචක හඳුන්වා දී ඇත.

ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනය ප්‍රධාන සාධක දෙකක් මත තීරණය වෙයි. එ නම් උපත් සහ මරණ යන්න මත ය. කිසියම් නාගරික ප්‍රදේශයක උපත් සංඛ්‍යාවට වඩා මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නේ නම් එහිදී ස්වභාවික ජන සංඛ්‍යා වර්ධන වේගය ඍණ අගයක් ගන්නා අතර ස්වභාවික ජන සංඛ්‍යා වර්ධනයක් සිදු වන්නේ මරණ සංඛ්‍යාව ඉක්මවා උපත් සංඛ්‍යාව ඉහළ යෑමෙනි.

සංක්‍රමණය යනු ස්ථිර වශයෙන් පදිංචිය වෙනස් කිරීමකි. එය අභ්‍යන්තර සංක්‍රමණය හා ජාත්‍යන්තර සංක්‍රමණය වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. නාගරීකරණය කෙරෙහි දැඩි බලපෑමක් කරනුයේ රටක අභ්‍යන්තරයෙහි දක්නට ලැබෙන සංක්‍රමණ ධාරාවය. අභ්‍යන්තර සංක්‍රමණය කොටස් කීපයක් යටතේ හඳුනාගත හැකිය. එනම්, 
  • නාගරික- නාගරික සංක්‍රමණ, 
  • ග්‍රාමීය- නාගරික සංක්‍රමණ, 
  • ග්‍රාමීය-ග්‍රාමීය සංක්‍රමණ 
  • නාගරික- ග්‍රාමීය සංක්‍රමණ 
                                                   වශයෙනි. (මානවඩු, ලියනගේ, 2008, පි. 29). මෙම සංක්‍රමණ අතරින් නාගරීකරණය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ ග්‍රාමීය- නාගරික සංක්‍රමණය යි. නාගරික නිර්වචනවල වෙනස්වීම හෝ නව නාගරික කළාප හඳුනා ගැනීම ද නාගරීකරණයට බලපානු ලබන බව පැවසිය හැකිය. නාගරික ප්‍රදේශවල සීමාව පුළුල් වීම ද නාගරීකරණයට බලපායි. නිදසුනක් වශයෙන් සාම්ප්‍රදායික ව පැවති ගම්මාන නගර බවට පරිවර්තනය වී තිබීම පෙන්වාදිය හැකිය.  

චර්යාවාදී ප්‍රවේශය

නාගරීකරණය පිළිබඳ සමාජවිද්‍යාත්මක දෘෂ්ටිය මේ මඟින් ඉදිරිපත් කෙරේ. මානවයාගේ හැසිරීම් රටාවේ ග්‍රාමීය හා නාගරික ව සිදු වන වෙනස මේ යටතේ සාකච්ඡා කරයි. ආහාර ගැනීමේ රටාව, වචන උච්චාරණය, සිරිත් විරිත් සහ චර්යා රටාව තුළ ග්‍රාමීය ජනයාට වඩා නාගරික ජනයා වෙනස්කම් පිළිබිඹු කරයි. නාගරික ජනයාගේ චර්යා රටා විවිධ අංශ ඔස්සේ හඳුනාගත හැකිය. නාගරික වැසියාගේ කාර්යය බහුල ජීවන රටාව නිසා ම ආහාර පිසීම වෙනුවට වෙළදපොළ තුළින් මිල දී ගැනීමට කටයුතු කරන ආකාරයක් දැකිය හැකිය.

ආර්ථික විද්‍යාත්මක ප්‍රවේශය

කිසියම් ප්‍රදේශයක ආර්ථික ව්‍යූහයේ සිදු වන වෙනස්කම් ආශ්‍රයෙන් නාගරීකරණය විවරණය කිරීමට මෙහිදී උත්සාහ කරයි. ආර්ථිකයක ප්‍රාථමික, දිවිතීයික සහ තෘතීයික අංශවල දායකත්වය අවධාරණය කරමින් නාගරීකරණය කෙරෙහි අවධානය යොමු කරයි. යම් රටක් තුළ ප්‍රාථමික නිෂ්පාදනයට වඩා ද්විතීයික සහ තෘතීයික නිෂ්පාදනය ඉහළ අගයක් ගන්නේ නම් එය නාගරීකරණය ඉහළ මට්ටමක පවතින රටක් වශයෙන් සළකනු ලැබේ.

සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය ආශ්‍රිත මූලික ලක්ෂණ
සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය පිළිබඳ ව හඳුනා ගැනීමේ දී මූලික ලක්ෂණ ගණනාවක් පවතින අතර ඒවා පහත උප මාතෘකා යටතේ සාකච්ඡා කළ හැකිය.
  •  නාගරික ජන සංඛ්‍යාවේ වර්ධන රටාව
  • විශාල නාගරික ඒකකවල වර්ධනය
  • අග්‍ර නාගරීකරණය
  • නාගරීකරණය ආශ්‍රිත ගැටලු 

නාගරික ජන සංඛ්‍යාවේ වර්ධන රටාව

දෙවන ලෝක යුධ සමයෙන් පසු ලෝකයේ ජන සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය විය. මේ නිසා 2050 වන විට ලෝක ජන සංඛ්‍යාව බිලියන 8.9 ක් දක්වා වර්ධනය වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන ප්‍රක්ෂේපණ අනුව පෙන්වා දී ඇත. (මානවඩු, ලියනගේ, 2008, පි.35). මේ අනුව වර්තමානය වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණ ක්‍රියාවලිය තුළ ශීඝ්‍ර වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. සංවර්ධනය වෙමින් පවතින රටවල ජන සංඛ්‍යාව වර්ධනය වීම කෙරෙහි ප්‍රජාවිද්‍යාත්මක සාධක ඍජු ව ම බලපාන බව පැවසිය හැකිය. සංවර්ධිත රටවලට සාපේක්ෂ ව සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික ප්‍රතිශතය වර්ධනය වීමේ වේගය ඉහළ මට්ටමක පැවතීම විශේෂත්වයකි. දරිද්‍රතාවයෙන් පෙළෙන රටවලට මෙම තත්ත්වය දරාගැනීම අපහසු වනු ඇත. දිනෙන් දින ඉහළ යන මානව අවශ්‍යතාවලට විසඳුම් සෙවීම සඳහා නගර වටා ඒකරාශී වන අධික ජනගහනයක අපේක්ෂා ඉටු කිරීම වත්මන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී ඇති බරලතල ගැටලුවකි. ලෝක මට්ටමමෙන් සිදු කර ඇති ප්‍රක්ෂේපිත අගයන් අනුව නාගරීකරණ ක්‍රියාවලිය සංවර්ධනය වෙමින් පවතින රටවල් ආශ්‍රිත ව කැපී පෙනෙන සංසිද්ධියක් බවට පත් වනු ඇත. 

විශාල නාගරික ඒකකවල වර්ධනය

සංවර්ධනය වෙමින් පවතින රටවල අධික නාගරීකරණය හේතුවෙන් විශාල නාගරික ඒකක බිහි වීම ද එම රටවල නාගරීකරණයේ විශේෂ ලක්ෂණයක් වශයෙන් හඳුනාගත හැකිය. සංවර්ධනය වෙමින් පවතින කළාපයේ නාගරීකරණයේ බලපෑමෙන් විශාල නාගරික ඒකක බිහි වන අතර ම නාගරික ජනතාවගේ සමාජ, ආර්ථික සහ සංස්කෘතික කටයුතු විවිධ වෙනස්වීම්වලට ලක්වෙයි. 

අග්‍ර නාගරීකරණය
 
අග්‍ර නාගරීකරණය ද සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල ප්‍රමාණයක දැකිය හැකි ලක්ෂණයකි. මෙම රටවල ප්‍රාදේශීය සැලසුම්කරණය විධිමත් අයුරින් සිදු නොවන හෙයින් විශාල වශයෙන් ජනතාව නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වෙයි. ඒ නිසා නගර වර්ධනයට සාපේක්ෂ ව එක් නගරයක් ඉතා විශාල වශයෙන් වර්ධනය වීම තුළින් අග්‍ර නාගරීකරණයක් දැකිය හැකිය. 

නාගරික ගැටලු බහුල වීම

සංවර්ධිත රටවලට සාපේක්ෂ ව සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණය හේතුවෙන් ගැටලු රාශියක් උද්ගත ව ඇත. නාගරීකරණය අවිධිමත් ස්වරූපයක් ගැනීම එයට ප්‍රධාන ම හේතුව යි. විශාල වශයෙන් සමාජ, ආර්ථික සහ පාරිසරික වශයෙන් ගැටලු රැසකට මුහුණ පා ඇත. සංවර්ධිත රටවල නාගරීකරණය ආශ්‍රිත ව නිර්මාණය වූ ගැටලුවලට වඩා වෙනස් ස්වරූපයක් මෙම කළාපයේ දක්නට ලැබීම ද විශේෂත්වයකි.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

මානවඩු, ලසන්ත, සහ නිරෝෂා ලියනගේ, (2008). තෙවන ලොව නාගරීකරණය, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල.

ශකූර්, ඉන්ද්‍රාණි මල්ලිකා, (2005). නාගරීකරණය සහ මානව සෞඛ්‍ය ගැටලු, ආරිය ප්‍රකාශකයෝ, වරකපොළ.

සිල්වා, ඉන්ද්‍රලාල් ද, (2004). ජනගහන අධ්‍යයනය, කර්තෘ ප්‍රකාශන.

සිල්වා, කාලිංග ටියුඩර්, (1992). “නාගරික දුගී ජනයා සහ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය”, සමාජ විමසුම අංක 08,  සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 

No comments: