නාගරික වීම යන ක්‍රියාවලියේ සංකීර්ණ මුහුණුවරක් වශයෙන් නාගරීකරණය හඳුනාගත හැකිය. සමාජ වෙනස්වීමට බලපාන දිගු කාලීන ක්‍රියාවලියක් වන නාගරීකරණය හරහා නාගරික කළාප ආශ්රිත ව ජනගහනය වර්ධනය වෙයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාව ස්වකීය ජීවන රටාවේ ආර්ථික, සමාජීය සහ භෞතික දියුණුව අපේක්ෂාවෙන් නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වෙයි. ශ්‍රී ලංකාව තුළ ද වර්තමානය වන විට නාගරීකරණය ශීඝ්‍රයෙන් සිදු වන අතර මානවයාගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, සෞඛ්‍යමය පැවැත්ම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන ක්‍රියාවලියක් බවට පත් වී ඇත. ඒ අනුව මෙම අධ්‍යයනයේ දී නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජය වර්තමානයේ වෙනස් වීමට භාජනය වී ඇත්තේ කෙසේදැයි විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.
න්‍යායාත්මක වශයෙන් සමාජ වෙනස්වීම සාමාන්‍ය සිද්ධාන්තයක් බවට පත් ව තිබේ. සෑම මානව සමාජයක ම දක්නට ඇති ලක්ෂණයක් වන්නේ මානවයා තමන්ගේ අසීමිත අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යාමේ දී කාලානුරූපී ව විවිධ සමාජ සංස්කෘතික විපරිණාමයන් සිදු වීම යි. මානවවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට “සමාජ වෙනස්වීම යනු කිසියම් මානව සමාජයක ජීවත් වන මානව සමූහයා අතර පවතින අන්තර් සම්බන්ධතාවල ස්වභාවය, ප්‍රමාණය මෙන් ම ඔවුන්ගේ තත්ත්වයන් සහ කාර්යය කොටස්වල සිදු වන විපර්යාසය යි” (අමරසේකර, 2010, පි.104). සමාජ වෙනස්වීම සිදු වීමේ දී එකී සමාජයේ භෞතික සහ අභෞතික සංස්කෘතික ලක්ෂණ වෙනස්වීම ද සිදු වෙයි. මෙහි දී විවිධාකාර කෙටිකාලීන සහ දිගුකාලීන හේතු සාධකයන්ගේ බලපෑම මත සමාජ ප්රවාහයේ පවතින විවිධ සංස්කෘතිකාංගයන්ගේ වෙනස්වීම අපේක්ෂා කළ හැකිය.
සමාජ වෙනස්වීම තුළ පැරණි සමාජ, සංස්කෘතික පරිසරය ගිලිහී යාම, පැවති සංස්කෘතික අංගයන්ට නව අංග එකතු වීම, පරිහානියට පත් වීම, නව ප්රවණතා සහ ගැටලුකාරී තත්වයන් ඉස්මතු විය හැකිය. මෙම වෙනස්වීම අභ්‍යන්තර හෝ බාහිර හේතු සාධක මත ඍජු ව හෝ වක්‍රාකාරයෙන් ද සිදු වීමට පුළුවන. එ මෙන් ම සමාජයක් සංවර්ධනය කරා ප්‍රවේශ වන විට මානවයාට වෙනස්වන සමාජයට අනුගත වීමට ද සිදු වෙයි. වෙනස්වන සමාජ සංස්කෘතික ප්රවාහයට අනුගත නොවුණහොත් එම පුද්ගලයාගේ හෝ සමාජ කණ්ඩායමේ අඛණ්ඩ පැවැත්මට සහ සංවර්ධනයට එය බාධාකාරී වෙයි. එ බැවින් කාලානුරූපී ව වෙනස්වන සමාජ සංස්කෘතික ප්රවාහයට අන්තර්ග්‍රහණය වීම වැදගත් වන බව පැවසිය හැකිය. නමුත් මෙහි දී සැළකිලිමත් විය යුතු කාරණය වන්නේ පුද්ගලයා එකී සමාජ වෙනස්වීම භාරගත යුත්තේ කෙසේ ද යන්න යි. එහි දී සමාජ සංස්කෘතික සන්දර්භයට ගැළපෙන දේ පමණක් අන්තර්ග්‍රහණය කර ගැනීමට උනන්දු වීම වැදගත් වෙයි. එ මෙන් ම සමාජ වෙනස්වීමට අනුගත වීමේ දී විචාරශීලී ව හෝ විමර්ශනශීලී ව කටයුතු කිරීම ද වැදගත් වන බව පෙන්වාදිය හැකිය. එසේ නොවුණහොත් එකී මානව සමූහය විනාශය කරා එළඹෙන බව ද සඳහන් කළ යුතු මය. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භය තුළ ද විවිධාකාරයේ වෙනස්කම් සිදු වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ භෞතික සංස්කෘතිය මෙන් ම අභෞතික සංස්කෘතිය වෙනස්වීමට ද බලපෑම් සහගත වී තිබේ. එ මෙන් ම නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජයේ ධනාත්මක මෙන් ම ඍණාත්මක සමාජ වෙනස්කම් සිදු ව ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජය විවිධාකාරයේ වෙනස්කම්වලට භාජනය වී ඇති ආකාරයක් දැකිය හැකිය. මෙම වෙනස්කම් සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික යනාදී විවිධ අංශයන්ගෙන් සිදු වන අතර එකිනෙකට සම්බන්ධ වූ රටාවක් දැකිය හැකිය. එම සම්බන්ධතාවයන් අතර අවියෝජනීය බැඳීමක් පවතින බැවින් වෙන් කොට හඳුනා ගැනීම අපහසු බව ද සඳහන් කළ හැකිය. නමුත් අධ්‍යයනයේ පහසුව සඳහා යම් යම් සාධක පදනම් කරගෙන නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජයේ සිදු ව ඇති වෙනස්කම් පහත ආකාරයට සාකච්ඡා කර ඇති බව සඳහන් කළ යුතු ය.
ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්රයේ වෙනස්කම්
වර්තමාන සමාජ සන්දර්භය දෙස විමර්ශනශීලී ව අවධානය යොමු කරන විට පැහැදිලි ව පෙනී යන කරුණක් වන්නේ සමාජය හා සංස්කෘතිය නාගරීකරණයට හසු වීම හේතු කොටගෙන ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට ලක් වීම යි. සන්නිවේදනය, ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත වීම, විදුලිය සහ අනෙකුත් භෞතික පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනික ක්ෂේත්රයේ මෙන් ම කර්මාන්ත අංශයේ සහ වෙළඳාම වැනි ක්ෂේත්‍ර වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වීම තුළින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය වේගවත් වී ඇත. එම සාධකයන් නාගරීකරණය සිදු වීමට බලපාන අතර ම එවැනි පහසුකම් ව්‍යාප්තිය හේතුවෙන් සමාජ වෙනස්වීමක් ද සිදු වී ඇත.
ශ්‍රී ලංකාවේ නාගරීකරණය සිදු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යහපත් මෙන් ම අයහපත් ප්‍රතිඵල නිර්මාණය වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකා සමාජය දෙස අවධානය යොමු කරන විට පෙනී යන කරුණක් වන්නේ නාගරීකරණයෙන් සංවර්ධනයේ විවිධ මානයන් ආමන්ත්‍රණය කරන බව ය. මේ අනුව භෞතික සංවර්ධනය සහ මානව සංවර්ධනය සඳහා බලපෑම් කරන බව පෙන්වාදිය හැකිය. භෞතික වශයෙන් ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්තිය, විදුලිය සහ මංමාවත් ආදිය විශාල වශයෙන් සංවර්ධනය වී ඇත. එ මෙන් ම අධ්‍යාපන ක්රමයේ ව්‍යාප්තිය, විනෝද සහ ආස්වාදජනක පහසුකම් වර්ධනය වීම, බුද්ධිමය සංවිධානය සහ එම සංගම්වල සහයෝගීතාවය, නව සාරධර්ම සමඟ පුද්ගල නිදහස, ස්වාධීනත්වය සහ රැකියාවන් කිරීමේ හැකියාව තුළින් නාගරික ජන ජීවිතය ඉතා සිත් ගන්නා සුළු එකක් වීම යන කරුණු මත නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙමින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය වේගවත් වී ඇත. මානවයා වැඩි වශයෙන් නගර කරා ප්‍රවේශ වීමට ද මෙම තත්ත්වය හේතු වී ඇත. ඊට හේතුව නම් වඩා සැප පහසු ජීවන මට්ටමක් ළඟා කර ගැනීම උදෙසා ය.
ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ බලපෑමෙන් භෞතික සංවර්ධනයක් සිදු වී ඇත. විශේෂයෙන් නගර ආශ්රිත ව මේ තත්ත්වය දැකිය හැකිය. එහිදී කොළඹ නගරය සහ පරිධිය කළාපය තුළ වර්තමානය වන විට විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් භෞතික මෙන් ම සමාජ සංවර්ධනය උදෙසා ක්‍රියා කරන ආකාරයක් විද්‍යමාන වෙයි. මේ අනුව අධික වියදමක් දරමින් අධිවේගී මාර්ග, ගුවන් පාලම්, සුවිශාල නිවාස සංකීර්ණ ආදිය නිර්මාණය කරනු ලැබෙයි. බොහෝ විට සංවර්ධිත රටවල ණය ආධාර මත සිදු කරන මෙවැනි ව්‍යාපෘතිවල සාර්ථකභාවයන් මෙන් ම අසාර්ථකභාවයන් දක්නට පුළුවන. රටේ අනාගත පරම්පරාවන්ට ණය ගෙවීමට සිදු වීම කණගාටුදායක තත්ත්වයකි. කෙසේ වෙතත් වර්තමානය වන විට කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම අනෙකුත් නගරවල ත් විවිධ වැඩසටහන් සිදු කරනු ලබයි. යම් යම් දුර්වලතා පැවතිය ද මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් නගරවල භෞතික සංවර්ධනයක් සිදු වී ඇති බව ත් ජනයා නගර කරා සංක්‍රමණය වීමට එම තත්ත්වය බලපෑම් සහගත වී ඇති බව ත් පෙන්වාදිය හැකිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළ ආර්ථික වර්ධන ක්‍රියාවලියට උපකාරී වීම සඳහා ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි ජාතික සංවර්ධන ප්රතිපත්තියෙහි ප්‍රමුඛත්වය හිමි වූ බව ත් ඒ තුළින් ඵලදායීතාවය පදනම් කරගත් ආර්ථික වර්ධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ත් පෙන්වාදෙයි (මහබැංකු වාර්තාව, 2013). ඒ අනුව කොළඹ වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දකුණු බහලු පර්යන්තය සහ කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කර ඇත. මෑතක දී නිම කළ සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදසුන් වෙයි. විශේෂයෙන් කොළඹ අග්‍ර නාගරීකරණයක් බවට පත් ව ඇති කළාපයක් වන අතර සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක වන්නේ එය කේන්ද්‍ර කරගෙන ය. මානව අවශ්‍යතා සපුරාලීම සහ ආයෝජන සඳහා ආකර්ෂණය කරගත හැකි නගර වශයෙන් නඟා සිටුවීමේ අරමුණෙන් සියලු ප්‍රධාන නගරවල නාගරික සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලද බව මහබැංකු වාර්තා සඳහන් කරයි. සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමට මෙවැනි නාගරික සංවර්ධන ව්‍යාපෘති දියත් කළ ත් තවදුරට ත් සමාජ, ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් ශ්‍රී ලංකා සමාජය තුළ පවතින බව නොරහසකි.
නගර තුළ භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී පණිවිඩ හුවමාරු සේවා, ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනය වැඩිදියුණු කොට ඇත. ආර්ථික කටයුතු පුළුල් වීම ත් සමඟ නාගරික ප්‍රදේශවල පවතින මාර්ග තදබදය තුරන් කිරීමට හා ඒ හේතුවෙන් දැරීමට සිදු වන අලාභය අවම කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. නාගරීකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. මේ හේතුකොටගෙන කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණෙන් නාගරික ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත (මහබැංකු වාර්තා, 2013). මේ තුළින් යම් ආකාරයකට නාගරීකරණයේ ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ කර ඇති බව පැහැදිලි ය. නමුත් තවම ත් මාර්ග තදබදය පවතින බව පෙනී යයි. මේ අනුව නාගරීකරණය තුළ ලංකා සමාජයේ භෞතික සංවර්ධනයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බව පෙන්වාදිය හැකිය. එ මෙන් ම දුම්රිය මාර්ග සංවර්ධනයක් සිදු කර ඇත. නගර කේන්ද්‍ර කරගෙන දුම්රිය මාර්ග සංවර්ධනය කර ඇත. දේශපාලඥයන්ගේ වංචා දූෂණ හමුවේ වුව ද ගෝලීය හා දේශීය වශයෙන් වැදගත් වන වරාය සේවා වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇති බවක් පෙන්නුම් කරයි. කොළඹ නගරය සැලසුම් කළ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණට සමගාමී ව සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, ජල ක්‍රීඩා, ගොල්ෆ් පිටි, මෝටර් රථ ධාවන තරඟ පැවැත්විය හැකි ධාවන පථ වැනි විනෝදකාමී කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමෙන් නාගරීකරණයේ ඍජු සහ වක්‍ර බලපෑමෙන් ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධනයක් සිදු කර ඇති බව පෙන්වාදිය හැකිය. මෙම ව්‍යාපෘති තුළ සාර්ථක අසාර්ථකභාවයන් ද පවතියි. නමුත් ඉහත කරුණු විමසන විට ගම්‍ය වන කරුණක් වන්නේ බහුතරයක් සංවර්ධන ව්‍යාපෘති කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සිදු වන බව ත් මේ නිසා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ එක් ලක්ෂණයක් වන කොළඹ නගරය ආශ්රිත අග්‍ර නාගරික ව්‍යාප්තිය ත් ය.
නාගරික ප්‍රදේශවල භෞතික පහසුකම් සංවර්ධනය කිරීමේ දී අනුගමනය කර ඇති තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ නිවාස සහ නාගරික සංවර්ධනය යි. විශේෂයෙන් වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ නිවාස සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක වන්නේ කොළඹ නගරය පදනම් කරගෙන ය. නව නිවාස ඉදි කිරීම, දැනට පවතින නිවාස අලුත්වැඩියා කිරීම, නිවාස ඉදි කිරීම සඳහා මූල්‍යමය සහය ලබා දීම, නැවත පදිංචි කිරීම වැනි විවිධ මානයන් ඔස්සේ නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහ මහල් නිවාස කළමනාකරණ අධිකාරිය සහ ඕෂන් වීව් පුද්ගලික සමාගම විසින් ආරම්භ කරන ලද වැඩසටහන් 12 ක් සඳහා 2013 වසරේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යංහය මඟින් රුපියල් බිලියන 7 කට අධික මුදලක් වැය කොට තිබෙයි (මහබැංකු වාර්තාව, 2013). ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “නගමු පුරවර” නිවාස යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ නිවාස යෝජනා ක්‍රම 26 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ මහල් නිවාස කළමනාකරණ අධිකාරිය විසින් නිවාස යෝජනා ක්‍රම 12 ක් නවීකරණය කරන ලදි (මහබැංකු වාර්තාව, 2013). අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් විවිධ නිවාස සංකීර්ණ ක්‍රියාත්මක කරයි. “මිහිදුසෙන්පුර” නිවාස යෝජනා ක්‍රමය නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. මේ ආකාරයට විවිධ නිවාස සංකීර්ණ ක්‍රියාත්මක වන අතර නාගරීකරණයේ ප්‍රතිඵල වශයෙන් පෙන්වාදිය හැකිය. එ මෙන් ම නාගරීකරණය සමඟ භෞතික සංවර්ධනයක් සිදු වී ඇති බව පැහැදිලි කළ හැකිය. මෙවැනි නිවාස සංවර්ධන ව්‍යාපෘති විවිධ දුර්වලතාවලින් සමන්විත වුව ත් නාගරික අලංකරණය සහ නාගරීකරණය තුළින් හට ගෙන ඇති ගැටලුවලට යම්තාක් දුරකට හෝ විසඳුම් සපයා ඇති බව ත් විමර්ශනශීලී ව බලන කල පැහැදිලි වෙයි.
ශ්‍රී ලංකාවේ නාගරික යටිතල ව්‍යූහය කෙරෙහි අවධානය යොමු කළ ද එය විධිමත් ආකාරයෙන් සංවර්ධනය නොවීම නාගරීකරණය ආශ්රිත ව හටගෙන ඇති ගැටලුවකි. ලංකාවේ නගරවල දැනට ඇති යටිතල පහසුකම් ඒවායේ මූලික සීමා ඉක්මවා ගොස් ඇත. නාගරික යටිතල ව්‍යුහය ගොඩනැඟීම සඳහා වූ ප්රයත්නයන් හමුවේ වුව ද නාගරික ප්‍රදේශවලට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව පිළිබඳ ව ගැටලු පැන නැඟී ඇත. අවිධිමත් සහ අනවසර ඉදිකිරීම් මෙන් ම නාගරික සංවර්ධනය නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වැසි ජලය බැස නොයාම, ජල ගැලීම් සහ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී බරපතල ගැටලු මතු වී ඇත. අවිධිමත් නාගරීකරණය තුළින් ස්වභාවික ආපදාවන්ට ද ලක්වෙයි. එමඟින් අනාගත නාගරික කේන්ද්‍රයන් සංවර්ධනයේ දී වඩාත් කාර්යක්ෂම සහ ක්‍රමවත් සැලසුම් සම්පාදනයේ අවශ්‍යතාවය අවධාරණය කරයි.
පුද්ගල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම ඕනෑම සමාජයක දක්නට හැකි ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ ද මානව අවශ්‍යතාවයන් වඩා ත් පහසුවෙන් ඉටු කර ගැනීමේ ක්රමයන් ක්‍රියාත්මක වන අතර නාගරීකරණය ද එහි එක් ප්රතිඵලයකි. මේ අනුව සමාජ යටිතල පහසුකම් සපුරා ගැනීමේ පහසුව නාගරික කළාපයන් ආශ්රිත ව දැකිය හැකිය. එහිදී සෞඛ්‍ය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා නාගරික සමාජය තුළ වැඩි අවකාශයක් පවතින බව පැවසිය හැකිය. නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයක් සිදු කර ඇත. නාගරික සමාජයේ සෞඛ්‍ය සේවා ආයතන ජාලය ව්‍යාප්ත වී ඇත. රජයේ සහ පෞද්ගලික අංශයේ පහසුකම් සහිත රෝහල්, විශේෂඥ සේවා, රසායනාගාර සේවා, හෘද රෝග, වකුගඩු රෝග වැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරන වෙන ම වාට්ටු ආදී පහසුකම් සපයා ගැනීමට පහසුකම් නගර තුළ නිර්මාණය වී ඇත. එ මෙන් ම නගරවල බෝ වන සහ බෝ නොවන රෝග මර්දනය කිරීම සඳහා විවිධ පියවර අනුගමනය කර ඇත. මේ ආකාරයට යථාර්ථවාදී ව විමසා බලන විට මානව සෞඛ්‍ය ප්‍රවර්ධනයට මෙන් ම පරිහානියට ද නාගරීකරණය බලපාන බව පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ ජනයා නගර වෙතට සංක්‍රමණය වීමට බලපා ඇති තවත් හේතුවක් වන්නේ නගර තුළ අධ්‍යාපන අවස්ථා හිමි කර ගැනීමේ අවකාශය යි. නගර තුළ පරිගණක සහ ඉංග්‍රීසි අධ්‍යාපනයට පවතින පහසුකම්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයන්ගේ ව්‍යාප්තිය, රජයේ හෝ පෞද්ගලික පාසැල් සහ විශ්වවිද්‍යාල පිහිටීම වැනි සාධකයන් ද නාගරීකරණයට මංපෙත් විවර කර තිබෙයි. මේ අනුව නාගරීකරණය තුළින් ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ අධ්‍යාපන පද්ධතියේ ප්රගමනයක් සිදු කර ඇති බව පෙන්වාදිය හැකිය. මේ ආකාරයට නාගරීකරණයේ දී භෞතික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කෙරී ඇති බව පෙන්වාදිය හැකිය. විවිධ දුර්වලතා පැවතියත් නාගරීකරණය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට මෙම තත්ත්වය බලපෑම් කර ඇති බව ත් ඒ මඟින් විවිධ සමාජ, වෙනස්කම් රාශියක් නිර්මාණය කර ඇති බව ත් ඉහත ආකාරයට විමර්ශනය කිරීමේ දී පෙනී යයි.
ලොව පුරා නාගරික ප්‍රදේශවල වාසය කරන ජනගහනය ඉහළ යාම ත් සමඟ ගෝලීය වශයෙන් ශීඝ්‍ර නාගරීකරණයක් සිදුවෙමින් පවතියි. ගෝලීය නාගරික ජනගහනය 1950 වසරේ වූ බිලියන 3.6 සිට වසර 2050 වන විට බිලියන 6. 3 දක්වා 72% කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උදරකා Urbanization and Prospect the 2011 revision නම් ප්රකාශනය පුරෝකථනය කර ඇත (මහබැංකු වාර්තාව, 2013) ශ්‍රී ලංකාවේ ද නාගරික ප්‍රදේශවල ජනගහනය සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙයි. 2012 ශ්‍රී ලංකාවේ ජනගහන හා නිවාස පිළිබඳ සංගණනයේ දත්තවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇස්තමේන්තු ජනගහනයෙන් මිලියන 2.3 ක ජනගහනයෙන් 77.5% ක් නාගරික පදිංචිකරුවන් ලෙස වර්ගීකරණය කර ඇත (මහබැංකු වාර්තාව, 2013). කොළඹ නගරයේ සිදු වන සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් පදිංචිකරුවන් මෙන් ම නගරයට සංක්‍රමණය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වනු ඇත. මෑතක දී සිදු කර ඇති අධ්‍යයන අනුව කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය තුළ සිදු වන නාගරීකරණ ක්‍රියාවලිය කොළඹ නගරයේ භූ දර්ශනය වෙනස් කර ඇත. කොළඹ නගරය තුළ සිදු වන මෙම භෞතික සංවර්ධනය නිසා තවදුරටත් නාගරීකරණ රටාව ව්‍යාප්ත වෙයි. මේ අනුව සමකාලීන ශ්‍රී ලංකා සමාජයේ ශීඝ්‍ර වශයෙන් සිදු වන නාගරීකරණයක් පවතින බව ත්, ඒ තුළින් විශාල සමාජ වෙනස්වීමක් සිදු වන බව ත් විග්රහ කළ හැකිය.
රැකියා ක්ෂේත්රයේ සිදු ව ඇති වෙනස්කම්
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් වන්නේ නගරය තුළ රැකියා අවස්ථා හිමිකර ගැනීමට පවතින අවකාශය යි. ග්‍රාමීය ප්‍රදේශවල විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව යම් රැකියාවක් අපේක්ෂා කරමින් නගර කරා සංක්‍රමණය වෙයි. නගර තුළ වැඩි වශයෙන් නිෂ්පාදන හෝ සේවා කර්මාන්ත ස්ථානගත වීම හේතුවෙන් ඔවුන්ට රැකියාවක් සොයාගත හැකිය. නමුත් වර්තමානය වන විට නාගරීකරණයේ බලපෑමෙන් නගර තුළ රැස් වන අධි ජනගහනය හේතු කොටගෙන රැකියාවක් සොයා ගැනීම ද දුෂ්කර කාර්යයක් වී ඇත.
ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය බහුල වශයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ශ්‍රී ලංකාව ධනේෂ්වර ආර්ථික ක්‍රමයට වේගයෙන් ගොදුරු වීම ත් සමඟ ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් බළධාරීන් ප්‍රකාශ කර සිටියේ “සිරගත කරන ලද ආර්ථිකයක් නිදහස් කරන ලද බව” යි. මේ හරහා නිර්බාධවාදී ආර්ථික ප්‍රතිපත්තියට නැඹුරු විය. නව ආර්ථික ක්‍රමය නිසා විදේශ ප්‍රතිපත්ති ලිහිල් වීම, ආනයනකරුවන්ට වැඩි ලාබ ලැබිය හැකි වීම වැනි තත්ත්වයන්ට මඟ පෑදීම ත් සමඟ මෙම පසුබිම තුළ විශාල වශයෙන් ලාබ ලැබිය හැකි ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය. ඒ අනුව 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාව ද ලෝක ගෝලීයකරණ ක්‍රියාදාමයට එක් කළ අතර ශීඝ්‍ර වශයෙන් නාගරීකරණයට ලක් විය. විශේෂයෙන් දේශීය විදේශීය ආයෝජකයින් දිරිගැන්වීම් මත රැකියා නිර්මාණය විය. මේ හේතුවෙන් නාගරීකරණය වේගවත් වන අතර සමාජයේ වෙනස්කම් රාශියක් ඇති විය.
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය අපේක්ෂාවෙන් නිදහස් වෙළඳ කළාප හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් වූයේ රැකියා අවස්ථා ජනනය කිරීම යි. ආරම්භක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කළාප පිහිටුවන ලද්දේ වර්තමානයේ අග්‍ර නාගරීකරණයක් සිදු වී ඇති කොළඹ නගරය සමීපයේ කටුනායක ප්‍රදේශයේ ය. වරාය පහසුකම්, ගුවන් තොටුපළට සමීප වීම, මහාමාර්ග පහසුකම් සහ අනෙකුත් සේවා සපයා ගැනීමේ පහසුව ඊට බලපා ඇති බව සඳහන් කළ හැකිය. ග්‍රාමීය තරුණ තරුණියන් මෙම කළාප තුළ සේවය කිරීමට නගරයට පැමිණීමෙන් නාගරීකරණය සිදු විය. ග්‍රාමීය පරිසරය තුළ ආදායම් නොලැබුව කාන්තාව ආර්ථික වශයෙන් ආදායම් උපයන්නියක් බවට පත් විය. ස්වාධීන ව යම් මුදලක් ඉපයීමට මෙන් ම අනාගත සුරක්ෂිතතාව සඳහා යම් ආකාරයක ආයෝජනයක් ද සිදු විය. දුෂ්කර පළාත්වල සිටි තරුණියන් ඔවුන්ගේ පවුල්වල දරිද්‍රතාවය හමුවේ පීඩනයට පත් වූ අතර එවැනි අවස්ථාවන් අවම කර ගැනීමට නගර වෙතට සංක්‍රමණය වීම හේතු වී තිබෙයි. ආර්ථික අපහසුතාවයන් නිසා ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වූ අධ්‍යාපන පහසුකම් සිය සහෝදර සහෝදරියන්ට ලබා දීමට ඔවුන්ගේ ආර්ථික ශක්තිය යම් ආකාරයකට හේතු වී ඇත. පවුල තුළ වූ ආර්ථික ප්‍රශ්න සහ පවුල තුළින් ස්වාධීනත්වයක් ලැබීම සමඟ වැඩි වැඩියෙන් රැකියා සඳහා සහභාගිත්වයක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළින් සිදු වන මෙවැනි වෙනස්කම් යටතේ සාම්ප්‍රදායික ගෘහ කටයුතුවලට පමණක් සීමා වූ කාන්තාවට පවුලෙන් බැහැර ව නගර තුළ රැකියා අවස්ථා ලැබීම තුළින් කාන්තාවගේ සමාජ චල්‍යතාවය ද වෙනස් විය. සමාජය නවීකරණයට සහ නාගරීකරණයට පත් වීම ත් සමඟ කාන්තා භූමිකාවන් වෙනස් වී ඇති අතර තවදුරටත් වෙනස් වෙමින් පවතියි.
ගමෙන් නගර කරා සංක්‍රමණය වන තරුණියන්ට නේවාසික පහසුකම්, ආහාර පහසුකම් සැපයීමට ස්ථාන බිහි විය. මේ නිසාවෙන් නගර අවට නේවාසික ස්ථාන බිහිවීමක් සිදු වූ අතර ආයෝජන මාර්ගයක් වශයෙන් වැදගත් විය. තරුණියන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ද අවස්ථා නිර්මාණය විය. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස්වල සිටි සමයේ මෙන් පහසුකම් හිමි වූයේ නැත. නවාතැන් බොහොමයක් අවම මට්ටමේ පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකිය. කාන්තාවන් කීප දෙනෙකුට එකට වාසය කරන්නට සිදු වන අතර බොහෝ ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධනාත්මක වාතාවරණයක් නොමැත. මේ තුළ වෙනම ම සංස්කෘතියක් නිර්මාණය වෙයි. ගම්වලින් නගර වෙතට සංක්‍රමණය වන කණ්ඩායම්වල හැසිරීම, භාෂා ව්‍යවහාරයන් වෙනස් වීමට ලක් වී ඇත. නාගරික සමාජයේ ඉංග්‍රීසි මිශ්‍ර භාෂාව භාවිත කිරීමට යොමු වන අතර චර්යාවේ විශාල වෙනසක් සිදු වෙයි. විශේෂයෙන් සේවා ස්ථානවල ආවේණික භාෂා සම්ප්‍රදායන් නිර්මාණය වී තිබීම සංස්කෘතික වෙනස්වීම නිරූපණය කරන නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය.
ගමෙන් නගරයට පැමිණෙන තරුණියන්ට මුල් කාලීන ව නගරය පිළිබඳ ව එතරම් අවබෝධයක් නොමැති අතර මේ නිසා ම නාගරීකරණයේ ගොදුරු බවට පත්වෙයි. ගමෙන් නගරයට පැමිණෙන තරුණියන් නගර තුළ හුදෙකලා වන අතර අයහපත් සමාජ සම්බන්ධතා පවා නිර්මාණය වෙයි. නාගරීකරණය හේතුකොටගෙන සේවා ස්ථාන තුළ මෙන් ම සේවා ස්ථානයෙන් පිටත කාන්තාව විවිධ හිංසනයන්ට පත්වෙයි. එ මෙන් ම සමාජ විරෝධී චර්යා වෙතට නැඹුරු වන ආකාරයක් ද දැකිය හැකිය. මේ ආකාරයේ සමාජ වෙනස්කම් රාශියක් සිදු වන්නේ නාගරීකරණය ත් සමඟ ය. ගැමි සමාජයේ මෙන් නොව නගරය තුළ වාසය කරන මෙවැනි කාන්තාවන්ට සංකීර්ණ අවශ්‍යතා සමඟ සෑම වයස් කණ්ඩායමක ම පුද්ගලයන් ආශ්‍රය කිරීමට සිදු වෙයි. බොහෝ විට කාන්තාව නගර තුළ මිල කරන භාණ්ඩයක් බවට පත් වී ඇති ආකාරයක් දැකිය හැකිය. මේ නිසා ම නාගරික සමාජයේ පුරුෂයන්ගේ සරදම්වලට නිරන්තරයන් මුහුණ පාන්නට සිදු වීම දිගු කාලීන සංස්කෘතික යාන්ත්‍රණයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටකට කණගාටුදායක තත්ත්වයකි. මේ අනුව පෙන්වාදිය හැක්කේ සමාජීය වශයෙන් නාගරීකරණය තුළින් වෙනස්කම් සිදු වන බව ය.
ශ්‍රී ලංකා සමාජයේ නාගරීකරණය තුළින් සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් පරිහානියට පත්වන ආකාරයක් දක්නට පවතියි. නාගරික සමාජයේ සුදු කරපටි රැකියා අපේක්ෂාවෙන් සියලු දෙනා නගරය වෙත සංක්‍රමණය වුව ත් සැබෑ තත්ත්වය වන්නේ නගර කරා සංක්‍රමණය වන සියලු දෙනාට එවැනි අවස්ථාවන් හිමි නොවන බව ය. නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ලෙස නගර කරා ව්‍යාප්ත වන ආකාරයක් දැකිය හැකිය.
නාගරීකරණයේ බලපෑමෙන් අවිධිමත් ආකාරයේ රැකියා බිහි වෙයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන රැකියා අවස්ථාවන් සංකෝචනය වෙමින් පවතියි. දැනට පවතින රැකියා පවා අංශගත ව පවතින ආකාරයක් දැකිය හැකිය. නගර තුළ වැඩි වන ජනගහනයට සාපේක්ෂ ව රැකියා බිහි වන්නේ නැත. රටේ ආර්ථිකය ප්‍රසාරණය නොවීම, රාජ්‍ය අංශයේ රැකියා සීමා වීම සහ නගරය තුළ සංකීර්ණ ස්වභාවයක් නිර්මාණය වීම නිසා අවිධිමත් අංශයේ රැකියා වෙතට යොමු වෙයි. විශේෂයෙන් නාගරීකරණය ත් සමඟ වෙළඳපොළ ප්‍රසාරණය වන අතර එහි සේවා සැපයීමට විවිධ අංශ ඔස්සේ සේවක පිරිස් දායක වෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සමාජයේ ඥාති සම්බන්ධතා මත නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලිය සිදු වුව ත් යටත්විජිතවාදය හමුවේ නිර්මාණය වූ වාණිජ රටාව ත් සමඟ නාගරික සමාජය තුළ නිෂ්පාදන සහ සේවා සඳහා වෙළඳපොළක් බිහි වී ඇත. නාගරීකරණය නාගරික වෙළඳපොළ ආරක්ෂා කරන අතර නාගරික හුවමාරු රටාවක් නිර්මාණය වී ඇත. පදික වෙළඳුන්, මෙහෙකරුවන්, ප්‍රාථමික කර්මාන්තවල සේවය කරන්නන්, කසළ එකතු කරන්නන් ආදී අඩු වැටුප් මට්ටම් යටතේ සේවය කරන සේවකයන් නගර ආශ්රිත ව නිර්මාණය වී ඇත්තේ නාගරීකරණයේ බලපෑමෙනි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නගර ආශ්රිත ව නාට්හාමිවරුන් වශයෙන් සේවා සපයන පිරිස් බිහි වී ඇත. කෘත්‍යවාදී දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට මෙම පිරිස් නගරයේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙයි. නමුත් එවැනි පිරිස් නගරයේ අඩු පහසුකම් සහිත ව ජීවත් වන අතර විවිධ සමාජ අපගාමී සහ අපරාධකාරී චර්යාවන්ට පවා යොමු ව පවතින ආකාරයක් වර්තමාන ශ්‍රී ලංකා සමාජය විමර්ශනය කරන විට පෙනී යන කරුණකි. එහිදී තමාට ලැබෙන ඉතා සුළු වැටුප ජීවන මට්ටම පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් නොවීම තුළින් මත්ද්‍රව්‍ය අලෙවිය, සොරකම් කිරීම, මංකොල්ලකෑම වැනි ක්‍රියාවන්ට යොමු වන ආකාරයක් පවතියි. නාගරික ප්‍රදේශවල විශේෂයෙන් වර්තමාන කොළඹ නගරයේ මේ තත්ත්වය උග්‍ර ලෙස පවතින බව සංඛ්‍යා දත්ත තුළින් ද පෙන්නුම් කෙරෙයි. එහි මූල හේතුව විමසා බලන විට පැහැදිලි වන්නේ නාගරීකරණය ඒ සඳහා බලපෑම් කරන බව යි. ඒ අනුව මෙවැනි ප්‍රතිඵල නිර්මාණය වන්නේ නාගරීකරණයේ බලපෑමෙන් බව පැවසිය හැකිය. මේ තත්ත්වය තුළ විවිධ අනර්ථකාරී ප්‍රතිඵල හට ගන්නා බවට වර්තමාන සමාජයෙන් හැකි තරම් නිදර්ශන සැපයිය හැකිය.
සමාජ සංස්ථාවන්ගේ සිදු ව ඇති වෙනස්කම්
නාගරීකරණය සමාජයේ විවිධ සමාජ සංස්ථාවන් සහ සමාජ ආයතන කෙරෙහි ද බලපා ඇති බව ලංකා සමාජය දෙස අවධානය යොමු කරන විට පෙනී යන කරුණකි. ඒ අනුව සමාජයේ මූලික සමාජ සංස්ථාව වන පවුල කෙරෙහි ද විවිධාකාරයෙන් බලපෑම් සහගත වී ඇත. නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් පවුල් සම්බන්ධතාවලින් දුරස් වීමක් සිදුවෙයි. දිනපතා නගරය තුළ කටයුතු කරන අතර ගම්බද ප්‍රදේශවලට යන්නේ ද ඉතා දිගු කලකිනි. ඇතැම් විට දිගු කලකින් හෝ යන්නේ ද නැත. පැමිණි නව ස්ථානය තුළ විවිධ සමාජ මට්ටම්, සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනියි. මේ අනුව සමාජ සම්බන්ධතාවයන් වෙනස් වීමට ලක් වන බව පෙන්වාදිය හැකිය. එමෙන් ම නාගරීකරණය තුළින් ග්‍රාමීය මෙන් ම නාගරික සමාජයේ වෙනස්කම් සිදු වෙයි. එයට හේතුව නගර සමඟ ගම් සම්බන්ධ වන බැවිනි. කාන්තාව හෝ පුරුෂයා නගරයට සංක්‍රමණය වීමෙන් පවුල තුළ කාර්යයභාරයන් සහ ව්‍යූහය වෙනස්වීමක් ද සිදු වන බව ගම්‍ය වෙයි. එ නම් දරුවන් ගම තුළ සිටින කල්හි පියා හෝ මව හෝ දෙදෙනා ම හෝ නගරය තුළ වාසය කරන්නේ නම් දෙමාපිය දූ දරු සම්බන්ධතා දුරස් වෙයි. දරුවන් පිළිබඳ ව සොයා බැලීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීමෙන් දරුවන් නිවැරදි මාර්ගයේ ගමන් නොකරන්නට පුළුවන. ආදායම් ඉපයීමේ අරමුණෙන් නගර වෙතට සංක්‍රමණය වුව ත් මේ තුළින් අවසානයේ සමාජ සම්බන්ධතා සහ සමාජ කාර්යයභාරයන් ගිලිහී යාමට පවා අවස්ථාව ඇත. වර්තමාන ශ්‍රී ලංකා සමාජය එවැනි තත්ත්වයන් සඳහා නිදසුන් සපයයි. නාගරික සමාජයේ සාම්ප්‍රදායික සමාජයේ මෙන් සාමූහික විඥානය වැදගත් නොවන බැවින් පවුල් සම්බන්ධතා වියැකී යන තත්ත්වයක් දක්නට ලැබෙයි.
එමෙන් ම නාගරීකරණය හේතුවෙන් පවුල තුළ කාර්යයභාරයේ මෙන් ම ව්‍යූහයේ ද වෙනස්කම් සිදු වී තිබෙයි. විශේෂයෙන් නාගරීකරණයේ බලපෑමෙන් ග්‍රාමීය සමාජයේ පැවති විස්තීරණ පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල් නිර්මාණය වී තිබෙයි. නාගරීකරණය වීමේ දී පවුලේ සෙසු සාමාජිකයන් හැර දමා මූලික පවුලේ සාමාජිකයන් නගර වෙතට අවතීර්ණ වීමෙන් නගර තුළ න්‍යෂ්ටික පවුල් වැඩි ප්‍රමාණයක් දක්නට පුළුවන. මේ නිසා බොහෝ නාගරික පවුල් තුළ ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය බැඳීම සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් දක්නට නොලැබෙයි. එ මෙන් ම තවදුරටත් විමසා බලන විට පැහැදිලි වන්නේ වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ නාගරික මෙන් ම ග්‍රාමීය සමාජයේ පවුල තුළ දික්කසාදය, බිඳුණු පවුල් නිර්මාණය වීම වැනි තත්ත්වයන් සඳහා ත් නාගරීකරණය ඍජු ව මෙන් ම වක්‍රාකාරයෙන් බලපා ඇති බවකි. ග්‍රාමීය නාගරික බව අනුව ශ්‍රී ලංකාවේ පවුල තුළ කාන්තාවගේ අධ්‍යාපන මට්ටම වෙනස්වීම සිදු විය හැකි අතර රැකියා සඳහා යොමුවීමේ ස්වභාවය වෙනස් වෙයි. විශේෂයෙන් බටහිර සමාජයේ මෙන් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික සන්දර්භයට අනුව කාන්තාව පවුල හා බැඳුණු, පවුලේ සදාචාරය ආරක්ෂා කරන තැනැත්තිය වශයෙන් කටයුතු කළ ත් වර්තමාන සමාජය තුළ නාගරීකරණයේ බලපෑමෙන් මෙම තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිලි ව විද්‍යමාන වන කරුණකි.
නාගරීකරණය පවුල නම් සමාජ ආයතනයට පමණක් නොව ඥාතිත්වය සහ විවාහය යන සමාජ සංස්ථාවන්ට ද බලපෑම් සහගත වී තිබෙයි. නාගරික සමාජයේ විවාහය පිළිබඳ ව සළකා බලන කල පෙනී යන්නේ පැරණි විවාහ සංස්කෘතියේ අගනාකම්, ප්‍රතිමාන වෙනස් වී ඇති බවකි. නාගරික සමාජයේ විවාහ සංස්ථාව තුළ නව ප්රවණතාවයන් රැසක් දක්නට ලැබෙයි. ඒ අනුව විවාහයේ කාර්යයභාරයන් සුවිශේෂී ආයතනවලට පැවරී තිබෙයි. හෝටල් ආශ්රිත ව පැවැත්වීම, මංගල සේවා සපයන ආයතන බිහි වීම වැනි වෙනස්කම් සිදු ව ඇත්තේ නවීකරණය සහ නාගරීකරණය වැනි සමාජ ක්‍රියාවලීන්ගේ බලපෑමෙනි. නාගරික සමාජ ව්‍යූහය තුළ ඥාතිත්ව බැඳීම් දුරස් වී ඇති අතර පුද්ගල කේන්ද්‍රීය සමාජ රටාවක් නිර්මාණය වී තිබෙයි.
සමාජය යනු සංකීර්ණ සමාජ සම්බන්ධතාවලින් ගැවසී ගත් ඒකකයකි. සමාජයක් හඳුනා ගැනීමේ දී දක්නට ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි සංස්කෘතියක් ක්‍රියාත්මක වීම යි. ඒ අනුව සංස්කෘතිය හා සමාජය අතර සමීප සම්බන්ධතාවයක් දක්නට ඇති අතර සංස්කෘතියකින් තොරව සමාජයකට පැවතිය නොහැක. සමාජයේ බහුතරය විසින් දැන නියම කරගෙන ඇති හැසිරීමේ රටාව නැතහොත් මෝස්තරය සංස්කෘතිය වශයෙන් හැඳින්විය හැකිය. සංස්කෘතිය එක්වර පහළ වන දෙයන් නොව කාලාන්තරයක් තිස්සේ හැඩ ගැස්වෙමින්, එකතු වෙමින්, වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන්නකි. මේ තුළින් සංස්කෘතියේ දී කාලය පිළිබඳ හැඟීම කැපී පෙනෙන අංගයක් බව පෙන්වාදිය හැකිය. වර්තමාන ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළින් සංස්කෘතියේ විවිධ වෙනස්කම් සිදු වී ඇති බව මේ අනුව පෙන්වාදිය හැකිය. ඥාතිත්වය පදනම් කර ගත් සමාජ සංස්කෘතික රටාව කාලයේ විකාශනය ත් සමඟ නාගරික සමාජ තුළ පරිණාමයට පත් වී ඇති බව නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. කාලයට අනුරූපී ව මෙසේ සමාජ වෙනස්වීම අපේක්ෂා කිරීමට සිදු වෙයි. නමුත් සමාජවිද්‍යාත්මක ව අවධානය යොමු කිරීමේ දී නාගරීකරණය හරහා සිදු වන එම සමාජ වෙනස්වීම පවතින සංස්කෘතික සන්දර්භයට අනුව භාරගත යුත්තේ කෙසේදැයි මානවයා විසින් අවධාරණය කරගත යුතු කාරණයකි. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භයට අනුව මානවයාගේ යහපැවැත්ම උදෙසා උචිත නාගරීකරණයක් සිදු විය යුතුය.
ශ්‍රී ලංකාවේ සමාජ සංස්ථාවන්ට නාගරීකරණයේ බලපෑමෙන් විවිධ වෙනස්කම් සිදු වෙයි. අධ්‍යාපන පද්ධතිය ද විශාල වෙනස්කම් රාශියකට බඳුන් වී ඇති අයුරු හඳුනාගත හැකිය. අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රාදේශීය විෂමතාවයක් දැකිය හැකිය. ග්‍රාමීය, වතු, අර්ධ නාගරික සහ නාගරික වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන වෙනස්කම් සමානාත්මතාවය, ගුණාත්මකභාවය, කාර්යක්ෂමභාවය සහ ඵලදායීතාවය යන සෑම අංශයකින් ම දක්නට ලැබෙයි. නාගරික වශයෙන් ව්‍යාප්ත වන ජනප්‍රිය පාසැල් ගුණාත්මක, භෞතික සහ මානව සම්පත් යන සෑම අංශයකින් ම සමන්විත වන අතර ඊට සාපේක්ෂ ව ඉහත සඳහන් කළ අංශවල ඇත්තේ සම්පත් හිඟයකි. මේ නිසා ම ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුළත් කරගැනීමේ දැඩි තරඟයක් නිර්මාණය වී ඇත. මෙය නාගරික සමාජයේ වෙනස්කම් ඇති කර තිබෙයි. අධ්‍යාපන රටාවේ පවතින අධික තරඟය ත් සමඟ නාගරික ජනප්‍රිය පාසැල් වෙතට ඇදී යාමෙන් ග්‍රාමීය පාසැල් වැසී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙයි.
ඒ අනුව ගම්වල සිට නගර කරා ප්‍රවේශ වීමට හේතුවක් වන්නේ නගරවල දියුණු අධ්‍යාපන පහසුකම් සහ ඉඩප්රස්ථා පැවතීම යි. සම්පත් ව්‍යාප්තියේ පවතින විෂම බව ත් සමඟ දුෂ්කර ගම්මානවලට අධ්‍යාපන පහසුකම් ව්‍යාප්ත වන්නේ මද වශයෙන් හෝ මන්දගාමී අයුරිනි. මේ නිසා සිය දරුවන්ට උසස් අධ්‍යාපන පහසුකම් හිමි කර දීමේ අරමුණෙන් නගර කරා සංක්‍රමණය වන අතර නගරවල ජනගහනය වර්ධනය වීමට එය හේතු වෙයි. නාගරීකරණය ත් සමඟ නව බුද්ධිමය සංවිධානය නිර්මාණය වන අයුරක් ද දැකිය හැකිය. විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතන සහ පහසුකම් සහිත පාසැල් සහ වෙනත් අධ්‍යාපන ආයතන විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ද, තවදුරටත් වන්නේ ද නගර තුළ බව පැවසිය හැකිය. වර්තමානයේ අධ්‍යාපන රටාවේ පවතින තරඟකාරී ස්වභාවය ත් සමඟ නාගරීකරණය වීමේ හේතුවක් වශයෙන් එය හඳුනාගත හැකිය. එ මෙන් ම නාගරීකරණයේ බලපෑමෙන් අධ්‍යාපන රටාවේ වෙනස්කම් සිදු ව ඇති බව පෙන්වාදිය හැකිය.
එපමණක් නොව නාගරීකරණය තුළින් ආගමික පද්ධතියේ ද වෙනස්කම් ඇති කර තිබෙයි. වර්තමානයේ නගර කේන්ද්‍ර ආගමික මධ්‍යස්ථාන පිහිටා ඇති අතර මේ තුළින් නව සමාජ රටාවන් නිර්මාණය වී ඇත. විශේෂයෙන් පූජා නගර සංකල්පය නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. මේ ආකාරයට නාගරීකරණය හේතුවෙන් සමාජයේ ආර්ථිකය, පවුල, අධ්‍යාපනය සහ ආගම යන සමාජ සංස්ථාවන් සහ විවාහය, ඥාතිත්වය ආදී සමාජ ආයතන ද විවිධ වෙනස්කම්වලට ලක් වී ඇති බව පෙන්වාදිය හැකිය.
සංස්කෘතික වශයෙන් සිදු ව ඇති වෙනස්කම්
ශ්‍රී ලංකාවේ නාගරීකරණය පුද්ගලයාගේ ජීවිතයේ සහ සංස්කෘතියේ බොහෝ අංශයන්ට බලපෑම් සහගත වී ඇත. ආගමික සම්ප්‍රදායන්, භාෂා රටාවන්, සමාජ ධූරාවලිය, ආහාර රටාවන්, සංගීත හෝ නර්තන සම්ප්‍රදායන්, ඇඳුම් පැළඳුම්, උත්සව, විනෝද පහසුකම් සහ සමාජ සම්බන්ධතා ආදී සෑම පැතිකඩක් කෙරෙහි ම බලපා ඇත.
වර්තමාන නාගරික සමාජ සන්දර්භය තුළ මානවයාට සෑම ක්‍රියාකාරකම ක් ම පාහේ කිරීමට සිදු වී ඇත්තේ වාණිජවාදී සමාජ ආර්ථික වටපිටාවක් තුළ ය. මේ හේතුවෙන් සමාජයේ සෑම අංගයක් ම පාහේ මුදල නැමැති ආර්ථික බලවේගය මත පදනම් ව පවතින ආකාරයක් දක්නට ඇත. ශ්‍රී ලංකා සමාජය ද ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට භාජනය වී ඇති අතර තවදුරටත් එය සිදුවෙමින් පවතියි. නාගරීකරණයට ලක්වීමෙන් සංස්කෘතිය තුළ අන්තර්ගත සෑම සංස්කෘතිකාංගයක් ම ඍජු ව හෝ වක්‍රාකාරයෙන් එහි ගොදුරු බවට පත්වීම තුළින් සමාජ වටිනාකම්, ඇගයුම්, ආකල්ප, හර පද්ධතීන් සහ සාරධර්ම විනාශ මුඛයට ගමන් කරමින් පවතියි. මානවයා ධනය, බලය සහ අනෙකුත් අසීමිත අවශ්‍යතාවයන් පසුපස වේගයෙන් හඹා යන අතර සංස්කෘතිකාංග අභාවයට යන ආකාරයක් ද දැකගත හැකිය. එ මෙන් ම ගැමි සමාජවල ලක්ෂණ ක්‍රමයෙන් පරිහානියට ලක්වෙයි. ගැමි සමාජයේ වඩාත් වැදගත් ලක්ෂණයක් වන්නේ සාමූහිකත්වය පදනම් කර ගනිමින් කටයුතු කිරීම යි. සාමූහිකත්වය පදනම් කරගෙන ඒකාබද්ධතාවයකින් පොදු සමාජ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඥාතිත්වය ආදී විවිධ සමාජ සංස්කෘතික යාන්ත්‍රණ පවතියි. ග්‍රාමීය සමාජයේ සාමූහික විඥානය පදනම් කරගෙන ගොඩනැඟුණු සමාජ සම්බන්ධතා ගෝලීයකරණය ඔස්සේ නව ලිබරල්වාදී ආර්ථිකය සහ බටහිර සංස්කෘතික ප්‍රවාහය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් යුගයක නාගරීකරණය වූ ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යූහය සාම්ප්‍රදායික ගැමි සමාජයෙන් පැහැදිලි ව ම වෙනස් වෙයි. නාගරීකරණය වැළඳ ගැනීමෙන් ශ්‍රී ලාංකික ජන සමාජයේ පැවති අගනාකම්, සාරධර්ම වෙනස් වී ඇති අතර සුඛෝපභෝගී ජීවන පහසුකම් ළඟා කර ගැනීමට තරඟකාරී සමාජ රටාවකට අවතීර්ණ වී සිටියි. මේ අනුව නගර වෙතට සංක්‍රමණය වීම හරහා සාම්ප්‍රදායික සමාජයේ පැවති සම්බන්ධතා වෙනස් වී නව සමාජ සම්බන්ධතා රටාවන් නිර්මාණය වී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු ව දකුණු ආසියානු සමාජයේ සෑම රටක ම පාහේ ජනයාගේ අවසාන අරමුණ වන්නේ නාගරික සමාජ කරා ළඟා වීම යි. යථාර්ථවාදී ව විමසා බලන විට නාගරීකරණය සැබෑ ලෙස ම සම්පූර්ණයෙන් යහපත් ක්‍රියාවලියක් නොවෙයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල සමාජයේ ඉහළට ගමන් කිරීමට සුදුසු ම ක්‍රමය එය බව සිතා බොහෝ පිරිසක් නගර කරා සංක්‍රමණය වෙයි. අවිධිමත් නාගරීකරණය හේතුවෙන් ගැටලු රාශියක් උද්ගත වී ඇති අතර මානව වර්ගයා මේ හරහා පීඩනයට පත්වෙයි. උසස් යැයි සම්මත ජීවන මට්ටම්, බුද්ධිමය සංවිධාන සහ පරිභෝජන රටාවන් නාගරීකරණය තුළ පවතියි. නාගරීකරණයෙන් අසීමිත වූ මානව අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරන බැවින් දැඩි තරඟකාරිත්වයක් නිර්මාණය වී ඇත. පෞද්ගලිකත්වය සහ ආත්මාර්ථකාමී හැඟීම් ඉස්මතු වී ඇති අතර මේ තුළින් පුද්ගලයා හුදෙකලා වී ඇත. මේ අනුව යථාර්ථවාදී ව විමර්ශනය කරන විට පුද්ගලයාට අවශ්‍ය පහසුකම් සහිත සමාජ සම්බන්ධතාවන්ට අයහපත් නොවන නාගරීකරණයක් වැදගත් බව ත් පෙන්වාදිය හැකිය.
නාගරීකරණය වූ වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ පුද්ගලයන් විසින් කරනු ලබන බහුතරයක් මානව චර්යාවන්ගේ මූලික පදනම ආර්ථිකය බව එය ගැඹුරින් විශ්ලේෂණය කරන කල්හි පෙනී යන්නකි. 18 වන සියවසේ අගභාගයේ සිට යුරෝපයේ සිදු වූ දැවැන්ත සමාජ, ආර්ථික වෙනස්වීම මෙවැනි චර්යාවකට අවශ්‍ය මානසිකත්වය ගොඩ නැඟීමට පසුබිම් වූ බව ද පැවසිය හැකිය. බටහිර ලෝකයේ සියවස් ගණනාවක් තිස්සේ පැවති යටත්විජිතවාදී සූරාකෑම නව මුහුණුවරක් ඔස්සේ සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතියි. බටහිර රටවල් ඔවුන්ගේ සමාජ ආර්ථික සුඛිත මුදිතභාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සූරාකමින් ගෙන ගිය යටත්විජිතවාදී ප්‍රතිපත්තිය වෙනුවට වෙනත් ආකෘතියක් හරහා ස්වකීය බල ව්‍යූහය ස්ථාපිත කර ගන්නා ආකාරයක් දක්නට ඇත. එකී අවශ්‍යතාවය සපුරා ගැනීමට බටහිර අධිරාජ්‍යවාදී රටවල් සැළසුම් සහගත ව ක්‍රියාත්මක කරනු ලබන උපක්‍රමශීලී වැඩපිළිවෙළ නම් වාණිජවාදී සහ අධි පරිභෝජනවාදී නව සමාජ ආකෘතිය යි. මෙම සැළසුම විවිධ මාධ්‍යයන් ඔස්සේ තුන්වන ලෝකය පුරා පතුරුවාලීමට කටයුතු කර ඇත. පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පරිගණකය වැනි විවිධාකාරයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් මඟින් එහි දී විශාල කාර්යයභාරයක් සිදු කරනු ලැබෙයි. මුල් යුගයේ පුවත්පත්, ගුවන් විදුලිය වැනි මාධ්‍යයන් එහි ලා විශාල කාර්යයක් කළ ද රූපවාහිනී මාධ්‍යය කරලියට ඒම ත් සමඟ ඒ ස්ථානය භාර ගත්තේ රූපවාහිනිය යි. එය ද ඉතාමත් සාර්ථක ව ඉහත අරමුණ සපුරා ගැනීමේ කාර්යයට දායක විය. වර්තමානයේ ජගත් මට්ටමේ නව තොරතුරු තාක්ෂණික දැනුම ලොව ගම් නියම්ගම් දක්වා පැතිර යන මොහොතක ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරනුයේ පරිගණකය, අන්තර්ජාලය වැනි ප්රවේශයන් ය. ඒ අනුව නූතනත්වයට පත්වී ඇති සමාජයේ වාණිජවාදී සහ අධි පරිභෝජනවාදී නව සමාජ ආකෘතිය වෙතට ජනතාව නැඹුරු කරවීමේ දී එම ප්රවේශයන් ප්‍රබල ආධාරකයන් වශයෙන් පවතින බව වර්තමාන සමාජ සන්දර්භය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. ශ්‍රී ලංකාවේ නාගරික සමාජය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකිය.
මෙරට ආර්ථික ආධිපත්‍යය හිමි කරගෙන සිටින්නේ විජාතිකයන් විසිනි. නාගරීකරණයට භාජනය වූ වාණිජවාදී ආර්ථික රාමුව හේතු කොටගෙන විවිධාකාරයේ භාණ්ඩ ආනයනය කරන අතර බහුජාතික සමාගම් විසින් මේවා නිෂ්පාදනය කරන්නේ ලාබදායී ප්‍රතිඵල අපේක්ෂා කරගෙන විශේෂයෙන් නාගරික සමාජය ඉලක්ක කරගෙන ය. එ බැවින් මෙසේ ආනයනය කරන භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳ ව ගැටලුවක් පැන නඟියි. විදේශීය නිෂ්පාදකයන් මෙවැනි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය භාවිත කරන බැවින් ඒවා පරිභෝජනයට ද අහිතකර ය. පුද්ගල යහපැවැත්ම කෙරෙහි එම භාණ්ඩ අනර්ථකාරී ලෙස බලපෑම් සහගත වෙයි. නමුත් සමකාලීන සමාජය තුළ දැකිය හැක්කේ මෙවැනි වාතාවරණයකි. ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ ආහාර රටාවන් විශාල වශයෙන් වෙනස් වීමට බලපා ඇති හේතුවක් වන්නේ නාගරීකරණය යි.
ශ්‍රී ලංකාවේ නාගරීකරණය සිදු වීමේ එක් සන්දිස්ථානයක් වූයේ ශ්‍රී ලංකාව යටත් විජිතකරණයට ලක් වීම යි. මේ අනුව ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට නතු වීමෙන් පසු ව ඇරඹුණු යුගයේ දී ක්‍රමයෙන් බටහිර සිරිත් විරිත් සඳහා අවධානය යොමු විය. විශේෂයෙන් නාගරික සමාජයේ සිටි සමාජ කොටස් මේ තත්ත්වයට වේගයෙන් අනුගත විය. දේශීය ආභාසය, දේශීය සංස්කෘතික අනන්‍යතාවය පිරිහී ගොස් විදේශීය නිපැයුම් කෙරෙහි වූ අන්ධානුකරණය නිසා ඒවාට නැඹුරු විය. වර්තමානයේ නාගරික සමාජයේ ලක්වැසියන් අත් විඳින අතිශය දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයට මූලික හේතුවක් වන්නේ නොගැළපෙන ජීවන ශෛලියකට හුරු පුරුදු වීම යි. පැරණි යුගයේ ලක්දිව මානවයන් තුළ පැවති හිතකර ජීවන රටාව තුළින් නිරායාසයෙන් ම සෞඛ්‍ය සම්පන්නභාවය ළඟා කොට ගැනුණි. හිතකර ජීවන ශෛලීන් යනු විවිධත්වයකින් යුත් බහුවිධ චර්යාවන් සහිත ක්‍රියාකාරී රටාවකින් සමන්විත වූවකි. කායික, මානසික සහ සමාජීය වශයෙන් වඩාත් පිරිපුන් පුද්ගලයෙකු නිර්මාණය කිරීමට එබඳු ජීවන ශෛලීන් ඉවහල් වෙයි. නමුත් නාගරීකරණයේ බලපෑමෙන් විශේෂයෙන් ම සාම්ප්‍රදායික සෞඛ්‍යමත් ආහාර පරිභෝජන රටාවන්ගෙන් ඈත් වී වැඩි වශයෙන් නාගරික සමාජයට ගැළපේ යැයි අනුමාන කරන පරිභෝජන රටාවන්ට අනුගත වී ඇත. මේ නිසා ම නාගරික සමාජය තුළ පරිභෝජනවාදයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම නාගරීකරණයේ බලපෑමෙන් වෙළඳපොළ මත සියල්ල ක්‍රියාත්මක වන ආකාරයක් නිර්මාණය වී ඇති බැවින් සමකාලීන ශ්‍රී ලංකාවේ පාරිභෝගික සංස්කෘතියක් නිර්මාණය වී ඇත.
විවෘත ආර්ථිකය සමඟ ඇරඹි ගෝලීයකරණ යටත්විජිතවාදය හරහා ඉතා නිර්දය ලෙස ශ්‍රී ලංකා සමාජය ආක්‍රමණය කළ අතර බටහිර ආහාර රටාව වෙතට යොමු කරන ලදි. වෙළඳ දැන්වීම් තුළින් පුද්ගලයාට ඔරොත්තු නොදෙන පරිභෝජන රටාවකට පුද්ගලයා නොදැනුවත්ව ම තල්ලු කරවයි. සංස්කෘතික විපර්යාසයන් ද මෙකී වෙළඳ දැන්වීම් හරහා සිදු වෙයි. ධනේෂ්වර ආර්ථිකය තුළ අනිවාර්ය ලක්ෂණයක් වන්නේ භාණ්ඩ අලෙවිය පිළිබඳ තරඟය යි. මෙයින් භාණ්ඩ පිළිබඳ අවශ්‍යතාවය පාරිභෝගිකයා තුළ ඇති කිරීමට හැකි වෙයි. විවිධ නිෂ්පාදන පාරිභෝගිකයා වෙතට ගෙන යාම සඳහා භාවිත කරන කලාව ප්‍රචාරණය වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රචාරණ විධි අනුගමනය කිරීමේ දී එය වඩාත් ඵලදායී අන්දමින් කිරීමට නිෂ්පාදකයා කටයුතු කරන අතර එහි දී වර්තමානයේ මාධ්‍යය වඩාත් වැදගත් වී ඇත. රූපවාහිනිය, සඟරා මෙන් ම වර්තමානයේ වැඩි වශයෙන් පරිගණකය හරහා අන්තර්ජාලය වෙතට ගමන් කරන පුද්ගලයා නිරන්තරයෙන් මෙම කඩිනම් ආහාර සංස්කෘතිය වෙතට යොමු කරවීමට විවිධ උපක්‍රම පවතියි. කෘතිම ආහාර ඒ අතරින් ප්රමුඛස්ථානයක් ගනියි. විවිධ කෘතිම වර්ණකාරක, රසකාරක සහ සංරක්ෂක යොදා සකස් කළ නිෂ්පාදන විවිධ නම්වලින් වෙළඳපොළට පැම්ණ තිබෙන අතර මේවා වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ නාගරික සමාජයේ ය. නාගරික සමාජයේ ගෘහණියගේ කාර්යයභාරයන් මේ නිසා ම වෙනස් වී ඇත. නාගරික ජීවිතයේ පවතින තරඟකාරිත්වය ත්, කාර්යයබහුලත්වය ත් මඟින් මෙවැනි පරිභෝජන රටාවකට යොමු වී ඇති ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන් මෝල් සාප්පු සංකීර්ණ නූතන ශ්‍රී ලංකා සමාජයේ ද ව්‍යාප්ත වී ඇති අතර එය නාගරීකරණයේ ද ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගත හැකිය.
නාගරීකරණය ත් සමඟ ශ්‍රී ලංකා සමාජයේ මහා පරිමාණ පාරිභෝගික සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව මෝල් සාප්පු සංකීර්ණ තුළින් පැහැදිලි කළ හැකිය. “වෙළඳ අවකාශයක් වශයෙන් මෝල් සාප්පු සංකීර්ණවල මූලික පදනම නිර්මාණය වූයේ 19 වන සියවසේ යුරෝපීය නාගරික අවකාශය තුළ බිහි වූ ආකේඞ් නම් වූ ආවරණය කරන ලද වෙළඳ අවකාශය වේ” (පෙරේරා, 2003, පි.56). ආකේඞ් නම් නාගරික අවකාශය තුළ පරිභෝජන භාණ්ඩවලින් පිරී ගිය සිහින ලෝකයක් නිර්මාණය කරන බව ත් මෙය නූතනත්වය තුළ ජනිත වූ නූතනවාදයේ ම විස්තීරණයක් බව ත් පෙන්වාදෙයි. මෙවැනි ඓතිහාසික සහ ආකෘතිමය සන්දර්භයක් තුළ වර්තමාන ශ්‍රී ලංකාවේ නාගරික අවකාශය තුළ මෝල් යනුවෙන් හඳුන්වන පරිභෝජන ආකෘතිය ද බිහිවෙයි. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම ත් සමඟ මෙම ප්රපංචය ඉස්මතු වෙයි.
ලොව අනෙක් රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද මෝල් සාප්පු සංකීර්ණයක් යනු අද වන විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා පමණක් යන ස්ථානයක් නොවන අතර එය ඊට ම ආවේණික වූ ගතිකත්වයෙන් යුක්ත සමාජ සංවිධානයකි. මෙය රංග භූමි පසුතලයක් වශයෙන් දැකිය හැකිය. මෙම සංකිර්ණවල ප්‍රධාන ම කාර්යයභාරය පරිභෝජනවාදය වුව ද මේවා තුළ සිදු වන එක ම ක්‍රියාව පරිභෝජනය පමණක් නොවන බව පැහැදිලි කළ හැකිය. වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සහ ඒ අවට නාගරික ප්‍රදේශය තුළ මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට් බුලෙවාඞ් සහ තලවතුගොඩ පිහිටි කැපිටල් මෝල් යනාදිය නිදසුන් වශයෙන් පෙන්වාදිය හැකිය (පෙරේරා, 2003, පි.65). මෙයින් පළමුවෙන් සඳහන් කර ඇති සංකීර්ණ තුන ම පිහිටා ඇත්තේ කොළඹ නගරයේ ඉතා ජනප්‍රිය සහ මිල අධික භූමි ප්‍රදේශ තුනක ය. මෙම සියලු ස්ථාන හා සම්බන්ධ සමස්ත අනුභූතියේ එක් කොටසක් නම් නාගරීකරණය නිසා වාහන සහ පුද්ගල ඝනත්වය තුළින් ඇති වන තදබදයෙන් පීඩා විඳීම යි. මේ තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය අත් විඳින්නට සිදු වෙයි. ශ්‍රී ලංකාවේ මෙවැනි සංකීර්ණ වෙත ප්‍රවේශ වීම සඳහා මාර්ග පද්ධති සහ වාහන නැවැත්වීමට පහසුකම් සළසා ඇති නමුත් තදබදයක් දක්නට පවතියි. මේ නිසා මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට් බුලෙවාඞ් වැනි සංකීර්ණ වෙත අවතීර්ණ වීමේ දී අතිශය වාහන තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යන ගැටලු නිශේධනාත්මක ආකාරයෙන් මානව සමාජයට බලපෑම් කරයි.
ශ්‍රී ලංකාවේ මෝල් සාප්පු සංකීර්ණ වෙත අවධානය යොමු කිරීමේ දී ඒවා වෙත ඇදී එන ජනතාව අතර තරුණ තරුණියන් බහුතරයක් සිටින බව පෙනී යයි. එ මෙන් ම ඔවුන් අතරින් තනිව ම පැමිණෙන අය සිටින්නේ අතළොස්සකි. ඔවුන්ගෙන් විශාල පිරිසක් දෙදෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් පැමිණෙන බව පෙන්වාදිය හැකිය (පෙරේරා, 2003, පි.71). තනි ව පැමිණෙන බොහෝ දෙනෙක් රහි පැමිණෙන්නේ අන් පුද්ගලයන් මුණගැසීම පිණිස බව ද මෙවැනි අවකාශ තුළ දී පෙනී යයි. මේ අනුව කොළඹ සහ තලවතුගොඩ පිහිටි මෝල් සංකීර්ණ වෙත බොහෝ තරුණ කොටස් ඇදී එන්නේ ඒවා නාගරික තරුණ තරුණියන් මුණගැසෙන අවකාශ බවට පත් ව ඇති හෙයිනි. මේ තුළින් යම් අකාරයක සමාජ ප්‍රාග්ධනයක් නිර්මාණය වෙයි. ඊට හේතුව වන්නේ නාගරික සමාජයේ ඒ වෙත ගමන් කිරීම සමාජ සහ සංස්කෘතික වශයෙන් වැදගත් කාරණයක් වශයෙන් සිතන බැවිනි.
නාගරික සමාජයේ විලාසිතාවන් පිළිබඳ සංඥාර්ථවේදය ද දැඩි බලපෑමක් කරයි. විශේෂයෙන් කොළඹ පිහිටි ඔඩෙල් සහ මිලේනියම් පාර්ක් වැනි වෙළඳ අවකාශයන් මේ වන විට නාගරික, මධ්‍යම සහ උසස් පාන්තික තරුණ කණ්ඩායම්වල විලාසිතා රුචිකත්වයන් විදහා දක්වන රංගන වේදිකා බවට පත් ව තිබෙයි. නගරයේ විලාසිතා නමින් නම් දැරූ සුවිශේෂී සාප්පුවලින් හෝ ගෝලීයකරණය වූ සේවා වෙළඳපොළ විසින් සළකුණු කරන ලද සන්දර්භය තුළ නව විලාසිතා අන් අයට දර්ශනය කිරීමට සංකීර්ණ අවකාශයක් බවට නගරය පත් ව ඇත. මෙම අවකාශය තුළ අපේක්ෂා කරන්නේ නාගරික පන්නයට සකස් වූ පිරිසක් පමණි. නමුත් යථාර්ථවාදී ව විමසා බලන විට මේවායේ පවතින බෙහෝ තත්ත්වයන් බාහිර සමාජයේ යථාර්ථයන්ට සහ තත්ත්වයන්ට බෙහෙවින් පරිබාහිර වූ සුරංගනා ලෝක යථාර්ථයන් හෙවත් ව්‍යාජයන් බව පැහැදිලි වෙයි. නමුත් සංස්කෘතිය කාලානුරූපී ව වෙනස් වන බැවින් මේ තත්ත්වයට යටත් වීමට සිදු වන නමුත් සිහියෙන් යුතු ව අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට විචාරශීලී විය යුතු ය.
නාගරික සමාජයේ මධ්‍යම පාන්තික පිරිස් පමණක් නොව සාප්පු සංකීර්ණ තුළ නිර්ධන පාන්තික වෙළඳ සවාරි ද සිදු වෙයි. විශේෂයෙන් විරැකියාවෙන් පෙළෙන පිරිස් ද මේ වෙතට ප්‍රවේශ වන ආකාරයක් දැකිය හැකිය. මෙහිදී භාණ්ඩ මිලට ගැනීමට වඩා භාණ්ඩවල දර්ශනයෙන් වින්දනයක් ලබා ගනියි. පාරිභෝජන භාණ්ඩ මිලට නො ගත්ත ද සංකීර්ණය තුළ කාලය ගත කරනු දැකිය හැකිය. අතිවිශාල ජන සංඛ්‍යාවක් මෙහි ගමන් කරන බැවින් අවකාශ පිරිසුදු කිරීමට අමතර මුදලක් වැය කිරීමට ද සිදු වෙයි. කෙසේ නමුත් නාගරික සමාජයේ මෝල් සාප්පු සංකීර්ණ යනු අනේක ක්‍රියාවලීන් සහ ගතිකත්වයෙන් යුක්ත සමාජ, සංස්කෘතික පද්ධතියක් බව නිරූපණය කළ හැකිය. නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වුණු සංවර්ධනයේ සංකේත වශයෙන් මානවයා විසින් වන්දනා කරන මෝල් සාප්පු සංකීර්ණ නාගරික සමාජය තුළ වෙනස්කම් රාශියක් සිදු වීමට හේතු වී ඇති බව මේ අනුව පැහැදිලි කළ හැකිය.
ශ්‍රී ලංකාවේ නාගරීකරණය විශාල වශයෙන් කාන්තාවගේ වෙනස්වීම කෙරෙහි බලපා ඇත. නාගරික සමාජයේ කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළඳපොළක් ද දක්නට ඇත. කාන්තාව අදායම් උපයන්නියක වශයෙන් රැකියාවක නිරත වීම හෝ වෙනත් සමාජ, ආර්ථික සුබසාධන කටයුතුවල නිරත වීම නිසාවෙන් නාගරික සමාජයේ ගෘහණිය විශාල වශයෙන් කාර්යය බහුල වී ඇත. එමෙන් ම පවතින තරඟකාරී අධ්‍යාපනික රටාව හමුවේ දරුවන් වෙනුවෙන් ම කාලය වෙන් කරන කාන්තාවන් ද සමාජය තුළ දැකිය හැකිය. සමාජය සාම්ප්‍රදායික තත්ත්වයේ සිට නවීකරණයට පත් වීම ත් සමාජ වෙනස්වීම ත් වර්තමාන කාන්තා කාර්යය කොටස් වෙනස්වීම කෙරෙහි බලපා ඇත. මේ නිසා ගෘහ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට ඇතැම් කාන්තාවන් පෙළඹෙන්නේ ද නැත. අති ධාවනකාරී සමාජයකට ප්‍රවේශ වී තිබීම ද මෙයට හේතුවකි. එමෙන් ම නාගරික වීමේ වර්ධනීය අවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකවාදී සමාජ ව්‍යූහය මත පුද්ගලයන් නොනවතින අරගලයක නිරත වී සිටින නිසා ද සිය අසීමිත අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වේගවත් ගමනකට අවතීර්ණ වීම නිසා ද සංස්කෘතික හරයන් වියැකී යන ස්වභාවයක් දක්නට ඇත. නිදසුනක් වශයෙන් ශ්‍රී නාගරීකරණයට ලක් වූ ප්‍රදේශ තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන අලුත් අවුරුද්ද සමරන ආකාරය වෙනස් වී ඇති ආකාරය පෙන්වාදිය හැකිය. නාගරික සමාජයේ බොහොමයක් සමාජ සංස්කෘතික භාවිතයන් අභියෝගයට ලක් ව ඇති බව ද පැවසිය හැකිය.
නාගරීකරණයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ සමාජය තුළ සංස්කෘතියේ තවත් වැදගත් අංගයක් වන ඇඳුම්, පැළඳුම් ද වර්තමානය වන විට වෙනස් වී ඇති බව පෙන්වාදිය හැකිය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ආචාර සමාචාර ආදිය ද සංස්කෘතියේ බාහිර ලක්ෂණ වශයෙන් විවිධ බලපෑම් ඔස්සේ හැඩගැසෙයි. මෙකී තත්වයන් සංස්කෘතියේ ආරම්භක අවස්ථාවේ ස්වාධීන ව පැවතිය ද වෙනස්වීම ත් සමඟ නව අගයන් සහ භාවිතා රටාවන් ආදේශ වෙයි. මානවවිද්‍යාත්මක වශයෙන් සංස්කෘතියේ මෙම වෙනස්වීම කෙරෙහි හේතු වන ලක්ෂණයක් වන්නේ සංස්කෘතික විසරණය යි. “පරිබාහිර සංස්කෘතියකින් යම් යම් අංශ තමන්ගේ සංස්කෘතියට පැමිණ එයට ඒකාබද්ධ වන්නා වූ ආකාරය සංස්කෘතික විසරණය නම් වෙයි” (අමරසේකර, 1994, පි.57). ඕනෑම සංස්කෘතියක බහුතරයක් සංස්කෘතිකාංග විසරණය නිසා ලද ඒවා වෙයි. එමෙන් ම සංස්කෘතිය පිළිබඳ මානවිද්යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට සංස්කෘතික සම්පර්කය නම් සංකල්පය ද වැදගත් වෙයි. එනම් “යම්කිසි දුර්වල සමාජයක් හෝ සංස්කෘතියක් බලවත් සංස්කෘතියක බලපෑම යටතට පත් වූ විට බලවත් සංස්කෘතියේ අංග ලක්ෂණ දුර්වල සංස්කෘතියට බලපා ඊට එක් වීම” යි. ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය දෙස බලන විට මෙම කරුණු පැහැදිලි වෙයි. නාගරීකරණයේ බලපෑම ත් සමඟ මෙම තත්ත්වය වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාවේ වර්තමාන නාගරික සමාජයේ ඇඳුම්, පැළඳුම් සහ නව විලාසිතා සඳහා පදනම් ව ඇත්තේ බටහිර සංස්කෘතිය යි. ශ්‍රී ලංකාවේ ජීවත් වන අනෙකුත් ජාතීන්ට වඩා නාගරික සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් බටහිර සිරිත් අනුව ඇඳුම්, පැළඳුම් සහ විලාසිතා අනුගමනය කරන ආකාරයක් දක්නට ඇත. විශේෂයෙන් ගම්වලින් නගර කරා සංක්‍රමණය වන කාන්තාවන් මෙවැනි විලාසිතාවන්ට යොමු වන්නේ නාගරීකරණය තුළිනි. නාගරික සමාජය තුළ කාන්තාවන්ගෙන් බහුතරයක් වැඩි මුදලක් ගෙවා ඇඳුම් මිලට ගත්ත ද ශිෂ්ටාචාර ගත වූ මානවයෙකු ලෙස නොව ශරීරයේ බොහෝ ස්ථාන නිරාවරණය වන ආකාරයට ඇඳුම් පැළඳුම් පරිහරණය කරන බවක් දක්නට ඇත. එමෙන් ම බොහෝ අවස්ථාවල දී ඇතැම් පුද්ගලයන් තමන්ට මෙන් ම සංස්කෘතියට ද නොගැළපෙන විවිධ විලාසිතාවන්ගෙන් යුක්ත ඇඳුම් පැළඳුම් භාවිත කරන ආකාරයක් දැකිය හැකිය. මෙය සංස්කෘතික යටත්විජිතවාදයේ ප්රතිඵලයකි. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු වී සිටි අවධියේ මේ සඳහා මූලික අඩිතාලම සකස් විය. නාගරීකරණය ශ්‍රී ලංකාවේ මෙම සමාජ සංස්කෘතික විපර්යාසයට ප්‍රධාන හේතුවක් බව පැවසිය හැකිය. ශ්‍රී ලංකාව තුළ සෑම ක්ෂේත්රයක ම මෙන් ම ඇඳුම් පැළඳුම් සහ විලාසිතා අංශයේ ද වෙනසක් ඇති වීමට නාගරීකරණය හා සම්බන්ධ තත්ත්වයන් ඉවහල් වී ඇත. බටහිර සංස්කෘතික ආක්‍රමණය ද මේ තුළින් පෙන්නුම් කෙරෙයි.
නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතියේ විවිධ අංශයන්ගේ වෙනස්කම් හඳුනාගත හැකිය. සංස්කෘතිය පුද්ගලයාට පවරා දෙන උපකරණය වන්නේ භාෂාව යි. භාෂාව තුළින් පුද්ගලයාගේ ජනවාර්ගික, ප්‍රාදේශීය අනන්‍යතාවය හඳුනාගත හැකිය. ඒ අනුව සංස්කෘතිය තුළ භාෂාවට වැදගත් ස්ථානයක් හිමි වෙයි. ශ්‍රී ලංකා සමාජයේ සිදු ව ඇති නාගරීකරණයේ බලපෑමෙන් නාගරික සමාජයේ මෙන් ම ග්‍රාමීය සමාජයේ ද භාෂා රටාවන්ගේ වෙනස්කම් සිදු ව ඇති බවක් දක්නට හැකිය. විශේෂයෙන් නගරවල වාසය කරන ඉහළ මධ්‍යම පාංතිකයන් විසින් ඉංග්‍රීසි භාෂාව භාවිත කරනු ලබයි. ඔවුන් සිය සමාජ තත්ත්වය නිරූපණය කරන උපකරණයක් වශයෙන් ද භාෂාව භාවිත කරන ආකාරයක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ නාගරික දුගී ජනයා ජනවාර්ගික භේදයකින් තොර ව සිංහල සහ දෙමළ භාෂා දෙක ම භාවිත කරන තත්ත්වයක් දක්නට පවතියි. නගර මධ්‍යයේ පිහිටි මුඩුක්කු ප්‍රදේශවල භාෂා කීපයක් භාවිත කරන අතර ඔවුන්ගේ භාෂා සම්ප්රදායන්ගේ ආවේණික අංගයන් ද දක්නට පවතියි. ගම්වලින් නගර වෙතට සංක්‍රමණය වූ පිරිස් ඉංග්‍රීසි සම්මිශ්‍රණය වූ භාෂාවක් භාවිත කරන ආකාරයක් දක්නට ලැබෙයි. මේ ප්‍රවණතාවය වර්තමානය වන විට ග්‍රාමීය සමාජ දක්වා ගමන් කර ඇති බව විද්‍යමාන වෙයි. මේ නිසාවෙන් නව කතා විලාසයන් මෙම සමාජ දෙවර්ගයෙහි ම ඉස්මතු වී ඇත. භාෂා භාවිතයේ විවිධත්වයක් පවතියි. මේ ආකාරයට කරුණු විමසා බලන විට ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන භාෂාව නාගරීකරණය නිසාවෙන් විවිධ වෙනස්කම්වලට ලක් ව ඇති බව අනාවරණය කළ හැකිය.
නාගරීකරණය නිසාවෙන් අතීතයේ සිට පවත්වා ගෙන ආ සංස්කෘතික සිරිත් විරිත් වර්තමානයේ ඒ ආකාරයෙන් ම අනුගමනය කළ නොහැකිය. භෞතික සහ සමාජ සංස්කෘතික සාධක වෙනස්වීම එයට ප්‍රධාන හේතුව වේ. ඒ අනුව සංස්කෘතියේ ආගමික වශයෙන් ආගමික ආයතනයන්ගේ ව්‍යූහය මෙන් ම කාර්යයභාරයන් ද වෙනස් වී ඇත. විශේෂයෙන් ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය වන පන්සල නවීකරණයට ලක් වී ඇත. පුද්ගලයන්ගේ සමාජ ජීවිතය සාර්ථක ව පවත්වා ගෙන යාමට දායකත්වය සපයන පන්සල වැනි ආයතන නාගරික සමාජයේ වාණිජවාදී අරමුණකින් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට පුළුවන. නව ආගමික ප්රවණතාවයන් ඉස්මතු වී ඇත. විශේෂයෙන් නාගරික සමාජයේ පුද්ගලයන් ඔවුන්ගේ ආගමික කටයුතු ඉලෙක්ට්‍රොනික උපකරණ ඇසුරෙන් සිදු කරන ආකාරයක් දැකිය හැකිය. මේ නිසා සමාජ සම්බන්ධතා මෙන් ම ලංකා සමාජය වෙනස් වී ඇති බව පෙන්වාදිය හැකිය.
වර්තමාන ශ්‍රී ලංකා සමාජය ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතියි. මේ හේතුවෙන් සමාජ සංස්කෘතික වශයෙන් වෙනස්කම් රාශියක් සිදු ව ඇති බව පෙන්වාදිය හැකි අතර සමාජ ධූරාවලිය තුළ ද වෙනස්කම් සිදු ව ඇත. ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්රිත ව හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ නාගරික ප්‍රදේශ අතර අවිධිමත් සමාජ ධූරාවලියක් දැකිය හැකි වීම යි. සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණයේ මූලික ලක්ෂණයක් වන ඒක කේන්ද්‍රීය මහා නගර බිහි වීම ශ්‍රී ලංකාවේ ද දැකිය හැකිය. වර්තමාන නාගරික ධූරාවලිය තුළ අධි ජනගහනයක් සිටින නගරය වන්නේ කොළඹ නගරය යි. නාගරික ධූරාවලිය අතින් කොළඹ නගරය ලබා ඇති ප්‍රමුඛත්වය කොපමණ ද යත් ශ්‍රී ලංකාවේ ඊළඟට විශාල නගර තුන වන මහනුවර, ගාල්ල සහ යාපනය නාගරික ජනගහනය සහ ඒවායේ කාර්යයන්හි විශාලත්වය අතින් පසු වන්නේ කොළඹ නගරයට වඩා බොහෝ පසුපසිනි (ප්‍රියදර්ශනී, 1998, පි.94). දිවයිනේ සමාජ, ආර්ථික සහ දේශපාලන කටයුතු සියල්ලක් ම පාහේ කොළඹ නගරය ආශ්රිත ව කේන්ද්‍රගත වීම ත්, උපයෝගීතාවය සහ පොදු පහසුකම් මෙන් ම සේවා ඇතුළු ව අනෙකුත් සියලු ම පහසුකම් කොළඹ නගරය වටා ඒකරාශී වීම නිසා දිවයිනේ අනෙකුත් නාගරික ප්‍රදේශ පවා වාණිජමය සහ ආර්ථිකමය වශයෙන් කොළඹ නගරයේ ක්‍රියාකාරිත්වයේ බලපෑම ලබන බව පැවසිය හැකිය. සමාජ විද්‍යාත්මක ව බලන විට මෙම ලක්ෂණය ආන්ද්‍රේ ගුන්ඩර් ෆ්රෑන්ක්, පෝල් බැරන් වැනි නව මාක්ස්වාදීන් සංවර්ධනය පිළිබඳ ව දැක් වූ පරාධීන සංකල්පය හා බොහෝදුරට සමාන වෙයි.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජයේ කුලය වැනි සාධක මත සමාජ සම්බන්ධතා තීරණය වුව ත් නාගරික සමාජයේ පුද්ගලයන් අවශ්‍යතාවය පදනම් කරගෙන සමාජ සම්බන්ධතා පවත්වනු ලබයි. නාගරික සමාජයේ සමාජ ස්තරායනය සකස් වී ඇත්තේ පන්ති ස්ථරායනය පදනම්කරගෙන ය. නගරය තුළ වාසය කරන පුද්ගලයන්ගේ කුලය, ආගම සහ ජනවාර්ගිකත්වය මත ඇත්තේ දුරස්ථභාවයකි. එ මෙන් ම පුද්ගලයන් අතර දැඩි විෂමතාවයක් දක්නට ඇත. පුද්ගලයාගේ හැකියාව, ප්‍රතිභාව අනුව ඉදිරියට යාමේ අවස්ථාවන් නාගරික සමාජයේ පවතින බැවින් නාගරික සමාජයේ වාසිදායක තත්ත්වයන් ද පවතින බව පෙන්වාදිය හැකිය. මේ නිසා නාගරීකරණය තුළින් සමාජ ධූරාවලියේ වෙනස්කම් සිදු ව පවතින බව පැහැදිලි කළ හැකිය. නාගරික සමාජයේ පැවැත්ම උදෙසා මෙම සමාජ ධූරාවලිය ඉවහල් වී ඇති බව පෙන්වාදිය හැකිය.
ශ්‍රී ලංකාවේ නගරවල පවතින මෙම අවිධිමත් නාගරික ධූරාවලිය සහ ප්‍රදේශීය විෂමතා සමාජ අසහනය වර්ධනය වීම කෙරෙහි බලපා ඇත. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පවතින තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් වැඩි පහසුකම් සහ සම්පත් සොයා නාගරික පාසැල් වෙත දරුවන් ප්‍රවේශ කරවන්නට දෙමව්පියන් යෙදී සිටින අනවරත අරගලය ත්, වැඩි වැටුප් සේවා පහසුකම්, උසස් සමාජ තත්ත්වයන් සඳහා නාගරික රැකියා අවස්ථා සහ වාසස්ථාන ඉදි කිරීමට ජනතාව දක්වන නැමියාව ත් සමාජයේ අපේක්ෂා සහ ප්‍රාර්ථනා බිඳ වැටීම ත් කෙරෙහි මෙම තත්ත්වය බලපා ඇත. නාගරීකරණය වූ සමාජයක පුද්ගලයන් විවිධ අසහනවලට ගොදුරු වීම, සියදිවි නසා ගැනීම සහ හුදෙකලා වීම යන තත්ත්වයන්ට පත් වන බව සමාජවිද්‍යාත්මක අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව සමාජ සමීක්ෂා සඟරාව ද පෙන්වාදෙයි.
සංස්කෘතිය විවිධ හේතු සාධකයන්ගේ බලපෑම මත නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙයි. සංස්කෘතිය රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, කාලයෙන් කාලයට වෙනස් වෙයි. ලෝකයේ සෑම සංස්කෘතියක් ම මෙසේ වෙනස් වීමට භාජනය වූ, වෙනස් වීමට භාජනය වෙමින් පවතින, අනාගතයේ දී ද වෙනස් වීමට භාජනය වේ යැයි සිතිය හැකිය. මෙසේ වෙනස්වීමේ දී අන්‍ය සංස්කෘතීන්ගෙන් යම් යම් දේ උකහා ගැනීම හා ඒවා තම සංස්කෘතියට ප්‍රවේශ කර ගැනීම සාමාන්‍ය ලක්ෂණයකි. ඒ අනුව කාලයට අනුරූපී ව වෙනස් වීම සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයකි. නමුත් එම වෙනස්වීම සිහියෙන් යුක්ත ව භාර ගැනීමට විමර්ශනශීලී විය යුතු ය. ශ්‍රී ලංකාව යටත්විජිතකරණයට ලක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සංස්කෘතියට බටහිර ජාතීන්ගේ සංස්කෘතිකාංග එකතු වී ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික සංස්කෘතිය පෙන්නුම් කරන සාධකයක් වශයෙන් මත්පැන් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය යි. නාගරීකරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මත්පැන් අලෙවිහල් විශාල ප්‍රමාණයක් නගර තුළ ව්‍යාප්ත වී ඇත. අධික වශයෙන් ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් වශයෙන් මත්පැන් වෙළඳාම හඳුනා ගත හැකිය. දිනෙන් දින ම ශ්‍රී ලංකාවේ මත්පැන් පානය ඉහළ යන බවක් පෙනෙන්නට ඇත. වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රවණතාවයක් වන්නේ නාගරික සමාජයේ කාන්තාවන් ද මත්පැන් ගැනීමට නැඹුරු වන ආකාරයක් දැකිය හැකි වීම යි. සමහර විට බටහිර පන්නය හුවා දැක්වීමට ත් තමා ඉහළ පංතියේ බව ගෙනහැර දැක්වීමට ත් මත්පැන් කදිම මාධ්‍යයක් කර ගැනීමට ඇතැම් කාන්තාවෝ අන්ධානුකරණයෙන් යුතු ව පෙළඹෙති.
බහුජාතික සමාගම්, නොයෙකුත් ජාත්‍යන්තර සංවිධානයන් හා පුද්ගලයන් වශයෙන් එකතු වී සංවර්ධනය වෙමින් පවතින රටවල මත්පැන් ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නිරත ව සිටින අතර ශ්‍රී ලංකාව ද එහි ගොදුරක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ ඇති වූ විවෘත ආර්ථික රටාව සහ නාගරීකරණය වැනි බලපෑම් මත්පැන් සහ මත්ද්‍රව්‍ය රටට ගලා ඒමට ප්‍රබල හේතුවක් විය. ලංකා සමාජය මේ තුළින් අර්බුද රාශියකට මුහුණ පා ඇත. නීත්‍යනුකූල සහ නීති විරෝධී වශයෙන් මත්පැන් දෙයාකාර වන අතර ආර්ථික සාධකය පදනම් කරගෙන ඒවා මිල දී ගනු ලැබෙයි. සමහර මත්පැන් සමාජය විසින් පිළිගනු ලැබූ සහ ඉතා ජනප්‍රියත්වයට පත් වූ ඒවා ය. ශ්‍රී ලංකාවේ භාවිතා වන නීතිගත මත්පැන් අතර පොල් රා, අරක්කු, බීර, බ්‍රැන්ඩි, විස්කි, වයින් සහ රම් ආදිය ද නීතිගත නොවන මත්ද්‍රව්‍ය අතර වයින් ස්ප්‍රීතුවල සිට කසිප්පු දක්වා විවිධාකාරයේ මත්පැන් දක්නට පුළුවන. නාගරික ධනේෂ්වර පංතිය අධික මිලක් ගෙවා විදේශීය නිෂ්පාදන මිලට ගන්නා අතර නිවෙස්වල විවිධ සාදයන් පවත්වයි. විශේෂයෙන් නගරවල උත්සව අවස්ථාවන්ගේ දී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් ව ඇත. මිතුරු කණ්ඩායම් සමඟ විවිධ විනෝද ගමන් යන, සාදයන් පවත්වන ඔවුන් විශාල වශයෙන් මත්පැන් පානය කරන ආකාරයක් දක්නට ඇත. සංස්කෘතික ලක්ෂණ, වටිනාකම් සහ හර පද්ධතීන් විනාශ කරන සාධකයක් වශයෙන් මත්පැන් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය පෙන්වාදිය හැකිය. විශේෂයෙන් නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නගරවල නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, භාවිතය සහ බෙදා හැරීම සිදු වෙයි. මෙය නීත්‍යනුකූල නොවන අතර මේ තුළින් ළමා අපයෝජන, කාන්තා හිංසන, මනුෂ්‍ය ඝාතන සහ තවත් නොයෙකුත් ආකාරයේ අපරාධ සිදුවීම් සඳහා මාර්ග විවර කරන අතර නාගරීකරණයේ අයහපත් බලපෑම් වශයෙන් හඳුනාගත හැකිය.
එමෙන්ම නාගරීකරණය තුළින් වර්තමාන සමාජ සන්දර්භය තුළ ඇති වී තිබෙන නිරන්තර තරඟකාරී ජීවන රටාව නිසාවෙන් නාගරික සමාජ ව්‍යූහය තුළ පැරණි සමාජයේ පුද්ගලයන් තුළ පැවති ගෞරවය, සාමූහිකත්වය, සුහදශීලිත්වය, කරුණාව, දයාව හා සෙනෙහස ආදී මානුෂීය සම්බන්ධතාවන් වියැකී යමින් පවතියි. සංස්කෘතික සහ සමාජීය සම්බන්ධතා සමාජ වෙනස්වීම ත් සමඟ ක්රමික ව බිඳ වැටෙමින් පවතියි. ඒ වෙනුවට පාරිභෝගිකවාදී සමාජ ව්‍යූහය තුළ බොහෝ පුද්ගලයන් නොනවතින අරගලයක නිරත වී සිටින බැවින් ගුණ දහම් ඈත් ව යාම ත්, සමාජ සම්බන්ධතා නොසළකාහැරීම ත් සිදු වන ස්වභාවයක් දැකිය හැකිය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ කටයුතු විශාල වශයෙන් නූතන තාක්ෂණික මෙවලම් සහ උපකරණ පදනම් කරගෙන සිදු වන බවක් දක්නට ඇත. නාගරීකරණය තුළින් මානව සම්බන්ධතාවන්ට වඩා භාණ්ඩකරණය වැදගත් වී ඇති අතර මානව සම්බන්ධතා ද භාණ්ඩ බවට පත් ව ඇති බව විද්‍යමාන වෙයි. නවීන ශිෂ්ටාචාර ලක්ෂණ සම්ප්‍රේෂණය කරන්නේ නාගරික සමාජයන් ය. මේ හේතුවෙන් නූතනත්වය මඟින් නිර්මාණය කරන ලද පරිභෝජනවාදයේ ලක්ෂණ නාගරික සමාජ තුළ ව්‍යාප්ත වෙයි. එ මෙන් ම එකී ලක්ෂණ සහ අගයන් ග්‍රාමීය සමාජ වෙතට ලබා දෙන්නේ ද නාගරීකරණය තුළින් නාගරික සමාජ හරහා ය. ඉහත ආකාරයට යථාර්ථවාදී දෘෂ්ටිකෝණයෙන් නාගරීකරණය පිළිබඳ ව විමසා බලන විට සමාජ සන්දර්භය තුළ ක්‍රියාත්මක වන සංස්කෘතියේ විවිධ අංගවල භෞතික සහ භෞතික නොවන වෙනස්කම් සමුදායක් සිදු ව ඇති බව පෙන්වාදිය හැකිය. එම වෙනස්කම් ධනාත්මක මෙන් ම ඍණාත්මක වශයෙන් නිර්මාණය වී ඇත. මේ අනුව සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට නාගරීකරණය තුළින් ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්කම් රාශියක් සිදු වී ඇති බව පැවසිය හැකිය. නාගරීකරණය ඇති කරන සමාජ විපර්යාසයන් ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් පැහැදිලි ව වෙන් කර හඳුනාගත නොහැකි තරමට එකට බද්ධව පවතින අතර ඒ තුළින් මානවයා කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව සඳහන් කළ හැකිය.
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
අමරසේකර, දයා., (2010). සමාජවිද්‍යාවේ මූලික සංකල්ප, ආරිය ප්‍රකාශකයෝ, වරකපොළ.
කැල්ලපත, සේමාලි., (2007). දෙස් විදෙස් විත්ති, අපේ ආසියාව, සදීපා ප්‍රකාශන මන්දිරය, බත්තරමුල්ල.
කුමාරගේ, අමල්., (2002). “නාගරික වාහන තදබදයඃ ගැටලු සහ විසඳුම්”, ආර්ථික විමසුම අංක 06/07, පර්යේෂණ අංශය, මහ බැංකුව, කොළඹ.
කුලතිලක, ප්‍රියදර්ශනී, (1998). “ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්රිත සමාජ ගැටලු”, සමාජ සමීක්ෂා, දෙවන කළාපය, සමාජවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
පෙරේරා, සසංක., (2003). “මෝල් සාප්පු සංකීර්ණඃ පාරිභෝජනවාදයේ දේවස්ථාන ද? අධි යථාර්ථවාදයේ සංකේත ද?, පඨිත සමාජ සංස්කෘතික සමීක්ෂා, පළමු වෙළුම.
ප්‍රනාන්දු, ඥානා වැලිකන්න., (2009). දකුණු ආසියානු රටවල්: භූගෝල විද්‍යාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
මානවඩු, ලසන්ත, සහ නිරෝෂා ලියනගේ, (2008). තෙවන ලොව නාගරීකරණය, විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල.
මානවඩු, ලසන්ත, සහ නිරෝෂා ලියනගේ, (2008). තෙවන ලොව නාගරීකරණය, විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල.
ශ්‍රී ලංකා මහ බැංකුව, (2013). ශ්‍රී ලංකා මහබැංකුව වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.
ශකූර්, ඉන්ද්‍රාණි මල්ලිකා, (2005). නාගරීකරණය සහ මානව සෞඛ්‍ය ගැටලු, ආරිය ප්‍රකාශකයෝ, වරකපොළ.
සිරිසේන, ඩබ්ලිව්. එම්., (1994). “නවීකරණය සහ සංවර්ධනය වන සමාජ”, සමාජ විමසුම අංක 09,
සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
සිල්වා, ඉන්ද්‍රලාල් ද, (2004). ජනගහන අධ්‍යයනය, කර්තෘ ප්‍රකාශන.
සිල්වා, කාලිංග ටියුඩර්, (1992). “නාගරික දුගී ජනයා සහ ලංකාවේ ජනවාර්ගික ප්රශ්නය”, සමාජ විමසුම අංක 08, සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
හඳරාගම, සමන්., සහ රස්නායක, සුසන්ත., (2011). සංවර්ධන සමාජවිද්‍යාව, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල.
සිල්වා, කාලිංග ටියුඩර්, (1992). “නාගරික දුගී ජනයා සහ ලංකාවේ ජනවාර්ගික ප්රශ්නය”, සමාජ විමසුම අංක 08, සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
වෙබ් අඩවි
www.acesl.org/.../tp_Lakshman%20Jayasekera%20and%20Veranjan%20Kurukulas
townplanninginsrilanka.blogspot.com
http://townplanninginsrilanka.blogspot.com/2011/12/town-planning-history.html
කර්තෘ: එම්. ටි. එන්. තිලකරත්න
සමාජ විද්‍යා අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය