15 December, 2016

කාර්මීකරණ පසුබිම හා සංවර්ධනය

ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය බලයට පත් වු සෑම රජයක් තුළම පවතින දේශපාලන පක්ෂවල ආර්ථික මතවාද හා සමකාලීනව පැවැතියා වු ජාත්‍යන්තර පරිසරය සමඟ දෝලනය වන්නට වීය. එය ආවෘත හා විවෘත වෙළඳ ප්‍රතිපත්ති යටතේ පුළුල් රාජ්‍ය මැදිහත්වීම සහ නිදහස් වෙළඳ ප්‍රතිපත්තීන් ලෙස ක්‍රියාත්මක වු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියෙහි බලගැන්වෙන ප්‍රබල උපකරණයක් සහ උපාය මාර්ගයක් ලෙස හඳුනාගත හැකිවේ. ශ්‍රී ලංකාව තුළ බල පවත්වමින් තිබෙන ප්‍රාදේශීය අසමානතා පිළිබඳ ගැටළුව දැඩි සංවර්ධන අභියෝගයක් ලෙස අවකාශීයව ව්‍යාප්ත පැවැති අවධියක එයට ප්‍රබල විසඳුමක් ලෙස “කර්මාන්ත විකේන්ද්‍රණය” හඳුනාගනු ලැබුයේ මෙකී පදනම තුළිනි. රටෙහි ආර්ථික කේන්ද්‍රස්ථානයන් සහ ප්‍රාදේශීය මට්ටම් අතර පවතින දැඩි විෂමතාවය දුරලීම මෙහි මුඛ්‍ය අරමුණු වු අතර ඒ සඳහා විවිධාංගීකරණයකින් යුක්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට වීය.
 

වර්ෂ 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය මුල් කාලීන මෙරට පැවැති දේශපාලනික මතවාදයට ප්‍රතිවිරුද්ධව ගමන් කරමින් ලංකාව තුළ පු`ළුල් කාර්මික සංවර්ධනයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එය මෙම ක්‍රියාදාමයෙහි හැරවුම් ලක්ෂය ලෙස හඳුනාගත හැකිවේ. එනම්, යථාර්ථවාදීව ක්‍රියාත්මක කළ හැකි විකල්පයක් නොමැති එකම සංවර්ධන විසඳුම “නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය”  ලෙස හඳුනාගැනීමයි. වර්තමානය වනවිට ද යථාර්ථයක් ලෙස එහි ක්‍රියාකාරීත්වය හඳුනාගත හැකිය.
 

1977 ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ සිදුකළ දැඩි කාර්මික ප්‍රතිපත්තිමය වෙනස යටතේ අපනයන වෙළඳපොළ කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ අතර එහිදී පුද්ගලික අංශයට ප්‍රමුඛස්ථානයක් ලබාදීමට කටයුතු කරනු ලැබීය. එහිදී පරිපාලනමය ගැටලු හා ප්‍රමාදවීම් මඟ හරවා විදේශීය ආයෝජන දිරි ගැන්වීමක් මෙහිදී සිදුකළ අතර මෙහි ප්‍රධාන අරමුණ වුයේ විවෘත ආර්ථිකය පදනම් කොටගත් කාර්මීකරණයක් තුළින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබාගැනීමයි. රාජ්‍ය ඒකාධිකාරිය අඩු කරමින් එම අවස්ථාවන් පුද්ගලික අංශයට සලසාදීමට කටයුතු කිරීම තුළින් දේශීය කර්මාන්තශාලාවල තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා බදු ආරක්ෂා අනුක්‍රමණයන් අඩු කිරීමක් ද සිදුකරන ලදී. එසේම රජය විසින් “1978 දී මහ කොළඹ ආර්ථික කොමිසම” පිහිටුවීමට කටයුතු කළ අතර ඒ ඔස්සේ කාර්මික ජනපදයන් බිහිකොට කර්මාන්ත ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබීය. එය 1992 දී ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යවසාය තත්ත්වයන් දිවයින පුරා පිහිටුවීමේ බලතල සහිතව “ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය” වශයෙන් ප්‍රතිව්‍යුහගත කරන ලදී.
 

මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ 1978 දී ප්‍රථම අපනයන සැකසුම් කලාපය කටුනායක, බියගම සහ කොග්ගල යන ප්‍රදේශවල ස්ථාපිත කරනු ලැබීය. රජය ලබාදුන් සහන පැකේජය ඔස්සේ කාර්මික අංශයෙහි ක්‍රියාකාරීත්වය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීම රජය අපේක්ෂා කළ අතර 1980 දී එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ පැවැති කර්මාන්ත පෞද්ගලීකරණය කිරීමක් ද, එසේම 1990 සිට කර්මාන්ත ස්ථානගත කිරීම සහ විමධ්‍යගත කිරීම සඳහා ද රජය විසින් විශේෂ අවධානයක් යොමු කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය අසමානතාවය, ආර්ථික අසමානතාවය රටෙහි අපේක්ෂිත සංවර්ධනය කරා ළඟාවීමට බාධාවක් ලෙස හඳුනාගැනීම මෙයට හේතුව වීය. දුෂ්කර ප්‍රදේශයන්හි ආයෝජනය කරන්නවුන් සඳහා විශේෂ දිරිගැන්වීම් මේ යටතේ ලබාදීමට රජය කටයුතු කළ අතර ඇඟලුම් කම්හල් 200ක වැඩපිළිවෙළ හා කර්මාන්තපුර/උද්‍යාන වැනි වැඩපිළිවෙළවල් ආදිය මේ සඳහා රජය ගත් ප්‍රධාන ප්‍රතිපත්තීන් ලෙස හඳුනාගත හැකිය.
 

1994දී බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තුළද මුල් කාලීනමය කාර්මික ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමක් දක්නට ලැබුණු අතර එහිදී අපනයනය පෙරදැරි කරගත් කාර්මීකරණ ප්‍රතිපත්තිය ඉදිරියට පවත්වාගෙන යමින් එම කර්මාන්තවල තාක්ෂණය සහ ඵලදායිතාවය වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ලැබිණි. විදේශීය ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳව මෙහිදී රජය තම අවධානය යොමු කරනු ලැබු අතර පුද්ගලික අංශයේ මැදිහත්වීම සහිත අපනයනය පෙරදැරි කරගත් කර්මාන්තවලට ප්‍රමුඛතාවයක් ලබාදෙන කාර්මික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් 1995 දී ප්‍රකාශයට පත් කරනු ලැබිණි. 
 

1996දී  “ඵලදායිතාවය සහ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා උසස් තාක්ෂණය උපයෝගී කරගත්නා ආයෝජකයින්ට ආකර්ෂණීය බඳු සහන ආනයන, බඳු සහන සහිත දිරිගැන්වීම් මාලාවක් රජය විසින් අය-වැය මඟින් ප්‍රකාශයට පත් කරනුයේ ද මෙය හේතු කොටගෙනයි.” (නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, 1998.) මෙම දිරිගැන්වීම මුල් කාලයේ මහා පරිමාණයේ කර්මාන්තකරුවන්ට සීමා වුව ද, පසු කාලීනව මධ්‍යම හා කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන්ට ලබාදීමට කටයුතු කරනු ලැබීය. “කෙසේ වෙතත් අපනයන ප්‍රවර්ධන කලාප තුනකින් ආරම්භ වු එම නිෂ්පාදන ක්‍රමෝපාය තවදුරටත් ප්‍රවර්ධනයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ නියෝජනය වන පරිදි එම කලාප සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීම අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, වතුපිටිවල හා මල්වත්ත යන ස්ථානවල හා කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ද, නව කලාප පිහිටුවීම ආදිය (සරත්, 2008, 234 පිටුව.) පිළිබඳව අඳහස් දක්වා ඇත.” මෙලෙස ඉදි කරන ලද කාර්මික කලාපයන් සමස්ත සමාජයේ ආර්ථික සංවර්ධන ක්‍රමෝපායක් වශයෙන්, මෙන්ම ආර්ථික ලිහිල්කරණ ක්‍රියාවලියේ තුළ ද, ප්‍රමුඛ ලෙස ස්ථාපිත වු ඒවා වශයෙන් හඳුනාගනු ලැබු අතර මේවායේ සාර්ථකත්වය කොතෙක් දුරට බලපැවැත්වී ඇද්දැයි සාකච්ඡා කිරීම වර්තමානයේ දැඩි අවශ්‍යතාවයක් වශයෙන් හඳුනාගත හැකිය. මාගේ ස්වාධීන නිබන්ධනය තුළින් සීතාවක කාර්මික ජනපදය නිසාවෙන් ඒ අවට ප්‍රදේශය තුළ ප්‍රාදේශීය සංවර්ධනය කොතෙක් දුරට සිදුවී ඇද්දැයි යන්නට පූර්ණ අවධානයක් යොමු කරනු ලබන අතර සමස්ත කාර්මික ජනපදයන් පිළිබඳවම අවධානයක් යොමු කිරීමට අරමුණු නොවේ.
 
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:
 
වික්‍රමසිංහ, වයි.එම්. (2009). සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම හා සැළසුම් කිරීම, කතෘ ප්‍රකාශනයකි. සිරපුර ප්‍රින්ටර්ස්, 174 , රජමහා විහාරය පාර, කෝට්ටේ.
 
සෙනවිරත්න, ඉන්ද්‍රජිත්. (2000). 21 වන සියවසයේ ශ්‍රී ලංකාව හා සංවර්ධනය, සෙවන් ග්‍රැෆෝස්, නො 845/12,  දොඩම්ගහහේන, ගොතටුව.
 
සඟරා හා ලේඛන:
 
ශ්‍රී ලංකා ආර්ථිකය නිර්බාධීකරණය හා සංවර්ධනය, ඕ.ජී. දයාරත්න-බණ්ඩා, ජේ.එම්. ආනන්ද ජයවික්‍රම, අනෝමා අභයරත්න. එම්.බී. රණතිලක (සංස්.), (2008). පාත්ෆයින්ඩර් පදනමේ ප්‍රකාශනයකි.
 
නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය,  (1998). ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.
පස් අවුරුදු සැලැස්ම 1972-1976, (1971).  ලංකාවේ ක්‍රම සම්පාදන හා රැකී රක්ෂා අමාත්‍යාංශය.
 
සමාජ විමසුම: අංක 01, ශාන්ති නන්දන විජේසිංහ, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.        

කර්මාන්ත ස්ථානගතවීමේ සාධක

ලෝකයෙහි ව්‍යාප්තව පවතින නිෂ්පාදන කර්මාන්ත හා එහි අවකාශීය ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කර්මාන්ත ස්ථානගතවීමේ සාධකවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. නිෂ්පාදන කාර්මික අංශයේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස සලකනු ලබන කර්මික විප්ලවය තුළින් කර්මාන්ත ස්ථානගතවීමේ සාධකයන්ට නැවුම් මුහුණුවරක් හිමි වුව ද, ඊට පෙර යුගයන්හිදී සම්ප්‍රධායික කර්මාන්ත ස්ථානගතවීම සිදුවුයේ යම් පොදුවු ලක්ෂණ කිහිපයකටම සිමාවීමෙනි. එකී පොදු  ලක්ෂණයන් “ කර්මාන්ත ස්ථානගතවීමේ සාම්ප්‍රධායික සාධක” ලෙස නිර්වචනය කරනු ලබන අතර එම සාධකයන් පහතින් පෙළ ගස්වා ඇත. නිෂ්පාදන කර්මාන්ත ස්ථාපිතවීමේ මුල් අවදිය තුළ මෙම සාධකයන්ට මුලීකත්වය දෙමින් කර්මාන්ත ස්ථානගත කිරීම සිදුකළ ද  17 වන සියවස වනවිට එය නව ප්‍රවේශයකට යොමු වු බවක් පෙනේ. මීට සාපේක්ෂව ශ්‍රී  ලංකාවේ කාර්මීකරණය තුළ ද කාර්මික නිෂ්පාදන සාධකයන්ගේ බලපෑම කාලීනව වෙනස්වෙමින් එහි අවකාශීය රටාව වෙනස් කිරීමට පදනම සකස් කර ඇති බවක් පෙනේ.
 
01. බල ශක්තිය.
02. අමු ද්‍රව්‍ය.
03. කාර්මිකයෝ (ශ්‍රමිකයෝ).
04. පරිවහනය.
05. වෙළෙදපොළ සමීපයේ පිහිටා තිබීම.
06. අනෙකුත් සාධක.
 

ලෝකය තුළ ස්ථානගතව ඇති කාර්මික ප්‍රදේශ භූගෝලීය හේතු නිසාම ඇති නොවුණ බව මෙහිදී අප විසින් වටහා ගතයුතු කරුණකි. එනම්, ඇතැම් කර්මික ප්‍රදේශ ඓතිහාසික කරුණු පදනම් කර ගනිමින් ද, සමාජ සිරිත් විරිත් හා බැදී පැවතීම මඟින් ද නිර්මාණය වීම ඊට හේතු සාධකවේ. මෙම කරුණු සමස්තය කැටිකොට ගත්කල්හි කාර්මික ප්‍රදේශ ඇතිවීම සඳහා ස්වාභාවික හා ආර්ථික කරුණු යන සාධකයන් ද්විත්වයෙහිම බලපෑම සෘජුව හා වක්‍රව ලැබී ඇති බැව් පෙනේ. එම නිසාවෙන් සම්ප්‍රධායික කර්මාන්ත  ස්ථානගතවීමේ ක්‍රියාවලියෙහිලා බල පැවැත්වුණු සාධක අධ්‍යයනය කිරීම වැදගත් කොට සැලකිය හැකිය. ඒ තුළින් මුල් කාලීන කර්මාන්තයන් ස්ථානගතවීම සඳහා බලපැවැත්වුණු එනම්, කර්මාන්ත ඇද ගැනීමට බලපෑම් කළ සාධකයන් කර්මාන්ත ස්ථානගතවීමේ අවකාශීය රටාව නිර්මාණය කිරිමට පදනම සැපයීය. ශ්‍රී ලංකාවේ මුල් කාලීන කාර්මීකරණය තුළින් මෙය පැහැදිලිව අවබෝධ කරගත හැකිවන අතර පුර්ව යටත් විජිත යුගයේ පැවැති සාම්ප්‍රධායික කර්මාන්තයන් මෙයට නිදර්ශන වේ.
 

නිෂ්පාදන කර්මාන්ත සඳහා යොදාගනු ලබන යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන මධ්‍යස්ථානයක් වෙත හෝ ඒ ආසන්න ප්‍රදේශවලට කර්මික මධ්‍යස්ථාන ඒකරාශීවීමක් සිදුවේ. මෙහිදී කාර්මික නිෂ්පාදනයන් එයට යොදා ගනු ලබන බලයත් අතර සම්බන්ධයක් පවතින අතර නිෂ්පාදන කාර්යයන් සඳහා අවශ්‍ය යෝග්‍යයතම බලශක්ති ප්‍රභේදයට සමීපව නිෂ්පාදන කර්මාන්ත ස්ථානගතවීම මුල් වකවානුව තුළ සිදුවිය. ගල් අගුරු තුළින් ලබා ගන්නා බල ශක්තිය ඇතැම් කර්මාන්ත සඳහා යෝග්‍ය වන අතර එය නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමේ මාධ්‍යයක්වීම හේතුකොට ගෙන ද නිෂ්පාදන කර්මාන්ත බල ශක්ති මුලයට ඇඳ ගැනීමක් මුල් කාලීනව සිදුවිය. බි්‍රතාන්‍යයේ යකඩ හා වානේ කර්මාන්තය ස්ථානගතවීම මෙයට කදිම නිදර්ශකයකි. එසේම ශ්‍රී ලංකාවේ කාර්මික ජනපදයන් පිහිටුමේදී හා සැලසුම් කිරීමේදී බල ශක්තිය පිළිබඳව පූර්ණ අවදානයකින් යුතුව කටයුතු කළ බවක් අතීතයේ කාර්මික ජනපද ස්ථානගත කිරීමේ අත්දැකීම් තුළින් අපට මනාව පැහැදිලි වේ.
 

නිෂ්පාදන කර්මාන්තයන් විසින් නිපදවනු ලබන භාණ්ඩයක් අලෙවියේදී උපරිම ලාභාංශයක් ලබාගැනීමේ සංකල්පය පදනම් කරගනිමින් බොහෝවිට ඇතැම් කර්මාන්තයන් අමුද්‍රව්‍ය මූලයන් වෙතට ඇඳී ගියහ. එයට හේතුවුයේ අවම යෙදවුම් පිරිවැයක් යටතේ කර්මාන්තය කිරීම සඳහා ප්‍රශස්ත පිහිටීම අමුද්‍රව්‍ය මත පැවැතීමයි. ඉවත් කරනු ලබන දැ හැරදමා අත්‍යවශ්‍ය කොටස් පමණක් වෙළෙඳපොළ වෙත සපයන කර්මාන්තයන් මේ ඝනයේ ඒවාසේ සැලකේ. මස් කර්මාන්තයේ මුල් අවධිය තුළ මෙවැනි සිදුවීම් දක්නට ලැබුණේ ආර්ජන්ටිනාව, ඕස්ත්‍රේලියාව සහ එක්සත් ජනපදය වැනි රටවල් තුළිනි. එසේම දැව කර්මාන්තය තුළදී අවශ්‍ය දැවදඩු කපා ඉවත් කොට අවශ්‍ය දැව කඳන් පමණක් හෝ ඒ ආශ්‍රිත නිෂ්පාදිත භාණ්ඩ වෙළෙඳපොළට යොමු කරනු ලබයි. එහිදී දැව කර්මාන්තය බොහෝවිට අමුද්‍රව්‍ය මූලය වෙතට ඇදීයාමක් දක්නට ලැබේ. මෙයට තරමක් වෙනස්වු ක්‍රියාවලියකින් යුක්තවන “පට කර්මාන්තයද” අමුද්‍රව්‍ය මූලය හා ලාභාංශයන් වර්ධනය කරගැනීමට කටයුතු කර ඇත. එනම්, අමුද්‍රව්‍ය පහසුවෙන් චලනය කළ හැකිවීම නිසා කර්මාන්තයන් අවකාශයෙහි ඉතා දුරින් පිහිටියද එය ස්ථානගතවීම සඳහා බලපැවැත්වී ඇත්තේ අමුද්‍රව්‍ය යන සාධකය වේ. අමු ද්‍රව්‍ය පහසුව මත ශ්‍රී ලංකාවේ ස්ථානගත වු මුල් කාලීන කර්මාන්තයන් රාශියක් දක්නට ලැබෙන අතර මහා පරිමාණික වශයෙන් ක්‍රියාත්මක කළ සිමෙන්ති, ඛණිජ වැලි, කඩදාසි වැනි කර්මාන්තයන් මෙයට නිදර්ශන වේ.
 

අතීත කාර්මීකරණය තුළ කාර්මිකයෝ වැදගත් සාධකයක් ලෙස හඳුනාගනු ලැබුව ද, නවීන කාර්මීකරණය තුළ එය එතරම් පිළිගැනීමකට ලක්නොවේ. මුල් කාලීන කර්මාන්තකරණයෙහි නියතු, එසේම සියුම් ලෙස යන්ත්‍ර සූත්‍ර මෙහෙයවිය හැකි කාර්මිකයන් කර්මාන්තයේ දියුණුව සඳහා කටයුතු කළ ද, වර්තමානය වනවිට කර්මාන්තයන් හැඩ ගැසනුයේ එම ක්‍රියාවලින් පහසු ලෙස සිදුකිරීමට හැකිවන පරිදිය. එම නිසා කාර්මිකයන්ගේ දක්ෂතා මත කර්මාන්ත ස්ථානගතවීම නවීන ලෝකය තුළ ප්‍රතික්ෂේප වෙමින් පවතිනබවක් දක්නට ලැබුණ ද තවමත් ඇතැම් කර්මාන්ත දක්ෂ කාර්මිකයන් මත තීරණය වන අයුරු ද දැකගත හැකිවේ. Bufori Motor Car සමාගම මෙයට කදිම නිදර්ශනයකි. විශේෂ ප්‍රාගුණ්‍ය සහිත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කළ අතර ඔවුන්ගේ අවකාශීය ව්‍යාප්තිය මත කර්මාන්ත ස්ථානගත වීමක් ශ්‍රී ලංකාව තුළ සිදු වු බව කාර්මික ජනපද වැඩසටහන් තුළින් පෙනීයයි.
 

ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කොටගෙන හෝ ප්‍රදේශයක වුවමනාවක් පිරිමැසීමට පමණක් යම් කර්මාන්තයක් ස්ථානගත කරනු ලබයි ද? එහිදී පරිවහනය යන්නාවු කර්මාන්ත ස්ථානගතවීමේ සාධකය වැදගත් නොවේ. නමුත් වර්තමානයේදී කාර්මික සිතියම් අධ්‍යයනය කිරීම තුළින් වෙළෙඳපොළ හා කර්මාන්ත අතර පවතින අවකාශීය දුර පිළිබඳ අවධානය ලක්කොට ඇත. එයට හේතුව වන්නේ කර්මාන්තවලට සාපේක්ෂව බොහෝ වෙළෙඳපොළවල් ඉතා දුරින් පිහිටා තිබීමයි. මෙය පදනම් කරගනිමින් නිමි ද්‍රව්‍ය සහ යෙදවුම් ද්‍රව්‍ය පරිවහනය කළහැකි මංමාවත් පිහිටියාවු සහ පහසුවෙන් මාර්ග (දුම්රිය හා මහා මාර්ග) තැනිය හැකි ප්‍රදේශවල අනෙකුත් කරුණු අතින් සුදුසුකම් පැවැතීම හේතු කොටගෙන කාර්මික ප්‍රදේශ නිර්මාණය කරනු ලබයි. මෙහිදී ප්‍රවාහන වියදම පිළිබඳ සැලකිල්ලක් දක්වමින් ප්‍රවාහනය ලාභදායි ලෙස කරගත හැකි කරුණු පිළිබඳ අවධානය යොමු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්ගෙන් අති විශාල ප්‍රමාණයක් බස්නාහිර පලාත තුළට කේන්ද්‍රස්ථාන වී ඇති අතර ඒ සඳහා ප්‍රවාහන සාධකය මඟින් ලැබි ඇත්තේ ප්‍රබල බලපෑමකි. උපරිම ලාභාංශයන් ලබා ගැනීම ප්‍රමුඛ අරමුණ වීම එයට හේතුවේ.   
 

කර්මාන්තයක් ස්ථානගතවීම ඉහත දැක්වු කරුණු මත සිදු වු විටකදී වැදගත් වන තවත් කරුණක් ලෙස “වෙළෙඳ පොළට ළඟින් පිහිටීම” යන්න පෙන්වා දිය හැකිය. මින් අඳහස් වනුයේ නිෂ්පාදිත භාණ්ඩයක් අලෙවිය සඳහා පවත්නා වෙළෙඳපොළ සමීපයෙහි කර්මාන්ත පිහිටුවීම වැදගත් වන බවකි. වෙළෙඳපොළ සමීපයෙහි කර්මාන්ත ස්ථානගත කිරීම නිසා, ප්‍රවාහන ගාස්තු අවමවීම, වෙළෙඳපොළ වුවමනා හඳුනාගැනීම සහ එයට ආදේශන භාණ්ඩ නිපදවීම ආදී විචල්‍යතාවයන් සිදුකිරීමට හැකිවේ. කපු කර්මාන්තය අසල ආශ්‍රිතව රෙදි වියනු ලබන යන්ත්‍ර නිපදවන ශාලා පිහිටුවීම මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සපත්තු කර්මාන්තයන් ආශ්‍රිතව සපත්තු නිර්මාණය කරනු ලබන කර්මාන්ත තිබෙන ආකාරය අනුව මෙය හඳුනාගත හැකිවේ. ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්ගෙන් ද බොහෝමයක් වෙළෙඳපොළ ආශ්‍රිතවම ස්ථානගත වී ඇත්තේ මෙකී සාධකයේ ඇති බලපෑම මතය. උදාහරණයක් වශයෙන් බියගම කටුනායක ආදී වු කාර්මික කලාපයන් තුළ ස්ථානගත වී පවතින දේශීය කර්මාන්තයන් පෙන්වාදිය හැකිවේ.
 

ඉහත දැක්වු සාධකයන් කිහිපයක් හෝ සියල්ලගේම බලපෑම මත කර්මාන්තයක් ස්ථානගතවීමක් දක්නට ලැබුණ ද, ඒ සඳහා බලපෑම් කරනු ලබන තවත් සාධක පවතී. ඒවා ‘අනෙකුත් සාධක’ වශයෙන් අර්ථකථනය කළ හැකිවේ. එහිදි කර්මාන්තයක් පිහිටුවීම සඳහා මූලීක වශයෙන්ම වුවමනා කරන මුල් මුදල සපයා ගැනීම මෙහිදී ප්‍රමුඛ වශයෙන් අවධානයට ලක්වේ. එමෙන්ම කර්මාන්තයක් යම් ප්‍රදේශයක් තුළ ස්ථානගත වීමට පෙර එහි පවතින භූවිෂමතාවය, දේශගුණය ආදි වු සාධකයන් පිළිබඳවද අවධානය ලක්කළ යුතුය. එසේම පුද්ගලික අභිරුචියන්, වෙළෙඳපොළ උපක්‍රම, යැපුම් කර්මාන්තයන් ආදිය පිළිබඳව ද අවධානය යොමු කිරීම කර්මාන්ත ස්ථානගතනීමේ ක්‍රියාවලිය තුළදී වැදගත්වන අනෙකුත් සාධකයන් ගනයට අයත්වේ. මේ ආකාරයට ස්ථානගත වන කර්මාන්ත අද ලෝකය තුළ කාර්මික සිතියම අභියෝගයකට පත් කරමින් අවකාශය තුළ පුළුල් ලෙස ව්‍යාප්ත වී යන ගමන් මඟක් නිර්මාණය කරනු බව පෙනේ.     
 

ගෝලීය නිෂ්පාදන කර්මාන්තයන්හි අවකාශීය ව්‍යාප්තීය රටාවන් ඇතිවීමේහිලා මුල් කාලීනව සම්ප්‍රදායික කර්මික නිෂ්පාදන සාධක බලපැවැත්වුණු අතර පසු කාලීනව එම සාධකයන්ගේ විවිධත්වයක් ඇතිවිය. කර්මාන්ත ස්ථානගතවීම සඳහා පදනම් වු සාධක කෙරෙහි කර්මාන්තයන්ගේ ඈදීම සිදුවු  ආකාරය ඉහතින් සඳහන් කළ ආකාරයට සිදු වුව ද, පසු කාලීනව කර්මාන්ත ස්ථානගතවීම සඳහා එම සාධකයන් එකසේ බලපෑම් එල්ල නොකල අතර ඉන් ප්‍රමුඛ සාධකයක් හෝ සාධක කිහිපයක් පමණක් වැදගත් වු බව පෙනේ. කාර්මික විප්ලවයෙන් පසුව කාර්මික ක්ෂේත්‍රය සිඝ්‍රයෙන් වර්ධනය වු අතර එය යටත් විජිතකරණය හරහා ලෝකයට විවෘත වන්නට විය. අධිරාජ්‍යවාදි පාලනය යටතේ ක්‍රියාත්මක වු එවක ගෝලීය ආර්ථිකය 1වන හා 2වන ලෝක සංග්‍රමය සමඟ වෙනත් මඟකට යොමු විය. එනම්, මුල් කාලීනව රටවල් කිහිපයකට සීමාවු කාර්මික වර්ධනය හා එහි ප්‍රතිඵල භුක්තිය ජාතික රාජය සංකල්පය යටතේ සියලුම ස්වාධීන රාජ්‍ය කරා ගමන් කෙරුණි. 1928-1929දී ඇතිවු ලෝක ආර්ථික අර්බුදය තුළින් ද මෙයට අවශ්‍ය තිරණාත්මක පසුබිම නිර්මාණය කිරීමට දායකත්වවය සැපයිණි.
 

1950 දශකයෙන් පසු ගෝලීය කාර්මික ප්‍රදේශ සිතියම සාම්ප්‍රධායික කාර්මික සිතියම තුළින් වෙනස් වන්නට විය. සාම්ප්‍රධායික ස්ථානයන්හි ස්ථානගත වු කාර්මික ප්‍රදේශයන් වෙනුවට නව කාර්මික ඒ තුළට එක්වන්නට වු අතර විශාල පරිමාණයේ ව්‍යාපාර සමාගම් (බහු ජාතික) කාර්මික ක්ෂේත්‍රයට එකතුවීම ඊට හේතු වුහ. මෙකී කාර්මික නිෂ්පාදන සමාගම් ජාතික මට්ටමේ සිට ගෝලීය පරිමාණය දක්වා පුළුල් පරාසයක් හා විවිධාංගීකරණයක් යටතේ ව්‍යාප්ත වන්නට වු අතර මෙම සමාගම් තුළින් ගනු ලැබු කළමණාකාර තීරණ හා උපක්‍රමික මෙහෙයුම් වර්තමානය වනවිට කර්මාන්ත ස්ථානගත වීමෙහිලා ප්‍රබල දායකත්වයක් සපයා ඇති බැව් පෙනේ.
 

මෙම සාධකයන්ගේ බලපෑම මත භූගෝලීය අවකාශයෙහි විවිධ ස්ථානයන්හි නිෂ්පාදන කර්මාන්තශාලා ස්ථානගතවීම සිදු වු අතර එය නිෂ්පාදන කර්මාන්තයන්හි අවකාශීය රටාවන් අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම නිර්මාණය කරනු ලැබීය. කෙසේ වෙතත් වර්තමාන ගෝලීය ආර්ථික ක්‍රියාදාමය තුළ නිෂ්පාදන කර්මාන්තයක් ස්ථානගතවීමේදී කර්මාන්ත ස්ථානගතවීමේ සාධක කරා නිපැයුම් කර්මාන්ත ඇඳීම් සම්භාවිතාවය ඉතාම අවම මට්ටමක පවති. එනම්, සම්ප්‍රධායික කර්මාන්ත ස්ථානගතවීමේ තීරණාත්මක සාධක අභිබවා වර්තමාන කාර්මික ප්‍රදේශ ස්ථානගතවීමේ තීරණාත්මක සාධක වර්ධනය වීමක් ද, එක් සාධකයක් හෝ සාධක කිහිපයකගේ බලපෑම මත කර්මාන්ත ඒ දෙසට ඇදීමක් සිදුනොවන බව වර්තමාන කාර්මික ප්‍රදේශ ස්ථානගතවීමේ ක්‍රියාවලිය තුළින්  හඳුනාගත හැකිය. එසේම කර්මාන්තයක් ස්ථානගතවීම සඳහා අවශ්‍ය සාධක හෙවත් ස්ථානගතවීමේ තිරණාත්මක සාධක පිළිබඳව යම් හෝ අවබෝධයක් ලබාගැනීම මෙහිදී වැදගත් කොට සැලකිය හැකිය. වර්තමානයේ කර්මාන්ත ස්ථානගතවීමේදී සාම්ප්‍රධායික නිපයුම් සාධක අතරට වර්තමානය වනවිට නව්‍යකරණයට ලක් වු නිමයුම් සාධකයන් ද එක් වී ඇත.
 

කර්මාන්තයක් ස්ථානගතවීමේදී ඒ සඳහා බලපෑම් කරනු ලබන සාම්ප්‍රධායික ස්ථානගතවීමේ සාධකයන්ට අමතරව වර්තමානයේදි ඒ සඳහා බලපෑම් කරනු ලබන නව්‍ය සාධකයන් විමර්ශනයට ලක්කිරීම ද වැදගත්වේ. ඒ මඟින් කර්මාන්තයක් ස්ථානගතවීම සඳහා එම සාධකයන් තුළින් එල්ල වන්නා වු බලපෑම හා වැදගත්කම පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය.
 

කර්මාන්ත ස්ථානගතමේ ක්‍රියාවලියෙහිලා ඉහත විග්‍රහ කළ සාධකයන්ගේ බලපෑම සෘජුව හා වක්‍රව බලපැවැත්වෙනු ලැබුව ද එම රටවල්හි පවතින සමාජයීය හා ආර්ථිකමය පසුබිම තුළින් එයට බලපෑමක් එල්ලවනු ඇත. සංවර්ධිත යැයි හඳුනාගනු ලබන රටවල් කාණ්ඩයේ කර්මාන්ත ස්ථානගතවීමේ ක්‍රියාවලිය සඳහා කර්මාන්ත ස්ථානගතමේ සාධකයන් තුළින් එල්ලවන බලපෑම වෙත ඇදීමක් සිදුනොවුව ද, සංවර්ධනය වෙමින් පවතින රටවල කර්මාන්ත ස්ථානගතවීම සඳහා එහි බලපෑම ප්‍රබලවම දක්නට ලැබේ. එසේ වුව ද එහි බලපෑම යම් ආවේණික සාධක කිහිපයක් වටා ඒකරාශි වු ආකාරයක් පැහැදිලිවම හඳුනාගත හැකිය.
 

කර්මාන්තයක් ස්ථානගත කිරීමේදී ආයෝජකයා මූලික වශයෙන් ඉන් උපරිම ලාභ ලැබීමක් අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා කර්මාන්ත ස්ථානගතවීමේ පිරික්සුම් බොහෝ සාධකයන් පදනම් කරගනිමින් අධ්‍යයනය කොට කර්මාන්ත පිහිටුවීමට උචිතම ස්ථානය තෝරාගැනීමට කටුයතු කරනු ලබයි. මෙකී ක්‍රියාවලිය බොහෝවිට කර්මාන්තයේ ස්වභාවය, පරිමාණය හා ආයෝජන පරිමාව ආදි සාධකයන් මත තීරණයවීමක් දක්නට ලැබුණ ද එහි සීමාව විශාල පරිමාණයේ කර්මාන්තයන්ට පමණක් හිමිවිය. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් එවැනි අවධානමක් දැරීම තුළින් නිර්මාණය වන අලාභදායි තතත්ත්වය නිසාවෙන් තම කර්මාන්තයන් සුපුරුදු ස්ථානයන් තුළම ස්ථානගත කිරීමට පෙළඹවීමක් සිදුකරනු ලබයි. මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන්ට වඩා සුළු පරිමාණයේ කර්මාන්තයන් තුළ මෙම ලක්ෂණය වඩා සක්‍රීය මට්ටමකින් සිදුවීමක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යාප්තිය අධ්‍යයනය කිරීම මෙයට නිදර්ශනයකි. ව්‍යවසායක රුචිය, ප්‍රධාන මෙන්ම උප නාගරික කලාප හා නිදහස් වෙළෙඳ කලාප ආදිය තුළ කර්මාන්ත ස්ථානගතවීම තුළින් එය පැහැදිලි වනු ඇත.
 

ඉහතින් දැක්වු ක්‍රියාවලිය පරිදි කර්මාන්තයක් ස්ථානගත කිරීමේදී සුදුසුම ස්ථානය තෝරාගැනීම තුළින් අවම යෙදවුම් පැකෙජයක් භාවිතා කරනු ලබන අතර කර්මාන්තකරුවාට ඉන් උපරිම ලාභාංශයක් කරා ළඟාවීමට හැකියාවක් නිර්මාණය වනු ඇත. මෙහිදී ස්ථානගතවීම හා සම්බන්ධවන සාධක සංඛ්‍යාත්මක වශයෙන් ඇගයීමකට බඳුන් කරනු ලබන අතර ඉන් සුදුසුතම ස්ථානය පිළිබඳව පූර්ව අවබෝධයක් ලබාගැනීමට කර්මාන්තකරුවාට  හැකියාවක් ලැබෙනු ඇත. ස්ථානගතවීමේ සාධකයන් බොහෝමයක් සංඛ්‍යාත්මකව ඇගයීමකට බඳුන් කළ ද නමුදු ස්ථානගතවීමේ ඇතැම් සාධකයන් එසේ සිදුකිරීමට නොහැකි තත්ත්වයක පවතී. යොදාගනු ලබන භෞතික ක්‍රියාවලිය හෝ විශ්ලේෂණාත්මක ක්‍රමවේද මත පදනම්වීමක් දක්නට ලැබේ.
 

එවැනි ඇගයීම් ස්ථානගතවීමේ විශ්ලේෂණය (Locational Analysis) මඟින් සිදුකරනු ලබන අතර ඒ ඔස්සේ ගමන් කරන වොර්ඞ්රෙප් (1985) කර්මාන්තයක් පිහිටුවීමට යෝග්‍ය යෝජිත ස්ථානයේ ශක්‍යතාවය පිළිබඳව අවසන් තීරණය ගැනීම සම්බන්ධව අඳහස් දක්වා ඇත. එහිදී ඒකාබද්ධ වු නිෂ්පාදන ජාලයේ පැවැත්මට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට තෝරාගත් ස්ථානයෙහි යෝග්‍යතාවය, කර්මාන්ත ප්‍රසාරණය, අනෙකුත් කර්මාන්ත සමඟ තරඟ කිරීමට ඇති විභවතාවය, පිහිටි ස්ථානයට එල්ලවන කාලීන බලපෑම්, ස්ථානීය බලපෑම් එල්ල කළහැකි කර්මාන්ත හා කණ්ඩායම් ක්‍රියාකලාපයන් හා පිළිබඳව පූර්ණ අවධානය යොමුකරමින් යෝජිත ස්ථානයන්හි යෝග්‍යතාවය පරීක්ෂණයට බඳුන් කළයුතු බව මොහු පෙන්වාදී ඇත.
 

කර්මාන්ත ස්ථානගතවීමේ ක්‍රියාවලිය තුළදී එම සාධකයන් අධ්‍යයනය කිරීමේ ක්‍රමවේදයන් හා ශිල්පීය ක්‍රම අතරින් අනාගත ප්‍රතිලාභ හා තරඟකාරීත්වය යන්නට අවධානය යොමුකරමින් වර්තමාන කර්මාන්ත ස්ථානගත කරවීමට කටයුතු කොටඇත. ඒ තුළින් නව කර්මාන්ත ස්ථානගතවීම මෙයට පවතින කර්මාන්තයන් ප්‍රසාරණය කිරීම, කර්මාන්තයන් එකිනෙකට ඒකාබද්ධකරණය කිරීමට මෙයම වෙළෙඳපොළ පුළුල් කිරීම ආදියට ද මෙකී ක්‍රියාදාමය හේතුවක් වනු ඇත. එසේම ගෝලීය ආර්ථිකය තුළ සාම්ප්‍රදායික ස්ථානයන්ට සීමාවී පවතින කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් ද අනාගතයේදී තරඟකාරී ආර්ථික රටාවකට යොමුවීම සඳහා මෙවැනි පිරික්සුම් ප්‍රවේශයන් ඔස්සේ සුදුසුතම ස්ථානයක් කර්මාන්ත ස්ථානගත කරවීම සඳහා තෝරාගත යුතුබව හඳුනාගෙන ඇත. එය අනාගතයේ පවතින ගෝලීය ආර්ථිකය තුළ පැහැදිලි සංවර්ධන පදනම් ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන ඇත.
 

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යාප්තිය දෙස අවධානය යොමු කිරීමේදී නාගරික මධ්‍යස්ථාන ඔස්සේ කර්මාන්ත ස්ථානගතවීමක් දක්නට ලැබේ. නගර ප්‍රදේශ තුළට ඒකරාශීවන විවිධ ආර්ථික ක්‍රියාකාරකම්, යටිතල පහසුකම් ආදිය කර්මාන්ත මේ තුළට ඇදගැනීමට හේතු සාධක වී ඇති අතර මෙහි ප්‍රධානතම නගරය හෙවත් අග්‍රගණ්‍ය නගරය තුළත් ඒ අවට කලාපය තුළත් ප්‍රමාණාත්මකව කර්මාන්ත විශාල පමාණයක් ඒකරාශිවීමක් හඳුනාගත හැකිය. සමස්ත යෙදවුම් පිරිවැය අවම කරගනිමින් උපරිම ලාභාංශයක් නිර්මාණය කරගැනීමට මෙම කලාපය වටා පවතින අභ්‍යන්තර හා බාහිර නාගරික වාසිසහගත තත්ත්වයන් හේතුවක්වීම මෙයට ප්‍රධාන ලෙස බලපෑමක් එල්ල කොට ඇත. මේ ආකාරයට නිෂ්පාදන කාර්යය සඳහා යොදාගනු ලබන සමස්ත පිරිවැය අවම කරගැනීම “සමුච්ඡිත ඵලගැන්වීම නැතහොත් ක්‍රමික වැඩිවීම” (Snowball Effort) ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත කේන්ද්‍රකොට ගනිමින් සන්කේන්ද්‍රණය වී ඇති කර්මාන්තයන් තුළින් මෙම තත්ත්වය පැහැදිලිවම හඳුනාගත හැකිවේ. සමස්ත කාර්මික ප්‍රජායෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පලාත කේන්ද්‍රගතවීම සඳහා ඉහත ක්‍රියාවලියෙහි බලපෑම හේතු සාධකවී ඇත. 
 
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:
 
ජයතිලක, නිමල්. (2001). ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා කර්මාන්ත, කතෘ ප්‍රකාශනයකි, සහන පොත් ප්‍රකාශන, කෝපි වත්ත, කඩවත.
 
මනෝදර, නෙල්සන් ඩි. (2013). නිෂ්පාදන කර්මාන්ත ස්ථානගතවීමේ නව ප්‍රවණතා (ආර්ථික භූගෝල විද්‍යා විශ්ලේෂණයකි.), පළමු වෙ`ථම. කතෘ ප්‍රකාශනයකි, 947, පේරාදෙණිය පාර, මහනුවර.
 
සඟරා හා ලේඛන:
 
ආර්ථික විමසුම, (2013 මාර්තු/පෙබරවාරි), වෙළුම 38, මහජන බැංකුවේ ප්‍රකාශනයකි, පර්යේෂණ දෙපාර්තමේන්තුව, මහජන බැංකුව, 75, විත්තම්පලි ඒ. ගාඩිනර් මාවත, කොළඹ 02.
 
කර්මාන්ත, වෙළුම  17, (1989). ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ගාලු පාර, කටුබැද්ද - මොරටුව.
 
ඉංග්‍රීසි සඟරා හා ලේඛන:

Fujita, N., Economic research centre distribution paper, Gunnar Myrdal’s theory of cumulative caution revisited, (2004).


ප්‍රාදේශීය සංවර්ධනය ක්‍රියාවලිය සහ අවිස්සාවේල්ල, සීතාවක කාර්මික ජනපදය

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ආර්ථික හා සමාජයීය අභියෝග ජය ගැනීම හා තිරසාර සංවර්ධනය උදෙසා කර්මාන්ත අංශය මෙන්ම ප්‍රාදේශීය සංවර්ධන අංශය ද සිදු කරනු ලබන මෙහෙය ඉතා වැදගත් වේ. වර්තමාන ලෝකය තුළ වඩා ඵලදායී මෙන්ම තිරසාර අනාගතයක් උදෙසා සංවර්ධනය යන්න අත්‍යවශ්‍ය අංගයක් සේ සලකනුයේ ද මෙකී සංකල්පය පදනම්කොට ගෙනය. ශ්‍රී ලංකාව තුළ පවත්නා ආර්ථික කේන්ද්‍රස්ථානය හා ප්‍රාදේශීය මට්ටම් අතර ඇති විෂමතා දුරලීම පිණිස විවිධ පරිමාණයෙන් යුතුව ප්‍රාදේශීය කර්මාන්ත වැඩසටහන් දියත් කරනු ලබන අතරම ඒ තුළින් පසුගාමී ප්‍රදේශවල ජනයාගේ ජීවන තත්වය නංවාලීම ප්‍රධාන අරමුණ විය. සංවර්ධනයේ මූලික අපේක්‍ෂාව වන පවතින තත්වයට වඩා යහපත් තත්වයක් උදා කර ගැනිමට මෙය ප්‍රබල උපාය මාර්ගයක් වනු  ඇත.

ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් මෙන්ම සංවර්ධන ක්‍රියාවලියට ද අභියෝගයක් වන ප්‍රාදේශීය අසමානතා ගැටලුව, සංවර්ධන ක්‍රියාවලිය තුළදී දැඩි සංවේදීත්වයකට බඳුන් වූ බවක් හඳුනාගත හැකිය. බලයට පත් විවිධ රජයන් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ප්‍රදේශය වන බස්නාහිර පළාත හා අනෙකුත් පර්යන්ත ප්‍රදේශ අතර ඉතා වේගයෙන් සංවර්ධනය වන්නා වූ පරතරය පිරවීම උදෙසා පසුගාමී ප්‍රදේශ ඉලක්ක කොට ගත් සංවර්ධන ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් සිදු කළ ද, එය සාර්ථකත්වයක් ලැබුයේ නැත. නමුදු ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය විෂමතාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලංකාවට සුවිශේෂීත්වයක් හිමි වේ. එනම් ශ්‍රී ලංකාවේ පසුගාමී ප්‍රදේශයන් තුළට සපයන සේවාවන් හා පහසුකම් පවතිනුයේ පහළ මට්ටමක වුව ද අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි තීරණාත්මක සේවාවන් මෙන්ම ජලය, විදුලිය, සනීපාරක්‍ෂාව ආදී පහසුකම් කේන්ද්‍රීය හා පසුගාමී කලාප ද්විත්වය තුළම සම මට්ටමක පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී. ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන  රටක් ලෙස ආර්ථික වර්ධනය ධනය හා වත්කම් පිළිබඳව මනිනු ලබන නිර්ණායකයන් හෝ දර්ශකයන්ට අනුව පෙනී යන අතර ඒ සඳහා යොදාගනු ලබන දර්ශකයන් වන දළ දේශීය නිෂ්පාදිතය, දළ ජාතික ආදායම අනුව ශ්‍රී ලංකාව පිළිවෙලින් යන ස්ථානයන්ට පත්වීමෙන් මෙය වඩාත් පැහැදිලි කරගත හැකිය. කෙසේ වෙතත් දිවයිනේ ජනතාවගේ සමාජ සුභසාධන මට්ටම සහ ජීවන තත්වය මනිනු ලබන නිර්ණායකයන් වන භෞතික ජීවන තත්ව දර්ශකය අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් අතුරින් ඉහළ මට්ටමකට ළඟාවී සිටින ශ්‍රී ලංකාව සංවර්ධිත රටවලට සාපේක්‍ෂව ද ඉහළ මට්ටමක පැවතීම මෙකී සුවිශේෂීත්වය ළඟා කර ගැනීමට හේතු සාධක වී ඇත. 
 

ශ්‍රී ලංකාව අතීතයේදී “වර්ධනය” පිළිබඳ ස්ථාවර මාර්ගයක ගමන් නොකළ අතර “යටත්ජිත මානසිකත්වය, දේශපාලනික අස්ථායීතාවන්, ත්‍රස්තවාදය” ආදී සාධකයන්ගේ අනිසි බලපෑම් එයට හේතු විය. නමුදු නිදහස ලැබීමෙන් පසු බලයට පත් රජයන් විසින් පැවති ආර්ථික සංවර්ධනය හා ප්‍රාදේශීය විෂම බව ආදී ගැටලුවලට පිළියම් වශයෙන් විවිධ වූ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබූහ. එම සංවර්ධන ක්‍රියාදාමයන් අතුරින් වඩා වැදගත් සංවර්ධන ක්‍රියාදාමයක් ලෙස,
  • වියළි කලාපීය ඉඩම් ජනාවාසකරණය හා ගොවි ජනපදකරණය,
  • ඉඩම් ප්‍රතිසංස්කරණ කටයුතු,
  • සුලු ගොවි කෘෂිකර්මය නඟා සිටුවීම හා වී ගොවිතැන දියුණු කිරීම,
  • බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය,
  • නාගරික සංවර්ධනය,
  • සංචාරක කර්මාන්තය,
  • බෝග විවිධාංගීකරණය,
  • ප්‍රවාහනය දියුණු කිරීම,
  • කාර්මික සංවර්ධනය,
  • ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදි කිරීම,

ආදිය වැදගත් වේ.
 

මෙකී සෑම සංවර්ධන ක්‍රියාවලියකම මූලික අරමුණ වූයේ ජනතාවගේ දරිද්‍රතාව, අසමානතාවන් සහ නොතකාහැරීම් පිළිබඳ ගැටලු ගැන අවධානය යොමු කිරීමකි. ඒ ඔස්සේ සැලකිය යුතු අන්දමින් සමාජ සුභසාධනය හා ජනයාගේ ජීවන තත්වය උසස් කිරීම මූලික අපේක්‍ෂාවන් වූ අතර, එහිදී ප්‍රතිපත්තිමය උපාය මාර්ගයන්ට භෞතික සහ සමාජ යටිතල පහසුකම් ආයෝජනය කිරීමක් සිදු කෙරුණි. ඒ සඳහා රජය ජාතික මට්ටමින් විවිධ ක්‍රියාමාර්ග තේරීමක් සිදු කළ අතර, අනෙක් ක්‍රියාමාර්ගය ලෙස රජයේ කාර්යභාරය ඊට පහළ පරිපාලන ඒකකය වූ දිස්ත්‍රික්කයට විමධ්‍යගත කිරීමක් සහ සංවර්ධන කටයුතු පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් වඩා යහපත් සම්බන්ධීකරණයක් අත්කර ගැනීමට කටයුතු කරනු ලැබීය. 1953දී ඇති කළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, 1973 ඇති කළ දේශපාලන අධිකාරිය, 1974දී ඇතිකළ මධ්‍යගත ප්‍රාග්ධන අයවැය හා 1980දී ඇතිකළ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල තුළින් අරමුණුගත වඩා යහපත් වූ සම්බන්ධීකරණ පසුබිම මෙයට නිදර්ශන වේ.


සංවර්ධිත යැයි සලකනු ලබන රටක ආර්ථිකය මෙන්ම සමාජ සුභසාධනය ද ඉහළ මට්ටමක පවතී. එසේ නොවන රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස අර්ථකථනය කරනු ලබන අතර, එවැනි රටවල් සංවර්ධන ක්‍රියාදාමය තුළ දී සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙනුයේ ප්‍රමුඛස්ථානයකි. ශ්‍රී ලංකාවේ ද කේන්ද්‍රීය කලාපය හැරුණුකොට පසුගාමී ප්‍රදේශ සංවර්ධනයෙහි ලා විවිධ සංවර්ධන ව්‍යාපෘති යොජනා වූ අතර, එය ඉහතින් පෙන්වා දුන්නෙමු. නමුදු මෙහි ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මඟින් ආවරණය නොවූ පසුගාමී ප්‍රදේශ සංවර්ධනයෙහි ලා 1977දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂය විසින් 1978දී ලිහිල් කරන ලද ආර්ථික ක්‍රමය යටතේ ප්‍රාදේශීය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි. එහිදී “මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි ව්‍යාපෘතිය හා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ප්‍රධාන ව්‍යාපෘති ද” ඊට ඇතුළත් ය. මේ යටතේ කර්මාන්ත විමධ්‍යගත කිරිමට උත්සාහ කළ අතර, එමඟින් ග්‍රාමීය ප්‍රදේශවල  කාර්මික ජනපද සහ ඇඟලුම් කම්හල් පිහිටුවීම ආරම්භ කරන ලදි. මූලික වශයෙන් කාර්මික ප්‍රතිපත්තිය සකස් කිරිමේ ක්‍රියාවලිය තුළ දී එහි අන්තර්ගත කළ පරමාර්ථ සහ ක්‍රමෝපායන් වන,
  • රැකියා සහ ආදායම් ජනනය කරන ඉඩ ප්‍රස්ථා ඇති කිරිම.
  • කර්මාන්ත ව්‍යාපෘතිය තුළින් වඩා තුලනය වු ප්‍රාදේශිය සංවර්ධනයක් ඇති කිරිම.
  • අපනයනයට නැඹුරු වු සහ තරඟකාරි ආනයන ආදේශක කර්මාන්ත පිහිටුවීම.
  • විශේෂයෙන් සුලු හා මධ්‍ය පරිමාණ අංශයේ වැඩි ශ්‍රම පිරිසකට රැකියා සපයා දියහැකි ආර්ථික වශයෙන් ලාබදායී කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කිරිම.
  • බලශක්ති සංරක්‍ෂණය කෙරෙන ඇසුරුම් ක්‍රම සහ තාක්‍ෂණ ශිල්ප දිරිගැන්වීම.
  • තාක්‍ෂණය වැඩිදියුණු කිරීම හා නවීකරන වැඩසටහන්වල ක්‍රියාකාරිත්වය වේගවත් කිරීම.
  • කර්මාන්ත අංශ ආදියේ රාජ්‍ය ව්‍යාපාරායතනවල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම.

ආදිය මේ යටතේ සංශෝධනය කරමින් ක්‍රියාත්මක කිරීමක් සිදු කරනු ලැබීය. එසේම 1987 ඇතිවූ පළාත් සභා පාලන ක්‍රමය සමඟ උප ජාතික මට්ටමේ පළාත්වලට සැලකියයුතු අධිකාරී බලයක් හා වගකීම් පැවරුණි. එය හේතු කොටගෙන ද පසුගාමී ප්‍රදේශ සංවර්ධනයට විවිධාකාර වු ක්‍රමවේද භාවිත කරනු ලැබීය. මෙහිදී කොළඹ කේන්ද්‍ර කොටගත් වර්ධන කේන්ද්‍රයට වඩා, පර්යන්ත ප්‍රදේශ පසුගාමී මට්ටමින් පැවතිය ද ඒවා පරිහානිය කරා ගමන් නොකරයි. ඒවායේ පවතින ගැටලුව වන්නේ ඌන උපයෝගීිතාවෙන් යුත් සම්පත්වලට සහ විභවයන්ට වටිනාකමක් නොලැබීමයි.
 

ඉහතින් දක්වන ලද සමාජ, ආර්ථික, දේශපාලනික සන්දර්භය තුළින් ප්‍රාදේශීය සංවර්ධනය අරමුණු කොටගෙන ගොඩනැගුණු ව්‍යාපෘතියක් වශයෙන් සීතාවක කාර්මික උද්‍යානය හඳුන්වා දිය හැකිය. 1979 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ “ආර්ථික ප්‍රතිපත්ති සංස්කරණය මඟින් බහුවිධ විනිමය අනුපාතික ක්‍රමය ඒකාබද්ධ කිරීම හා අන්තර් භාණ්ඩ ආනයනය කිරීමේදී පැවති ආනයන සිමාවන් ඉවත් කිරිම, 1978 මහ කොළඹ ආර්ථික කමිටුව පිහිටුවීම, 1986 දි අපනයන සංවර්ධන මණ්ඩලය පිහිටුවීම, 1989 දී ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ කාර්මීකරණ උපාය මාර්ග:ීරස ඛ්බන් ෂබාමිඑරස්කස‘්එසදබ ීඑර්එැටහ* යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය සඳහා විමධ්‍යගත කරනු ලැබු කාර්මික උද්‍යානයක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. බාහිරාභිමුඛ කාර්මීකරණ ප්‍රතිපත්තිය යටතේ ඇතිකරන ලද සීතාවක කර්මාන්තපුරය පිළිබදව මුලික පදනම සැකසුණේ 1994දී බලයට පත් රජය “ශ්‍රී ලංකාවේ නව කාර්මීකරණ උපාය මාර්ගය” නමැති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟිනි. මෙම ප්‍රකාශනයට අනුව,
  • කර්මාන්ත පදනම පුලුල් කිරීම, විවිධාංගීකරණය සහ උසස් මට්ටමකට නඟා සිටුවීම.
  • භෞතික මිනිස් බල සම්පත් කාර්යක්‍ෂමව කළමනාකරණය කිරීම.
  • ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ තුළ නව රැකියා සහ ආදායම් මාර්ග ජනනය කිරීම.
  • අපනයන නැඹුරුව.
  • ප්‍රාදේශීය කාර්මීකරණය.

ආදිය පොදු අරමුණු ලෙස වැදගත් වේ. ඉන්පසුව කාර්මික අංගන වැඩ සටහන යටතේ 1996දී කාර්මික ජනපදයකට අවශ්‍ය විස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සම්පාදනය සිදු කරන ලද මෙකී කාර්මික උද්‍යානය අවිස්සාවේල්ල ප්‍රදේශය තුළම ස්ථානගත කිරීමෙහි ලා මූලික වශයෙන්ම බලපෑම් කර ඇත්තේ “නිෂ්පාදන කර්මාන්තයක් ස්ථානගත කිරීමට අවශ්‍ය සාධක” යන මූලධර්මයෙහි ඇති ප්‍රායෝගිකත්වයයි. භූමිය, ශ්‍රමය, පරිවහනය හා යටිතල පහසුකම් ආදී වූ නිෂ්පාදන සාධකයන් මත ඇති වූ ඇඳීම පදනම් වෙමින් අවිස්සාවේල්ල කාර්මික ජනපදය ස්ථානගත වීම සිදු වූ අතර, එහි ප්‍රධාන අරමුණු අතර ප්‍රාදේශීය සංවර්ධනය, රැකී රක්‍ෂා උත්පාදනය, විදේශ විනිමය ඉපයීම ආදිය ප්‍රමුඛස්ථානයක් ගනු ලබයි. නමුදු න්‍යායාත්මක කාර්මික සංවර්ධනය පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් මෙම කලාපය අධ්‍යයනය කළවිට මෙම භූමි ප්‍රදේශය වඩාත් අර්ථාන්විත එකක් නොවනු ඇත. කෙසේ වෙතත් කොළඹ - රත්නපුර හා කෑගල්ල - රත්නපුර මාර්ගයේ මංසන්ධිගත වීම මෙකී කාර්මික ජනපදය ස්ථානගත වීමට හේතු වූ සාධකයකි. ඊට අමතරව මාර්ග, වරාය, ගුවන් තොටුපල, විදුලිය, ජල මාර්ග ආදී ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාප්තව පැවැති ප්‍රදේශයක් ලෙස මෙම කලාපය හඳුනාගත හැකි අතර කොළඹ වරාය, කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළ, කැලණි ගංඟාව මෙන්ම අවට කලාපයේ පිහිටා ඇති බියගම හා කටුනායක ආදී අපනයන සැලසුම් කලාපයන් ද මෙම කර්මාන්තපුරයේ ස්ථානගතවීමට හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත.
 

කෙසේ වෙතත් අවිස්සාවේල්ල කාර්මික උද්‍යානය 1996දී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ආරම්භ කළ ද වර්ෂ 2001 වනවිට එහි පාලනය ආයෝජන මණ්ඩලයට පැවරුණු හෙයින් වර්තමානයේ එහි පාලන කටයුතු ආයෝජන මණ්ඩලය හරහා සිදු වේ. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධන ඉතිහාසය විෂමතා  සහිතව ක්‍රියාත්මක වී ඇති බවක් හඳුනාගත හැකි අතර, ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලියෙහි ප්‍රතිඵලය ලෙස සීතාවක කර්මාන්තපුරය ස්ථාපිත විය. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සීමාවට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ සීමාවට වන්නට කේන්ද්‍රගත වී පවතින සීතාවක කර්මාන්ත උද්‍යානයේ වාසි සහගත තත්ත්වය කොළඹ දිස්ත්‍රික්කයට වඩා හිමි වනුයේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්ට වීම මෙහි දී හඳුනාගත හැකි වූ සුවිශේෂී තත්ත්වයකි. එමනිසා මෙම කාර්මික උද්‍යානය දිස්ත්‍රික්ක තුනක සංවර්ධන ක්‍රියාදාමයෙහි ලා සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි. ආරම්භක අවධියේ දී කර්මාන්ත 10කින් සමන්විත වු මෙම කාර්මික ජනපදය තුළ වර්තමානය වනවිට  කර්මාන්ත 31ක් පමණ කාර්මික විවිධාංගීකරණය යටතේ ස්ථානගතව පවතියි. මේ තුළින් ඍජු රැකියා අවස්ථා 20000ක් පමණද, වක්‍ර රැකියා 20000කට වැඩි ප්‍රමාණයක් ද නිර්මාණය වී ඇති අතර, කර්මාන්තපුරයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ද, අවට කලාපයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම තුළින් ද අවට කලාපයන් සංවර්ධිත කලාපයන් බවට පත්ව ඇති බව පෙනේ.
 

මේ අනුව ශ්‍රී ලංකාවේ වේගවත් සංවර්ධන ක්‍රියාදාමයක් නියෝජනය කරනු ලබන සීතාවක කාර්මික උද්‍යානය අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධනයට දායක වී පවතීද? යන්න අධ්‍යයනය කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් මාතෘකාවකි. එසේම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරනු ලබන ක්‍රියාදාමයේ දී පසුගාමී ප්‍රදේශ සංවර්ධනය සඳහා යොදාගත් උපාය මාර්ගයක් ලෙස සීතාවක කාර්මික උද්‍යානයෙහි ඇති වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කිරීම කාලෝචිත වේ. ඒ තුළින් 21වන සියවසෙහි කොළඹ දිස්ත්‍රික්ක අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ද ලබාගත හැකි වන අතර, එය උපාය මාර්ගික ප්‍රවේශයක් ලෙස අනාගතයේදි ද ආයෝජනය කිරිමට මේ තුළින් ශක්‍යතාවක් නිර්මාණය වන බව කිව හැකිය.



ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ:

ඊරියගම, තිස්ස. (2007). රාජ්‍ය ආර්ථිකය ගැටලු අවබෝධය, නෙත් ප්‍රකාශනයකි. ඉඳුරු ඕප්සෙට් ප්‍රින්ටර්ස්, හයිලෙවල් පාර, කොට්ටාව, පන්නිපිටිය.

ඊරියගම, තිස්ස. (2004). ප්‍රායෝගික ආර්ථික විද්‍යාව, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය - ප්‍රකාශනගත සුචිකරණ දත්ත. සී.ස දෙව්මි ප්‍රින්ටින් සිස්ටම්, 3/25, සමගිපුර, ගෝනමඩිත්ත පාර, පිළියන්දල. 

ගුණවර්ධන, බන්දුල. (1978). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප යෝජනා ක්‍රමය, ප්‍රබුද්ධ ප්‍රකාශකයෝ, 217, කැස්බෑව පාර, බොරලැස්ගමුව.

ජයතිලක, නිමල්. (2001). ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා කර්මාන්ත, කතෘ ප්‍රකාශනයකි, සහන පොත් ප්‍රකාශන, කෝපි වත්ත, කඩවත. 

ජයකොඩි, සරත් කේ. (2008). ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය, අභියෝග හා ප්‍රතිචාර, කර්තෘ ප්‍රකාශනයකි. 

දේවනාරායන, චන්ද්‍රා සහ වීරසිංහ, තිලිණා (සංස්.) (1997). ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප පිළිබඳ විමසුමක්, ඩාබිඳු ප්‍රකාශන, සී.ආර්.සී මුද්‍රණාලය, 119, රත්නාපිටිය, බොරලැස්ගමුව.

11 November, 2016

ශ්‍රී ලංකා සමාජ ගතිකත්වයට නාගරීකරණයෙන් ලත් බලපෑම පිළිබදව විමර්ශනයක්

නාගරික වීම යන ක්‍රියාවලියේ සංකීර්ණ මුහුණුවරක් වශයෙන් නාගරීකරණය හඳුනාගත හැකිය. සමාජ වෙනස්වීමට බලපාන දිගු කාලීන ක්‍රියාවලියක් වන නාගරීකරණය හරහා නාගරික කළාප ආශ්‍රිත ව ජනගහනය වර්ධනය වෙයි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවල ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාව ස්වකීය ජීවන රටාවේ ආර්ථික, සමාජීය සහ භෞතික දියුණුව අපේක්ෂාවෙන් නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වෙයි. ශ්‍රී ලංකාව තුළ ද වර්තමානය වන විට නාගරීකරණය ශීඝ්‍රයෙන් සිදු වන අතර මානවයාගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික, සෞඛ්‍යමය පැවැත්ම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන ක්‍රියාවලියක් බවට පත් වී ඇත. ඒ අනුව මෙම අධ්‍යයනයේ දී නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජය වර්තමානයේ වෙනස් වීමට භාජනය වී ඇත්තේ කෙසේදැයි විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.
න්‍යායාත්මක වශයෙන් සමාජ වෙනස්වීම සාමාන්‍ය සිද්ධාන්තයක් බවට පත් ව තිබේ. සෑම මානව සමාජයක ම දක්නට ඇති ලක්ෂණයක් වන්නේ මානවයා තමන්ගේ අසීමිත අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යාමේ දී කාලානුරූපී ව විවිධ සමාජ සංස්කෘතික විපරිණාමයන් සිදු වීම යි. මානවවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට “සමාජ වෙනස්වීම යනු කිසියම් මානව සමාජයක ජීවත් වන මානව සමූහයා අතර පවතින අන්තර් සම්බන්ධතාවල ස්වභාවය, ප්‍රමාණය මෙන් ම ඔවුන්ගේ තත්ත්වයන් සහ කාර්යය කොටස්වල සිදු වන විපර්යාසය යි” (අමරසේකර, 2010, පි.104). සමාජ වෙනස්වීම සිදු වීමේ දී එකී සමාජයේ භෞතික සහ අභෞතික සංස්කෘතික ලක්ෂණ වෙනස්වීම ද සිදු වෙයි. මෙහි දී විවිධාකාර කෙටිකාලීන සහ දිගුකාලීන හේතු සාධකයන්ගේ බලපෑම මත සමාජ ප්‍රවාහයේ පවතින විවිධ සංස්කෘතිකාංගයන්ගේ වෙනස්වීම අපේක්ෂා කළ හැකිය.

සමාජ වෙනස්වීම තුළ පැරණි සමාජ, සංස්කෘතික පරිසරය ගිලිහී යාම, පැවති සංස්කෘතික අංගයන්ට නව අංග එකතු වීම, පරිහානියට පත් වීම, නව ප්‍රවණතා සහ ගැටලුකාරී තත්වයන් ඉස්මතු විය හැකිය. මෙම වෙනස්වීම අභ්‍යන්තර හෝ බාහිර හේතු සාධක මත ඍජු ව හෝ වක්‍රාකාරයෙන් ද සිදු වීමට පුළුවන. එ මෙන් ම සමාජයක් සංවර්ධනය කරා ප්‍රවේශ වන විට මානවයාට වෙනස්වන සමාජයට අනුගත වීමට ද සිදු වෙයි. වෙනස්වන සමාජ සංස්කෘතික ප්‍රවාහයට අනුගත නොවුණහොත් එම පුද්ගලයාගේ හෝ සමාජ කණ්ඩායමේ අඛණ්ඩ පැවැත්මට සහ සංවර්ධනයට එය බාධාකාරී වෙයි. එ බැවින් කාලානුරූපී ව වෙනස්වන සමාජ සංස්කෘතික ප්‍රවාහයට අන්තර්ග්‍රහණය වීම වැදගත් වන බව පැවසිය හැකිය. නමුත් මෙහි දී සැළකිලිමත් විය යුතු කාරණය වන්නේ පුද්ගලයා එකී සමාජ වෙනස්වීම භාරගත යුත්තේ කෙසේ ද යන්න යි. එහි දී සමාජ සංස්කෘතික සන්දර්භයට ගැළපෙන දේ පමණක් අන්තර්ග්‍රහණය කර ගැනීමට උනන්දු වීම වැදගත් වෙයි. එ මෙන් ම සමාජ වෙනස්වීමට අනුගත වීමේ දී විචාරශීලී ව හෝ විමර්ශනශීලී ව කටයුතු කිරීම ද වැදගත් වන බව පෙන්වාදිය හැකිය. එසේ නොවුණහොත් එකී මානව සමූහය විනාශය කරා එළඹෙන බව ද සඳහන් කළ යුතු මය. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භය තුළ ද විවිධාකාරයේ වෙනස්කම් සිදු වී ඇති අතර එය ශ්‍රී ලංකාවේ භෞතික සංස්කෘතිය මෙන් ම අභෞතික සංස්කෘතිය වෙනස්වීමට ද බලපෑම් සහගත වී තිබේ. එ මෙන් ම නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජයේ ධනාත්මක මෙන් ම ඍණාත්මක සමාජ වෙනස්කම් සිදු ව ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජය විවිධාකාරයේ වෙනස්කම්වලට භාජනය වී ඇති ආකාරයක් දැකිය හැකිය. මෙම වෙනස්කම් සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික යනාදී විවිධ අංශයන්ගෙන් සිදු වන අතර එකිනෙකට සම්බන්ධ වූ රටාවක් දැකිය හැකිය. එම සම්බන්ධතාවයන් අතර අවියෝජනීය බැඳීමක් පවතින බැවින් වෙන් කොට හඳුනා ගැනීම අපහසු බව ද සඳහන් කළ හැකිය. නමුත් අධ්‍යයනයේ පහසුව සඳහා යම් යම් සාධක පදනම් කරගෙන නාගරීකරණය තුළින් ශ්‍රී ලංකා සමාජයේ සිදු ව ඇති වෙනස්කම් පහත ආකාරයට සාකච්ඡා කර ඇති බව සඳහන් කළ යුතු ය.  

ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ක්‍ෂේත්‍රයේ වෙනස්කම්

වර්තමාන සමාජ සන්දර්භය දෙස විමර්ශනශීලී ව අවධානය යොමු කරන විට පැහැදිලි ව පෙනී යන කරුණක් වන්නේ සමාජය හා සංස්කෘතිය නාගරීකරණයට හසු වීම හේතු කොටගෙන ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට ලක් වීම යි. සන්නිවේදනය, ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්ත වීම, විදුලිය සහ අනෙකුත් භෞතික පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනික ක්‍ෂේත්‍රයේ මෙන් ම කර්මාන්ත අංශයේ සහ වෙළඳාම වැනි ක්‍ෂේත්‍ර වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වීම තුළින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය වේගවත් වී ඇත. එම සාධකයන් නාගරීකරණය සිදු වීමට බලපාන අතර ම එවැනි පහසුකම් ව්‍යාප්තිය හේතුවෙන් සමාජ වෙනස්වීමක් ද සිදු වී ඇත.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සිදු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යහපත් මෙන් ම අයහපත් ප්‍රතිඵල නිර්මාණය වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ අනුව වර්තමාන ශ්‍රී ලංකා සමාජය දෙස අවධානය යොමු කරන විට පෙනී යන කරුණක් වන්නේ නාගරීකරණයෙන් සංවර්ධනයේ විවිධ මානයන් ආමන්ත්‍රණය කරන බව ය. මේ අනුව භෞතික සංවර්ධනය සහ මානව සංවර්ධනය සඳහා බලපෑම් කරන බව පෙන්වාදිය හැකිය. භෞතික වශයෙන් ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ ගමනාගමනය, සෞඛ්‍ය පහසුකම් ව්‍යාප්තිය, විදුලිය සහ මංමාවත් ආදිය විශාල වශයෙන් සංවර්ධනය වී ඇත. එ මෙන් ම අධ්‍යාපන ක්‍රමයේ ව්‍යාප්තිය, විනෝද සහ ආස්වාදජනක පහසුකම් වර්ධනය වීම, බුද්ධිමය සංවිධානය සහ එම සංගම්වල සහයෝගීතාවය, නව සාරධර්ම සමඟ පුද්ගල නිදහස, ස්වාධීනත්වය  සහ රැකියාවන් කිරීමේ හැකියාව තුළින් නාගරික ජන ජීවිතය ඉතා සිත් ගන්නා සුළු එකක් වීම යන කරුණු මත නාගරික ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙමින් ශ්‍රී ලංකාවේ නාගරීකරණය වේගවත් වී ඇත. මානවයා වැඩි වශයෙන් නගර කරා ප්‍රවේශ වීමට ද මෙම තත්ත්වය හේතු වී ඇත. ඊට හේතුව නම් වඩා සැප පහසු ජීවන මට්ටමක් ළඟා කර ගැනීම උදෙසා ය.

ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ බලපෑමෙන් භෞතික සංවර්ධනයක් සිදු වී ඇත. විශේෂයෙන් නගර ආශ්‍රිත ව මේ තත්ත්වය දැකිය හැකිය. එහිදී කොළඹ නගරය සහ පරිධිය කළාපය තුළ වර්තමානය වන විට විවිධ සංවර්ධන ව්‍යාපෘති දියත් කරමින් භෞතික මෙන් ම සමාජ සංවර්ධනය උදෙසා ක්‍රියා කරන ආකාරයක් විද්‍යමාන වෙයි. මේ අනුව අධික වියදමක් දරමින් අධිවේගී මාර්ග, ගුවන් පාලම්, සුවිශාල නිවාස සංකීර්ණ ආදිය නිර්මාණය කරනු ලැබෙයි. බොහෝ විට සංවර්ධිත රටවල ණය ආධාර මත සිදු කරන මෙවැනි ව්‍යාපෘතිවල සාර්ථකභාවයන් මෙන් ම අසාර්ථකභාවයන් දක්නට පුළුවන. රටේ අනාගත පරම්පරාවන්ට ණය ගෙවීමට සිදු වීම කණගාටුදායක තත්ත්වයකි. කෙසේ වෙතත් වර්තමානය වන විට කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වෙයි. එමෙන් ම අනෙකුත් නගරවල ත් විවිධ වැඩසටහන් සිදු කරනු ලබයි. යම් යම් දුර්වලතා පැවතිය ද මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් නගරවල භෞතික සංවර්ධනයක් සිදු වී ඇති බව ත් ජනයා නගර කරා සංක්‍රමණය වීමට එම තත්ත්වය බලපෑම් සහගත වී ඇති බව ත් පෙන්වාදිය හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළ ආර්ථික වර්ධන ක්‍රියාවලියට උපකාරී වීම සඳහා ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම කෙරෙහි ජාතික සංවර්ධන ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛත්වය හිමි වූ බව ත් ඒ තුළින් ඵලදායීතාවය පදනම් කරගත් ආර්ථික වර්ධනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ත් පෙන්වාදෙයි (මහබැංකු වාර්තාව, 2013). ඒ අනුව කොළඹ වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ දකුණු බහලු පර්යන්තය සහ කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය වැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති දියත් කර ඇත. මෑතක දී නිම කළ සහ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදසුන් වෙයි. විශේෂයෙන් කොළඹ අග්‍ර නාගරීකරණයක් බවට පත් ව ඇති කළාපයක් වන අතර සංවර්ධන ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක වන්නේ එය කේන්ද්‍ර කරගෙන ය. මානව අවශ්‍යතා සපුරාලීම සහ ආයෝජන සඳහා ආකර්ෂණය කරගත හැකි නගර වශයෙන් නඟා සිටුවීමේ අරමුණෙන් සියලු ප්‍රධාන නගරවල නාගරික සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන ලද බව මහබැංකු වාර්තා සඳහන් කරයි. සහශ්‍ර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමට මෙවැනි නාගරික සංවර්ධන ව්‍යාපෘති දියත් කළ ත් තවදුරට ත් සමාජ, ආර්ථික ගැටලුකාරී තත්ත්වයන් ශ්‍රී ලංකා සමාජය තුළ පවතින බව නොරහසකි.  

නගර තුළ භෞතික සහ යටිතල පහසුකම් සංවර්ධනයේ දී පණිවිඩ හුවමාරු සේවා, ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනය වැඩිදියුණු කොට ඇත. ආර්ථික කටයුතු පුළුල් වීම ත් සමඟ නාගරික ප්‍රදේශවල පවතින මාර්ග තදබදය තුරන් කිරීමට හා ඒ හේතුවෙන් දැරීමට සිදු වන අලාභය අවම කර ගැනීමට කටයුතු කිරීම වැදගත් වෙයි. නාගරීකරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගැටලු රාශියක් නිර්මාණය වී ඇත. මේ හේතුකොටගෙන කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණෙන් නාගරික ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත (මහබැංකු වාර්තා, 2013). මේ තුළින් යම් ආකාරයකට නාගරීකරණයේ ගැටලුවලට විසඳුම් සෙවීමට උත්සාහ කර ඇති බව පැහැදිලි ය. නමුත් තවම ත් මාර්ග තදබදය පවතින බව පෙනී යයි. මේ අනුව නාගරීකරණය තුළ ලංකා සමාජයේ භෞතික සංවර්ධනයක් සිදු කිරීමට උත්සාහ කර ඇති බව පෙන්වාදිය හැකිය. එ මෙන් ම දුම්රිය මාර්ග සංවර්ධනයක් සිදු කර ඇත. නගර කේන්ද්‍ර කරගෙන දුම්රිය මාර්ග සංවර්ධනය කර ඇත. දේශපාලඥයන්ගේ වංචා දූෂණ හමුවේ වුව ද ගෝලීය හා දේශීය වශයෙන් වැදගත් වන වරාය සේවා වැඩිදියුණු කිරීමට උත්සාහ කර ඇති බවක් පෙන්නුම් කරයි. කොළඹ නගරය සැලසුම් කළ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණට සමගාමී ව සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, ජල ක්‍රීඩා, ගොල්ෆ් පිටි, මෝටර් රථ ධාවන තරඟ පැවැත්විය හැකි ධාවන පථ වැනි විනෝදකාමී කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමෙන් නාගරීකරණයේ ඍජු සහ වක්‍ර බලපෑමෙන් ශ්‍රී ලංකාවේ භෞතික සංවර්ධනයක් සිදු කර ඇති බව පෙන්වාදිය හැකිය. මෙම ව්‍යාපෘති තුළ සාර්ථක අසාර්ථකභාවයන් ද පවතියි. නමුත් ඉහත කරුණු විමසන විට ගම්‍ය වන කරුණක් වන්නේ බහුතරයක් සංවර්ධන ව්‍යාපෘති කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන සිදු වන බව ත් මේ නිසා ශ්‍රී ලංකාවේ නාගරීකරණයේ එක් ලක්ෂණයක් වන කොළඹ නගරය ආශ්‍රිත අග්‍ර නාගරික ව්‍යාප්තිය ත් ය.

නාගරික ප්‍රදේශවල භෞතික පහසුකම් සංවර්ධනය කිරීමේ දී අනුගමනය කර ඇති තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ නිවාස සහ නාගරික සංවර්ධනය යි. විශේෂයෙන් වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ නිවාස සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් ක්‍රියාත්මක වන්නේ කොළඹ නගරය පදනම් කරගෙන ය. නව නිවාස ඉදි කිරීම, දැනට පවතින නිවාස අලුත්වැඩියා කිරීම, නිවාස ඉදි කිරීම සඳහා මූල්‍යමය සහය ලබා දීම, නැවත පදිංචි කිරීම වැනි විවිධ මානයන් ඔස්සේ නිවාස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහ මහල් නිවාස කළමනාකරණ අධිකාරිය සහ ඕෂන් වීව් පුද්ගලික සමාගම විසින් ආරම්භ කරන ලද වැඩසටහන්  12 ක් සඳහා 2013 වසරේ දී ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යංහය මඟින් රුපියල් බිලියන 7 කට අධික මුදලක් වැය කොට තිබෙයි (මහබැංකු වාර්තාව, 2013). ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “නගමු පුරවර” නිවාස යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ නිවාස යෝජනා ක්‍රම 26 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ මහල් නිවාස කළමනාකරණ අධිකාරිය විසින් නිවාස යෝජනා ක්‍රම 12 ක් නවීකරණය කරන ලදි (මහබැංකු වාර්තාව, 2013). අඩු ආදායම්ලාභී ජනතාව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් විවිධ නිවාස සංකීර්ණ ක්‍රියාත්මක කරයි. “මිහිදුසෙන්පුර” නිවාස යෝජනා ක්‍රමය නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. මේ ආකාරයට විවිධ නිවාස සංකීර්ණ ක්‍රියාත්මක වන අතර නාගරීකරණයේ ප්‍රතිඵල වශයෙන් පෙන්වාදිය හැකිය. එ මෙන් ම නාගරීකරණය සමඟ භෞතික සංවර්ධනයක් සිදු වී ඇති බව පැහැදිලි කළ හැකිය. මෙවැනි නිවාස සංවර්ධන ව්‍යාපෘති විවිධ දුර්වලතාවලින් සමන්විත වුව ත් නාගරික අලංකරණය සහ නාගරීකරණය තුළින් හට ගෙන ඇති ගැටලුවලට යම්තාක් දුරකට හෝ විසඳුම් සපයා ඇති බව ත් විමර්ශනශීලී ව බලන කල පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ නාගරික යටිතල ව්‍යූහය කෙරෙහි අවධානය යොමු කළ ද එය විධිමත් ආකාරයෙන් සංවර්ධනය නොවීම නාගරීකරණය ආශ්‍රිත ව හටගෙන ඇති ගැටලුවකි. ලංකාවේ නගරවල දැනට ඇති යටිතල පහසුකම් ඒවායේ මූලික සීමා ඉක්මවා ගොස් ඇත. නාගරික යටිතල ව්‍යුහය ගොඩනැඟීම සඳහා වූ ප්‍රයත්නයන් හමුවේ වුව ද නාගරික ප්‍රදේශවලට සපයනු ලබන සේවාවන්හි ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව පිළිබඳ ව ගැටලු පැන නැඟී ඇත. අවිධිමත් සහ අනවසර ඉදිකිරීම් මෙන් ම නාගරික සංවර්ධනය නිසි අයුරින් ඉටු කිරීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වැසි ජලය බැස නොයාම, ජල ගැලීම් සහ ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීම ආදී බරපතල ගැටලු මතු වී ඇත. අවිධිමත් නාගරීකරණය තුළින් ස්වභාවික ආපදාවන්ට ද ලක්වෙයි. එමඟින් අනාගත නාගරික කේන්ද්‍රයන් සංවර්ධනයේ දී වඩාත් කාර්යක්ෂම සහ ක්‍රමවත් සැලසුම් සම්පාදනයේ අවශ්‍යතාවය අවධාරණය කරයි.  

පුද්ගල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම ඕනෑම සමාජයක දක්නට හැකි ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ ද මානව අවශ්‍යතාවයන් වඩා ත් පහසුවෙන් ඉටු කර ගැනීමේ ක්‍රමයන් ක්‍රියාත්මක වන අතර නාගරීකරණය ද එහි එක් ප්‍රතිඵලයකි. මේ අනුව සමාජ යටිතල පහසුකම් සපුරා ගැනීමේ පහසුව නාගරික කළාපයන් ආශ්‍රිත ව දැකිය හැකිය. එහිදී සෞඛ්‍ය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා නාගරික සමාජය තුළ වැඩි අවකාශයක් පවතින බව පැවසිය හැකිය. නිරෝගී ජීවන රටාවක් පවත්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයක් සිදු කර ඇත. නාගරික සමාජයේ සෞඛ්‍ය සේවා ආයතන ජාලය ව්‍යාප්ත වී ඇත. රජයේ සහ පෞද්ගලික අංශයේ පහසුකම් සහිත රෝහල්, විශේෂඥ සේවා, රසායනාගාර සේවා, හෘද රෝග, වකුගඩු රෝග වැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරන වෙන ම වාට්ටු ආදී පහසුකම් සපයා ගැනීමට පහසුකම් නගර තුළ නිර්මාණය වී ඇත. එ මෙන් ම නගරවල බෝ වන සහ බෝ නොවන රෝග මර්දනය කිරීම සඳහා විවිධ පියවර අනුගමනය කර ඇත. මේ ආකාරයට යථාර්ථවාදී ව විමසා බලන විට මානව සෞඛ්‍ය ප්‍රවර්ධනයට මෙන් ම පරිහානියට ද නාගරීකරණය බලපාන බව පෙන්වාදිය හැකිය. 

ශ්‍රී ලංකාවේ ජනයා නගර වෙතට සංක්‍රමණය වීමට බලපා ඇති තවත් හේතුවක් වන්නේ නගර තුළ අධ්‍යාපන අවස්ථා හිමි කර ගැනීමේ අවකාශය යි. නගර තුළ පරිගණක සහ ඉංග්‍රීසි අධ්‍යාපනයට පවතින පහසුකම්, තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයන්ගේ ව්‍යාප්තිය, රජයේ හෝ පෞද්ගලික පාසැල් සහ විශ්වවිද්‍යාල පිහිටීම වැනි සාධකයන් ද නාගරීකරණයට මංපෙත් විවර කර තිබෙයි. මේ අනුව නාගරීකරණය තුළින් ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ අධ්‍යාපන පද්ධතියේ ප්‍රගමනයක් සිදු කර ඇති බව පෙන්වාදිය හැකිය. මේ ආකාරයට නාගරීකරණයේ දී භෞතික සහ සමාජ යටිතල පහසුකම් සංවර්ධනයක් සිදු කෙරී ඇති බව පෙන්වාදිය හැකිය. විවිධ දුර්වලතා පැවතියත් නාගරීකරණය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමට මෙම තත්ත්වය බලපෑම් කර ඇති බව ත් ඒ මඟින් විවිධ සමාජ, වෙනස්කම් රාශියක් නිර්මාණය කර ඇති බව ත් ඉහත ආකාරයට විමර්ශනය කිරීමේ දී පෙනී යයි.      

ලොව පුරා නාගරික ප්‍රදේශවල වාසය කරන ජනගහනය ඉහළ යාම ත් සමඟ ගෝලීය වශයෙන් ශීඝ්‍ර නාගරීකරණයක් සිදුවෙමින් පවතියි. ගෝලීය නාගරික ජනගහනය 1950 වසරේ වූ බිලියන 3.6 සිට වසර 2050 වන විට බිලියන 6. 3 දක්වා 72% කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ උදරකා Urbanization and Prospect the 2011 revision නම් ප්‍රකාශනය පුරෝකථනය කර ඇත (මහබැංකු වාර්තාව, 2013) ශ්‍රී ලංකාවේ ද නාගරික ප්‍රදේශවල ජනගහනය සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙයි. 2012 ශ්‍රී ලංකාවේ ජනගහන හා නිවාස පිළිබඳ සංගණනයේ දත්තවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇස්තමේන්තු ජනගහනයෙන් මිලියන 2.3 ක ජනගහනයෙන් 77.5% ක් නාගරික පදිංචිකරුවන් ලෙස වර්ගීකරණය කර ඇත (මහබැංකු වාර්තාව, 2013). කොළඹ නගරයේ සිදු වන සංවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් පදිංචිකරුවන් මෙන් ම නගරයට සංක්‍රමණය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉදිරියේ දී තවදුරටත් වර්ධනය වනු ඇත. මෑතක දී සිදු කර ඇති අධ්‍යයන අනුව කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය තුළ සිදු වන නාගරීකරණ ක්‍රියාවලිය කොළඹ නගරයේ භූ දර්ශනය වෙනස් කර ඇත. කොළඹ නගරය තුළ සිදු වන මෙම භෞතික සංවර්ධනය නිසා තවදුරටත් නාගරීකරණ රටාව ව්‍යාප්ත වෙයි. මේ අනුව සමකාලීන ශ්‍රී ලංකා සමාජයේ ශීඝ්‍ර වශයෙන් සිදු වන නාගරීකරණයක් පවතින බව ත්, ඒ තුළින් විශාල සමාජ වෙනස්වීමක් සිදු වන බව ත් විග්‍රහ කළ හැකිය.  

රැකියා ක්‍ෂේත්‍රයේ සිදු ව ඇති වෙනස්කම්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සිට නාගරික ප්‍රදේශ කරා සංක්‍රමණය වීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් වන්නේ නගරය තුළ රැකියා අවස්ථා හිමිකර ගැනීමට පවතින අවකාශය යි. ග්‍රාමීය ප්‍රදේශවල විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව යම් රැකියාවක් අපේක්ෂා කරමින් නගර කරා සංක්‍රමණය වෙයි. නගර තුළ වැඩි වශයෙන් නිෂ්පාදන හෝ සේවා කර්මාන්ත ස්ථානගත වීම හේතුවෙන් ඔවුන්ට රැකියාවක් සොයාගත හැකිය. නමුත් වර්තමානය වන විට නාගරීකරණයේ බලපෑමෙන් නගර තුළ රැස් වන අධි ජනගහනය හේතු කොටගෙන රැකියාවක් සොයා ගැනීම ද දුෂ්කර කාර්යයක් වී ඇත.

ශ්‍රී ලංකාවේ නාගරීකරණ ක්‍රියාවලිය බහුල වශයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත්තේ ශ්‍රී ලංකාව ධනේෂ්වර ආර්ථික ක්‍රමයට වේගයෙන් ගොදුරු වීම ත් සමඟ ය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් බළධාරීන් ප්‍රකාශ කර සිටියේ “සිරගත කරන ලද ආර්ථිකයක් නිදහස් කරන ලද බව” යි. මේ හරහා නිර්බාධවාදී ආර්ථික ප්‍රතිපත්තියට නැඹුරු විය. නව ආර්ථික ක්‍රමය නිසා විදේශ ප්‍රතිපත්ති ලිහිල් වීම, ආනයනකරුවන්ට වැඩි ලාබ ලැබිය හැකි වීම වැනි තත්ත්වයන්ට මඟ පෑදීම ත් සමඟ මෙම පසුබිම තුළ විශාල වශයෙන් ලාබ ලැබිය හැකි ස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය. ඒ අනුව 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය මඟින් ශ්‍රී ලංකාව ද ලෝක ගෝලීයකරණ ක්‍රියාදාමයට එක් කළ අතර ශීඝ්‍ර වශයෙන් නාගරීකරණයට ලක් විය. විශේෂයෙන් දේශීය විදේශීය ආයෝජකයින් දිරිගැන්වීම් මත රැකියා නිර්මාණය විය. මේ හේතුවෙන් නාගරීකරණය වේගවත් වන අතර සමාජයේ වෙනස්කම් රාශියක් ඇති විය.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය අපේක්ෂාවෙන් නිදහස් වෙළඳ කළාප හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණක් වූයේ රැකියා අවස්ථා ජනනය කිරීම යි. ආරම්භක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කළාප පිහිටුවන ලද්දේ වර්තමානයේ අග්‍ර නාගරීකරණයක් සිදු වී ඇති කොළඹ නගරය සමීපයේ කටුනායක ප්‍රදේශයේ ය. වරාය පහසුකම්, ගුවන් තොටුපළට සමීප වීම, මහාමාර්ග පහසුකම් සහ අනෙකුත් සේවා සපයා ගැනීමේ පහසුව ඊට බලපා ඇති බව සඳහන් කළ හැකිය. ග්‍රාමීය තරුණ තරුණියන් මෙම කළාප තුළ සේවය කිරීමට නගරයට පැමිණීමෙන් නාගරීකරණය සිදු විය. ග්‍රාමීය පරිසරය තුළ ආදායම් නොලැබුව කාන්තාව ආර්ථික වශයෙන් ආදායම් උපයන්නියක් බවට පත් විය. ස්වාධීන ව යම් මුදලක් ඉපයීමට මෙන් ම අනාගත සුරක්ෂිතතාව සඳහා යම් ආකාරයක ආයෝජනයක් ද සිදු විය. දුෂ්කර පළාත්වල සිටි තරුණියන් ඔවුන්ගේ පවුල්වල දරිද්‍රතාවය හමුවේ පීඩනයට පත් වූ අතර එවැනි අවස්ථාවන් අවම කර ගැනීමට නගර වෙතට සංක්‍රමණය වීම හේතු වී තිබෙයි. ආර්ථික අපහසුතාවයන් නිසා ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වූ අධ්‍යාපන පහසුකම් සිය සහෝදර සහෝදරියන්ට ලබා දීමට ඔවුන්ගේ ආර්ථික ශක්තිය යම් ආකාරයකට හේතු වී ඇත. පවුල තුළ වූ ආර්ථික ප්‍රශ්න සහ පවුල තුළින් ස්වාධීනත්වයක් ලැබීම සමඟ වැඩි වැඩියෙන් රැකියා සඳහා සහභාගිත්වයක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ  නාගරීකරණය තුළින් සිදු වන මෙවැනි වෙනස්කම් යටතේ සාම්ප්‍රදායික ගෘහ කටයුතුවලට පමණක් සීමා වූ කාන්තාවට පවුලෙන් බැහැර ව නගර තුළ රැකියා අවස්ථා ලැබීම තුළින් කාන්තාවගේ සමාජ චල්‍යතාවය ද වෙනස් විය. සමාජය නවීකරණයට සහ නාගරීකරණයට පත් වීම ත් සමඟ කාන්තා භූමිකාවන් වෙනස් වී ඇති අතර තවදුරටත් වෙනස් වෙමින් පවතියි.

ගමෙන් නගර කරා සංක්‍රමණය වන තරුණියන්ට නේවාසික පහසුකම්, ආහාර පහසුකම් සැපයීමට ස්ථාන බිහි විය. මේ නිසාවෙන් නගර අවට නේවාසික ස්ථාන බිහිවීමක් සිදු වූ අතර ආයෝජන මාර්ගයක් වශයෙන් වැදගත් විය. තරුණියන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ද අවස්ථා නිර්මාණය විය. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස්වල සිටි සමයේ මෙන් පහසුකම් හිමි වූයේ නැත. නවාතැන් බොහොමයක් අවම මට්ටමේ පහසුකම් යටතේ ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකිය. කාන්තාවන් කීප දෙනෙකුට එකට වාසය කරන්නට සිදු වන අතර බොහෝ ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ධනාත්මක වාතාවරණයක් නොමැත. මේ තුළ වෙනම ම සංස්කෘතියක් නිර්මාණය වෙයි. ගම්වලින් නගර වෙතට සංක්‍රමණය වන කණ්ඩායම්වල හැසිරීම, භාෂා ව්‍යවහාරයන් වෙනස් වීමට ලක් වී ඇත. නාගරික සමාජයේ ඉංග්‍රීසි මිශ්‍ර භාෂාව භාවිත කිරීමට යොමු වන අතර චර්යාවේ විශාල වෙනසක් සිදු වෙයි. විශේෂයෙන් සේවා ස්ථානවල ආවේණික භාෂා සම්ප්‍රදායන් නිර්මාණය වී තිබීම සංස්කෘතික වෙනස්වීම නිරූපණය කරන නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය.

ගමෙන් නගරයට පැමිණෙන තරුණියන්ට මුල් කාලීන ව නගරය පිළිබඳ ව එතරම් අවබෝධයක් නොමැති අතර මේ නිසා ම නාගරීකරණයේ ගොදුරු බවට පත්වෙයි. ගමෙන් නගරයට පැමිණෙන තරුණියන් නගර තුළ හුදෙකලා වන අතර අයහපත් සමාජ සම්බන්ධතා පවා නිර්මාණය වෙයි. නාගරීකරණය හේතුකොටගෙන සේවා ස්ථාන තුළ මෙන් ම සේවා ස්ථානයෙන් පිටත කාන්තාව විවිධ හිංසනයන්ට පත්වෙයි. එ මෙන් ම සමාජ විරෝධී චර්යා වෙතට නැඹුරු වන ආකාරයක් ද දැකිය හැකිය. මේ ආකාරයේ සමාජ වෙනස්කම් රාශියක් සිදු වන්නේ නාගරීකරණය ත් සමඟ ය. ගැමි සමාජයේ මෙන් නොව නගරය තුළ වාසය කරන මෙවැනි කාන්තාවන්ට සංකීර්ණ අවශ්‍යතා සමඟ සෑම වයස් කණ්ඩායමක ම පුද්ගලයන් ආශ්‍රය කිරීමට සිදු වෙයි. බොහෝ විට කාන්තාව නගර තුළ මිල කරන භාණ්ඩයක් බවට පත් වී ඇති ආකාරයක් දැකිය හැකිය. මේ නිසා ම නාගරික සමාජයේ පුරුෂයන්ගේ සරදම්වලට නිරන්තරයන් මුහුණ පාන්නට සිදු වීම දිගු කාලීන සංස්කෘතික යාන්ත්‍රණයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටකට කණගාටුදායක තත්ත්වයකි. මේ අනුව පෙන්වාදිය හැක්කේ සමාජීය වශයෙන් නාගරීකරණය තුළින් වෙනස්කම් සිදු වන බව ය.

ශ්‍රී ලංකා සමාජයේ නාගරීකරණය තුළින් සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් පරිහානියට පත්වන ආකාරයක් දක්නට පවතියි. නාගරික සමාජයේ සුදු කරපටි රැකියා අපේක්ෂාවෙන් සියලු දෙනා නගරය වෙත සංක්‍රමණය වුව ත් සැබෑ තත්ත්වය වන්නේ නගර කරා සංක්‍රමණය වන සියලු දෙනාට එවැනි අවස්ථාවන් හිමි නොවන බව ය. නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ ශීඝ්‍ර ලෙස නගර කරා ව්‍යාප්ත වන ආකාරයක් දැකිය හැකිය.

නාගරීකරණයේ බලපෑමෙන් අවිධිමත් ආකාරයේ රැකියා බිහි වෙයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන රැකියා අවස්ථාවන් සංකෝචනය වෙමින් පවතියි. දැනට පවතින රැකියා පවා අංශගත ව පවතින ආකාරයක් දැකිය හැකිය. නගර තුළ වැඩි වන ජනගහනයට සාපේක්ෂ ව රැකියා බිහි වන්නේ නැත. රටේ ආර්ථිකය ප්‍රසාරණය නොවීම, රාජ්‍ය අංශයේ රැකියා සීමා වීම සහ නගරය තුළ සංකීර්ණ ස්වභාවයක් නිර්මාණය වීම නිසා අවිධිමත් අංශයේ රැකියා වෙතට යොමු වෙයි. විශේෂයෙන් නාගරීකරණය ත් සමඟ වෙළඳපොළ ප්‍රසාරණය වන අතර එහි සේවා සැපයීමට විවිධ අංශ ඔස්සේ සේවක පිරිස් දායක වෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සමාජයේ ඥාති සම්බන්ධතා මත නිෂ්පාදන සහ සේවා ක්‍රියාවලිය සිදු වුව ත් යටත්විජිතවාදය හමුවේ නිර්මාණය වූ වාණිජ රටාව ත් සමඟ නාගරික සමාජය තුළ නිෂ්පාදන සහ සේවා සඳහා වෙළඳපොළක් බිහි වී ඇත. නාගරීකරණය නාගරික වෙළඳපොළ ආරක්ෂා කරන අතර නාගරික හුවමාරු රටාවක් නිර්මාණය වී ඇත. පදික වෙළඳුන්, මෙහෙකරුවන්, ප්‍රාථමික කර්මාන්තවල සේවය කරන්නන්, කසළ එකතු කරන්නන් ආදී අඩු වැටුප් මට්ටම් යටතේ සේවය කරන සේවකයන් නගර ආශ්‍රිත ව නිර්මාණය වී ඇත්තේ නාගරීකරණයේ බලපෑමෙනි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ නගර ආශ්‍රිත ව නාට්හාමිවරුන් වශයෙන් සේවා සපයන පිරිස් බිහි වී ඇත. කෘත්‍යවාදී දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට මෙම පිරිස් නගරයේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙයි. නමුත් එවැනි පිරිස් නගරයේ අඩු පහසුකම් සහිත ව ජීවත් වන අතර විවිධ සමාජ අපගාමී සහ අපරාධකාරී චර්යාවන්ට පවා යොමු ව පවතින ආකාරයක් වර්තමාන ශ්‍රී ලංකා සමාජය විමර්ශනය කරන විට පෙනී යන කරුණකි. එහිදී තමාට ලැබෙන ඉතා සුළු වැටුප ජීවන මට්ටම පවත්වා ගෙන යාමට ප්‍රමාණවත් නොවීම තුළින් මත්ද්‍රව්‍ය අලෙවිය, සොරකම් කිරීම, මංකොල්ලකෑම වැනි ක්‍රියාවන්ට යොමු වන ආකාරයක් පවතියි. නාගරික ප්‍රදේශවල විශේෂයෙන් වර්තමාන කොළඹ නගරයේ මේ තත්ත්වය උග්‍ර ලෙස පවතින බව සංඛ්‍යා දත්ත තුළින් ද පෙන්නුම් කෙරෙයි. එහි මූල හේතුව විමසා බලන විට පැහැදිලි වන්නේ නාගරීකරණය ඒ සඳහා බලපෑම් කරන බව යි. ඒ අනුව මෙවැනි ප්‍රතිඵල නිර්මාණය වන්නේ නාගරීකරණයේ බලපෑමෙන් බව පැවසිය හැකිය. මේ තත්ත්වය තුළ විවිධ අනර්ථකාරී ප්‍රතිඵල හට ගන්නා බවට වර්තමාන සමාජයෙන් හැකි තරම් නිදර්ශන සැපයිය හැකිය. 

සමාජ සංස්ථාවන්ගේ සිදු ව ඇති වෙනස්කම්

නාගරීකරණය සමාජයේ විවිධ සමාජ සංස්ථාවන් සහ සමාජ ආයතන කෙරෙහි ද බලපා ඇති බව ලංකා සමාජය දෙස අවධානය යොමු කරන විට පෙනී යන කරුණකි. ඒ අනුව සමාජයේ මූලික සමාජ සංස්ථාව වන පවුල කෙරෙහි ද විවිධාකාරයෙන් බලපෑම් සහගත වී ඇත. නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වීමෙන් පවුල් සම්බන්ධතාවලින් දුරස් වීමක් සිදුවෙයි. දිනපතා නගරය තුළ කටයුතු කරන අතර ගම්බද ප්‍රදේශවලට යන්නේ ද ඉතා දිගු කලකිනි. ඇතැම් විට දිගු කලකින් හෝ යන්නේ ද නැත. පැමිණි නව ස්ථානය තුළ විවිධ සමාජ මට්ටම්, සමාජ කණ්ඩායම් සමඟ සම්බන්ධතා ගොඩනඟා ගනියි. මේ අනුව සමාජ සම්බන්ධතාවයන් වෙනස් වීමට ලක් වන බව පෙන්වාදිය හැකිය. එමෙන් ම නාගරීකරණය තුළින් ග්‍රාමීය මෙන් ම නාගරික සමාජයේ වෙනස්කම් සිදු වෙයි. එයට හේතුව නගර සමඟ ගම් සම්බන්ධ වන බැවිනි. කාන්තාව හෝ පුරුෂයා නගරයට සංක්‍රමණය වීමෙන් පවුල තුළ කාර්යයභාරයන් සහ ව්‍යූහය වෙනස්වීමක් ද සිදු වන බව ගම්‍ය වෙයි. එ නම් දරුවන් ගම තුළ සිටින කල්හි පියා හෝ මව හෝ දෙදෙනා ම හෝ නගරය තුළ වාසය කරන්නේ නම් දෙමාපිය දූ දරු සම්බන්ධතා දුරස් වෙයි. දරුවන් පිළිබඳ ව සොයා බැලීමට ප්‍රමාණවත් කාලයක් නොතිබීමෙන් දරුවන් නිවැරදි මාර්ගයේ ගමන් නොකරන්නට පුළුවන. ආදායම් ඉපයීමේ අරමුණෙන් නගර වෙතට සංක්‍රමණය වුව ත් මේ තුළින් අවසානයේ සමාජ සම්බන්ධතා සහ සමාජ කාර්යයභාරයන් ගිලිහී යාමට පවා අවස්ථාව ඇත. වර්තමාන ශ්‍රී ලංකා සමාජය එවැනි තත්ත්වයන් සඳහා නිදසුන් සපයයි. නාගරික සමාජයේ සාම්ප්‍රදායික සමාජයේ මෙන් සාමූහික විඥානය වැදගත් නොවන බැවින් පවුල් සම්බන්ධතා වියැකී යන තත්ත්වයක් දක්නට ලැබෙයි.

එමෙන් ම නාගරීකරණය හේතුවෙන් පවුල තුළ කාර්යයභාරයේ මෙන් ම ව්‍යූහයේ ද වෙනස්කම් සිදු වී තිබෙයි. විශේෂයෙන් නාගරීකරණයේ බලපෑමෙන් ග්‍රාමීය සමාජයේ පැවති විස්තීරණ පවුල වෙනුවට න්‍යෂ්ටික පවුල් නිර්මාණය වී තිබෙයි. නාගරීකරණය වීමේ දී පවුලේ සෙසු සාමාජිකයන් හැර දමා මූලික පවුලේ සාමාජිකයන් නගර වෙතට අවතීර්ණ වීමෙන් නගර තුළ න්‍යෂ්ටික පවුල් වැඩි ප්‍රමාණයක් දක්නට පුළුවන. මේ නිසා බොහෝ නාගරික පවුල් තුළ ආරක්ෂාව සහ අන්‍යෝන්‍ය බැඳීම සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් දක්නට නොලැබෙයි. එ මෙන් ම තවදුරටත් විමසා බලන විට පැහැදිලි වන්නේ වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ නාගරික මෙන් ම ග්‍රාමීය සමාජයේ පවුල තුළ දික්කසාදය, බිඳුණු පවුල් නිර්මාණය වීම වැනි තත්ත්වයන් සඳහා ත් නාගරීකරණය ඍජු ව මෙන් ම වක්‍රාකාරයෙන් බලපා ඇති බවකි. ග්‍රාමීය නාගරික බව අනුව ශ්‍රී ලංකාවේ පවුල තුළ කාන්තාවගේ අධ්‍යාපන මට්ටම වෙනස්වීම සිදු විය හැකි අතර රැකියා සඳහා යොමුවීමේ ස්වභාවය වෙනස් වෙයි. විශේෂයෙන් බටහිර සමාජයේ මෙන් නොව ශ්‍රී ලංකාවේ සංස්කෘතික සන්දර්භයට අනුව කාන්තාව පවුල හා බැඳුණු, පවුලේ සදාචාරය ආරක්ෂා කරන තැනැත්තිය වශයෙන් කටයුතු කළ ත් වර්තමාන සමාජය තුළ නාගරීකරණයේ බලපෑමෙන් මෙම තත්ත්වය වෙනස් වී ඇති බව පැහැදිලි ව විද්‍යමාන වන කරුණකි.

නාගරීකරණය පවුල නම් සමාජ ආයතනයට පමණක් නොව ඥාතිත්වය සහ විවාහය යන සමාජ සංස්ථාවන්ට ද බලපෑම් සහගත වී තිබෙයි. නාගරික සමාජයේ විවාහය පිළිබඳ ව සළකා බලන කල පෙනී යන්නේ පැරණි විවාහ සංස්කෘතියේ අගනාකම්, ප්‍රතිමාන වෙනස් වී ඇති බවකි. නාගරික සමාජයේ විවාහ සංස්ථාව තුළ නව ප්‍රවණතාවයන් රැසක් දක්නට ලැබෙයි. ඒ  අනුව විවාහයේ කාර්යයභාරයන් සුවිශේෂී ආයතනවලට පැවරී තිබෙයි. හෝටල් ආශ්‍රිත ව පැවැත්වීම, මංගල සේවා සපයන ආයතන බිහි වීම වැනි වෙනස්කම් සිදු ව ඇත්තේ නවීකරණය සහ නාගරීකරණය වැනි සමාජ ක්‍රියාවලීන්ගේ බලපෑමෙනි. නාගරික සමාජ ව්‍යූහය තුළ ඥාතිත්ව බැඳීම් දුරස් වී ඇති අතර පුද්ගල කේන්ද්‍රීය සමාජ රටාවක් නිර්මාණය වී තිබෙයි. 

සමාජය යනු සංකීර්ණ සමාජ සම්බන්ධතාවලින් ගැවසී ගත් ඒකකයකි. සමාජයක් හඳුනා ගැනීමේ දී  දක්නට ඇති ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි සංස්කෘතියක් ක්‍රියාත්මක වීම යි. ඒ අනුව සංස්කෘතිය හා සමාජය අතර සමීප සම්බන්ධතාවයක් දක්නට ඇති අතර සංස්කෘතියකින් තොරව සමාජයකට පැවතිය නොහැක. සමාජයේ බහුතරය විසින් දැන නියම කරගෙන ඇති හැසිරීමේ රටාව නැතහොත් මෝස්තරය සංස්කෘතිය වශයෙන් හැඳින්විය හැකිය. සංස්කෘතිය එක්වර පහළ වන දෙයන් නොව කාලාන්තරයක් තිස්සේ හැඩ ගැස්වෙමින්, එකතු වෙමින්, වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරන්නකි. මේ තුළින් සංස්කෘතියේ දී කාලය පිළිබඳ හැඟීම කැපී පෙනෙන අංගයක් බව පෙන්වාදිය හැකිය. වර්තමාන ශ්‍රී ලංකාවේ නාගරීකරණය තුළින් සංස්කෘතියේ විවිධ වෙනස්කම් සිදු වී  ඇති බව මේ අනුව පෙන්වාදිය හැකිය. ඥාතිත්වය පදනම් කර ගත් සමාජ සංස්කෘතික රටාව කාලයේ විකාශනය ත් සමඟ නාගරික සමාජ තුළ පරිණාමයට පත් වී ඇති බව නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. කාලයට අනුරූපී ව මෙසේ සමාජ වෙනස්වීම අපේක්ෂා කිරීමට සිදු වෙයි. නමුත් සමාජවිද්‍යාත්මක ව අවධානය යොමු කිරීමේ දී නාගරීකරණය හරහා සිදු වන එම සමාජ වෙනස්වීම පවතින සංස්කෘතික සන්දර්භයට අනුව භාරගත යුත්තේ කෙසේදැයි මානවයා විසින් අවධාරණය කරගත යුතු කාරණයකි. ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතික සන්දර්භයට අනුව මානවයාගේ යහපැවැත්ම උදෙසා උචිත නාගරීකරණයක් සිදු විය යුතුය.

ශ්‍රී ලංකාවේ සමාජ සංස්ථාවන්ට නාගරීකරණයේ බලපෑමෙන් විවිධ වෙනස්කම් සිදු වෙයි. අධ්‍යාපන පද්ධතිය ද විශාල වෙනස්කම් රාශියකට බඳුන් වී ඇති අයුරු හඳුනාගත හැකිය. අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රාදේශීය විෂමතාවයක් දැකිය හැකිය. ග්‍රාමීය, වතු, අර්ධ නාගරික සහ නාගරික වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ දක්නට ලැබෙන වෙනස්කම් සමානාත්මතාවය, ගුණාත්මකභාවය, කාර්යක්ෂමභාවය සහ ඵලදායීතාවය යන සෑම අංශයකින් ම දක්නට ලැබෙයි. නාගරික වශයෙන් ව්‍යාප්ත වන ජනප්‍රිය පාසැල් ගුණාත්මක, භෞතික සහ මානව සම්පත් යන සෑම අංශයකින් ම සමන්විත වන අතර ඊට සාපේක්ෂ ව ඉහත සඳහන් කළ අංශවල ඇත්තේ සම්පත් හිඟයකි. මේ නිසා ම ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුළත් කරගැනීමේ දැඩි තරඟයක් නිර්මාණය වී ඇත. මෙය නාගරික සමාජයේ වෙනස්කම් ඇති කර තිබෙයි. අධ්‍යාපන රටාවේ පවතින අධික තරඟය ත් සමඟ නාගරික ජනප්‍රිය පාසැල් වෙතට ඇදී යාමෙන් ග්‍රාමීය පාසැල් වැසී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙයි.   

ඒ අනුව ගම්වල සිට නගර කරා ප්‍රවේශ වීමට හේතුවක් වන්නේ නගරවල දියුණු අධ්‍යාපන පහසුකම් සහ ඉඩප්‍රස්ථා පැවතීම යි. සම්පත් ව්‍යාප්තියේ පවතින විෂම බව ත් සමඟ දුෂ්කර ගම්මානවලට අධ්‍යාපන පහසුකම් ව්‍යාප්ත වන්නේ මද වශයෙන් හෝ මන්දගාමී අයුරිනි. මේ නිසා සිය දරුවන්ට උසස් අධ්‍යාපන පහසුකම් හිමි කර දීමේ අරමුණෙන් නගර කරා සංක්‍රමණය වන අතර නගරවල ජනගහනය වර්ධනය වීමට එය හේතු වෙයි. නාගරීකරණය ත් සමඟ නව බුද්ධිමය සංවිධානය නිර්මාණය වන අයුරක් ද දැකිය හැකිය. විශේෂයෙන් උසස් අධ්‍යාපන ආයතන සහ පහසුකම් සහිත පාසැල් සහ වෙනත් අධ්‍යාපන ආයතන විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ද, තවදුරටත් වන්නේ ද නගර තුළ බව පැවසිය හැකිය. වර්තමානයේ අධ්‍යාපන රටාවේ පවතින තරඟකාරී ස්වභාවය ත් සමඟ නාගරීකරණය වීමේ හේතුවක් වශයෙන් එය හඳුනාගත හැකිය. එ මෙන් ම නාගරීකරණයේ බලපෑමෙන් අධ්‍යාපන රටාවේ වෙනස්කම් සිදු ව ඇති බව පෙන්වාදිය හැකිය.

එපමණක් නොව නාගරීකරණය තුළින් ආගමික පද්ධතියේ ද වෙනස්කම් ඇති කර තිබෙයි. වර්තමානයේ නගර කේන්ද්‍ර ආගමික මධ්‍යස්ථාන පිහිටා ඇති අතර මේ තුළින් නව සමාජ රටාවන් නිර්මාණය වී ඇත. විශේෂයෙන් පූජා නගර සංකල්පය නිදසුනක් වශයෙන් පෙන්වාදිය හැකිය. මේ ආකාරයට නාගරීකරණය හේතුවෙන් සමාජයේ ආර්ථිකය, පවුල, අධ්‍යාපනය සහ ආගම යන සමාජ සංස්ථාවන් සහ විවාහය, ඥාතිත්වය ආදී සමාජ ආයතන ද විවිධ වෙනස්කම්වලට ලක් වී ඇති බව පෙන්වාදිය හැකිය.      

සංස්කෘතික වශයෙන් සිදු ව ඇති වෙනස්කම්

ශ්‍රී ලංකාවේ නාගරීකරණය පුද්ගලයාගේ ජීවිතයේ සහ සංස්කෘතියේ බොහෝ අංශයන්ට බලපෑම් සහගත වී ඇත. ආගමික සම්ප්‍රදායන්, භාෂා රටාවන්, සමාජ ධූරාවලිය, ආහාර රටාවන්, සංගීත හෝ නර්තන සම්ප්‍රදායන්, ඇඳුම් පැළඳුම්, උත්සව, විනෝද පහසුකම් සහ සමාජ සම්බන්ධතා ආදී සෑම පැතිකඩක් කෙරෙහි ම බලපා ඇත.

වර්තමාන නාගරික සමාජ සන්දර්භය තුළ මානවයාට සෑම ක්‍රියාකාරකම ක් ම පාහේ කිරීමට සිදු වී ඇත්තේ වාණිජවාදී සමාජ ආර්ථික වටපිටාවක් තුළ ය. මේ හේතුවෙන් සමාජයේ සෑම අංගයක් ම පාහේ මුදල නැමැති ආර්ථික බලවේගය මත පදනම් ව පවතින ආකාරයක් දක්නට ඇත. ශ්‍රී ලංකා සමාජය ද ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වීමට භාජනය වී ඇති අතර තවදුරටත් එය සිදුවෙමින් පවතියි. නාගරීකරණයට ලක්වීමෙන් සංස්කෘතිය තුළ අන්තර්ගත සෑම සංස්කෘතිකාංගයක් ම ඍජු ව හෝ වක්‍රාකාරයෙන් එහි ගොදුරු බවට පත්වීම තුළින් සමාජ වටිනාකම්, ඇගයුම්, ආකල්ප, හර පද්ධතීන් සහ සාරධර්ම විනාශ මුඛයට ගමන් කරමින් පවතියි. මානවයා ධනය, බලය සහ අනෙකුත් අසීමිත අවශ්‍යතාවයන් පසුපස වේගයෙන් හඹා යන අතර සංස්කෘතිකාංග අභාවයට යන ආකාරයක් ද දැකගත හැකිය. එ මෙන් ම ගැමි සමාජවල ලක්ෂණ ක්‍රමයෙන් පරිහානියට ලක්වෙයි. ගැමි සමාජයේ වඩාත් වැදගත් ලක්ෂණයක් වන්නේ සාමූහිකත්වය පදනම් කර ගනිමින් කටයුතු කිරීම යි. සාමූහිකත්වය පදනම් කරගෙන  ඒකාබද්ධතාවයකින් පොදු සමාජ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඥාතිත්වය ආදී විවිධ සමාජ සංස්කෘතික යාන්ත්‍රණ පවතියි. ග්‍රාමීය සමාජයේ සාමූහික විඥානය පදනම් කරගෙන ගොඩනැඟුණු සමාජ සම්බන්ධතා ගෝලීයකරණය ඔස්සේ නව ලිබරල්වාදී ආර්ථිකය සහ බටහිර සංස්කෘතික ප්‍රවාහය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් යුගයක නාගරීකරණය වූ ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යූහය සාම්ප්‍රදායික ගැමි සමාජයෙන් පැහැදිලි ව ම වෙනස් වෙයි. නාගරීකරණය වැළඳ ගැනීමෙන් ශ්‍රී ලාංකික ජන සමාජයේ පැවති අගනාකම්, සාරධර්ම වෙනස් වී ඇති අතර සුඛෝපභෝගී ජීවන පහසුකම් ළඟා කර ගැනීමට තරඟකාරී සමාජ රටාවකට අවතීර්ණ වී සිටියි. මේ අනුව නගර වෙතට සංක්‍රමණය වීම හරහා සාම්ප්‍රදායික සමාජයේ පැවති සම්බන්ධතා වෙනස් වී නව සමාජ සම්බන්ධතා රටාවන් නිර්මාණය වී ඇත. 

ශ්‍රී ලංකාව ඇතුළු ව දකුණු ආසියානු සමාජයේ සෑම රටක ම පාහේ ජනයාගේ අවසාන අරමුණ වන්නේ නාගරික සමාජ කරා ළඟා වීම යි. යථාර්ථවාදී ව විමසා බලන විට නාගරීකරණය සැබෑ ලෙස ම සම්පූර්ණයෙන් යහපත් ක්‍රියාවලියක් නොවෙයි. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල සමාජයේ ඉහළට ගමන් කිරීමට සුදුසු ම ක්‍රමය එය බව සිතා බොහෝ පිරිසක් නගර කරා සංක්‍රමණය වෙයි. අවිධිමත් නාගරීකරණය හේතුවෙන් ගැටලු රාශියක් උද්ගත වී ඇති අතර මානව වර්ගයා මේ හරහා පීඩනයට පත්වෙයි. උසස් යැයි සම්මත ජීවන මට්ටම්, බුද්ධිමය සංවිධාන සහ පරිභෝජන රටාවන් නාගරීකරණය තුළ පවතියි. නාගරීකරණයෙන් අසීමිත වූ මානව අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ කරන බැවින් දැඩි තරඟකාරිත්වයක් නිර්මාණය වී ඇත. පෞද්ගලිකත්වය සහ ආත්මාර්ථකාමී හැඟීම් ඉස්මතු වී ඇති අතර මේ තුළින් පුද්ගලයා හුදෙකලා වී ඇත. මේ අනුව යථාර්ථවාදී ව විමර්ශනය කරන විට පුද්ගලයාට අවශ්‍ය පහසුකම් සහිත සමාජ සම්බන්ධතාවන්ට අයහපත් නොවන නාගරීකරණයක් වැදගත් බව ත් පෙන්වාදිය හැකිය.     

නාගරීකරණය වූ වර්තමාන ශ්‍රී ලංකා සමාජයේ පුද්ගලයන් විසින් කරනු ලබන බහුතරයක් මානව චර්යාවන්ගේ මූලික පදනම ආර්ථිකය බව එය ගැඹුරින් විශ්ලේෂණය කරන කල්හි පෙනී යන්නකි. 18 වන සියවසේ අගභාගයේ සිට යුරෝපයේ සිදු වූ දැවැන්ත සමාජ, ආර්ථික වෙනස්වීම මෙවැනි චර්යාවකට අවශ්‍ය මානසිකත්වය ගොඩ නැඟීමට පසුබිම් වූ බව ද පැවසිය හැකිය. බටහිර ලෝකයේ සියවස් ගණනාවක් තිස්සේ පැවති යටත්විජිතවාදී සූරාකෑම නව මුහුණුවරක් ඔස්සේ සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පවතියි. බටහිර රටවල් ඔවුන්ගේ සමාජ ආර්ථික සුඛිත මුදිතභාවය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සූරාකමින් ගෙන ගිය යටත්විජිතවාදී ප්‍රතිපත්තිය වෙනුවට වෙනත් ආකෘතියක් හරහා ස්වකීය බල ව්‍යූහය ස්ථාපිත කර ගන්නා ආකාරයක් දක්නට ඇත. එකී අවශ්‍යතාවය සපුරා ගැනීමට බටහිර අධිරාජ්‍යවාදී රටවල් සැළසුම් සහගත ව ක්‍රියාත්මක කරනු ලබන උපක්‍රමශීලී වැඩපිළිවෙළ නම් වාණිජවාදී සහ අධි පරිභෝජනවාදී නව සමාජ ආකෘතිය යි. මෙම සැළසුම විවිධ මාධ්‍යයන් ඔස්සේ තුන්වන ලෝකය පුරා පතුරුවාලීමට කටයුතු කර ඇත. පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පරිගණකය වැනි විවිධාකාරයේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් මඟින් එහි දී විශාල කාර්යයභාරයක් සිදු කරනු ලැබෙයි. මුල් යුගයේ පුවත්පත්, ගුවන් විදුලිය වැනි මාධ්‍යයන් එහි ලා විශාල කාර්යයක් කළ ද රූපවාහිනී මාධ්‍යය කරලියට ඒම ත් සමඟ ඒ ස්ථානය භාර ගත්තේ රූපවාහිනිය යි. එය ද ඉතාමත් සාර්ථක ව ඉහත අරමුණ සපුරා ගැනීමේ කාර්යයට දායක විය. වර්තමානයේ ජගත් මට්ටමේ නව තොරතුරු තාක්ෂණික දැනුම ලොව ගම් නියම්ගම් දක්වා පැතිර යන මොහොතක ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරනුයේ පරිගණකය, අන්තර්ජාලය වැනි ප්‍රවේශයන් ය. ඒ අනුව නූතනත්වයට පත්වී ඇති සමාජයේ වාණිජවාදී සහ අධි පරිභෝජනවාදී නව සමාජ ආකෘතිය වෙතට ජනතාව නැඹුරු කරවීමේ දී එම ප්‍රවේශයන් ප්‍රබල ආධාරකයන් වශයෙන් පවතින බව වර්තමාන සමාජ සන්දර්භය දෙස අවධානය යොමු කිරීමේ දී පෙනී යයි. ශ්‍රී ලංකාවේ නාගරික සමාජය තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකිය.

මෙරට ආර්ථික ආධිපත්‍යය හිමි කරගෙන සිටින්නේ විජාතිකයන් විසිනි. නාගරීකරණයට භාජනය වූ වාණිජවාදී ආර්ථික රාමුව හේතු කොටගෙන විවිධාකාරයේ භාණ්ඩ ආනයනය කරන අතර බහුජාතික සමාගම් විසින් මේවා නිෂ්පාදනය කරන්නේ ලාබදායී ප්‍රතිඵල අපේක්ෂා කරගෙන විශේෂයෙන් නාගරික සමාජය ඉලක්ක කරගෙන ය. එ බැවින් මෙසේ ආනයනය කරන භාණ්ඩවල ගුණාත්මකභාවය පිළිබඳ ව ගැටලුවක් පැන නඟියි. විදේශීය නිෂ්පාදකයන් මෙවැනි භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී විවිධ රසායනික ද්‍රව්‍ය ආදිය භාවිත කරන බැවින් ඒවා පරිභෝජනයට ද අහිතකර ය. පුද්ගල යහපැවැත්ම කෙරෙහි එම භාණ්ඩ අනර්ථකාරී ලෙස බලපෑම් සහගත වෙයි. නමුත් සමකාලීන සමාජය තුළ දැකිය හැක්කේ මෙවැනි වාතාවරණයකි. ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ ආහාර රටාවන් විශාල වශයෙන් වෙනස් වීමට බලපා ඇති හේතුවක් වන්නේ නාගරීකරණය යි.

ශ්‍රී ලංකාවේ නාගරීකරණය සිදු වීමේ එක් සන්දිස්ථානයක් වූයේ ශ්‍රී ලංකාව යටත් විජිතකරණයට ලක් වීම යි. මේ අනුව ශ්‍රී ලංකාව බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට නතු වීමෙන් පසු ව ඇරඹුණු යුගයේ දී ක්‍රමයෙන් බටහිර සිරිත් විරිත් සඳහා අවධානය යොමු විය. විශේෂයෙන් නාගරික සමාජයේ සිටි සමාජ කොටස් මේ තත්ත්වයට වේගයෙන් අනුගත විය. දේශීය ආභාසය, දේශීය සංස්කෘතික අනන්‍යතාවය පිරිහී ගොස් විදේශීය නිපැයුම් කෙරෙහි වූ අන්ධානුකරණය නිසා ඒවාට නැඹුරු විය. වර්තමානයේ නාගරික සමාජයේ ලක්වැසියන් අත් විඳින අතිශය දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයට මූලික හේතුවක් වන්නේ නොගැළපෙන ජීවන ශෛලියකට හුරු පුරුදු වීම යි. පැරණි යුගයේ ලක්දිව මානවයන් තුළ පැවති හිතකර ජීවන රටාව තුළින් නිරායාසයෙන් ම සෞඛ්‍ය සම්පන්නභාවය ළඟා කොට ගැනුණි. හිතකර ජීවන ශෛලීන් යනු විවිධත්වයකින් යුත් බහුවිධ චර්යාවන් සහිත ක්‍රියාකාරී රටාවකින් සමන්විත වූවකි. කායික, මානසික සහ සමාජීය වශයෙන් වඩාත් පිරිපුන් පුද්ගලයෙකු නිර්මාණය කිරීමට එබඳු ජීවන ශෛලීන් ඉවහල් වෙයි. නමුත් නාගරීකරණයේ බලපෑමෙන් විශේෂයෙන් ම සාම්ප්‍රදායික සෞඛ්‍යමත් ආහාර පරිභෝජන රටාවන්ගෙන් ඈත් වී වැඩි වශයෙන් නාගරික සමාජයට ගැළපේ යැයි අනුමාන කරන පරිභෝජන රටාවන්ට අනුගත වී ඇත. මේ නිසා ම නාගරික සමාජය තුළ පරිභෝජනවාදයක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් ම නාගරීකරණයේ බලපෑමෙන් වෙළඳපොළ මත සියල්ල ක්‍රියාත්මක වන ආකාරයක් නිර්මාණය වී ඇති බැවින් සමකාලීන ශ්‍රී ලංකාවේ පාරිභෝගික සංස්කෘතියක් නිර්මාණය වී ඇත.

විවෘත ආර්ථිකය සමඟ ඇරඹි ගෝලීයකරණ යටත්විජිතවාදය හරහා ඉතා නිර්දය ලෙස ශ්‍රී ලංකා සමාජය ආක්‍රමණය කළ අතර බටහිර ආහාර රටාව වෙතට යොමු කරන ලදි. වෙළඳ දැන්වීම් තුළින් පුද්ගලයාට ඔරොත්තු නොදෙන පරිභෝජන රටාවකට පුද්ගලයා නොදැනුවත්ව ම තල්ලු කරවයි. සංස්කෘතික විපර්යාසයන් ද මෙකී වෙළඳ දැන්වීම් හරහා සිදු වෙයි. ධනේෂ්වර ආර්ථිකය තුළ අනිවාර්ය ලක්ෂණයක් වන්නේ භාණ්ඩ අලෙවිය පිළිබඳ තරඟය යි. මෙයින් භාණ්ඩ පිළිබඳ අවශ්‍යතාවය පාරිභෝගිකයා තුළ ඇති කිරීමට හැකි වෙයි. විවිධ නිෂ්පාදන පාරිභෝගිකයා වෙතට ගෙන යාම සඳහා භාවිත කරන කලාව ප්‍රචාරණය වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. භාණ්ඩ අලෙවිය සඳහා ප්‍රචාරණ විධි අනුගමනය කිරීමේ දී එය වඩාත් ඵලදායී අන්දමින් කිරීමට නිෂ්පාදකයා කටයුතු කරන අතර එහි දී වර්තමානයේ මාධ්‍යය වඩාත් වැදගත් වී ඇත. රූපවාහිනිය, සඟරා මෙන් ම වර්තමානයේ වැඩි වශයෙන් පරිගණකය හරහා අන්තර්ජාලය වෙතට ගමන් කරන පුද්ගලයා නිරන්තරයෙන් මෙම කඩිනම් ආහාර සංස්කෘතිය වෙතට යොමු කරවීමට විවිධ උපක්‍රම පවතියි. කෘතිම ආහාර ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනියි. විවිධ කෘතිම වර්ණකාරක, රසකාරක සහ සංරක්ෂක යොදා සකස් කළ නිෂ්පාදන විවිධ නම්වලින් වෙළඳපොළට පැම්ණ තිබෙන අතර මේවා වඩාත් ජනප්‍රියත්වයට පත් ව ඇත්තේ නාගරික සමාජයේ ය. නාගරික සමාජයේ ගෘහණියගේ කාර්යයභාරයන් මේ නිසා ම වෙනස් වී ඇත. නාගරික ජීවිතයේ පවතින තරඟකාරිත්වය ත්, කාර්යයබහුලත්වය ත් මඟින් මෙවැනි පරිභෝජන රටාවකට යොමු වී ඇති ආකාරයක් දැකිය හැකිය. විශේෂයෙන් මෝල් සාප්පු සංකීර්ණ නූතන ශ්‍රී ලංකා සමාජයේ ද ව්‍යාප්ත වී ඇති අතර එය නාගරීකරණයේ ද ප්‍රතිඵලයක් වශයෙන් හඳුනාගත හැකිය. 

නාගරීකරණය ත් සමඟ ශ්‍රී ලංකා සමාජයේ මහා පරිමාණ පාරිභෝගික සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව මෝල් සාප්පු සංකීර්ණ තුළින් පැහැදිලි කළ හැකිය. “වෙළඳ අවකාශයක් වශයෙන් මෝල් සාප්පු සංකීර්ණවල මූලික පදනම නිර්මාණය වූයේ 19 වන සියවසේ යුරෝපීය නාගරික අවකාශය තුළ බිහි වූ ආකේඞ් නම් වූ ආවරණය කරන ලද වෙළඳ අවකාශය වේ” (පෙරේරා, 2003, පි.56). ආකේඞ් නම් නාගරික අවකාශය තුළ පරිභෝජන භාණ්ඩවලින් පිරී ගිය සිහින ලෝකයක් නිර්මාණය කරන බව ත් මෙය නූතනත්වය තුළ ජනිත වූ නූතනවාදයේ ම විස්තීරණයක් බව ත් පෙන්වාදෙයි. මෙවැනි ඓතිහාසික සහ ආකෘතිමය සන්දර්භයක් තුළ වර්තමාන ශ්‍රී ලංකාවේ නාගරික අවකාශය තුළ මෝල් යනුවෙන් හඳුන්වන පරිභෝජන ආකෘතිය ද බිහිවෙයි. 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම ත් සමඟ මෙම ප්‍රපංචය ඉස්මතු වෙයි.

ලොව අනෙක් රටවල මෙන් ම ශ්‍රී ලංකාවේ ද මෝල් සාප්පු සංකීර්ණයක් යනු අද වන විට භාණ්ඩ මිල දී ගැනීම සඳහා පමණක් යන ස්ථානයක් නොවන අතර එය ඊට ම ආවේණික වූ ගතිකත්වයෙන් යුක්ත සමාජ සංවිධානයකි. මෙය රංග භූමි පසුතලයක් වශයෙන් දැකිය හැකිය. මෙම සංකිර්ණවල ප්‍රධාන ම කාර්යයභාරය පරිභෝජනවාදය වුව ද මේවා තුළ සිදු වන එක ම ක්‍රියාව පරිභෝජනය පමණක් නොවන බව පැහැදිලි කළ හැකිය. වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සහ ඒ අවට නාගරික ප්‍රදේශය තුළ මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට් බුලෙවාඞ් සහ තලවතුගොඩ පිහිටි කැපිටල් මෝල් යනාදිය නිදසුන් වශයෙන් පෙන්වාදිය හැකිය (පෙරේරා, 2003, පි.65). මෙයින් පළමුවෙන් සඳහන් කර ඇති සංකීර්ණ තුන ම පිහිටා ඇත්තේ කොළඹ නගරයේ ඉතා ජනප්‍රිය සහ මිල අධික භූමි ප්‍රදේශ තුනක ය. මෙම සියලු ස්ථාන හා සම්බන්ධ සමස්ත අනුභූතියේ එක් කොටසක් නම් නාගරීකරණය නිසා වාහන සහ පුද්ගල ඝනත්වය තුළින් ඇති වන තදබදයෙන් පීඩා විඳීම යි. මේ තුළට පිවිසෙන ඕනෑම කෙනෙකුට අඩු වැඩි වශයෙන් මේ තත්ත්වය අත් විඳින්නට සිදු වෙයි. ශ්‍රී ලංකාවේ මෙවැනි සංකීර්ණ වෙත ප්‍රවේශ වීම සඳහා මාර්ග පද්ධති සහ වාහන නැවැත්වීමට පහසුකම් සළසා ඇති නමුත් තදබදයක් දක්නට පවතියි. මේ නිසා මැජෙස්ටික් සිටි, ලිබර්ටි ප්ලාසා, ක්‍රෙස්කැට් බුලෙවාඞ් වැනි සංකීර්ණ වෙත අවතීර්ණ වීමේ දී අතිශය වාහන තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යන ගැටලු නිශේධනාත්මක ආකාරයෙන් මානව සමාජයට බලපෑම් කරයි.

ශ්‍රී ලංකාවේ මෝල් සාප්පු සංකීර්ණ වෙත අවධානය යොමු කිරීමේ දී ඒවා වෙත ඇදී එන ජනතාව අතර තරුණ තරුණියන් බහුතරයක් සිටින බව පෙනී යයි. එ මෙන් ම ඔවුන් අතරින් තනිව ම පැමිණෙන අය සිටින්නේ අතළොස්සකි. ඔවුන්ගෙන් විශාල පිරිසක් දෙදෙනෙකු හෝ ඊට වැඩි කණ්ඩායම් වශයෙන් පැමිණෙන බව පෙන්වාදිය හැකිය (පෙරේරා, 2003, පි.71). තනි ව පැමිණෙන බොහෝ දෙනෙක් රහි පැමිණෙන්නේ අන් පුද්ගලයන් මුණගැසීම පිණිස බව ද මෙවැනි අවකාශ තුළ දී පෙනී යයි. මේ අනුව කොළඹ සහ තලවතුගොඩ පිහිටි මෝල් සංකීර්ණ වෙත බොහෝ තරුණ කොටස් ඇදී එන්නේ ඒවා නාගරික තරුණ තරුණියන් මුණගැසෙන අවකාශ බවට පත් ව ඇති හෙයිනි. මේ තුළින් යම් අකාරයක සමාජ ප්‍රාග්ධනයක් නිර්මාණය වෙයි. ඊට හේතුව වන්නේ නාගරික සමාජයේ ඒ වෙත ගමන් කිරීම සමාජ සහ සංස්කෘතික වශයෙන් වැදගත් කාරණයක් වශයෙන් සිතන බැවිනි.  

නාගරික සමාජයේ විලාසිතාවන් පිළිබඳ සංඥාර්ථවේදය ද දැඩි බලපෑමක් කරයි. විශේෂයෙන් කොළඹ පිහිටි ඔඩෙල් සහ මිලේනියම් පාර්ක් වැනි වෙළඳ අවකාශයන් මේ වන විට නාගරික, මධ්‍යම සහ උසස් පාන්තික තරුණ කණ්ඩායම්වල විලාසිතා රුචිකත්වයන් විදහා දක්වන රංගන වේදිකා බවට පත් ව තිබෙයි. නගරයේ විලාසිතා නමින් නම් දැරූ සුවිශේෂී සාප්පුවලින් හෝ ගෝලීයකරණය වූ සේවා වෙළඳපොළ විසින් සළකුණු කරන ලද සන්දර්භය තුළ නව විලාසිතා අන් අයට දර්ශනය කිරීමට සංකීර්ණ අවකාශයක් බවට නගරය පත් ව ඇත. මෙම අවකාශය තුළ අපේක්ෂා කරන්නේ නාගරික පන්නයට සකස් වූ පිරිසක් පමණි. නමුත් යථාර්ථවාදී ව විමසා බලන විට මේවායේ පවතින බෙහෝ තත්ත්වයන් බාහිර සමාජයේ යථාර්ථයන්ට සහ තත්ත්වයන්ට බෙහෙවින් පරිබාහිර වූ සුරංගනා ලෝක යථාර්ථයන් හෙවත් ව්‍යාජයන් බව පැහැදිලි වෙයි. නමුත් සංස්කෘතිය කාලානුරූපී ව වෙනස් වන බැවින් මේ තත්ත්වයට යටත් වීමට සිදු වන නමුත් සිහියෙන් යුතු ව අවශ්‍ය දේ පමණක් ලබා ගැනීමට විචාරශීලී විය යුතු ය.

නාගරික සමාජයේ මධ්‍යම පාන්තික පිරිස් පමණක් නොව සාප්පු සංකීර්ණ තුළ නිර්ධන පාන්තික වෙළඳ සවාරි ද සිදු වෙයි. විශේෂයෙන් විරැකියාවෙන් පෙළෙන පිරිස් ද මේ වෙතට ප්‍රවේශ වන ආකාරයක් දැකිය හැකිය. මෙහිදී භාණ්ඩ මිලට ගැනීමට වඩා භාණ්ඩවල දර්ශනයෙන් වින්දනයක් ලබා ගනියි. පාරිභෝජන භාණ්ඩ මිලට නො ගත්ත ද සංකීර්ණය තුළ කාලය ගත කරනු දැකිය හැකිය. අතිවිශාල ජන සංඛ්‍යාවක් මෙහි ගමන් කරන බැවින් අවකාශ පිරිසුදු කිරීමට අමතර මුදලක් වැය කිරීමට ද සිදු වෙයි. කෙසේ නමුත් නාගරික සමාජයේ මෝල් සාප්පු සංකීර්ණ යනු අනේක ක්‍රියාවලීන් සහ ගතිකත්වයෙන් යුක්ත සමාජ, සංස්කෘතික පද්ධතියක් බව නිරූපණය කළ හැකිය. නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මාණය වුණු සංවර්ධනයේ සංකේත වශයෙන් මානවයා විසින් වන්දනා කරන මෝල් සාප්පු සංකීර්ණ නාගරික සමාජය තුළ වෙනස්කම් රාශියක් සිදු වීමට හේතු වී ඇති බව මේ අනුව පැහැදිලි කළ හැකිය.      

ශ්‍රී ලංකාවේ නාගරීකරණය විශාල වශයෙන් කාන්තාවගේ වෙනස්වීම කෙරෙහි බලපා ඇත. නාගරික සමාජයේ කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ වෙළඳපොළක් ද දක්නට ඇත. කාන්තාව අදායම් උපයන්නියක වශයෙන් රැකියාවක නිරත වීම හෝ වෙනත් සමාජ, ආර්ථික සුබසාධන කටයුතුවල නිරත වීම නිසාවෙන් නාගරික සමාජයේ ගෘහණිය විශාල වශයෙන් කාර්යය බහුල වී ඇත. එමෙන් ම පවතින තරඟකාරී අධ්‍යාපනික රටාව හමුවේ දරුවන් වෙනුවෙන් ම කාලය වෙන් කරන කාන්තාවන් ද සමාජය තුළ දැකිය හැකිය. සමාජය සාම්ප්‍රදායික තත්ත්වයේ සිට නවීකරණයට පත් වීම ත් සමාජ වෙනස්වීම ත් වර්තමාන කාන්තා කාර්යය කොටස් වෙනස්වීම කෙරෙහි බලපා ඇත. මේ නිසා ගෘහ කටයුතු වෙනුවෙන් කාලය වැය කිරීමට ඇතැම් කාන්තාවන් පෙළඹෙන්නේ ද නැත. අති ධාවනකාරී සමාජයකට ප්‍රවේශ වී තිබීම ද මෙයට හේතුවකි. එමෙන් ම නාගරික වීමේ වර්ධනීය අවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකවාදී සමාජ ව්‍යූහය මත පුද්ගලයන් නොනවතින අරගලයක නිරත වී සිටින නිසා ද සිය අසීමිත අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට වේගවත් ගමනකට අවතීර්ණ වීම නිසා ද සංස්කෘතික හරයන් වියැකී යන ස්වභාවයක් දක්නට ඇත. නිදසුනක් වශයෙන් ශ්‍රී නාගරීකරණයට ලක් වූ ප්‍රදේශ තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන අලුත් අවුරුද්ද සමරන ආකාරය වෙනස් වී ඇති ආකාරය පෙන්වාදිය හැකිය. නාගරික සමාජයේ බොහොමයක් සමාජ සංස්කෘතික භාවිතයන් අභියෝගයට ලක්  ව ඇති බව ද පැවසිය හැකිය.

නාගරීකරණයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ සමාජය තුළ සංස්කෘතියේ තවත් වැදගත් අංගයක් වන ඇඳුම්, පැළඳුම් ද වර්තමානය වන විට වෙනස් වී ඇති බව පෙන්වාදිය හැකිය. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, ආචාර සමාචාර ආදිය ද සංස්කෘතියේ බාහිර ලක්ෂණ වශයෙන් විවිධ බලපෑම් ඔස්සේ හැඩගැසෙයි. මෙකී තත්වයන් සංස්කෘතියේ ආරම්භක අවස්ථාවේ ස්වාධීන ව පැවතිය ද වෙනස්වීම ත් සමඟ නව අගයන් සහ භාවිතා රටාවන් ආදේශ වෙයි. මානවවිද්‍යාත්මක වශයෙන් සංස්කෘතියේ මෙම වෙනස්වීම කෙරෙහි හේතු වන ලක්ෂණයක් වන්නේ සංස්කෘතික විසරණය යි. “පරිබාහිර සංස්කෘතියකින් යම් යම් අංශ තමන්ගේ සංස්කෘතියට පැමිණ එයට ඒකාබද්ධ වන්නා වූ ආකාරය සංස්කෘතික විසරණය නම් වෙයි” (අමරසේකර, 1994, පි.57). ඕනෑම සංස්කෘතියක බහුතරයක් සංස්කෘතිකාංග විසරණය නිසා ලද ඒවා වෙයි. එමෙන් ම සංස්කෘතිය පිළිබඳ මානවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට සංස්කෘතික සම්පර්කය නම් සංකල්පය ද වැදගත් වෙයි. එනම් “යම්කිසි දුර්වල සමාජයක් හෝ සංස්කෘතියක් බලවත් සංස්කෘතියක බලපෑම යටතට පත් වූ විට බලවත් සංස්කෘතියේ අංග ලක්ෂණ දුර්වල සංස්කෘතියට බලපා ඊට එක් වීම” යි. ශ්‍රී ලංකාවේ සිංහල සංස්කෘතිය දෙස බලන විට මෙම කරුණු පැහැදිලි වෙයි. නාගරීකරණයේ බලපෑම ත් සමඟ මෙම තත්ත්වය වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ වර්තමාන නාගරික සමාජයේ ඇඳුම්, පැළඳුම් සහ නව විලාසිතා සඳහා පදනම් ව ඇත්තේ බටහිර සංස්කෘතිය යි. ශ්‍රී ලංකාවේ ජීවත් වන අනෙකුත් ජාතීන්ට වඩා නාගරික සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරයක් බටහිර සිරිත් අනුව ඇඳුම්, පැළඳුම් සහ විලාසිතා අනුගමනය කරන ආකාරයක් දක්නට ඇත. විශේෂයෙන් ගම්වලින් නගර කරා සංක්‍රමණය වන කාන්තාවන් මෙවැනි විලාසිතාවන්ට යොමු වන්නේ නාගරීකරණය තුළිනි. නාගරික සමාජය තුළ කාන්තාවන්ගෙන් බහුතරයක් වැඩි මුදලක් ගෙවා ඇඳුම් මිලට ගත්ත ද ශිෂ්ටාචාර ගත වූ මානවයෙකු ලෙස නොව ශරීරයේ බොහෝ ස්ථාන නිරාවරණය වන ආකාරයට ඇඳුම් පැළඳුම් පරිහරණය කරන බවක් දක්නට ඇත. එමෙන් ම බොහෝ අවස්ථාවල දී ඇතැම් පුද්ගලයන් තමන්ට මෙන් ම සංස්කෘතියට ද නොගැළපෙන විවිධ විලාසිතාවන්ගෙන් යුක්ත ඇඳුම් පැළඳුම් භාවිත කරන ආකාරයක් දැකිය හැකිය. මෙය සංස්කෘතික යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු වී සිටි අවධියේ මේ සඳහා මූලික අඩිතාලම සකස් විය. නාගරීකරණය ශ්‍රී ලංකාවේ මෙම සමාජ සංස්කෘතික විපර්යාසයට ප්‍රධාන හේතුවක් බව පැවසිය හැකිය. ශ්‍රී ලංකාව තුළ සෑම ක්‍ෂේත්‍රයක ම මෙන් ම ඇඳුම් පැළඳුම් සහ විලාසිතා අංශයේ ද වෙනසක් ඇති වීමට නාගරීකරණය හා සම්බන්ධ තත්ත්වයන් ඉවහල් වී ඇත. බටහිර සංස්කෘතික ආක්‍රමණය ද මේ තුළින් පෙන්නුම් කෙරෙයි.

නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් සංස්කෘතියේ විවිධ අංශයන්ගේ වෙනස්කම් හඳුනාගත හැකිය. සංස්කෘතිය පුද්ගලයාට පවරා දෙන උපකරණය වන්නේ භාෂාව යි. භාෂාව තුළින් පුද්ගලයාගේ ජනවාර්ගික, ප්‍රාදේශීය අනන්‍යතාවය හඳුනාගත හැකිය. ඒ අනුව සංස්කෘතිය තුළ භාෂාවට වැදගත් ස්ථානයක් හිමි වෙයි. ශ්‍රී ලංකා සමාජයේ සිදු ව ඇති නාගරීකරණයේ බලපෑමෙන් නාගරික සමාජයේ මෙන් ම ග්‍රාමීය සමාජයේ ද භාෂා රටාවන්ගේ වෙනස්කම් සිදු ව ඇති බවක් දක්නට හැකිය. විශේෂයෙන් නගරවල වාසය කරන ඉහළ මධ්‍යම පාංතිකයන් විසින් ඉංග්‍රීසි භාෂාව භාවිත කරනු ලබයි. ඔවුන් සිය සමාජ තත්ත්වය නිරූපණය කරන උපකරණයක් වශයෙන් ද භාෂාව භාවිත කරන ආකාරයක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ නාගරික දුගී ජනයා ජනවාර්ගික භේදයකින් තොර ව සිංහල සහ දෙමළ භාෂා දෙක ම භාවිත කරන තත්ත්වයක් දක්නට පවතියි. නගර මධ්‍යයේ පිහිටි මුඩුක්කු ප්‍රදේශවල භාෂා කීපයක් භාවිත කරන අතර ඔවුන්ගේ භාෂා සම්ප්‍රදායන්ගේ ආවේණික අංගයන් ද දක්නට පවතියි. ගම්වලින් නගර වෙතට සංක්‍රමණය වූ පිරිස් ඉංග්‍රීසි සම්මිශ්‍රණය වූ භාෂාවක් භාවිත කරන ආකාරයක් දක්නට ලැබෙයි. මේ ප්‍රවණතාවය වර්තමානය වන විට ග්‍රාමීය සමාජ දක්වා ගමන් කර ඇති බව විද්‍යමාන වෙයි. මේ නිසාවෙන් නව කතා විලාසයන් මෙම සමාජ දෙවර්ගයෙහි ම ඉස්මතු වී ඇත. භාෂා භාවිතයේ විවිධත්වයක් පවතියි. මේ ආකාරයට කරුණු විමසා බලන විට ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන භාෂාව නාගරීකරණය නිසාවෙන් විවිධ වෙනස්කම්වලට ලක් ව ඇති බව අනාවරණය කළ හැකිය.

නාගරීකරණය නිසාවෙන් අතීතයේ සිට පවත්වා ගෙන ආ සංස්කෘතික සිරිත් විරිත් වර්තමානයේ ඒ ආකාරයෙන් ම අනුගමනය කළ නොහැකිය. භෞතික සහ සමාජ සංස්කෘතික සාධක වෙනස්වීම එයට ප්‍රධාන හේතුව වේ. ඒ අනුව සංස්කෘතියේ ආගමික වශයෙන් ආගමික ආයතනයන්ගේ ව්‍යූහය මෙන් ම කාර්යයභාරයන් ද වෙනස් වී ඇත. විශේෂයෙන් ප්‍රධාන බෞද්ධ ආගමික මධ්‍යස්ථානය වන පන්සල නවීකරණයට ලක් වී ඇත. පුද්ගලයන්ගේ සමාජ ජීවිතය සාර්ථක ව පවත්වා ගෙන යාමට දායකත්වය සපයන පන්සල වැනි ආයතන නාගරික සමාජයේ වාණිජවාදී අරමුණකින් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට පුළුවන. නව ආගමික ප්‍රවණතාවයන් ඉස්මතු වී ඇත. විශේෂයෙන් නාගරික සමාජයේ පුද්ගලයන් ඔවුන්ගේ ආගමික කටයුතු ඉලෙක්ට්‍රොනික උපකරණ ඇසුරෙන් සිදු කරන ආකාරයක් දැකිය හැකිය. මේ නිසා සමාජ සම්බන්ධතා මෙන් ම ලංකා සමාජය වෙනස් වී ඇති බව පෙන්වාදිය හැකිය.

වර්තමාන ශ්‍රී ලංකා සමාජය ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතියි. මේ හේතුවෙන් සමාජ සංස්කෘතික වශයෙන් වෙනස්කම් රාශියක් සිදු ව ඇති බව පෙන්වාදිය හැකි අතර සමාජ ධූරාවලිය තුළ ද වෙනස්කම් සිදු ව ඇත. ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත ව හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ නාගරික ප්‍රදේශ අතර අවිධිමත් සමාජ ධූරාවලියක් දැකිය හැකි වීම යි. සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරීකරණයේ මූලික ලක්ෂණයක් වන ඒක කේන්ද්‍රීය මහා නගර බිහි වීම ශ්‍රී ලංකාවේ ද දැකිය හැකිය. වර්තමාන නාගරික ධූරාවලිය තුළ අධි ජනගහනයක් සිටින නගරය වන්නේ කොළඹ නගරය යි. නාගරික ධූරාවලිය අතින් කොළඹ නගරය ලබා ඇති ප්‍රමුඛත්වය කොපමණ ද යත් ශ්‍රී ලංකාවේ ඊළඟට විශාල නගර තුන වන මහනුවර, ගාල්ල සහ යාපනය නාගරික ජනගහනය සහ ඒවායේ කාර්යයන්හි විශාලත්වය අතින් පසු වන්නේ කොළඹ නගරයට වඩා බොහෝ පසුපසිනි (ප්‍රියදර්ශනී, 1998, පි.94). දිවයිනේ සමාජ, ආර්ථික සහ දේශපාලන කටයුතු සියල්ලක් ම පාහේ කොළඹ නගරය ආශ්‍රිත ව කේන්ද්‍රගත වීම ත්, උපයෝගීතාවය සහ පොදු පහසුකම් මෙන් ම සේවා ඇතුළු ව අනෙකුත් සියලු ම පහසුකම් කොළඹ නගරය වටා ඒකරාශී වීම නිසා දිවයිනේ අනෙකුත් නාගරික ප්‍රදේශ පවා වාණිජමය සහ ආර්ථිකමය වශයෙන් කොළඹ නගරයේ ක්‍රියාකාරිත්වයේ බලපෑම ලබන බව පැවසිය හැකිය. සමාජ විද්‍යාත්මක ව බලන විට මෙම ලක්ෂණය ආන්ද්‍රේ ගුන්ඩර් ෆ්‍රෑන්ක්, පෝල් බැරන් වැනි නව මාක්ස්වාදීන් සංවර්ධනය පිළිබඳ ව දැක් වූ පරාධීන සංකල්පය හා බොහෝදුරට සමාන වෙයි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සමාජයේ කුලය වැනි සාධක මත සමාජ සම්බන්ධතා තීරණය වුව ත් නාගරික සමාජයේ පුද්ගලයන් අවශ්‍යතාවය පදනම් කරගෙන සමාජ සම්බන්ධතා පවත්වනු ලබයි. නාගරික සමාජයේ සමාජ ස්තරායනය සකස් වී ඇත්තේ පන්ති ස්ථරායනය පදනම්කරගෙන ය. නගරය තුළ වාසය කරන පුද්ගලයන්ගේ කුලය, ආගම සහ ජනවාර්ගිකත්වය මත ඇත්තේ දුරස්ථභාවයකි. එ මෙන් ම පුද්ගලයන් අතර දැඩි විෂමතාවයක් දක්නට ඇත. පුද්ගලයාගේ හැකියාව, ප්‍රතිභාව අනුව ඉදිරියට යාමේ අවස්ථාවන් නාගරික සමාජයේ පවතින බැවින් නාගරික සමාජයේ වාසිදායක තත්ත්වයන් ද පවතින බව පෙන්වාදිය හැකිය. මේ නිසා නාගරීකරණය තුළින් සමාජ ධූරාවලියේ වෙනස්කම් සිදු ව පවතින බව පැහැදිලි කළ හැකිය. නාගරික සමාජයේ පැවැත්ම උදෙසා මෙම සමාජ ධූරාවලිය ඉවහල් වී ඇති බව පෙන්වාදිය හැකිය.

ශ්‍රී ලංකාවේ නගරවල පවතින මෙම අවිධිමත් නාගරික ධූරාවලිය සහ ප්‍රදේශීය විෂමතා සමාජ අසහනය වර්ධනය වීම කෙරෙහි බලපා ඇත. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පවතින තරඟකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් වැඩි පහසුකම් සහ සම්පත් සොයා නාගරික පාසැල් වෙත දරුවන් ප්‍රවේශ කරවන්නට දෙමව්පියන් යෙදී සිටින අනවරත අරගලය ත්, වැඩි වැටුප් සේවා පහසුකම්, උසස් සමාජ තත්ත්වයන් සඳහා නාගරික රැකියා අවස්ථා සහ වාසස්ථාන ඉදි කිරීමට ජනතාව දක්වන නැමියාව ත් සමාජයේ අපේක්ෂා සහ ප්‍රාර්ථනා බිඳ වැටීම ත් කෙරෙහි මෙම තත්ත්වය බලපා ඇත. නාගරීකරණය වූ සමාජයක පුද්ගලයන් විවිධ අසහනවලට ගොදුරු වීම, සියදිවි නසා ගැනීම සහ හුදෙකලා වීම යන තත්ත්වයන්ට පත් වන බව සමාජවිද්‍යාත්මක අධ්‍යයනවලින් අනාවරණය වී ඇති බව සමාජ සමීක්ෂා සඟරාව ද පෙන්වාදෙයි.     

සංස්කෘතිය විවිධ හේතු සාධකයන්ගේ බලපෑම මත නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වෙයි. සංස්කෘතිය රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, කාලයෙන් කාලයට වෙනස් වෙයි. ලෝකයේ සෑම සංස්කෘතියක් ම මෙසේ වෙනස් වීමට භාජනය වූ, වෙනස් වීමට භාජනය වෙමින් පවතින, අනාගතයේ දී ද වෙනස් වීමට භාජනය වේ යැයි සිතිය හැකිය. මෙසේ වෙනස්වීමේ දී අන්‍ය සංස්කෘතීන්ගෙන් යම් යම් දේ උකහා ගැනීම හා ඒවා තම සංස්කෘතියට ප්‍රවේශ කර ගැනීම සාමාන්‍ය ලක්ෂණයකි. ඒ අනුව කාලයට අනුරූපී ව වෙනස් වීම සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයකි. නමුත් එම වෙනස්වීම සිහියෙන් යුක්ත ව භාර ගැනීමට විමර්ශනශීලී විය යුතු ය. ශ්‍රී ලංකාව යටත්විජිතකරණයට ලක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ලංකාවේ සංස්කෘතියට බටහිර ජාතීන්ගේ සංස්කෘතිකාංග එකතු වී  ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික සංස්කෘතිය පෙන්නුම් කරන සාධකයක් වශයෙන් මත්පැන් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය යි. නාගරීකරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මත්පැන් අලෙවිහල් විශාල ප්‍රමාණයක් නගර තුළ ව්‍යාප්ත වී ඇත. අධික වශයෙන් ලාබ ලැබිය හැකි ව්‍යාපාරයක් වශයෙන් මත්පැන් වෙළඳාම හඳුනා ගත හැකිය. දිනෙන් දින ම ශ්‍රී ලංකාවේ මත්පැන් පානය ඉහළ යන බවක් පෙනෙන්නට ඇත. වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රවණතාවයක් වන්නේ නාගරික සමාජයේ කාන්තාවන් ද මත්පැන් ගැනීමට නැඹුරු වන ආකාරයක් දැකිය හැකි වීම යි. සමහර විට බටහිර පන්නය හුවා දැක්වීමට ත් තමා ඉහළ පංතියේ බව ගෙනහැර දැක්වීමට ත් මත්පැන් කදිම මාධ්‍යයක් කර ගැනීමට ඇතැම් කාන්තාවෝ අන්ධානුකරණයෙන් යුතු ව පෙළඹෙති. 

බහුජාතික සමාගම්, නොයෙකුත් ජාත්‍යන්තර සංවිධානයන් හා පුද්ගලයන් වශයෙන් එකතු වී සංවර්ධනය වෙමින් පවතින රටවල මත්පැන් ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නිරත ව සිටින අතර ශ්‍රී ලංකාව ද එහි ගොදුරක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ ඇති වූ විවෘත ආර්ථික රටාව සහ නාගරීකරණය වැනි බලපෑම් මත්පැන් සහ මත්ද්‍රව්‍ය රටට ගලා ඒමට ප්‍රබල හේතුවක් විය. ලංකා සමාජය මේ තුළින් අර්බුද රාශියකට මුහුණ පා ඇත. නීත්‍යනුකූල සහ නීති විරෝධී වශයෙන් මත්පැන් දෙයාකාර වන අතර ආර්ථික සාධකය පදනම් කරගෙන ඒවා මිල දී ගනු ලැබෙයි. සමහර මත්පැන් සමාජය විසින් පිළිගනු ලැබූ සහ ඉතා ජනප්‍රියත්වයට පත් වූ ඒවා ය. ශ්‍රී ලංකාවේ භාවිතා වන නීතිගත මත්පැන් අතර පොල් රා, අරක්කු, බීර, බ්‍රැන්ඩි, විස්කි, වයින් සහ රම් ආදිය ද නීතිගත නොවන මත්ද්‍රව්‍ය අතර වයින් ස්ප්‍රීතුවල සිට කසිප්පු දක්වා විවිධාකාරයේ මත්පැන් දක්නට පුළුවන. නාගරික ධනේෂ්වර පංතිය අධික මිලක් ගෙවා විදේශීය නිෂ්පාදන මිලට ගන්නා අතර නිවෙස්වල විවිධ සාදයන් පවත්වයි. විශේෂයෙන් නගරවල උත්සව අවස්ථාවන්ගේ දී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍ය අංගයක් බවට පත් ව ඇත. මිතුරු කණ්ඩායම් සමඟ විවිධ විනෝද ගමන් යන, සාදයන් පවත්වන ඔවුන් විශාල වශයෙන් මත්පැන් පානය කරන ආකාරයක් දක්නට ඇත. සංස්කෘතික ලක්ෂණ, වටිනාකම් සහ හර පද්ධතීන් විනාශ කරන සාධකයක් වශයෙන් මත්පැන් පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය පෙන්වාදිය හැකිය. විශේෂයෙන් නාගරීකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් නගරවල නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම, භාවිතය සහ බෙදා හැරීම සිදු වෙයි. මෙය නීත්‍යනුකූල නොවන අතර මේ තුළින් ළමා අපයෝජන, කාන්තා හිංසන, මනුෂ්‍ය ඝාතන සහ තවත් නොයෙකුත් ආකාරයේ අපරාධ සිදුවීම් සඳහා මාර්ග විවර කරන අතර නාගරීකරණයේ අයහපත් බලපෑම් වශයෙන් හඳුනාගත හැකිය.

එමෙන්ම නාගරීකරණය තුළින් වර්තමාන සමාජ සන්දර්භය තුළ ඇති වී තිබෙන නිරන්තර තරඟකාරී ජීවන රටාව නිසාවෙන් නාගරික සමාජ ව්‍යූහය තුළ පැරණි සමාජයේ පුද්ගලයන් තුළ පැවති ගෞරවය, සාමූහිකත්වය, සුහදශීලිත්වය, කරුණාව, දයාව හා සෙනෙහස ආදී මානුෂීය සම්බන්ධතාවන් වියැකී යමින් පවතියි. සංස්කෘතික සහ සමාජීය සම්බන්ධතා සමාජ වෙනස්වීම ත් සමඟ ක්‍රමික ව බිඳ වැටෙමින් පවතියි. ඒ වෙනුවට පාරිභෝගිකවාදී සමාජ ව්‍යූහය තුළ බොහෝ පුද්ගලයන් නොනවතින අරගලයක නිරත වී සිටින බැවින් ගුණ දහම් ඈත් ව යාම ත්, සමාජ සම්බන්ධතා නොසළකාහැරීම ත් සිදු වන ස්වභාවයක් දැකිය හැකිය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ නාගරික සමාජයේ කටයුතු විශාල වශයෙන් නූතන තාක්ෂණික මෙවලම් සහ උපකරණ පදනම් කරගෙන සිදු වන බවක් දක්නට ඇත. නාගරීකරණය තුළින් මානව සම්බන්ධතාවන්ට වඩා භාණ්ඩකරණය වැදගත් වී ඇති අතර මානව සම්බන්ධතා ද භාණ්ඩ බවට පත් ව ඇති බව විද්‍යමාන වෙයි. නවීන ශිෂ්ටාචාර ලක්ෂණ සම්ප්‍රේෂණය කරන්නේ නාගරික සමාජයන් ය. මේ හේතුවෙන් නූතනත්වය මඟින් නිර්මාණය කරන ලද පරිභෝජනවාදයේ ලක්ෂණ නාගරික සමාජ තුළ ව්‍යාප්ත වෙයි. එ මෙන් ම එකී ලක්ෂණ සහ අගයන් ග්‍රාමීය සමාජ වෙතට ලබා දෙන්නේ ද නාගරීකරණය තුළින් නාගරික සමාජ හරහා ය. ඉහත ආකාරයට යථාර්ථවාදී දෘෂ්ටිකෝණයෙන් නාගරීකරණය පිළිබඳ ව විමසා බලන විට සමාජ සන්දර්භය තුළ ක්‍රියාත්මක වන සංස්කෘතියේ විවිධ අංගවල භෞතික සහ භෞතික නොවන වෙනස්කම් සමුදායක් සිදු ව ඇති බව පෙන්වාදිය හැකිය. එම වෙනස්කම් ධනාත්මක මෙන් ම ඍණාත්මක වශයෙන් නිර්මාණය වී ඇත. මේ අනුව සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් විමසා බලන විට නාගරීකරණය තුළින් ශ්‍රී ලංකාවේ සමාජ වෙනස්කම් රාශියක් සිදු වී ඇති බව පැවසිය හැකිය. නාගරීකරණය ඇති කරන සමාජ විපර්යාසයන් ආර්ථික, සමාජ සහ සංස්කෘතික වශයෙන් පැහැදිලි ව වෙන් කර හඳුනාගත නොහැකි තරමට එකට බද්ධව පවතින අතර ඒ තුළින් මානවයා කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන බව සඳහන් කළ හැකිය. 

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

අමරසේකර, දයා., (2010). සමාජවිද්‍යාවේ මූලික සංකල්ප, ආරිය ප්‍රකාශකයෝ, වරකපොළ.
කැල්ලපත, සේමාලි., (2007). දෙස් විදෙස් විත්ති, අපේ ආසියාව, සදීපා ප්‍රකාශන මන්දිරය, බත්තරමුල්ල.
කුමාරගේ, අමල්., (2002). “නාගරික වාහන තදබදයඃ ගැටලු සහ විසඳුම්”, ආර්ථික විමසුම අංක 06/07, පර්යේෂණ අංශය, මහ බැංකුව, කොළඹ. 
කුලතිලක, ප්‍රියදර්ශනී, (1998). “ශ්‍රී ලංකාවේ නාගරීකරණය ආශ්‍රිත සමාජ ගැටලු”, සමාජ සමීක්ෂා, දෙවන කළාපය, සමාජවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය.
පෙරේරා, සසංක., (2003).  “මෝල් සාප්පු සංකීර්ණඃ පාරිභෝජනවාදයේ දේවස්ථාන ද? අධි යථාර්ථවාදයේ සංකේත ද?, පඨිත සමාජ සංස්කෘතික සමීක්ෂා, පළමු වෙළුම.
ප්‍රනාන්දු, ඥානා වැලිකන්න., (2009). දකුණු ආසියානු රටවල්: භූගෝල විද්‍යාව, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.

මානවඩු, ලසන්ත, සහ නිරෝෂා ලියනගේ, (2008). තෙවන ලොව නාගරීකරණය, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, පුංචි බොරැල්ල.
 
ශ්‍රී ලංකා මහ බැංකුව, (2013). ශ්‍රී ලංකා මහබැංකුව වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ.
ශකූර්, ඉන්ද්‍රාණි මල්ලිකා, (2005). නාගරීකරණය සහ මානව සෞඛ්‍ය ගැටලු, ආරිය ප්‍රකාශකයෝ, වරකපොළ.
සිරිසේන, ඩබ්ලිව්. එම්., (1994). “නවීකරණය සහ සංවර්ධනය වන සමාජ”, සමාජ විමසුම අංක 09,  
සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය.   
සිල්වා, ඉන්ද්‍රලාල් ද, (2004). ජනගහන අධ්‍යයනය, කර්තෘ ප්‍රකාශන.

සිල්වා, කාලිංග ටියුඩර්, (1992). “නාගරික දුගී ජනයා සහ ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය”, සමාජ විමසුම අංක 08,  සමාජවිද්‍යා සංගමය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය. 
හඳරාගම, සමන්., සහ රස්නායක, සුසන්ත., (2011). සංවර්ධන සමාජවිද්‍යාව, සමීර ප්‍රකාශන, බත්තරමුල්ල.
වෙබ් අඩවි
www.acesl.org/.../tp_Lakshman%20Jayasekera%20and%20Veranjan%20Kurukulas
townplanninginsrilanka.blogspot.com
http://townplanninginsrilanka.blogspot.com/2011/12/town-planning-history.html   
කර්තෘ: එම්. ටි. එන්. තිලකරත්න
සමාජ විද්‍යා අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය