17 December, 2016

මෑත කාලීනව සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් සහ පරිසර පද්ධති (පාරිසරික භූගෝල විද්‍යාව)


දකුණු ආසියානු භූ ගෝලීය කේන්ද්‍රය තුළ සුවිශේෂී වු ලක්ෂණයන්ගෙන් සමන්විතව ස්ථානගතව ඇති ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවත්නා රටක් වශයෙන් හඳුනාගත හැකිය. පුරා දශක 3ක් ඔස්සේ  ක්‍රියාත්මක වු ත්‍රස්තවාදය හේතු කොටගනිමින් මෙහි සංවර්ධන ක්‍රියාදාමයන් සාර්ථකව ඉටුකර ගැනීමට නොහැකි විය. එසේම ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන් තුළින් නිසියාකාරව ප්‍රතිලාභ ලැබීමට ද නොහැකි වු අතර එය ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික, දේශපාලනික සහ පාරිසරික ක්ෂේත්‍රයන් අගාදයකට යොමු කිරීමට ප්‍රවේශය නිර්මාණය කරන ලදී.



කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සැළකිය යුතු මට්ටමකින් වර්ධනය වීමක් එනම්, හැරවුම් ලක්ෂ්‍යය වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි වන්නේ පශ්චාත් යුධ සමයයි. රටෙහි පවත්නා වු සම්පත් නිසියාකාරව උපයෝජනයට ගැනීමෙහිලා මෙන්ම ආයෝජනය කිරිමෙහිලා ද අවදානමකින් තොරව කටයුතු කිරීමට ඇති වු ශක්‍යතාවය ඊට හේතු වීය. මෙම පදනම මත දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් පුර්ණ රාජ්‍ය සහයෝගීතාවය ඔස්සේ තම ආයෝජනයන් සහ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුහ. මෙහිදී රජය විසින් මහජන ශූභ සාධනය සඳහා මූලීක අවධානයක් යොමු කරමින් යටිතල පහසුකම් හා සේවාවන් සංවර්ධන ව්‍යාපෘති වශයෙන් ඇති කිරීමට කටයුතු කරනු ලැබීය.


සංවර්ධන ව්‍යාපෘතීන් ඇරඹීමත් සමඟ එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙන් විවිධ පාරිසරික අර්බුදයන් නිර්මාණය වන්නට වු අතර ඒ හා සම්බන්ධයෙන් පාරිසරික ආයතන, පාරිසරික සංවිධාන මෙන්ම මහජනයා ද ප්‍රශ්න නඟන්නට වීය. තිරසාර සංවර්ධනය අරමුණු කරගනිමින් කරනු ලබන සංවර්ධන ක්‍රියාවලියක ගමන් කරනු ලබන නූතන ලෝකය තුළ පාරිසරික අංශය කෙරෙහි මනා අවධානයක් යොමු කරනුයේ මානව ප්‍රජාව ද පරිසරයේ ම කොටසක් වන බැවිණි. මෙය හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ද සිදුවිය යුත්තේ තිරසාර සංකල්පය මත පිහිටමින් අවම හානියක් යටතේ උපරිම ප්‍රතිලාභයක් ලබාගැනීමේ අරමුණු ප්‍රමුඛ කොටගෙනය. එමනිසාවෙන් යම් සංවර්ධන ක්‍රියාවලියක් තුළදී පාරිසරික අංශය පිළිබඳව මූලිකවම කරුණු සොයාබැලීමක් අත්‍යාවශ්‍ය වන බැව් තහවුරු වේ. 


ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් ගත් කල්හි විවිධ ස්වරූපයෙන් යුක්ත ඒවා වශයෙන් හඳුනාගත හැකිවේ. එනම්, මහා මාර්ග, වරාය, ගුවන්තොටුපළ, දුම්රිය මාර්ග, නගර සංවර්ධනය, බල ශක්ති උත්පාදනය, ජලාශ නිර්මාණය ආදි විවිධ සේවා හා යටිතල පහසුකම් සපයනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන්ය. මෙකී සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ ද ඒවායේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව කරනු ලැබු පශ්චාත් විමර්ශන වලදී බොහෝවිට පැහැදිලි වනුයේ ඒවා බොහෝමයක් අසාර්ථක වීම පිළිබඳවයි. එම අසාර්ථකභාවයන් නොයෙකුත් අංශයන් ඔස්සේ අදාළ කරගත හැකි වුවද මෙහිදී මූලීික අවධානය යොමු කරනුයේ පාරිසරික විද්‍යාව හා සම්බන්ධ වන්නා වු අසාර්ථකභාවයන් පිළිබඳවය. 


යම් සංවර්ධන ක්‍රියාවලියක් සිදුකිරීමට පෙර ඒ හා සම්බන්ධව මුලීක බලපෑම් තක්සේරුවක් කරනුයේ එහි පවත්නා වු සාර්ථක අසාර්ථකභාවයන් පිළිබඳව යම් හෝ අඳහසක් ලබාගැනීම පිණිසයි. ඒ අනුව එම ව්‍යාපෘතියේ අවශ්‍යතාවය සහ එය ස්ථාපිත කිරීම අතර පවත්නා වු පරතරය සම්පුර්ණ කරගැනීමට ශක්‍යතාවයක් නිර්මාණය වනු ඇත. ඒ තුළින් ව්‍යාපෘතියේ යෝග්‍යතාවය තීරණය වේ. කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතිය ස්ථානගත කිරීමේ දී ඉන් නිර්මාණය වන්නා වු පාරිසරික බලපෑම් පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ මේ සම්බන්ධ අංශයන් තුළ සිදුවී ඇත්තේ කුමක් ද? යන්න ගැටළු සහගත තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමේ දී ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික පිළිවෙත් නිසියාකාරව අනුගමනය කිරීමක් සිදුනොවන පැහැදිලිවේ. රජයේ අවශ්‍යතා සහ දේශපාලනික වාසිසහගත තත්ත්වයන් ලබාගැනීම අරමුණු ඇතිව එම සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරවීම එයට හේතු සාධක වී ඇත. උදාහරණයක් වශයෙන් උමා ඔය සංවර්ධන ක්‍රියාවලිය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආදිය පෙන්වාදිය හැකිය. මෙම සංවර්ධන අවශ්‍යතාවන් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට පැහැදිලි දායකත්වයක් සපයා ගැනීම අරමුණු කොටගෙන පිහිට වුව ද එය ස්ථානගත වුයේ සංවර්ධනයට දායක කරගැනීමට හැකි ඉහළ ප්‍රතිලාභයන් ලැබෙන නියමිත ස්ථානයන්හි ද යන්න ගැටලු සහගත වන්නේ ඒ සඳහා කරනු ලැබු පාරිසරික බලපෑම් තක්සේරුකරණය අධ්‍යයන ප්‍රතික්ෂේප වුවත් ඒ ස්ථානයන්හිම පසු කාලීනව සංවර්ධන ව්‍යාපෘතීන් ස්ථානගත වු ආකාරය මතයි.  


ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් පසුගිය වර්ෂයන් තුළ සිදුකළ ද ඒ තුළින් පරිසරයට එල්ල වී ඇති බලපෑම් අති මහත්ය. පරිසරය ගැන කිසිඳු තැකීමකින් තොරව සිදුකරන ලද එවැනි සංවර්ධන ව්‍යාපෘතීන් මඟින් විවිධ ගැටළුකාරී තත්ත්වයන් ඉස්මතු වී ඇති බවක් හඳුනාගත හැකි අතරම එය මානව ප්‍රජාවට සෘජුව හා වක්‍රව බලපෑම් කිරීමට ද හේතු වී ඇති බවක් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති හරහා  පෙන්වා දිය හැකිය. උදාහරණයක් වශයෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා යොදාගන්නා ලද භූමිය කුරුලු පාරාදීසයක් වීම හේතුවෙන් වර්තමානය වනවිට ගුවන්යානා වල කුරුල්ලන් වැදීම් සිදුවන බව නිරන්තර වාර්තාවන සංසිද්ධියකි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ඒ හා සම්බන්ධයෙන් පිළිපැදිය යුතු නිසි පිළිවෙත් මනාව අනුගමනය කළේ නම් මෙම ගැටළු සහගත තත්ත්වයන් නිර්මාණය නොවනු ඇත. එසේම මෙම ප්‍රදේශය තුළ ගුවන් යානා වලින් නිකුත් වන අධික ශබ්දයන්, අහිතකර වායූන් ආදිය මඟින් පාරිසරිකමය වශයෙන් සංවේදී කුරුලු ප්‍රජාවන් මෙන්ම අනෙකුත් සතුන්ට ද විවිධ බලපෑම් ඇති කරනු ලබයි. ඒ තුළින් ඇතැම් විටෙක ආවේණික කුරුලු විශේෂ පවා වඳවී යාමට හේතු වේ. එසේම එම සංවර්ධන ව්‍යාපෘතියට යොදාගනු ලැබු භූමිය තුළ පැවැති ශාක සත්ත්ව අන්තර් ක්‍රියාවලීන්ට ද බලපෑමක් ලැබී ඇති බැව් වන සතුන් ජනාවාස අවට ඒකරාශීවීමෙන් පැහැදිලි වනු ඇත. උදාහරණයක් වශයෙන් මොණරුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය ඉහළ යාමට හේතුවක් ලෙස මෙම සංවර්ධන ව්‍යාපෘතිය පෙන්වා දිය හැකිය.


 වන සත්ව හා මිනිස් ගැටුම් නිර්මාණය වීමෙහිලා මූලික වශයෙන් බලපෑම් ඇති කරනු ලබන බලපෑම් කාරකයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් පෙන්වා දිය හැකිවේ. එයට හේතු වන්නේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් ස්ථාපිත කිරීම සඳහා යොදාගනු ලබන අවකාශයන් පාරිසරිකමය වශයෙන් අන්තර් සම්බන්ධතා පවත්වනු ලබන කලාපයන් ආශ්‍රිතව හෝ සෘජුවම අන්තර් සම්බන්ධතා පවත්වනු ලබන කලාපයන් වීමයි. උදාහරණයක් වශයෙන් මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය, ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය ආදිය පෙන්වාදිය හැකිය. වන සත්ත්ව භූමීන් යොදාගනිමින් සිදුකරනු ලබන මෙවන් සංවර්ධන කටයුතු හේතුවෙන් වන සතුන්ගේ වාසස්ථානයන් විනාශවීමක් සිදුවන අතර එහිදී ඔවුන් ජනාවාස කලාපයන් දක්වා සංචලනය වීමක් සිදුවේ. එහිදී වන සත්ත්ව හා මිනිස් ගැටීමක් ඇති වන අතර එය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් මනා ලෙස සිදුනොකිරීම නිසා නිර්මාණය වු අතුරු ප්‍රතිපලයක් වශයෙන් හඳුනාගත හැකිය. උදාහරණයක් වශයෙන් මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඇලැහැර ප්‍රදේශයට වන්නට අලිමිනිස් ගැටුම නිර්මාණය වී අතර ඒ ආශ්‍රිතව පාරිසරික අන්තර් සම්බන්ධතාවය බිඳවැටීමේ ප්‍රතිපලයක් වශයෙන් මෙය නිර්මාණය වී ඇති බැව් පාරිසරික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.


ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී පරිසර විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව එමෙන්ම පාරිසරික පද්ධතීන් පිළිබඳව අවධානය යොමු කරමින් ව්‍යාපෘතීන් සිදුකිරීම අල්ප වශයෙන් සිදුවේ. මන්ද, හුදු දේශපාලනික අරමුණු වශයෙන් ක්‍රියාත්මක වන මෙම සංවර්ධන ව්‍යාපෘතීන් දේශපාලනික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය ලබාදීමක් සිදුකිරීම ඊට හේතු සාධක වේ. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද මෑත කාලීන සංවර්ධන ක්‍රියාවලීන් තුළින් පාරිසරික පිරිවැය සංකල්පය පිළිබඳව අවධානය යොමු කොට නොමැති බැව් මෑත කාලීනව ඇති වු පාරිසරික ගැටලු තුළින් පැහැදිලිව හඳුනාගත හැකිය. මෙහිදී අදාල නොවුණ ද, බියගම කොකාකෝලා කර්මාන්තශාලව මඟින් කැලණි ගඟට බැහැර කරන ලද රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් උභතෝකෝටිකයක් නිර්මාණය වන්නට වුයේ කාර්මික ක්‍රියාවලිය තුළදී පාරිසරික පිරිවැය සංකල්පය නොයෙදීම නිසාවෙන් බව පැහැදිලි වන කාරණයකි. එහිදී සිදුවු පාරිසරික හායනය පාරිසරික අන්තර් සම්බන්ධතාවයන් බිඳවැටීමට හේතු වු අතර ගංඟා පරිසර පද්ධතියේ සිට ගොඩබිම් පරිසර පද්ධතිය දක්වාම එහි බලපෑම් පරිවාරය ක්‍රියාත්මක වී හමාරය. නමුදු මෙයට සාපේක්ෂව මාර්ස් ගෘප් ආයතනය මඟින් සිදුකරනු ලබන පාරිසරික වැඩසටහන් සහ පාරිසරික හිතකාමී කාර්මික ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයටම ආදර්ශයක් සපයයි. 


ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා වෙසසින් අත්‍යාවශ්‍යම ක්‍රියාවලියක් වශයෙන් මහා මාර්ග සංවර්ධනය සිදුකළ යුතුව පැවැති අවධියක මාර්ග සංවර්ධනය ආරම්භ කරන ලදී. එහිදී කාගේත් ආකර්ෂණය දිනාගත් නව පෙරළියක් වශයෙන් අධිවේගී මාර්ග ඉදි කිරීම පෙන්වාදිය හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගය එකී සිහිනය සැබෑ කරවමින් වර්තමාන ජනතාවගේ අවශ්‍යතාවන් සපුරාලනු ලබයි. නමුදු එය විවිධ පරිසර පද්ධතීන් හරහා ගමන් කරමින් ජීවීන් බහුතරයකගේ අන්තර් සම්බන්ධතාවයන් බිඳ දමා ඇති බවක් ඒ හරහා ගමන් කරන්නෙකුට නොපෙනේ. කෙසේ වෙතත් දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය සැබෑවටම ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සක්‍රීය දායකත්වයක් සපයමින් සිටින නමුදු ඒ තුළින් දැවැන්ත පාරිසරික අර්බුදයන් මෙන්ම සමාජීය අර්බුදයන් ද නිර්මාණය කොට ඇති බවක් හඳුනාගත හැකිය. මෙම පාරිසරික අර්බුදයන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී සංවර්ධන ව්‍යාපෘතියෙහි සැලසුම් සම්පාදනයෙහි පැවැති ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු කොටගත හැකිවේ. තෙත් බිම් පරිසර පද්ධති, වනාන්තර, ලදුකැලෑ ආදිය මෙන්ම ගංගා පරිසර පද්ධති ආදිය ද විපර්යාසයට පත් කරමින් ජීවීන්ගේ වාසස්ථාන, ආහාර රටාවන්, පුරුදූන්, හැසිරීම්, සංචලනයන් ආදීයට බාධාවන් එක් කරමින් ස්ථාපනය කොට ඇති මෙම අධිවේගී මාර්ගය පාරිසරික සමතුලිතතාවයට සම්පුර්ණයෙන්ම බාධාකාරී ලෙස ක්‍රියාත්මක වීමක් සිදුවේ. මෙකී අධිවේගී මාර්ගය හරහා දෛනිකව ගමන් කරන ලබන මොණරුන්ගේ සහ අනෙකුත් පක්ෂීන් සහ වන සතුන්ගේ මියයාම මෙයට කදිම නිදර්ශන සපයයි. එමෙන්ම අලිමං පෙත් හරහා මාර්ග ඉදිකිරීම නිසාවෙන් උතුරු ප්‍රදේශයන්හි අලි මිනිස් ගැටුම උග්‍රවීමක් හඳුනාගත හැකිවේ.
නාගරික සංවර්ධන ව්‍යාපෘති ද ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අතර කැපී පෙනෙයි. නාගරික අලංකරණ වැඩපිළිවෙළවල්, නගර වර්ධනය, නගර කාර්මීකරණය කිරීම ආදී නොයෙකුත් අංශයන් ඔස්සේ සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබීම නිසාවෙන් ඒ පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ. මෙහිදී බොහෝවිට ගැටලු ඉස්මතු වීමක් සිදුවන්නේ මෙම ව්‍යාපෘතීන් සිදුකරනු ලබන අවධිය තුළදීය. උදාහරණයක් වශයෙන් නගර අලංකරණය යටතේ පැරණි ගස් ඉවත් කොට නව පැළ රෝපණය කිරීම පෙන්වා දිය හැකිය. ඒ තුළින් සිදුවන්නේ නව පර්සර පද්ධතියක් ස්ථාපනය වීමක් වුවද එයට ක්ෂද්‍ර පරිසර තත්ත්වයක් ඇති කර ගැනීම සඳහා දිගු කාලයක් ගතවීමයි. උදාහරණයක් වශයෙන් කොළඹ නගර අංලකරණ වැඩසටහන, මහනුවර, ගාල්ල නගර අලංකරණ වැඩසටහන් පෙන්වාදිය හැකිය. හම්බන්තොට වරාය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ යුතු අතර ඒ තුළින් ජලජ පරිසර පද්ධතියට සිදුවන හානිය ප්‍රභල මට්ටමක පවතී. එසේ වුවද එම තත්ත්වයන් විසඳීම සඳහා යොමුකළ අවධානය ඉතාම අවම මට්ටමක පවතී. 


බල ශක්ති අර්බුදය වෙනුවෙන් ඇති කරනු ලැබු මෑත කාලීන සංවර්ධන ව්‍යාපෘතිය වශයෙන් විදුලමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය පෙන්වා දිය හැකි අතර ඒ යටතේ ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ, උමා ඔය සහ කෙළවරපිටිය සංවර්ධන ව්‍යාපෘතීන් ඇති කරන ලදී. මෙම සංවර්ධන තුළින් ද පරිසර පද්ධතියට හානිදායක තත්ත්වයක් ඇති කරනු ලබන අතර වායු දූෂණය, ශබ්ද දූෂණය හා වන විනාශය ප්‍රධාන වේ. මෙමඟින් පාරිසරික අන්තර් සම්බන්ධතාවයන් බිඳවැටීමක් සිදුවන අතර එය පාරිසරිකමය තුල්‍යතාවයට හානි පමුණුවයි. උදාහරණයක් වශයෙන් නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය තුළින් පිට කරනු ලබන අධික උණුසුම සාගරයට එක් කිරීම නිසා සාගර පරිසර පද්ධතිය දැඩි පාරිසරික අර්බුදයකට යොමු වේ. එහිදී මත්ස්‍ය අයින් විනාශවීම, ශාක ප්ලවාංග විනාශවීම ආදිය සිදු වන අතර ඒ තුළින් ජලජ ශාක හා සත්ත්ව අන්තර් සම්බන්ධතා බිඳවැටීමක් සිදුවේ.


මේ ආකාරයට සැළකු කල්හි ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ක්‍රියාත්මක් වන සංවර්ධන ව්‍යාපෘති රාශියක් වුව ද, පාරිසරික අනුකූලත්වයකින් යුතුව ක්‍රියාත්මක වන්නා වු සංවර්ධන ව්‍යාපෘතීන් ඇත්තේ ඉතාම අල්ප ප්‍රමාණයකි. මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධ පුර්ව අධ්‍යයනයන් සිදුකිරීම සාර්ථකව සිදුනොකරන අතර එහි ප්‍රතිපලයන් පසුව ඉතාමක් අනර්ථකාරී අන්දමින් බලපැවැත්වෙනු ඇත. එමෙන්ම සංවර්ධන ක්‍රියාවලියේදී ව්‍යාපෘති දියත්කිරීම තුළින්ම සංවර්ධනයක් ලබාගත නොහැකි අතර ඒ පිළිබඳව මනා සංගමයකින් යුක්තව, පාරිසරික හිතකාමීව කටයුතු කිරීම තුළින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ හැකිවේ. එසේම දේශපාලනික මැදිහත්වීමකින් තොර වු සංවර්ධන ව්‍යාපෘතීන් ඇති කිරීම තුළින් පාරිසරික පද්ධතීන් ආරක්ෂා කරගැනීම මෙන්ම පාරිසරික විද්‍යාවට අනුකූල වු සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා කැපවුණු සංවර්ධන ව්‍යාපෘතීන් නිර්මාණය කරගත හැකි වේ.




ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ග්‍රන්ථ

කොතලාවල. ඒ.බි, (1984). ගස්වැල් හා පරිසරය (පරිසර විද්‍යාව), ලේක් හවුස් ප්‍රකාශකයෝ, කොළඹ 03.

පෙරේරා, මුදිත ප්‍රසන්නජිත්, (2013). ශ්‍රී ලංකාවේ වන සම්පත් ආරිය ප්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාලය මාවත, වරකාපොළ.

සේනාරත්න, පී.ඇම්., (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර,  සරසවි ප්‍රකාශකයෝ, 30, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

සේනාරත්න, පී.ඇම්., (2004). ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන,  සිකුරු ප්‍රකාශකයෝ, 144, වෙනිවැල්කොළ, පොල්ගස්ඕවිට.


වෙබ් අඩවි

http://www.nature.com


http://www.bigelow.org

http://en.wikipedia.org
 


දක්ෂිණ වනජීවී කලාපය



දක්ෂිණ වනජීවී කලාපය වශයෙන් අප හඳුනාගනු ලබන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පලාතට සීමා වෙමින් ව්‍යාප්තව පවතින්නා වු වනජීවී කලාපයන්ය. ඒ අනුව සළකන කල්හි රුහුණු ජාතික වන උද්‍යානය (කුමන+යාල), උඩවලව ජාතික වන උද්‍යානය, ලුණුගම් වෙහෙර අභය භූමිය සහ බූන්දල අභය භූමිය මීට අයත් වේ. පහත දක්වා ඇති අංක 01 සිතියම තුළින්  මෙහි පිහිටීම පැහැදිලිව හඳුනාගත හැකිවේ. දකුණු පලාතට සීමා වී යැයි පැවැසුව ද මෙහි සැබෑ ව්‍යාප්තිය ගත් කල්හි දකුණු පලාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කයන් සහ ඌව පලාතේ මොනරාගල දිස්ත්‍රික්කය මෙන්ම නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක තුළ ද ව්‍යාප්ති වී ඇති බවත් පැහැදිලි වේ. එසේ වුවද ඉන් වැඩි ව්‍යාප්තිය එනම්, 80%ක් පමණ දකුණු පලාතට වන්නට පිහිටා ඇති බැවින් එය දක්ෂිණ වනජීවී කලාපය වශයෙන් සඳහන් කරනු ලබයි. මෙතැන් සිට මෙම වනජීවී කලාපය තුළ ස්ථාපිතව පවත්නා සුවිශේෂී වු වන උද්‍යානයන් පිළිබඳව එකිනෙක සාකච්ඡාවට බඳුන් කරමු.

 
සිතියම් අංක 01



දක්ෂිණ වනජීවී කලාපය තුළ පිහිටා ඇති යාල හෙවත් රුහුණු ජාතික වන උද්‍යානය හම්බන්තොට සහ මොනරාගල යන දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති සශ්‍රීක පරිසර පද්ධතියකි. “උතුරින් ඌව කඳුවල දකුණු කලාපයෙන් ද, ගිණිකොණ දිසාවෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් පලටුපාන, කතරගම කඳු, මැණික් ග`ගේ අතුරු ගංඟාවකින් ද යාල මායිම් වී තිබේ.”  (සේනාරත්න, (2004).  පිටු - 24) හෙක්ටයාර් 126786 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන මෙම වනෝද්‍යානය 1983 පෙබරවාරී 5 වැනි දින කොටස් 5කට බෙදා වෙන් කරනු ලැබු අතර ඉන් පළමු වැනි කොටස යාල ජාතික වනෝද්‍යානය වශයෙන් හඳුන්වනු ලැබීය. පසු කාලීනව අනෙකුත් කලාපයන් ද යාල වනෝද්‍යානයට අනුබද්ධව ප්‍රකාශයට පත් කරනු ලැබු අතර වනෝද්‍යානයේ අභ්‍යන්තරයට වන්නට දැඩි ආරක්ෂිත කලාපක් ද පිහිටා ඇත.



මෙම වනෝද්‍යානය රුහුණු රාජධානිය සමයේ දී ජනාවාසව පැවැති ද, 12 වැනි සියවසයේදී රාජධානිය බිඳවැටීමත් සමඟ ඒවා විනාශට පත්විය. එසේම බි්‍රතාන්‍ය යටත්විජිත සමයේ දී දඩයක්කරුවන්ගේ දඩබිමක් වු මෙම වනෝද්‍යානය 1900 වර්ෂයේ දී රක්ෂිතයක් වශයෙන් ද, 1909 දී අභය භූමියක් වශයෙන් ද නම් කෙරුණි.


මෙම වනෝද්‍යානය සමස්ථයක් වශයෙන් ගත් කල්හි වියළි කලාපීය මෝසම් වනාන්තර වර්ගයට අයත් වේ. එසේම වනෝද්‍යානය තුළ ව්‍යාප්තව පවත්නා වු ජලවහන රටාවේ ප්‍රධාන තීරකයන් ලෙස මැණික් ගංඟාව සහ කුඹුක්කන් ඔය ප්‍රමුඛ අතු ගංඟාවන් හඳුනාගත හැකි අතර ඉන් ප්‍රදේශයේ ප්‍රධාන වැව් 05ක් පෝෂණය කරනු ලබයි. එමෙන්ම ඉහළ ශාක හා සත්ත්ව විවිධත්වයක් සහිත ප්‍රදේශයේ ජෛව විවිධත්වය ඉතා ඉහළ මට්ටමක පවතින අතර ශාක විශේෂ 280කින් යුත් එකිනෙකට වෙනස් වනාන්තර පද්ධතීන් ද රාශියක් දැකගත හැකි වේ. මෙම   ඒ අතර කටු පඳුරු සහිත ලඳු කැලෑ, වියළි මිශ්‍ර සදාහරිත, ලැහැබ් මෙන්ම වෙරළ කලාපීය කඩොලන ආදියෙන් සමන්විත වේ. සමස්ත වනාන්තරය ද්විතියක වනාන්තර ආකාරයෙන් පිහිටීම ද මෙහිලා විශේෂත්වයකි. සත්ත්ව විවිධත්වය අනුව ක්ෂීරපායී සතුන් 42ක්, පක්ෂි විශේෂ 282ක්, උරඟ විශේෂ 48ක්, සමනල විශේෂ 40ක්, ඉබ්බන් විශේෂ 03ක් හා කැස්බෑවන් විශේෂ 05ක් ද හඳුනාගත හැක.


දක්ෂිණ වනජීවී කලාපය තුළ පිහිටා ඇති තවත් වන උද්‍යානයක් වශයෙන් බූන්දල අභය භූමිය පෙන්වාදිය හැකිය. දකුණු මුහුදු තීරයේ හම්බන්තොට සිට කිරිඳි ඔය අතර හෙකටයාර් 6216ක පමණ ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති මෙම වන උද්‍යානය හම්බන්තොට නගරයට උතුරින් සහ යාල ජාතික වන උද්‍යානයට දකුණු දෙසට වන්නට පිහිටා ඇත. ජෛව විවිධත්වය තුළින් අනූන කලපු පරිසර පද්ධතිය, වැලි කඳු, මහා සාගරයට විවෘතව පවතින භූමිය සහ වන ගහනය ආදිය තුළින් සමන්විත වන මෙම ජාතික උද්‍යානය 1969 දී වනජීවී දෙපාර්තමේන්තුව විසින් අභය භූමියක බවට පත් කරන ලදී. මෙහි පැවැති පාරිසරික වැදගත්කම හේතු කොට ගෙන 1992 දී ජාතික වනෝද්‍යානයක් බවට පත් වු මෙම වන උද්‍යානය  1996 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් ජාතික වටිනාකමකින් යුක්ත තෙත් බිම වශයෙන් නම් කෙරුණි. එසේම මෙය පසු කාලීනව රැම්සාර් තෙත් බිම් ලේඛනයේ වටිනාම තෙත් බිම් අතරට ද එක්විය. 


උණුසුම් වියළි ස්වරූපයකින් යුක්ත මෙම වන උද්‍යානය ප්‍රධාන ජෛව විවිධත්ව කලාප ත්‍රිත්වයකින් යුක්ත වේ. එනම්, වෙරල තීරය හා වැලි කඳු ප්‍රදේශය, කලපු හා බාහිර වෙරළ තැනිතලා කලාපය සහ අභ්‍යන්තර වෙරළ කලාපය යනුවෙනි. 1074mm ක පමණ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනයක් සහ 270ක්‍ ක පමණ වාර්ෂික උෂ්ණත්වයකින් යුක්ත වන මෙම උද්‍යානය තුළ සාපේක්ෂ ආර්ද්‍රතාවය 76%-81% ක් අතර පවතී. එමෙන්ම ප්‍රදේශයේ ප්‍රධාන පාංශූ වර්ග වශයෙන් රතු දුඹුරු පස, රෙගොසෝල්ස් පස සහ ලෝ හියුමස් ග්ලේ පස හඳුනාගත හැකිය.


ශූෂ්ක කලාපයට ඔරොත්තු දිය හැකි ශාක හා සතුන් මෙම ප්‍රදේශය තුළින් හඳුනාගත හැකි අතර පවුල් 47කට අයත් ශාක විශේෂ 90 ක්, කාෂ්ඨීය ශාක වර්ග 16ක්, පැළැටි වර්ග 37ක්, පඳුරු ශාක 21ක් සහ ආරෝගක පැල වර්ග 16ක් මෙම වන උද්‍යානය තුළ ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාවන් අතර පලු, ගන් සුරියා, බුරුත, දිවුල්, ආදි කාෂ්ඨීය ගස් වර්ගයන් ද, මදුරුතලා, හෙලමල්, මුඩුමහන ආදී පැලෑටීන් ද ප්‍රමුඛව දක්නට ලැබේ. මෙම වන උද්‍යානයේ සත්ත්ව ප්‍රජාය පිළිබඳව සැළකිලිමත් වීමේ දී කුරුලු ප්‍රජාවට මූලීක අවධානය යොමු කළ යුතුව ඇත. එයට හේතු වන්නේ මෙම වන උද්‍යානය වඩා ප්‍රචලිත වී ඇත්තේ කුරුලු පාරාදීසයක් වශයෙන් වීමයි. ඒ අනුව පවුල් 150කට අයත් කුල 53කට ගැනෙන පක්ෂීන් විශේෂ 53ක් පමණ මෙම ප්‍රදේශය  තුළින් හඳුනාගත හැකි වුව ද ඉන් සංචාරක පක්ෂි විශේෂ 50 ක් සහ දුර්ලභ පක්ෂීන් 08ක් හඳුනාගත හැකිවේ. මීට අමතරව කොටියා, වළහා, අලියා, ගෝනා සහ දිවියා වැන සතුන් ද මෙම වනාන්තරය තුළ සුලභ දර්ශනයක් වන අතර කිඹුලන් සහ කැස්බෑවන් විශේෂයන් ද ජලජ පරිසරය තුළ ජීවත් වේ.  


ලුණුගම් වෙහෙර ජාතික වන උද්‍යානය 1995 වර්ෂයේ දී ප්‍රකාහයට පත් කරනු ලැබුයේ පදේශය පවත්නා වු වැව්, ජලාශ හා වන සම්පත් සුරක්ෂිත කිරීමමේ අරමුණු පෙරදැරි කොටගෙනය. මෙම වන උද්‍යානය වන මං පෙතක් හෙවත් බරාදියක් වශයෙන් හඳුනාගත හැකි අතර එය යාල ජාතික වන උද්‍යානයේ සිට උඩවලව ජාතික වන උද්‍යානය දක්වා විහිදී ඇත. වාර්ෂික වර්ෂාපතනය 1000mmක් පමණ වන මෙහි වාර්ෂික උෂ්ණත්වය 300ක්‍ ක් පමණ වේ. මෝසම් වර්ෂා ජලයෙන් පෝෂණය වන මෙම වන උද්‍යානය වාර්ෂිකව නියඟයට ලක්වීමක් සිදුවේ. වනාන්තර වර්ග කිහිපයකින් සැදුම්ලත් මෙම වනාන්තරය තුළ වන අකුල්, කැලෑ සහ තෘණ තලා ව්‍යාප්ත වී ඇති ආකාරයක් හඳුනාගත හැකිය.


උඩවලව ජාතික වන උද්‍යානය දක්ෂිණ වන ජීවී කලාපය අයත් වන උද්‍යානයක් නොවුණ ද එහි සෑම අන්තර් ක්‍රියාවලියක්ම දක්ෂිණ වනජීවී කලාපය සමඟ බැඳී පවතී. එමනිසා මෙම වන ජීවී උද්‍යානය ද දක්ෂිණ වන ජීවී කලාපයට අයත් යැයි සැලකේ. සබරගමුව සහ ඌව පලාත් මායිම් වලට සීමා වෙමින් වි තෙත් සහ වියළි කලාපය ව්‍යාප්ති වී ඇති මෙම වන උද්‍යානය 1972 දී පිහිටුවන ලදී. මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 500mm ක් පමණ වන මෙහි උපරිම වර්ෂාපතනයක් ඔක්තෝම්බර් සිට මැයි කාල සීමාව තුළදී ලැබෙන අතර මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 270-280ක්‍ පමණ වන මෙහි සාපේක්ෂ ආර්ද්‍රතාවය 70% සිට 82% දක්වා වර්ධනය වේ. උඩවලව සංවර්ධන ක්‍රමය නිසා බලපෑමට ලක් සතුන් වෙනුවෙන් මෙන්ම ගංගාධාර ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා මෙම ප්‍රදේශය ජාතික වන උද්‍යානයක් වශයෙන් නම් කෙරුණි. 


උඩවලව ජලාශය ආශ්‍රිතව වගුරු බිම්, තෘණ බිම් සහ වනාන්තර ආදී පරිසර පද්ධතීන් ව්‍යාප්තව පවතී. ජලාශය මධ්‍යයට වන්නට අජිවී  ශාක අවශේෂයන් දක්නට ලැබෙන අතර ඒවායින් අතීතයේ පැවැති පරිසර පද්ධතිය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකිවේ. එසේම ප්‍රදේශය පුරාම තෘණ බිම් දක්නට ලැබෙන අතර අතීතයේ පව්‍යාප්තව පැවැති හේන් වගාවන් හේතු කොටගෙන මේවා බිහි වී ඇත.  එසේම මෙම වන උද්‍යානය තුළ ශාක විශේෂ 94, මත්ස්‍ය විශේෂ 21, උභය ජීවී විශේෂ 12, උරග විශේෂ 33, පක්ෂී විශේෂ 184, ක්ෂීරපායී සත්ව විශේෂ 43 ක් සහ සමනල විශේෂ 135 ක් පමණ සොයාගෙන ඇත. පක්ෂී විශේෂ 184න් විශේෂ 33ක් පමණ සංක්‍රමණික විශේෂයන් වේ. ශාක ප්‍රජාව පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී ආවේණික ශාක වර්ග කිහිපයක් හඳුනාගත හැකි වු අතර Hopea cordifolia, Memecylon petiolatum, Erythroxylon zeylanicum, සහ Jasminum angustifolium  ආදිය ප්‍රධාන තැනක් ගනී. උසින් අධික ශාක මෙම ප්‍රදේශය තුළ සුළභව දක්නට ලැබෙන අතර Chloroxylon swietenia, Berrya cordifolia, Diospyros ebenum, Adina cordifolia, Vitex pinnata, Schleichera oleosa ආදිය ඉන් කිහිපයකි. තෘණ බිම් ආශ්‍රිතව Cymbopogon confertiflorus  තණකොළ විශේෂය සහ Grewia tiliifolia පඳුරු බහුලව ව්‍යාප්ත වීමක් දක්නට ලැබේ.


සත්ත්ව ව්‍යාප්තිය ගත් කල්හි අලින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකි අතර ස්ථිර වශයෙන් මෙම භූමිය වාසස්ථානයක් කරගනු ලැබු අලීන් 250 ක් පමණ සිටින බව සංගණන වාර්තාවන් තුළින් පෙනීයයි. මීට අමතරව දිවියා, වලහා, මුවා, වල් ඌරා, මුගටියා ආදී සතුන් මෙම වන උද්‍යානය තුළින් හඳුනාගත හැකිවේ. එසේම මෙම වන උද්‍යානයට ආවේණික සතුන් රාශියක් ද සිටින අතර Ceylon Spiny Mouse Indian Bush Rat සහ mongooses ආදිය ප්‍රමුඛ වේ. මෙහි නේවාසික අභිජනන පක්ෂීන් වර්ග කිහිපයක් හඳුනාගත හැකි අතර Sri Lanka Spurfowl, Red-faced Malkoha, Sri Lanka Grey Hornbill, Brown-capped Babbler, සහ Sri Lanka Junglefowl ආදීය ප්‍රධාන වේ. එසේම සංක්‍රමණික පක්ෂීන් සහ ජලං පක්ෂීන් ද මෙම වන උද්‍යානය තුළින් හඳුනාගත හැකි අතර ආදිය White-bellied Sea Eagle, Crested Serpent-eagle, Grey-headed Fish Eagle, Booted Eagle,  සහ Changeable Hawk-eagle ඉන් කිහිපයකි.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
ග්‍රන්ථ
 
කොතලාවල. ඒ.බි, (1984). ගස්වැල් හා පරිසරය (පරිසර විද්‍යාව), ලේක් හවුස් ප්‍රකාශකයෝ, කොළඹ 03.

සේනාරත්න, පී.ඇම්.,
(2005). ශ්‍රී ලංකාවේ වනාන්තර, සරසවි ප්‍රකාශකයෝ, 30, ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

සේනාරත්න, පී.ඇම්., ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන, (2004). සිකුරු ප්‍රකාශකයෝ, 144, වෙනිවැල්කොළ, පොල්ගස්ඕවිට.

වෙබ් අඩවි

https://en.wikipedia.org/wiki/Disturbance

http://www.ecokids.ca 

http://ejad.best.vwh.ne 

http://worldslife-nisha.blogspot.com