15 September, 2016

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය හා එහි ලක්ෂණ


පෘථීවිය තුළ අසමාන ලෙස ව්‍යාප්තව පවතින දේශගුණය බුද්ධිමය පරිචයට හා සංවාදයට ලක්වීම හේතු කොටගෙන ප්‍රධාන කොටස් කිහිපයකට වර්ග කොට ඇත. එය ප්‍රධාන වශයෙන් තීරණය වනුයේ ‘උෂ්ණත්වය, වර්ෂාපතනය හා ආලෝකය’ නමැති ප්‍රධාන දේශගුණික මූලයන් මතය. මීට අමතරව “වායු පීඩනය, ආර්ද්‍රතාවය, සුළං” ආදී වු දේශගුණික මූලිකාංගයන් ද, මේ සඳහා සෘජුව හා වක්‍රව බලපෑම් එල්ල කරනු ලබයි. මෙකී දේශගුණික මූලධර්මයන්ගෙන් සිදුවන බලපෑම නිර්ණායකයන් ලෙස යොදා ගනිමින් ගෝලීය දේශගුණය ප්‍රධාන කලාපයන් (3) කට බෙදා දක්වා ඇත. එනම්, නිවර්තන දේශගුණික කලාපය, සෞම්‍ය දේශගුණික කලාපය හා ශීත දේශගුණික කලාපය යනුවෙනි.


මුලාශ්‍රය - www.webquest.hawaii.edu


ශ්‍රී ලංකාව නිවර්තන කලාපය තුල පිහිටි රටක් නිසාවෙන් එහි දේශගුණය නිවර්තන වර්ගයට අයත් වේ. නිවර්තන කලාපය යනුවෙන් හඳුන්වනුයේ, ‘සමකයේ සිට උතුරු දකුණු අංශක 23 1/2 ක් පමණ ව්‍යාප්තව පවතින්නා වු කලාපයයි.’ මෙකී කලාපයටම ආවේණික වුත් විවිධ හා විශේෂ ලක්ෂණයන් රාශියක් පැවැතීම නිසාවෙන් මෙම කලාපය “නිවර්තන දේශගුණික කලාපය” ලෙස ද, නිර්වචනය කරනු ලබයි. මෙම කලාපයට ආවේණික ලක්ෂණයන් බිහිවීම කෙරෙහි “අක්ෂාංශ ගත පිහිටීම, සූර්යාගේ දෝලනය හා ආලෝක පතන කෝණය, භූ විෂමතාවය, පෘථීවි ආනතිය, කොරියෝලිස් බලය” ආදි සාධකයන්ගේ බලපෑම් සෘජුව හා වක්‍රව ලැබී ඇත. “මෙකී නිවර්තන දේශගුණය උණූසුම්, තෙත් (වැසි සහිත) එකකි. වර්ෂය පුරා පැතිරුණු ඒකාකාරි උෂ්ණත්වය හා වර්ෂාපතනය නිසා සෘතුයික වෙනස්කම් පැහැදිලි නැත.”1 දිවා කාලය අධික උෂ්ණත්වයෙන් යුක්ත වන අතර දීප්තිමත් භාවයෙන් ද ඉහළ මට්ටමක පවතින ආකාරයක් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ දේශගුණය යන්න හඳුනාගැනීමට ප්‍රථමයෙන් කාලගුණය හා දේශගුණය යන්න නිර්වචනය කර ගැනීම වැදගත් වේ. “කාලගුණය යනු, නියමිත ස්ථානයක සුලු කාලයක් තුළදී ඇතිවන වායු ගෝලීය තත්ත්වයි.”2 එසේම මෙකී කාලගුණය පිළිබඳව දිගු කාලීනව අධ්‍යයනය කිරීම හෙවත් වායුගෝලයේ තිබෙන ජල වාෂ්ප වල හැසිරීම හා එහි ප්‍රතිඵලය, සූර්යාලෝකය වායු ගෝලය තුළ හැසිරෙන ආකාරය, තාපයේ බලය, පෘථිවි තලයට ඇති කරන බලපෑම් දේශගුණය ලෙස නිර්වචනය කරනු ලබයි.” නිවර්තන කලාපීය රටක් වන ශ්‍රි ලංකාවේ සුවිශේෂී පිහිටීම පාදක කොටගනිමින් කැපී පෙනෙන දේශගුණික විචලතාවයක් නිර්මාණය වී ඇති  අතර එය ප්‍රධාන දේශගුණික කලාපයන් 3කින් සමන්විත වේ. එනම්, “තෙත් කලාපය, වියළි කලාපය හා අර්ධ ශුෂ්ක කලාපය” යනුවෙනි. මෙම කලාපයන් නිර්මාණයෙහිලා ප්‍රධාන වශයෙන් බල පැවැත්වෙනුයේ භූ විෂමතාවය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නා වු මෝසම් සුළං රටාවන්, කාලීන වර්ෂාපතනය, උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාවය හා අනෙකුත් දේශගුණික තත්ත්වයන් හේතු සාධක වීය. එමෙන්ම මෙම ප්‍රධාන දේශගුණික කලාපයන්  නැවත කෘෂි පාරිසරික කලාපවලට බෙදී ගියද ඒවා නිර්මාණය වීමෙහිලා නිර්ණායක ලෙස යොදාගෙන ඇත්තේ වෙනත් සාධකයන්ය.

එසේම ඉන්දියන් සාගරයේ මධ්‍යයට වන්නට පිහිටා ඇති දූපතක් වන ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර් 65650 ක් පමණ විශාලත්වයකින් යුක්ත වේ. භෞතික පිහිටීම ගත් කල්හි උතුරු අක්ෂාංශ 50 551 සහ 90 551 නැගෙනහිර දේශාංශ 790 421 - 810 521 අතර වෙයි. සමකය ආසන්නයට වන්නට පිහිටා ඇති මෙය දකුණු ආසියානු උප මහද්වීපය තුළ පිහිටා ඇති අතරම අන්තර් නිවර්තන අභිසරණ කලාපය හෙවත් ඩ්‍රෝල්ඩ්‍රම් තීරය තුළත්  ආසියානු සුළං තීරයේ මධ්‍යයට වන්නටත් පිහිටා ඇත. වෙරළබඩ තැන්නේ සිට රට අභ්‍යන්තරයේ පිහිටි මධ්‍යම කඳුකරය දක්වා විහිදි ඇති උන්නතාංශය 0m සිට 2100m ඉක්මවා ගමන් කරනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය උෂ්ණත්ව පරාසයේ ගතිකත්වයක් නිර්මාණය කිරීමට හේතු වේ. පහත් ප්‍රදේශවල මාධ්‍ය උෂ්ණත්වය 26.60Cක්‍ සිට 270Cක් පමණ වුවද උන්නතාංශය සමඟ අනෙකුත් දේශගුණික සාධක සමඟ එය විචලතාවයකට බඳුන් වේ. සාගරයේ බලපෑම මත ඇති වන මුහුඳු සුළං මඟින් ඇතිවන රටෙහි අභ්‍යන්තර දේශගුණය තීරණය වීමක් පැහැදිලිවම හඳුනාගත හැකි අතර වෙරළබඩ ප්‍රදේශයට එහි බලපෑම ප්‍රධාන වශයෙන් ලැබෙනු ඇත.

බහුවිධ සම්භවයකින් යුක්ත ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයෙන් වැඩි ප්‍රමාණයක් මෝසම්, සංවහන හා සුළි සුළං මඟින් ලැබීම විශේෂත්වයකි. විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත වාර්ෂික වර්ෂාපතනය මධ්‍යයන්‍ය, වඩා වියළි ප්‍රදේශවල 900mmට අඩු වත්ම තෙත් කලාපවල 5000mm  දක්වා ඉහළ ගොස් ඇත. එසේම ප්‍රාදේශීය මට්ටමින් වායුගෝලීය උණුසුමෙහි සිදුවන විපර්යාසය සඳහා අක්ෂාංශගත පිහිටීම එතරම් වැදගත් නොවුණද උන්නතාංශය මඟින් එයට ප්‍රබල බලපෑමක් සිදුකෙරේ. වාර්ෂික උෂ්ණත්ව මධ්‍යයන්‍ය කෙරෙහි අවධානය යොමුකළ විට පහත් බිම්වල සමාන උෂ්ණත්ව තත්ත්වයන් සහ උස් බිම්වල සීඝ්‍රයෙන් අඩුවන උෂ්ණත්ව තත්ත්වයන් පැවැතීම තුළින් මෙය පැහැදිලි කරගත හැකිය. මෙය “පතන සීඝ්‍රතාවය” ලෙස නම් වේ.

ප්‍රධාන දේශගුණික කලාප තුනකින් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ දේශගුණය තුළ පවතින්නා වු වර්ෂාපතනය මූලික වර්ග 3ක් යටතේ නිර්මාණය වී ඇත. එනම්, මෝසම්, සංවහන සහ අවපාත යනුවෙනි. මේවා ප්‍රධාන කාල පරිච්ජේද 4ක් යටතේ චක්‍රානුකූලව ක්‍රියාත්මක වෙමින් ශ්‍රි ලංකාවේ දේශගුණය තීරණය කිරිමෙහිලා ද බලපෑම් කර ඇත. එසේම ඉහතින් සඳහන් කලා වු භූ ලක්ෂණ, මෝසම් සහ ප්‍රාදේශීය සුළං ආදියෙහි බලපෑමද මේ සඳහා ලැබී ඇති බැව් පෙනේ. මෙම කාල පරිච්ජේදයන් ලෙස,
  • පළමු අන්තර් මෝසම් කාලය (මාර්තු - අප්‍රේල්)
  • නිරිත දිග මෝසම් කාලය (මැයි - සැත්තැම්බර්)
  • දෙවන අන්තර් මෝසම් කාලය (ඔක්තෝම්බර් - නොවැම්බර්)
  • ඊසාන දිග මෝසම් කාලය (දෙසැම්බර් - පෙබරවාරී)
     යනුවෙනි.

    මුලාශ්‍රය - climatenet.blogspot.com
 

පළමු අන්තර් මෝසම් සමය තුළ  අපර භාගයේ සහ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි නිර්මාණය වන අතර මෙහි ප්‍රභල බලපෑම මධ්‍යම කඳුකරය ආශ්‍රිත නිරිත දිග බෑවුමට හිමි වේ. නමුදු නිරිත දිග මෝසම සක්‍රීය වු විට දිවා රාත්‍රි දෙකෙහිම අධික වර්ෂාපතනයක් ලබාදෙන අතර එහි බලපෑම දැඩිව නිරිත දිග ප්‍රදේශයට හිමි වේ. මෙම කාල වකවානුව තුළදී 1000mm - 3000mm දක්වා වර්ෂාපතනය විචලනය වීමක් හඳුනාගත හැකි අතර බටහිර බෑවුමේ උස්බිම් වලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙනු ඇත. එමෙන්ම අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ලැබීම දෙවන අන්තර් මෝසම ලෙස හඳුන්වන අතර මෙකල බෙංගාල බොක්කේ ඇතිවන අවපාත සහ සුළි සුළං හේතු කොටගෙන ආන්තික කාලගුණික තත්ත්වයන් නිර්මාණය වීමට පවතින අවකාශයද ඉහළය. මුළු  දිවයිනටම සමතුලිත වු වර්ෂාපතනයක් ලැබීම මෙහි ඇති විශේෂත්වයකි. ඊසානදිග මෝසම් සමය තුළ උදැසන ශීතභාවයකින් යුක්ත වන අතර කාලගුණික තත්ත්වය ඉතාමත් සුවදායක වේ. දිවා කාලය වළාකුළු  රහිත පැහැදිලි දීප්තිමත් අහසකින් යුක්ත වූව ද රාත්‍රී කාලය සිසිල් බවකින් යුක්ත වේ. මධ්‍යයම කඳුකරයේ ඊසානදිග බෑවුමට වන්නට මෙමඟින් වැඩිම වර්ෂාපතනයක් ලැබෙනු ඇත.

පහත රට උතුරු නැගෙනහිර හා උතුරු බටහිර ප්‍රදේශයන්හි උපරිම උෂ්ණත්වය සාමාන්‍ය 37.80Cක්‍ කට වඩා ඉහළ නොයන අතර අවම උෂ්ණත්වය 21.10Cක්‍ - 23.30Cක්‍ ත් අතර දෙසැම්බර් සිට ජනවාරී කාල සීමාවේ දී දක්නට ලැබේ. නමුදු මෙය උන්නතාංශය සමඟ අඩු වී යාමක් දක්නට ලැබේ. මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ප්‍රදේශයේ අවම උෂ්ණත්වය සාමාන්‍යයෙන් පෙබරවාරී මාසය තුළ 7.20Cක්‍ පමණ වන අතර එය ඇතැම් අවස්ථාවන්හි දි 00Cක්‍ දක්වා පහත බසී. මධ්‍යම කඳුකරයේ පවත්නා උස් බිම් ප්‍රදේශයන් තුළ ශීත දේශගුණයක්  නිර්මාණයට ප්‍රධාන හේතුව ලෙස මෙකී උන්නතාංශය ප්‍රභල බලපෑමක් එල්ල කර ඇත. උදාහරණයක් ලෙස පහත වගුවෙහි දක්වා ඇති නගරයන් පෙන්වා දිය හැකිය. 
 
 

එසේම ශ්‍රී ලංකාවේ පිහිටීම උතුරු අක්ෂාංශ 50 - 100 ත් අතර වීම නිසාවෙන් සමස්ථ දිවයිනම උණුසුම් දේශගුණයකින් සමන්විත වන අතර මධ්‍යස්ථ වශයෙන් සාගර සුළං සහ තෙත් බවකින් යුක්ත කාලගුණයක් ද මේ තුළ අන්තර්ගතව පවති. මධ්‍යන්‍ය උෂ්ණත්ව පරාසය 15.8 0C (නුවරඑළිය) සිට 28 0C දක්වා (ත්‍රිකුණාමලය) දක්වා ව්‍යාප්ත වී පවතින මෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්ව පරාසය 160C - 280C දක්වා වෙනස්වේ. එය දිවා කාලයේ සිට රාත්‍රී කාලය වන විට 40C -70C දක්වා වෙනස් වීමකට බදුන් වේ. මැයි මාසය උණුසුම්ම කාල පරිච්ජේදය ලෙස හදුනාගන්නා අතර ජනවාරි මාසය සිසිල්ම කාල පරිච්ජේදය වේ. එසේම ලංකාවේ දේශගුණයෙහි ප්‍රාදේශීය වෙනස්කම් ඇති කිරීමෙහිලා වැදගත්ම සාධකයක් ලෙස  මධ්‍යම කඳුකරයේ පිහිටීම පෙන්වා දීය හැකි අතර එය සුළං මුවාව හා මූනත වශයෙන් ක්‍රියාකිරීම නිසා මුවාවෙහි බෑවුම් ප්‍රදේශයන් සෑම විටම වියළි ස්වභාවයක් ඇති කිරිමට හේතු සාධකයක් වී ඇති බැව් පෙනේ.

එමෙන්ම ශ්‍රි ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 1836mm පමණ වන අතර එය අවකාශීය වශයෙන් විවිධත්වයක් සහිතව ව්‍යාප්තව පවතී. එනම්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශය හා බටහිර ප්‍රදේශයට උපරිම වර්ෂාපතනයක් ලබා දෙන අතර එය 5000mm ඉක්මවා ගියද නැගෙනහිර බෑවුම් වලදී මෙය 3500mm දක්වා පහත බැසිමකට ලක් වේ. මීට සාපේක්ෂව අඩුම වර්ෂාපතනයක් වයඹ හා ගිණිකොණ පහත් බිම් වලින් වාර්තා වන අතර වර්ෂාපතනයේ වාර්ෂිකව පවතින විචලතාවයන් ද හඳුනාගත හැකිවේ.

මෙම ලිපිය සැකසීමේදී ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව කරනු ලැබු විවිධ පර්යේෂණයන් හා ඒවා පිළිබඳව දක්වා ඇති සටහන් ආදිය අධ්‍යයනය කිරිම වැදගත් කොට සැළකිය හැකිය. ඒ තුළින් දේශගුණය හා ඒ සඳහා බල පැවැත්වෙන සාධකයන් විචල්‍යතාවයන් අන්තර් සම්බන්ධතාවයන් මෙන්ම අවකාශීය විවිධත්වය පිළිබඳවද අවබොධයක් ලබාගත හැකිවේ. 1956 දී ෆාමර්ගේ සොයා ගැනිම්වලට අනුව නියඟ තත්ත්වයන්ද, තෙත් කාලයන්ද, වර්ෂාපතන විචල්‍යතාවයන් ආදිය විශ්ලේෂණය කර ඇත. ඒ ඔස්සේ තම අඳහස් දක්වන ෆාමර් ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයේ විචල්‍යතාවයන්ගේ පරාසය නිරිතදිග ප්‍රදේශයේ 8% පමණ වන අතර උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල 20% ක් පමණ වන බව මොහු විසින් පෙන්වා දී ඇත. 1920 දී ශ්‍රී ලංකාවේ ඌව ද්‍රෝණියේ වර්ෂාපතන රටාව පිළිබඳව අධ්‍යයනය කළ සිරිනන්ද සහ ඩොම්රොස් එය ඇතිවීම සඳහා ප්‍රධාන හේතුව වන්නේ මෝසම් වර්ෂාව පමණක් නොව සංවහන අකුණු කුණාටු සහ අවපාත වර්ෂාවන්ද ඊට හේතුවන බවයි.

එසේම ශ්‍රී ලංකාවේ දේශගුණය පිළිබඳව පර්යේෂණ ගණනනාවක් කළ පර්යේෂකයකු හා විද්වතෙකු ලෙස මහාචාර්ය මද්දුමබණ්ඩාර පෙන්වාදිය හැකිය. ඔහු 1971 දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර හා බටහිර පැතිකඩ හරහා නිරාවරණය වන වර්ෂාපතන ව්‍යාප්තිය පිළිබඳව විශ්ලේෂණය කර ඒ අනුව උපරිම වර්ෂාපතන මට්ටම මධ්‍යම කඳුකරයට ලැබෙන බව පෙන්වා දුන්හ. එසේම 1983 දී කරුණාරත්නයන් සමඟ සම්බන්ධ වෙමින්  නුවරඑළිය කාලගුණික මධ්‍යස්ථානය තුළින් ලබාගත් දත්ත භාවිතා කර නුවරඑළියේ පසුගිය ශතවර්ෂය තුළ වාර්ෂික වර්ෂාපතනය අඩුවීමක් සිදුවී ඇති බැව් පෙන්වා දුන් හෙතෙම මෙකී වෙනස 1000M වඩා උස් භූමි ප්‍රදේශයන් තුළ සැළකිය යුතු අන්දමේ වෙනසක් සිදු කොට ඇති බැව් පෙන්වා දෙයි.

පැතිකඩ පර්යේෂණයක් යොදාගනිමින් ගාල්ලේ සිට කන්කසන්තුරේ දක්වා කරන ලද විශ්ලේෂණයක් මඟින් දිගු කාලීන වර්ෂාපතනයේ වෙනස්කම් හඳුනාගැනීමට යොෂිනෝ සහ සප්පයිච් 1983 වර්ෂයේ දී කටයුතු කළ අතර ඒ තුළින් මධ්‍යම කඳුකරයේ බටහිර සහ  නැගෙනහිර ප්‍රදේශයන්ට ඉහළ වර්ෂාපතනයක් ලබන බව පැහැදිලි විය. එසේම ඩොම්රොස් 1998 දී මෝසම් වර්ෂාවේ අවකාශීය වෙනස්වීම පරීක්ෂාවකට ලක් කරනු ලැබු අතර එහිදී මෝසම් සුළං ප්‍රදේශවල සෘතුමය වෙනස්කම් අන්තර් නිවර්තන අභිසරණ කලාපයේ කාලගුණික හැසිරීම මත වෙනස් වන බවත්, භූමියේ සැකැස්ම ආදී සාධක ද ශ්‍රී ලංකා වර්ෂාපතනයේ වෙනස්කම් වලට බලපාන බවත් හඳුනාගෙන ඇත. මෙම පර්යේෂණ කරුණු සියල්ලම සාරාංශගත කොට අධ්‍යයනය කළ කල්හි ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය සම්බන්ධව හා දේශගුණය පිළිබඳව යම් අඳහසක් ලබාගත හැකි වේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

සිංහල ග්‍රන්ථ

අල්විස්, ඩික්මන්. දේශගුණ විද්‍යාව අධ්‍යනය, (1968). සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්මන්ට් සමාගම, 41, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ.

කුමාරගමගේ, ලෙනාඞ්. (2008). දේශගුණ විද්‍යාවේ මූලධර්ම (පාරිසරික භූ ගෝල විද්‍යාව), සී.ආර්.සී මුද්‍රණාලය, අංක 119, විශ්වවිද්‍යාල පාර, රත්තණපිටිය, බොරලැස්ගමුව.

කොස්තා, ශහේන් ද, (2000). ජල ඉංජිනේරු විද්‍යාව, එස්.ගොඩගේ ප්‍රකාශකයෝ,කොළඹ 10.

ලේක්, පිල්ප්. (1964). භෞතික භූ ගෝල විද්‍යාව, රාජ්‍ය භාෂා ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ෆොන්සේකා පාර, කොළඹ 05.

සඳපාල, අමරසේන. (1996). පාරිසරික භූගෝල විද්‍යාව පරිසරයේ මූලිකාංග, කතෘ ප්‍රකාශනයකි, මල්කඩුවාව. ඩී.කොටස, සුදර්ශන මාවත, කුරුණෑගල.

ධනපාල, එච්.ඒ. (2002). පෘථීවි වායුගෝලය කාලගුණය හා දේශගුණය, සරසවි ප්‍රකාශකයෝ, 30 ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ.

Peiris, G.H., (2006). Sri Lanka challenges of the new millennium, Auother published.
Nakagava K., Edagawa V., Nandakumar, Akoi M ( 1995), Long-term Hydrological  in Sri Lanka Data Book of Hydrological Cycle in Humid Tropical Ecosystem, part 1 Special report project on global environmental change, University of Tsukuba.

Research Paper
 Herath, Srikantha and Ratnayake, Uditha. Monitoring rainfall trends to predict adverse impacts a case study from Sri Lanka (1964–1993). (2004). Global Environmental Change 14, pp 71–79.
Jayawardene, H.K.W.I., Sonnadara, D.U.J. and Jayewardene, D.R. Trends of Rainfall in Sri Lanka over the Last Century Institute of Physics - Sri Lanka. (2005). Sri Lankan Journal of Physics, Vol.6, pp 6 7-17. 
Wickramagamage, P., Seasonality and spatial pattern of rainfall of Sri Lanka: Exploratory factor analysis. (2010). International journal of climatology. Int. J. Climatol. 30. Pp 1235–1245.
Vialard J., Terray, P., Duvel, J.P., Nanjundiah, R. S., Shenoi, S. S. C. and  Shankar, D. Factors controlling January - April rainfall over southern India and Sri Lanka. (2011). Springer - Verlag 2011.


1 mdßißl N+f.da, úoHdj" 2006" 148 msgqj'
2 w,aúia" älauka" msgq wxl 02'

No comments: