15 September, 2016

වෙරළ කලාපය ඛාදනයෙන් ආරක්ෂා කිරීමේ ක්‍රම


රටකට වැදගත් ස්වභාවික සම්පතක් වශයෙන් එරටෙහි වෙරළ කලාපය හඳුන්වා දිය හැකි වූව ද, මෙකී සෑම රටක් තුළම ස්ථාවර වෙරළක් බලැපොරොත්තු විය නොහැකිය. ස්වභාවික හා මානුෂ ක්‍රියාවලීන් පදනම් කොටගෙන වෙරළ සම්පත හායනයකට ලක්වීම එයට හේතු සාධක වී ඇත. ගෝලීය වශයෙන් මෙකී ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන කල්හි එය ප්‍රභල මෙන්ම දැවෙන පාරිසරික අර්බුදයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර එය පාලනය කිරිම හා සංරක්ෂණය කිරීම සඳහා විවිධ පුද්ගලික සහ රාජ්‍ය පරිපාලන බාලාධිකාරීන් ක්‍රියාත්මක වීමක් දක්නට ලැබේ. මෙය ස්ථානීය මට්ටමේ සිට අන්තර් රාජ්‍ය මට්ටම දක්වා  විවිධ පරිමාණයන් ඔස්සේ ක්‍රියාත්මක වන අතර වර්තමානය වනවිට එය පැහැදිලිවම හඳුනාගත හැකි වී ඇත.

සාගර ජලයේ සිදුවන සංකීර්ණ ක්‍රියාවලිය හේතු කොට ගනිමින් නිර්මාණය වන වෙරළ කලාපය “සාගර රළ, සාගර ප්‍රවාහ සහ උදම් ක්‍රියාකාරීත්වය” මත එහි ගති ලක්ෂණ වන විශාලත්වය, ස්වභාවය, ඛාදන තීව්‍රතාවය ආදිය තීරණය කරනු ලබයි. කෙසේ වෙතත් මෙකී සංකීර්ණ සහ අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුක්ත වන මෙම ක්‍රියාවලිය තුළින් වෙරළ නිර්මාණයට වෙරළ ඛාදනයට අවශ්‍යය මූලික පදනම නිර්මාණය කරනු ලබයි. වෙරළත ප්‍රදේශයන් නිර්මාණය වීම මඟින් ඇති කරනු ලබන ගැට`ථ සහගත තත්ත්වයන්ගේ බලපෑම අවම වූවද, වෙරළ ඛාදනය තුළින් නිර්මාණය වන ගැට`ථකාරී තත්ත්වයන්ගේ බලපෑම ආන්තික මට්ටමේ එකක් විය හැකිය.එය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවීම සඳහා හේතු වු අතර වෙරළ ඛාදනය යනු කුමක්දැ යි යන්න නිර්වචනය කිරීමට මූලීකවම කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිර්වචන කිහිපයක් මූලිකවම ගොඩ නැගුණි. ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගතික ස්වභාවයෙන් යුක්ත හා විවිධ ගති ලක්ෂණයන්ගෙන් සමන්විත වෙරළ කලාපයක් නිර්මාණය වී පැවැතීම මෙයට හේතු විය. වෙරළ සංරක්ෂණය යන්න වෙරළ ඛාදන ක්‍රියාවලිය තුළදී උපාය මාර්ගයක් වශයෙන් හඳුන්වාදෙනු ලබයි. එමනිසා වෙරළ සංරක්ෂණය යන්න මූලිකව අර්ථකථනය කර ගැනීම මෙහිදී වැදගත් කොට සැලකිය හැකිවේ.“වෙරළ පෝෂණය වීමට ලැබෙන දේවලට වඩා වෙරළින් ඉවත් වන දැ වැඩි වනවිට එය වෙරළ ඛාදනය ලෙස අර්ථ දක්වනු ලබයි.” වෙරළ ඛාදන ක්‍රියාවලිය ස්වභාවිකවම සමතුලනයට පත්වන  ක්‍රියාකාරී පද්ධතියක් ලෙස හඳුනාගත හැකි වූවද, වර්තමානයේ ඒ සඳහා බලපැවැත්වෙන මානුෂ ක්‍රියාවලීන් සහ ආන්තික ස්වභාවික තත්ත්වයන් මත ඒ තුළ අසමතුලිත මට්ටම් ක්‍රියාත්මක වීමක් හඳුනාගත හැකිවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වටිනා වෙරළ ප්‍රදේශ හා වෙරළබඩ ඉඩම් හායනය හෝ විනාශ වීමක් සිදුවේ. කෙසේ වෙතත් මේ සඳහා පොදුවේ සහ පුද්ගලිකව විශේෂ පිරිවැයක් දැරිමට සිදුවන අතරම වෙරළ ඛාදනය වළක්වා ගැනීමට විවිධ සැලසුම්, උපාය මාර්ග, ව්‍යාපෘති සහ ප්‍රතිපත්ති ආදි විවිධ ක්‍රමවේදයන් භාවිතා කිරිමක් දක්නට ලැබේ.
වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයන් ප්‍රධාන වශයෙන් ප්‍රවේශ කිහිපයක් යටතේ වර්ග කොට දැක්විය හැකිය. එනම්,
  • තාක්ෂණික ප්‍රවේශය
  • යාන්ත්‍රික ප්‍රවේශය
  • නෛතික ප්‍රවේශය
  • ජෛව විද්‍යාත්මක ප්‍රවේශ
  • අධ්‍යාපනික ප්‍රවේශය
  • සමාජ ආර්ථික ප්‍රවේශය
  • දේශපාලනික ප්‍රවේශය
  • ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රවේශය
යනුවෙනි. මීට අමතරව
  • වෙරළ සංරක්ෂණය
  • මෘදු හා දැඩි වෙරළ ආරක්ෂණ උපාය මාර්ග
ආදිය යොදා ගනිමින් වෙරළ ඛාදනය අවම කිරීමට උත්සාහ ගෙන ඇත. මෙකී ප්‍රවේශයන් යටතේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ගෝලිය ප්‍රජාව වර්තමානය වනවිට කටයුතු කරනු ලබයි. මෙහිදී මූලීක වශයෙන්ම වැදගත් වන සාධකයක් ලෙස තාක්ෂණික ප්‍රවේශය පෙන්වා දිය හැකි අතර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් වෙරළ ඛාදනය අවම කිරීමට මෙහිදි කටයුතු කරනු ලබයි. තාක්ෂණික දැනුමට මෙහිදි ප්‍රමුඛත්වයක් ලැබෙන අතර එය වෙරළ ප්‍රදේශයේ ස්වභාවික පරිසරයට බලපෑමක් නොවන ආකාරයෙන් යොදාගත යුතුයි. වෙරළ ඛාදනය මැනීම, ප්‍රතිපත්ති එක් කිරිමට තාක්ෂණය ප්‍රධාන උපායක් ලෙස භාවිතා කරයි. යාන්ත්‍රික ප්‍රවේශය තුළින් වෙරළ කලාපයයේ ඛාදන ක්‍රියාවලිය සඳහා දායක වන්නා වු සියලුම යන්ත්‍රෝපකරණ හා උපායන් පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. එහිදී වෙරළ කලාපය ආශ්‍රිතව සිදුකරනු ලබන සංවර්ධන කාර්යය සඳහා විවිධ යන්ත්‍රෝපකරණ භාවිතා කරනු ලබන අතර ඒවාට යම් සිමාවන් පැනවීමක් මේ තුළින් මූලිකවම සිදු කරනු ලබයි. එසේම ජෛව විද්‍යාත්මක ප්‍රවේශය ඔස්සේ වෙරළ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ලබන අතර  එහිදී ස්වභාවික පරිසර පද්ධතියට මූලිකත්වය ලබා දේ. “ස්ථානීය හා පරිබාහිර” වශයෙන් වෙරළ ඛාදනය ආරක්ෂා කිරීමට අත්‍යාවශ්‍ය පියවර ගන්නා ලබයි. නමුත් මෙහිදී වඩාත් ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ලෙස ස්ථානීය සංරක්ෂණය වැදගත් වේ. එසේම ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රවේශය හා කෘෂි කාර්මික ප්‍රවේශය තුළින් ද වෙරළ කලාපීය ඛාදනය අවම කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේදයන් යොදා ගැනීමක් සිදු කරනු ලබයි. අධ්‍යාපනික ප්‍රවේශය යනු වෙරළ ඛාදනය පිළිබඳව දිගු කාලීන ප්‍රතිඵල අත් කරගත හැකිවූත්, කාර්යක්ෂමවුත් ප්‍රවේශයකි. මේ යටතේ විධිමත් හා අවිධිමත් ක්‍රම යොදාගනිමින් වෙරළ ඛාදනය වළක්වා ගැනීමට කටයුතු කළ හැකි වේ. ඒ තුළින් බොහෝ විට මිනිසුන් මේ සම්බන්ධයෙන් ඇති නොදැනුවත්භාවය අවම කරනු ඇත.

දේශපාලන ප්‍රවේශය ඔස්සේ වෙරළ ඛාදනය වළක්වා ගැනිම සම්බන්ධයෙන් විශාල කාර්ය භාර්යක් කළ හැකිය. එනම්, සමස්ථ ජනයා නියෝජනය කරනු ලබන පාර්ශවය වශයෙන් ගැට`ථ සහිත ප්‍රදේශවලට විසඳුම් සෙවීමට ඔවුන්ට අවකාශය සැකසීමයි. එසේම වෙරළ ඛාදනය දිරිමත් කිරීමට ක්‍රියාත්මක වන දේශපාලනික දිරිගැන්වීම් ද වළක්වා ගැනීම මෙහිදී වැදගත් කොට සළකනු ලැබේ. මිනිසා හා පරිසරය අතර පවතින්නා වු අන්තර් සම්බන්ධතාවය නිසාවෙන් වෙරළ කලාපීය ඛාදනය උග්‍ර වී ඇති අතර ඒ පිළිබඳව විසඳුම් සෙවීමේ වැදගත්ම ප්‍රවේශයක් ලෙස සමාජ ආර්ථික ප්‍රවේශය පෙන්වා දිය හැකිය. මෙහිදී ප්‍රජා සහභාගීත්වය වැදගත් වන අතර වෙරළ සංරක්ෂණය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම සහ ඔවුන්ගේ දිගු කාලින අත්දැකීම් යොදා ගැනීම වැදගත් වේ. මෙහිදී ප්‍රජා සංවිධානවලට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතුය. එසේම නීතිමය ප්‍රවේශය ඔස්සේ වෙරළ ඛාදනය සම්බන්ධයෙන් නීති සම්පාදනය, ප්‍රතිපත්ති සැකසීම, දඩුවම් ලබාදීම වැනි නීතිමය ක්‍රියාවලීන් බල ගන්වයි. එසේම වෙරළ ඛාදනය හා සඳහා සම්බන්ධ වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීම මෙහි ප්‍රධාන වගකිම ලෙස හඳුනාගත හැකි වේ.

ඉහතින් සාරාංශගත ගතකොට දක්වන ලද ප්‍රවේශයන් සියල්ලම එකිනෙකට ඒකාබද්ධව අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුක්තව ක්‍රියාත්මක වීමක් වේ. ඒවා අබේදනීය ලෙස බැදී පවතින අතර ඒවා සියල්ලෙහිම ක්‍රියාකාරීත්වය මත වෙරළ ඛාදනය වැළැක්වීම පාලනය කිරීමට ලක්කොට ඇත. ඉහත ප්‍රවේශය තුළින් වෙරළ ඛාදනය ආරක්ෂා කිරීමේ ප්‍රවේශයන් පිළිබඳව සාකච්ඡා කළද, ඒ සඳහා භාවිතා කරනු ලබන විවිධ ක්‍රමවේදයන් ඒ තුළින් සාකච්ඡාවට බදුන් නොකෙරුණි. එමනිසා මෙතැන් සිට ඒවා එකින් එක අධ්‍යයනයට බඳුන් කර දක්වමු. වෙරළ ඛාදනය ආරක්ෂා වීමේ ක්‍රම ප්‍රධාන කොටස් 2ක් යටතේ අධ්‍යයනය කළ හැකිය. ඒවා පහතින් දක්වා ඇත. එනම්,

මෘදු වෙරළ ආරක්ෂණ ක්‍රම
  • වෙරළ සංරක්ෂණය කිරීම යන්න වෙරළ සංරක්ෂණය කිරීමේ නියම උපාය මාර්ගයකි. වෙරළට පැමිණෙන වැලි නිදහසේ වෙරළට පැමිණීමට ඉඩ හැරීම, කඩොලන, වැලිවැටි හා කොරල් පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම  තුළින් වෙරළ ඛාදනය අවම කර ගැනීමක් පිළිබඳව මින් අඳහස් කරයි.
  • වෙරළ කලාපයේ ඇති වැදගත්කම මානව ප්‍රජායට අවබෝධ කරදීම කළයුතු අතර එසේම වෙරළ කලාපීය භූමි පරිභෝගය විධිමත් කිරීමක් සිදු කළ යුතුය. එසේම අවසාධිත මඟින් ගෙන එන පෝෂ්‍ය කොටස් තුළින් වෙරළ කලාපය  පෝෂණය වීමට ඉඩ ලබාදිය යුතු අතර එයට විරෝධී ක්‍රියාවන් පාලනය කළ යුතුය. වෙරළ කලාපීය පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම හා ඒවා වර්ධනය කිරීමට අවශ්‍යය ව්‍යාපෘති දියත් කිරීම.
  • වෙරළාශ්‍රිතව සිදු වන්නා වු අනවසර ඉදි කිරීම් හා ජනාවාස මඟින් සිදුවන්නා වු වෙරළ කලාපීය දූෂණය වැළැක්වීමට කටයුතු කිරීමක් සිදුකළ යුතු අතර එම ප්‍රදේශ වල ජීවත් වන මිනිසුන්ට ස්ථීර රැකියා සහ ජනාවාස ලබා දීමක් කළ යුතුය. ඒ තුළින් වෙරළ මත සිදුවන්නා වු යැපීම හීන වී ගොස් වෙරළ ඛාදනය අවම වීමක් වේ.
  • වෙරළ කලාපීය සම්පත් මත සිදු වන්නා වු ආර්ථික ක්‍රියාවලීන්ට විකල්ප ආදේශකයන් හා ආදායම් මාර්ග හඳුන්වාදීමක් කළ යුතුය. වෙරළ කලාපීය ස්වභාවික සම්පත් පරිහරණය කිරීම සැළකිලිමත්ව සිදු කිරීම.
  •  ස්වභාවික වෙරළ පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම තුළින් වෙරළ ඛාදනය අවම කර ගැනිමට හැකියාවක් ලැබෙනු ඇත. එම කලාපයන් ආරක්ෂිත විශේෂ කලාප ලෙස නම් කළ යුතුය. එසේම මෙම කලාපයන් පිළිබඳව පුර්ණ දැනුවත් කිරීම් කළ යුතුයි.
  • වෙරළ සංරක්ෂණය සඳහා ගෙන ඇති නීති රීති ආදිය යාවත්කාලීන කිරීම, නව නීති සම්පාදනය කිරීම මෙන්ම ඒවා බල ගැන්වීමට ආයතනික ව්‍යුහයන්ට බලය ලබාදීම. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත සහ 1988 අංක 64 දරන සංශෝධිත වෙරළ සංරක්ෂිත පනත නිදර්ශක වශයෙන් පෙන්වා දිය හැකිය.
  • වෙරළාශ්‍රිත සිදු කරනු ලබන විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘති ආදිය මනා පර්යේෂණයකින් පසුව ක්‍රියාත්මක කිරීම සහ පාලනය කිරීම.
දැඩි වෙරළ ආරක්ෂණ ක්‍රම
මේ යටතේ වෙරළ කලාපය ඛාදනයෙන් වළක්වා ගැනීම සඳහා යොදනු ලබන විවිධ බැමි වර්ගයන් පිළිබඳව සාකච්ඡා බදුන් කරනු ලබන අතර එය වෙරළ සංරක්ෂණයේ දී යොදාගනු ලබන කාලීන මෙන්ම ප්‍රභල උපාය මාර්ගයන් ලෙස ද හඳුනාගෙන ඇත. මෙම විවිධ වර්ගයේ ඉදි කිරීම් අතර “පැති බැමි, පනා බැමි, පෙදරේරු බැමි” ආදියට ප්‍රමුඛත්වයක් හිමි වී ඇත.

පැති බැමි
වෙරළට සමාන්තරව එළනු ලබන ගල් වැටීන් මෙනමින් හඳුන්වන අතර එය ක්‍රම දෙකක් යටතේ සිදු කරනු ලබයි. එනම්, “පෙරහන් කම්බිලිය සහ විශාල ගල් කුට්ටි හෙවත් බෝල්ඩර” යනුවෙනි. මෙය හත දක්වා දක්වා ඇති රූප සටහන තුළින් දක්වා ඇත. ඉතා කුඩා ගල් කැබැලි යොදාගනිමින් නිර්මාණය කරනු ලබන පෙරහන් කම්බිලියේ ඇති ගල් කැබැලි අතරින් රිංගා යන මුහුදු ජලයෙන් වෙරළ කලාපයේ වැලි හෑරීයාම වැළැක්වී වෙරළ ඛාදනය පාලනය වීමක් සිදුවේ. එසේම බෝලඩර මඟින් තරංගවල ශක්තිය විසුරුවා හැරීමක් සිදු කරමින් වෙරළ ඛාදනයෙන් ආරක්ෂා කළද ඒ තුළින් ස්වභාවික පරිසරයට හා සෞන්දර්යට සිදුවන හානිය අති විශාලය.

මුලාශ්‍රය: කර්තෘ විසින් සකස් කරන ලදී. 


ග්‍රොයින හෙවත් පනා බැමි
මුහුද දෙසට විහිදෙන ලෙස වෙරළට ලම්බක ආකාරයෙන් ගල් ඇතිරීම මෙනමින් හඳුන්වන අතර එය හත දක්වා ඇති රූප සටහනින් අවබෝධ කරගත හැකිවේ. බැම්ම මත දෙකෙළවරක් වෙරළ ඉමට සම්බන්ධ වීම නිසාවෙන් වෙරළට සමාන්තර ලෙස ප්‍රවාහනය කරන ද්‍රව්‍යයන් මෙහි තැම්පත් වීමක් සිදු වේ.

 මුලාශ්‍රය: කර්තෘ විසින් සකස් කරන ලදී.


පෙදරේරු බැමි
වියදම් සහිත කියාවලියක් ලෙස හඳුනාගත හැකි මෙම බැමි වර්ගය බොහෝ විට වෙරළට සමාන්තරව ගල් සහ සිමෙන්ති යොදා ගනිමින් නිර්මාණය කරන අතර එහි පැවැත්ම ඉතාමක් අඩු කාලයකට සීමා වේ. හත දක්වා ඇති රූප සටහනක් දක්වා ඇත.

 මුලාශ්‍රය: කර්තෘ විසින් සකස් කරන ලදී.

දැඩි ආරක්ෂණ ක්‍රමයන් අනුගමනය කරමින් වෙරළ ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් වියදම් සහිත වු ක්‍රියාවලියක් ලෙස හඳුනාගත හැකි අතර ඒ තුළින් ස්වභාවික වෙරළ තීරයේ පවතින ස්වභාව සෞන්දර්ය අඩුවේ. මෙය ධීවර හා සංචාරක කර්මාන්තයට ද අවාසිදායක තත්ත්වයක් ඇති කරනු ලබන අතර වටිනා ජෛව සම්පත් නිර්මාණය වීමට ඇති අවකාශය ද වළක්වනු ලබයි. වෙරළ ආරක්ෂා කර ගැනීමේ නියමාකාර ප්‍රවේශය ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත්තේ ස්වභාවික වෙරළට පවත්නා ආකාරයෙන්ම පැවැතීමට ඉඩ සැලැස්වීම බවයි.ඒ තුළින් වෙරළ කලාපය ස්වභාවිකවම පෝෂණයට ලක්වී වෙරළ කලාපය සමතුලනයට ලක්වන බව මේ පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙයි.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

Wirakkodi, Upali,  Changing Coastline southwest of Sri Lanka, (1989). Natural Resources, Energy & Science authority of Sri Lanka No 47/5, Maitland Place, Colombo.

හෙටිටිආරචිචි, ජනක, (2000). පාරිසරික භූගෝල විද්‍යාව (පරිසරයේ මූලිකාංග), ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ, නො.675, මරදාන පාර, කොළඹ 10.

http://servesrilanka.blogspot.com/2005/02/coastal-zone-management-in-sri-lanka.html

http://www.dmc.gov.lk/hazard/hazard/Report pdf, (Coastal Erosion)


















weuqKQï wxl 03


[1] l=udr.uf.a" f,kdâ " 2007" msgqj 47

No comments: