25 September, 2016

ජලාධාර කළමනාකරණ ප්‍රදේශයන් තුළ පවතින පාරිසරික ගැටලු (ඉහළ මහවැලි ජාලාධාර ප්‍රදේශය ඇසුරින්)


ලෝකයේ දැවෙන ප්‍රශ්න දහය අතර ප්‍රධානතම ප්‍රශ්නයක් වශයෙන් පාරිසරික ගැටලු යන්න හඳුනාගත හැකිවේ. කාලීන වශයෙන් ගතිකත්වයක් අනුරූප වන මෙම උභතෝකෝටිකය කෙරෙහි විසඳුම් සෙවීමෙහිලා අන්තර් ජාතික ප්‍රජාව කටයුතු කළ ද, ඒ සඳහා නිශ්චිත විසඳුමක් ලබාගැනීමට ඔවුනට නොහැකි වීමෙන් එහි පවත්නා වු අර්බුදකාරී ස්වභාවය පැහැදිලි වනු ඇත. ශ්‍රී ලකාවට ද මෙකී සනාතන ධර්මයෙහි ආනිශංසයන් ලැබී ඇති බැව් රට තුළ පවත්නා වු පාරිසරික අර්බුදයන් අධ්‍යයනය කිරීමෙන් පෙනී යයි. මෙකී පාරිසරික ගැටලු හෙවත් අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වීමෙහිලා ස්වභාවික ක්‍රියාදාමයන්ගේ සහ මිනිසාගේ මැදිහත් වීමෙන් ජනනය වන බලපෑම් හේතුවේ.

පාරිසරික වෙනස්වීම් කාලීනව පාරිසරික ගැටලු දක්වා වර්ධනය වනු ඇත. නියඟයන්, කුණාටු, සුනාමි, ගංවතුර ගැලීම් හා නායයෑම් වැනි ස්වභාවික පාරිසරික සංකූලතාවයන් මඟින් පරිසරය තුළ ගතිකත්වයක් නිර්මාණය කරනු ලබන අතර ඒවා වර්ධනයෙහිලා මානව ක්‍රියාවලීන්ගේ සෘජු හා වක්‍ර දායකත්වය ලැබී ඇති බැව් පෙනේ. ගෝලීය ප්‍රජාව තුළ පවත්නා වු තරඟකාරී ජීවන රටාව හේතු කොටගනිමින් පාරිසරික අන්තර් ක්‍රියාකාරීත්වය ආන්තික මට්ටමක් දක්වා උපයෝජනය කිරීම මෙයට පදනම සකසා ඇත. පාරිසරික ගැටලු නිර්මාණයේ අවකාශීය පදනම ක්ෂද්‍ර මට්ටමේ වුව ද ඉන් ජනනය වන්නා වු බලපෑම ගෝලීය පරිමාණය දක්වා ව්‍යාප්ත වන හෙයින් විවිධ අවකාශීය පරිමාණයන් පිළිබඳව සළකා බැලීම මෙහිදී වැදගත් වේ. ස්ථානය හා කාලය පිළිබඳව සැළකිලිමත් වීමෙන් ක්ෂද්‍ර පරිමාණයේ සිට ගෝලීය පරිමාණය දක්වාම ව්‍යාප්ත වන පාරිසරික ගැටලු හඳුනාගත හැකි වන අතර ඒ ඒ පරිමාණයන්හි දි පාරිසරික ගැටලු වලට විසඳුම් සෙවීමට ද වැදගත් ප්‍රවේශයක් වනු ඇත.

                                                                  source : dl.nsf.ac.lk

ගෝලීය උෂ්ණත්වය ඉහළයෑමේ විභව අවදානමක් කාර්මික හා කෘෂිකාර්මික ක්‍රියාකාරම් නිසා උද්ගත විය. ලෝකයේ පාංශු හා භූමි සම්පත් හායනය වීම, හරිතාගාර ආචරණය ඉහළයාමේ විභව අවදානම වැඩි කිරීමට ඉවහල් වේ. මෙහි අතුරු ඵලයක් ලෙස පාරිසරික ගැටලු හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදයන් මතු වූ අතර ඒ සඳහා පිළියම් සෙවීමක් ලෙස ජලාධාරයන් ආශ්‍රිත සංරක්ෂණය හා කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව බුද්ධිමතුන්ට අවබෝධ විය. (Mishra Archana, 2005, P.01) එහි ප්‍රතිඵලයක් ලෙස ජලාධාර කළමනාකරණය පිළිබඳ ලෝක අවධානය යොමු විය.

ආචාර්ය පී.එන්.ශර්මාට අනුව (1997) “යම් ජලාධාරයක මානව සංවර්ධනයන්, ජීවන තත්ත්වයේ අඛණ්ඩ වැඩි දියුණුවීමක් උදෙසා භූමිය, ජලය හා වන සම්පත් පරිහරණය කිරීමේ, සංරක්ෂණය කිරීමේ හා කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය ජලාධාර කළමනාකරණයයි.”

The Red Deer River Watarshed Aliance-2005 ට අනුව “ජලාධාර කළමනාකරණය ආර්ථික, පාරිසරික, සෞඛ්‍ය සම්පන්න සමබර කිරීමට වෙර දරන අනුවර්ති පරිපූර්ණ ඒකාබද්ධ බහු සම්පත් කළමනාකරණ ක්‍රියාවලි සැලසුම් වන අතර, විෂම සංස්කෘතික සමාජ තත්ත්වයන් ජලාධාර කළමනාකරණය, ඉඩම් හා පාලන සඳහා සැලසුම් ඒකාබද්ධ කිරීමට කටයුතු කරයි. එය දිය බෙත්මක භෞතික සීමාව තුළ ජලය, ශාක, සතුන්, සමානව ඉඩම් භාවිතය අන්තර් සැළකිල්ලට ගෙන භූගත හා මතු පිට ප්‍රමාණය තීරණය කිරීම හා සැලසුම් කිරීම සිදුකරයි.”

කැලිෆෝනියා ජලාධාර වැඩසටහන-2000 අනුව “ජලාධාර කළමනාකරණය තුළ රක්ෂිතයක ශාක වලට බලපාන කාර්යයන්, සත්ත්ව හා මානව ප්‍රජාවන් සුරක්ෂිත හා වැඩි දියුණු කිරීම සදහා අදාල සම්පත් තිරසාර බෙදාහැරීම හා සැලසුම් නිර්මාණය හා ක්‍රියාත්මක කිරිමේ ක්‍රියාවලිය ඉලක්ක කරගත් ජල රක්ෂිතයක ලක්ෂණ, වැඩසටහන් හා ව්‍යාපෘති අධ්‍යයනයයි.”

ජලාධාර කළමනාකරණය තිරසාර භූමි හා ජල කළමනාකරණයක් පිළිබඳව අඳහසක් ලබා දෙන අතර දුර්වල ජලාධාර කළමනාකරණයන් ලෝකයේ භූමි හා ජල හායනයේ හා ග්‍රාමීය දුප්පත්කම සඳහා ප්‍රධාන හේතුවක් වේ. (Mishra Archana, 2005, P.03)

අතීතයේ සිටම ජලාධාර කළමනාකරණය කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති අතර එය අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් ප්‍රතිපත්ති ද සම්පාදනය කොට තිබේ. ජලාධාර සංරක්ෂණය, ආරක්ෂා කිරිම, පුනරුත්ථාපනය, තිරසාර පරිභෝජනය හා ජලාධාර කළමනාකරණය ආදිය ජලාධාර ප්‍රතිපත්තීන් වල මුඛ්‍ය අරමුණු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ජලාධාර කළමනාකරණ ප්‍රතිපත්තියේ දක්වයි. (National Watershed Management Policy, 2004) එමෙන්ම තිරසාර ආර්ථිකයක් ළගා කරගැනීම හා ජනතාවට අවශ්‍ය ප්‍රයෝජන සමාජීය වශයෙන් උදාකරලීම ද මෙහි කැපී පෙනෙන ලක්ෂණයකි. ආරක්ෂක ප්‍රතිපත්තියක් වශයෙන් ජලාධාර සංරක්ෂණ උපක්‍රම භාවිත කිරීම, අධ්‍යනය කිරිම හා අවදානම් හා අවදානම් නොවන ප්‍රදේශ හඳුනාගෙන කටයුතු කිරීම ද කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ජලාධාර කළමනාකරණ ප්‍රතිපත්තියේ තවදුරටත් දක්වයි.  (National Watershed Management Policy, 2004)

ජලාධාර කළමනාකරණය ශ්‍රී ලංකාවේ අතීතයේ සිටම පැවත එන්නකි. (මුදිත ප්‍රසන්නජිත් පෙරේරා, 2010) නැවත වන වගාව හා ජලාධාර කළමනාකරණ ව්‍යාපෘති (Reforestation and Watershed Management  Project/RWMP) වන දෙපාර්තමේන්තුව, අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහයෝගය සහිතව 1980 දී ආරම්භ කරන ලදී. මෙහි අරමුණු වූයේ උඩරට පෝෂක ප්‍රදේශ තුළ ජෛව ඉන්ධන වගාවන් සහිතව හෙක්ටයාර 10,000 ක් නැවත වන වගා කිරීම හා වන දෙපාර්තමේන්තුවේ  ආයතන ශක්තිමත් කිරීමයි. (Upper Watershed Management Project Proposal, 1997, P.36)

ඉහළ මහවැලි ජල පෝෂක ප්‍රදේශයෙහි ක්‍රියාකාරීව පවත්නා වු පාරිසරික ගැටලු අධ්‍යයනයට බඳුන් කිරීමේ දී ප්‍රදේශය තුළ සක්‍රීයව පවත්නා වු පාරිසරික ගැටලු හඳුනාගනු ලැබු අතර එම පාරිසරික ගැටලු ප්‍රධාන වශයෙන් ආකාර 5ක් ඔස්සේ අර්ථකථනය කළ හැකිවේ. එනම්,“ජල දූෂණය, වායු දූෂණය, ජෛව දූෂණය, ශබ්ද දූෂණය, භූමි දූෂණය.” (ඉන්ද්‍රාණි මල්ලිකා ශකූර්, 2005) යනුවෙනි. මෙකී ප්‍රධාන පාරිසරික ගැටලු ආකාරයන් අධ්‍යයන ප්‍රදේශය තුළ අසම ව්‍යාප්තියකින් යුක්ත වන අතර ස්ථානීය විෂමතාවයන්, අරමුණු, ක්‍රියාකාරීත්වය ආදිය එයට පදනම වී ඇත.

මහවැලි ව්‍යාපාර සැලසුමේ දක්වා ඇති ආකාරයට “ආරම්භක වශයෙන් මෙම ව්‍යාපාර ආසන්නයේ පාරිසරික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරේ. ජලාධාර ප්‍රදේශය සංවර්ධන කටයුතු සැලසුම් සහගත අවදානමක් මත ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබේ. අවසන් අරමුණ වන්නේ එම ජලාශයන්හි දිය බෙත්ම ප්‍රදේශයේ පස සෝදායෑමේ හා ජලාශ රොන් මඩ පිරීමේ අයහපත් ප්‍රතිපල අඩු කරලීම පිණිස එම දිය බෙත්ම ප්‍රදේශය සැලසුම් සහගත අන්දමකට සංවර්ධනය කර ආරක්‍ෂා කිරීමයි.” (ඉඩම්, ඉඩම් සංවර්ධන හා  මහවැලි සංවර්ධන අමාත්‍යාංශය, 1985)

ජලාධාර කළමනාකරණ වැඩසටහන යටතේ සංරක්ෂණය සඳහා හදුනාගැනීම හා අනුවර්තනය ඉතා වැදගත් වෙයි. එම නිසා මෙහිදී පස, ජලය හා වෘක්ෂලතා සංරක්ෂණ ක්‍රමවේදයන් යටතේ සුරක්ෂිත කිරීම සිදුකෙරේ. ග්‍රාමීය පැළ තවාන්, බෑවුම් ආශ්‍රිත කෘෂි බිම් ක්‍රමවේදය හා පාංශු ඛාදන සංරක්ෂණ ක්‍රම භාවිතය ආදිය මෙහිදී ඉතා වැදගත් විය. මෙම සංරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම ප්‍රධාන නිර්ණායක 3ක් යටතේ සිදුකෙරිණි. එනම් සහභාගීත්වය, සංරක්ෂණය හා තොරතුරු පද්ධති වෙයි. සහභාගීත්වය යටතේ විවිධ කණ්ඩායම්වල එකමුතුවෙන් පෙර සූදානම, පුහුණුව, සංවිධානය, උපක්‍රම හා ක්‍රියාකාරීත්වය සම්බන්ධ ක්‍රමවේදයන් දියුණු කිරීම සිදුවිය. තොරතුරු පද්ධතිය යටතේ ඉලක්ක ගත කණ්ඩායම් සඳහා අවබෝධාත්මක තොරතුරු පද්ධති ප්‍රවර්ධනය සිදුකෙරිණි. තොරතුරු පද්ධති යටතේ භූගෝලීය තොරතුරු පද්ධති හා සංරක්ෂණ සැකසුම් පිළිබඳ තොරතුරුපත් වැදගත් විය. (Mahaweli Authority, 1997)

ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ විද්‍යා වැඩසටහන යනු, ජල කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාවය හා දරිද්‍රතා ගැටළු පිළිබදව විද්‍යාත්මක පර්යේෂණ සිදුකරනු ලබන ආයතනයකි. මොවුන්ගේ සොයාගැනීම් විවිධ රජයන්ගේ ප්‍රතිපත්ති, තීරණ හා න්‍යායන් සම්පාදනයට පවා යොදාගනු ලබයි.  මෙම ආයතනය විසින් මෑතකදී ගෝලීය ජල හිඟය පිළිබද අධ්‍යනයන් සිදුකරනු ලැබු බව (ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ විද්‍යා වැඩසටහන - වාර්ෂික වාර්තාව,  1998) තුළ සඳහන් වන අතර එමඟින් ජල හිඟය, එහි බලපෑම් සහ ඒ සඳහා හදිසි පියවරවල් ගැනීමට අවශ්‍ය ප්‍රදේශ පිළිබදවත් අලුත් චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරන ලදි. එමෙන්ම, මෙම ආයතනය විසින් පැරණි දත්ත යොදාගෙන කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණ ක්‍රම මඟින් ගංඟා ද්‍රෝණියක් හෝ ජලාධාරයක් වෙනස්වීම කෙරෙහි ඒ ආශ්‍රිත භූමි පරිහරණ රටාවේ බලපෑම හේතුවන බවද පෙන්වා දෙන ලදි. 1998 වර්ෂයේ දී ආචාර්ය ශක්තිවාදිවේල්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ දකුණු නිල්වලා ගංඟා ද්‍රෝණිය ආශ්‍රිතව කරන ලද පර්යේෂණ තුළින්, 1940 සිට මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ගංඟා ද්‍රෝණියේ හෙක්ටයාර 38000ක භූමි ප්‍රදේශක වෙනස්වීම පරීක්ෂා කරන ලදි. ඒ අනුව වසර 60කට පෙර එහි වන  වැස්ම 50%ක් පැවැතිය ද, 1965-1997 කාලය තුළ එය 30%ක් දක්වා අඩු වෙමින් වර්තමානය වනවිට 15%ක් දක්වා අඩු වී ඇති බව මොහු විසින් සොයාගෙන ඇත.

ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය ස්වභාවික සම්පත් කළමනාකරණයට හා සංරක්ෂණය උදෙසා සුදුසු සංකල්පමය උපාය හා ආයෝජනයන් සැලසුම් කළ ජල විද්‍යාත්මක ඒකක පදනම් කරගත් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය පර්යේෂණ කාර්යෙහි සාහිත්‍ය විමර්ශනයක් ලෙස යොදාගනු ලබනුයේ ඉහළ නිල්වලා ද්‍රෝණියේ ජලාධාර කළමනාකරණය සඳහා ඵෙතිහාසික දත්ත භාවිතයට ගැනීම සම්බන්ධයෙනි. නිල්වලා ගංගාවේ සම්පූර්ණ ජලාධාරය 1073kmක් පමණ වන අතර එය හෙක්ටයාර් 4050ක භූමියකින් සමන්විත වේ. මෙම ජලාධාර ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වනහරණය, පසේ ඵලදායීතාව අඩු වීම හා සාරවත් භාවය අවම වීම, ඛාදනය හේතුවෙන් අවසාදිත තැන්පත්වීම හා නායයෑම් ඇති වීම, ගංවතුර, පහළ ගංගාධාරයේ ජලයේ ගුණාත්මක බව අඩු වීම හා ජල සැපයුම විධිමත් නොවීම යනාදී ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධවයි- මේ සඳහා යුගල ජල පෝෂක ප්‍රදේශ ක්‍රමවේදය අනුගමනය කර ඇත- 1940 දී 50%ක් වූ මෙම ජලාධාරයේ ස්වාභාවික වන ආවරණය 1948 වන විට 43%ක් දක්වා ද 1964 වන විට 30%ක් දක්වා ද අඩුවී ඇත්තේ තේ වගාව වැනි කෘෂිකාර්මික කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමෙනි. “වන ආවරණය අඩුවීමට අනුරූපව මෙම ජලාධාරයේ අපදාවය, ඇතුළු කාන්දුව, පෝෂ්‍ය පදාර්ථ ක්ෂරණය යන ආදී ජල විද්‍යාත්මක ලක්ෂණයන්හි විචල්‍යතාවයන් ඇති වී ඇත- සමස්ත වැඩමුළුව මගින් බලාපොරොත්තු වී ඇත්තේ විවිධ රටවල් නියෝජිත පාර්ශවකරුවන්ගේ මතිමතාන්තර විචාරවත් බුද්ධියකින් යුක්තව භාවිතා කොට නව මහවැලි ව්‍යාපෘතිය සදහා තීන්දු තීරණ ගැනීම කළ යුතුය” යනුවෙන් මන්ත්‍රීතිලක (1999) දඹුල්ල කණ්ඩලම නිකේතනය තුළ 1999 වර්ෂයේ පැවැත්වූ “මහවැලි ගංඟා ද්‍රෝණිය කළමණාකරණය” නැමැති වාර්තාමය වැඩමුළුවේ සාකච්ඡාවට හා විචාරයට ලක්වූ තේමා කිහිපයක් පිළිබදව  “Proceeding of the Mahaweli River Basin Management Workshop” නමින් කෘතියක් එළිදක්වමින් පෙන්වා දී ඇත.

වර්ෂ 2004 දී ශ්‍රී ලංකා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය මගින් ජාතික ජලාධාර කළමනාකරණ ප්‍රතිපත්තිය එළිදක්වන ලදී. එහි ජලාධාරයක් යනු “ජලය එක් රැස් කරමින්, ගබඩා කර ගනිමින්, පොදු ජලවහන කේන්ද්‍රයක් හරහා ජලය නිකුත් කරන කරන භූ ජල විද්‍යා ඒකකයක්” ලෙස නිර්වචනය කර තිබේ. ජලාධාර අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම ප්‍රතිපත්ති සම්පාදනය කොට ඇති අතර ජලාධාර සංරක්ෂණය, ආරක්ෂා කිරීම, පුනරුත්ථාපනය, තිරසාර පරිභෝජනය හා ජලාධාර කළමනාකරණය මෙම ප්‍රතිපත්තිවල අරමුණු වේ. එසේම ආරක්ෂක ප්‍රතිපත්තියක් වශයෙන් ජලාධාර සංරක්ෂණ උපක්‍රම භාවිතා කිරීම, අවදානම් ප්‍රදේශ හා අවදානම් නොවන ප්‍රදේශ හඳුනාගෙන කටයුතු කිරීම ද මෙහිලා කැපී පෙනෙයි. (කපිල දහනායක, 2005)  ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය තුළින් නායෑම් පාලනය නමින් කෘතියක් ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ එළිදක්වන ලදී. නායයෑම් සදහා බලපාන සාධක පිළිබදව ද, ඵමඟින් ඇති විය හැකි තර්ජන පිළිබදව ද මෙහි කරුණු දක්වා ඇති අතර මධ්‍යම කදුකරයේ විශාල පරිමාණයේ නායයෑම්වල විශේෂ ලක්ෂණයක් වන්නේ එවා සමතුලිත වු පුරාණ නායයෑම් සක්‍රිය වීමෙන් හටගන්නා ඒවා බව පෙන්වා දී ඇත. ඒ සදහා ප්‍රධාන ලෙසම වර්ෂාව බලපාන අතර වර්තමානයේ අස්ථාවර කඳු මත වගා කිරීම, ගෙවල්, දොරවල් සෑදීම මගින් නායයෑම් තර්ජනය වැඩි වී ඇත. තවද, වී වගා ආදි ක්‍රම මගින් නායයෑම් ස්ථාවර කර ගැනීමද එළවඵ, දුම්කොළ වගාවන් ආදි විවිධ සාධක මගින් නායයෑම් වැඩි කරන බව ද දක්නට ලැබෙයි. මෙසේ නාය යාහැකි ප්‍රදේශ හදුනාගැනීමත් නායයෑම් අවම කිරීමට හා පාලනය කිරීමට අවශ්‍ය උපක්‍රම යෙදීමත් ඒ සදහා දැනුවත් කිරීමත්, නායයෑම් සමඟ ජීවත් වීමේදී සැලකිය යුතු කරුණු හා නායයෑමකට පෙර ඇතිවිය හැකි සංඥා පිළිබදව ද එය වැළැක්වීමට හා පාලනය කිරීමට කල හැකි දේ පිළිබදව ද සදහන් වේ.

(ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, 2002) කෘතිය තුළින් ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය ඔස්සේ ජලාධාර සංරක්ෂණය සිදුකරනු ලබන ආකාරය පෙන්වා දෙන ලදී. එමගින් ලංකාවේ ජලාධාර කළමනාකරණ ව්‍යපෘති, ජලපෝෂක ප්‍රදේශ ආශ්‍රිතව මානව ක්‍රියාකාරකම් වල ස්වාභාවය, එම මානව ක්‍රියාකාරීත්වයේ අයහපත් ස්වභාවය නිසා හටගෙන ඇති ගැටලු, ආදිය විස්තර කොට ඇති අතර ජල පෝෂක ප්‍රදේශයන් කළමනාකරණය කළ යුතු ආකාරය හා සම්බන්ධ අදාල සංරක්ෂණ ක්‍රම උපායන් පිළිබඳව ද අඳහම් දක්වා ඇත.

වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය මගින් ජලාධාර ප්‍රදේශ කළමනාකරණය සඳහා ගොවිපල පාංශු සංරක්‍ෂණය ඔස්සේ දායකත්වය ලබාදී ඇත. ඒ අනුව පාංශු සංරක්‍ෂණය සඳහා සුදුසු නිර්දේශිත ක්‍රමෝපායන් ප්‍රධාන වශයෙන් වර්ග තුනක් යටතේ බෙදා දක්වා ඇති අතර එනම් යාන්ත්‍රික ක්‍රම, ජීව විද්‍යාත්මක ක්‍රම සහ බෝග විද්‍යාත්මක ක්‍රම ආදියයි. එසේම ප්‍රධාන පාංශු සංරක්‍ෂණ ක්‍රම ත්‍රිත්වය යොදාගනිමින් ජලාධාර ප්‍රදේශවල පාංශු සංරක්‍ෂණය කළ හැකි විවිධ ක්‍රමෝපායන් පිළිබඳව ද (ගොවිපල පාංශු සංරක්ෂණය - නිර්දේශිත සංරක්ෂණ ක්‍රම හා ප්‍රමිතීන්, 2000) හි දක්වා ඇත. එමෙන්ම ජලපෝෂක ප්‍රදේශ තුළ විවිධ වගා ක්‍රමයන්, පාංශු වර්ගිකරණයන්, පළිබෝධයන් ඒකාබද්ධ ක්‍රමවේදයන් මගින් පාලනය කරන අයුරු, මෙම ප්‍රදේශයන් තුළ ජනනය වන අපදාව්‍ය කළමනාකරණය කිරීම හා වනහරණය නිසා ජලපෝෂක ප්‍රදේශ වලට සිදුව ඇති හානිය පිළිබඳව සවිස්තරව කරුණු දක්වා තිබේ.

යම් භූමියක් සෝදායාම තුළින් පාංශු සම්පත විනාශ වී ගොස් ඉඩම පාළු වීයාම පාංශු ඛාදනය ලෙස හැඳින්වේ. පාංශු ඛාදනයට බලපාන ප්‍රධාන සාධක ලෙස වර්ෂාපතන ලක්ෂණ, පාංශු ලක්ෂණ, භූමියේ ලක්ෂණ හා කළමනාකරණය හැඳන්විය හැක. පාංශු හා ජල සම්පත අනිසි භාවිතය තුළින් විවිධ ගැටලු පැනනගින බැවින් යාන්ත්‍රික, ජෛව විද්‍යාත්මක හා ශෂ්‍ය විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම භාවිත කෙරේ. බෑවුම් ඉඩම්වල සිදුකෙරෙන වැරදි බෝග රටාවන්, වැරදි බෝග වර්ග යොදාගැනීම නිසා සෝදාපාළුවට බෑවුමෙන් සිදුවන බලපෑම අතිමහත්ය. බෑවුම් ප්‍රදේශවල පාංශු සංරක්ෂණය සඳහා සුදුසු බෝගයක් තෝරාගැනීම, සුදුසු සංරක්ෂණ ක්‍රමයක් තෝරාගැනීම, සුදුසු බෝග වගා ක්‍රම තෝරාගැනීම සිදුකළ යුතුය. පළල් පාද පස්වැටි යෙදීම, කුට්ටි කාණු යෙදීම, ගල්වැටි යොදාගැනීම, සමොච්ඡ වේදිකා ඉදිකිරීම, ඒකීය බිම් තට්ටු ඉදිකිරීම පාංශු සංරක්ෂණයේදී යොදාගත හැකි යාන්ත්‍රික සංරක්ෂණ ක්‍රම වේ. ජීවී ශාක හා පැළෑටි උපයෝගී කරගනිමින් සෝදාපාළුව අවම කිරීම හා පස හා ජලය සංරක්ෂණය කිරීම ජෛව විද්‍යාත්මක සංරක්ෂණය වේ. ජීව වැටි ක්‍රමය, සැවැන්දරා වැටි, තෘණ වැටි, ආවරණ වගා, වන වගා හෝ බහු වාර්ෂික බෝග වගාව ජෛව විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම වේ. ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම භාවිතයෙන් පසට ක්ෂුද්‍ර පෝෂක එකතු වීමත් බෝග පරිසරයේ ජෛව විවිධත්වය දියුණු වීමත් සිදුවන අතර එමගින් කෘමි හා රෝග කාරකයින් ස්වභාවිකව පාලනය වන බැවින් නිරෝගී වගාවක් ඇතිකරගත හැකිය. මේ සඳහා යොදාගත හැකි ක්‍රම ලෙස නිවැරදි භූමි පරිහරණය, බිම් සකස් කිරීම, ජල පාලනය, බෝග සිටුවීම, වසුන් යෙදීම කාබනික පොහොර භාවිතය, රසායනික සමබර පොහොර භාවිතය ආදිය බව (පස-දිය, 2004) හි දක්වා තිබේ.
  
එසේම මෙලෙස ආංශකිමය වශයෙන් සිදුවන්නා වු පාරිසරික ගැටලු විසඳීම සඳහා රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතනයන්ගේ මැදිහත්වීම මත විවිධ වු උපාය මාර්ග, ප්‍රතිපත්ති හා ක්‍රමවේද ආදිය සම්පාදනය කොට ඇත. උදාහරණයක් වශයෙන් පාංශු රක්ෂණය සඳහා වන පනත, ශාක ආරක්ෂක පනත ආදිය පෙන්වා දිය හැකිය. එමෙන්ම ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්, දැනුවත් කිරීම් ආදිය මෙන්ම රාජ්‍ය නොවන ආයතන ක්‍රියාකාරීත්වයේ කාර්ය භාර්ය ද කැපී පෙනේ. පලාත් පාලන මට්ටමේ දී හා ජාතික මට්ටමේ දී සම්පාදනය වන නීතීන් බොහෝවිට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය මට්ටම දක්වා ගමන් කිරීමේදී ඉන් සිදුවන්නා වු මෙහෙවර තරමක් දුරට පසුගාමීත්වයක ලක්ෂණ නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීන සැලසුම් වලට ප්‍රමුඛතාවයක් ලැබි ඇති බවක් හඳුනාගත හැකිවේ. එහිදී සමිති හෝ සංවිධානයන් තුළින් සිදුවන කාර්ය කැපී පෙනෙනු ඇත. ඊට අමතරව පාරිසරික ගැටලු අවම කිරීමේ කාර්යෙහිලා මිනිසුන්ගේ අඳහස් ආකල්ප විශ්වාසයන් සම්මුති අභිචාර ආදිය මගින් සුවිශේෂි වු කාර්යක් ඉටුකරනු ලබයි. එකී ක්‍රියාවලිය ඉහළ මහවැලි ජලාධාර ප්‍රදේශයන් තුළ  ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙම ලිපිය තුළින් මනාව විමර්ශනයට බඳුන් වේ.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ග්‍රන්ථ
ආරක්ෂිත ප්‍රදේශ කළමනාකරණ හා වනජීවී සංරක්ෂණ ව්‍යාපෘතිය, (2005). ප්‍රජා සංවර්ධනය සමග වනජීවී රක්ෂිත ප්‍රදේශ සංරක්ෂණය, පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය, කොළඹ.

ආරියරත්න, එච්.ජී.එස්., (2006). කඳුකර පෙදෙස්වල පාංශු ඛාදනය වැළැක්වීමට සාර්ථක ක්‍රමයක්, සොබා පරිසර ප්‍රකාශනය, මාර්තු කලාපය, ඇතුළු පිරිස (සංස්), පරිසර අමාත්‍යාංශය.

ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය, (1985). මහවැලි ව්‍යාපාර හා අරමුණු ඉඩම්, ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය, කොළඹ.

ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය, (1999). ඉහළ ජලාධාර කළමනාකරණයථ පාංශු සංරක්ෂණය හා ඔබ, වන සම්පත් හා පරිසර අමාත්‍යංශය, කොළඹ.

ඉහළ ජලාධාර කළමනාකරණ ව්‍යාපෘතිය, (2002). පස - දිය, පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය, කොළඹ.

ඉහළ ජලාධාර කළමණාකරණ ව්‍යාපෘතිය, (2004). ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය, ඉහළ ජලාධාර කළමණාකරණ ව්‍යාපෘතිය, බත්තරමුල්ල.

පරිසර හා ස්වාභාවික සමිපත් අමාත්‍යංශය, (2004). ඉහල ජලාධාර කළමණනකරණ ව්‍යාපෘතිය සදහා ගොවිපළ  පාංශු සංරක්ෂණ නිර්දේශ, පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය, කොළඹ.

පරිසර අමාත්‍යංශය.,(2006 මාර්තු),  කදුකර පෙදෙස්වල පාංශු ඛාදන වැළැක්වවීමට සාර්ථක
ක්‍රමයක්, පරිසර අමාත්‍යංශය, බත්තරමුල්ල.

වීරක්කොඩි, උපාලි., (1996). පරිසර කළමණාකරණය හා සංරක්‍ෂණය, තරංජි ප්‍රින්ටර්ස්.

bx.%siS .%ka:

Bhaff y bossi D, enforrs E Gordon L, kongo V Kosgei J.R Makrira  H, Masuki K, Mul M, Tumbo S.D.,(2006). Small holder system innovation in integrated watershed management (S S J)  :strategies of water food and environmental security in draught prone tropical and sub tropical agro-eco systems (working paper 109, S S I working paper 1 ), International water management institute, Colombo.

Bo Sint, Ngwe, Winn, ohn, sharma, PN ( ed ).,(1998).  Strenghirs farmer’s organizations for water shed management in Mynmar. A trading manual, PWMTA field document no:23, FAO/ PWMTA,Kathmandu, Napal.

Chandra K Sen,Jej portap,Prem N sharma.,(1998),  Farmer-led Integrated Watershed Management, Institutional Center for Integrated Mountain Development(ICIMOD) and Participatory Watershed Management Training in Asia (PWMTA) and Farmer - center Agricultural Recourse Management(FARM) Program, FAO (UN) .